සුදු ඇන්දට පිරිසුදු දේශපාලඥයෙක් වෙන්න බැහැ | සිළුමිණ

සුදු ඇන්දට පිරිසුදු දේශපාලඥයෙක් වෙන්න බැහැ

මැතිවරණයට සියල්ල සූදානම් ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය කොහොමද?

ඉතාම සාර්ථක ලෙස පළමු අදියර අවසන් කර තිබෙන්නේ. අපි නාමයෝජනා ලබා දී නිසියාකාරයෙන් සිදු කළා. සන්ධානයට සම්බන්ධ සියලු පක්ෂ සමඟ මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කරනු ලබනවා. එසේම අනෙකුත් පක්ෂ දෙස බලන විට ඉතාම පැහැදිලියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගම් මට්ටම දක්වා හොඳින් මැතිවරණයට සූදානම්ව කටයුතු කරනු ලබන බවට.

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව ජනතාව තුළ කාලාන්තරයක් තිස්සේ ඇත්තේ කලකිරීමක්. ඇතැම් අයට නිසි අධ්‍යාපනික සුදුසුකමක් නැහැ. තවත් අවට විවිධ දූෂණ චෝදනා එහෙමත් නැත්නම් විවිධ අක්‍රමිකතා සම්බන්ධ වූ බවට චෝදනා තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන ඔබ පක්ෂයේ අපේක්ෂකයන්ගේ තේරීම කෙසේද?

මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමයට. කොට්ඨාසයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී විශ්වාසයක් ඇති අය ඉදිරිපත් කිරීමට පක්ෂය විසින් වග බලාගෙන තිබෙනවා. මැතිවරණ ක්‍රියාවලිය තුළත් මැතිවරණය අවසන් වූ පසුවත් ඒ අපේක්ෂකයන්ගේ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධව අපි අවධානයෙන් ඉන්නෙ. ඒ අපේක්ෂකයන් සම්බන්ධයෙන් අපේත් වගකීමක් තිබෙනවා. මමත් අපේ පක්ෂයේ අනෙක් සියලු දෙනාත් ඒ වගකීමට බැඳී සිටිනවා. වැරැදි කරන කිසිදු අයකුට ජනාධිපතිතුමා කිසිදු ආකාරයක සමාවක් දෙන්නේ නැහැ. එතැනදී එතුමා ඥාතියා හිතවතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා මේ කිසිදු ආකාරයක සබඳතාවක් ගැන සොයා බලන්නේ නැහැ. එතුමා මේ වන විට ක්‍රියාවෙන්ම ඒ බව පෙන්වා දී තිබෙනවා.

සන්ධානයේ සියලු පක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බවක්ද ඔබ කියන්නේ.

සන්ධානයේ පක්ෂ පමණක් නෙමයි එක්සත් ජාතික පක්ෂය, ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂය ඇතුළු සියලු පක්ෂ මේ විශ්වාසය ඇති කරගෙන කටයුතු කරන බව පැහැදිලියි. එතුමා ස්වාධීන කොමිෂන් සභා පත් කරන්න කටයුතු කළා. මැතිවරණ ස්වාධීනව තබන්න මේ රජය කටයුතු කළා. ජනාධිපතිවරයා එහි මුල් තැනක් ගත්තා. මේ මැතිවණයත් ඒ වගේම ස්වාධීනව පැවැත්වීමයි එතුමාගේ බලාපොරොත්තුව වන්නේ.

ඒ වුණත් මේ වන විටත් බැනර් කටවුට් පෝස්ටර් යුද්ධ පටන් අරගෙන තියෙන්නෙ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් දක්නට තිබෙනවා. මේ තත්ත්වය වළක්වන්න මේ පුංචි ඡන්දයේදීවත් කටයුතු කරන්න බැරිනම් මහ මැතිවරණයකදී යළි ගැටුම් ඇති වෙන්නත් පුළුවන්?

අපේ රටේ කාලාන්තරයක් තිස්සේ තිබුණු සම්ප්‍රදායයන් එක් වරම වෙනස් කරන්න අමාරුයි. ඒක මැතිවරණයේදී විතරක් නෙමෙයි. ඒ වගේම අපේ රටේ විතුත් නෙමෙයි. ඒ හැම දෙයක්ම ක්‍රමයෙන් ඉවත් කළ යුතුයි. බස් එකකින් නවත්වන්න කලින් බහිනවනම්, බැහැල ටික දුරක් බස් එක ගිය දිහාටම දුවල ගිහින් තමයි නවතින්න වෙන්නෙ. එහෙම නැතුව එක පාරටම බැහැපු තැනම නැවතුණොත් වැටෙනවා. මේ මැතිවරණ ක්‍රමය නිසා කාලානාන්තරයක් තිස්සේ තිබුණු මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ඊළඟ මැතිවරණයේදී ඉවත් විය යුතුයි. හැකිතාක් අපි මැතිවරණ නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතු වෙනවා.

මේ මැතිවරණයේදී දෙකඩ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරන්න ලොකු වෙහෙසක් ගත්තා. ඒත් එය සාර්ථක වුණේ නැහැ. මේ වෙන් වීම පක්ෂයට ලොකු බලපෑමක් වෙන බව පැහැදිලියි.

ඒක ඇත්ත, එක්ව තරග කළා නම් එහි වාසිය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාටයි යන්නේ. නමුත් ඒ තත්ත්වය තේරුම් නොගත්ත අයත් සමඟ කටයුතු කිරීම පහසු නැහැ.

මේ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුව වගේම පළාත් පාලන ආයතනවලදිත් එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් පාලනයක් ගෙන යෑමට කටයුතු කරනවාද?

නැහැ? එවැනි කිසිදු තීරණයක් ගෙන නැහැ. තනිව තරග කරන්නේ තම බලය ඔස්සේ පළාත් පාලන ආයතන බලය හිමි කර ගන්නයි. එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මෙතැනදී පැන නැඟී නැහැ. ජනතාව ලබා දෙන තීන්දුව අනුවයි අපි කටයුතු කරන්නේ. ජනතා තීන්දුවටයි අප හැම තිස්සේම කටයුතු කරන්නේ.

එසේ වුවත් එක්සත් ජාතික පක්ෂ දේශපාලන ජ්‍යෙෂ්ඨයන් වගේම ඇතැම් ශ්‍රී ලනිප දේශපාලන ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ තම පක්ෂයේ ජයග්‍රහණ අවශ්‍යතාවක් ගැනයි.

මැතිවරණයකදී තමන්ගේ පක්ෂය දිනවන්නයි පක්ෂයේ නියෝජිතයන් කටයුතු කරන්නේ. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මැතිවරණයෙන් පසුව ජනතා තීන්දුව අනුවයි අප කටයුතු කළ යුතු වන්නේ. එහෙම නැත්නම් දෙපක්ෂයටම එක්ව තරග කරන්න තිබුණනේ.

කො‍ෙහාම වුණත් පොහොට්ටුවේ බලපෑම දැඩිව ශ්‍රී ලනිපයට දැනේවි?

අතීතයේදිත් පක්ෂයෙන් වෙන්වුණු අයට ජනතාව දක්වපු පිළිතුරු ගැන අපි දන්නවා. පෙබරවාරි 11 වැනිදාට ජනතාව දුන් තීන්දුව අපට බලා ගන්න පුළුවන් වේවි. නමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියල පලක් නැහැ. ඒක ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු වෙනවා. අපි තේරුම් ගත යුතුයි අපි බැබළෙන්නේ පක්ෂය නිසා බව. අපි නිසා පක්ෂය බැබළෙන්නෙ නැහැ. සමහරුන්ට මේ තත්ත්වය තේරුම් ගන්න බැහැ.

ඒ වුණත් ඇතැම් අයට පක්ෂය පාට අමතක වෙලා තමන්ගේ වාසිය පමණක් ඉස්මතු වෙලා තියෙන බවකුත් පෙනෙනවා?

අපි පක්ෂයේ අයට පක්ෂයේ පාට සහිත ඇදුම් ඇඳගෙන එන්න කියල තිබුණ අවස්ථාවල සමහරු මල ගෙවල්වලට යන්න වගේ සුදු ඇඳගෙන ආවට පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වෙන්න බැහැ. සුදු ඇන්දට පමණක් නිදහස් පාක්ෂිකයෙන් වෙන්නවත් පිරිසිදු දේශපාලඥයෙක් වෙන්නවත් බැහැ. එය ක්‍රියාවෙන්ම පෙන්විය යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතරම් බලවත් හා ජනතාවට ආදරය කරන පක්ෂයක් නම් ඇයි ඇතැම් පළාත්වල අත ලකුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා තවත් පළාත්වල බුලත් කොළය යටතේ සන්ධානයෙන් තරග කරන්නේ.

ඒ තීරණය ගන්නේ සංවිධායකවරුන් හා දිස්ත්‍රික් නායකවරුන් විසින්. ජනාධිපතිවරයා ඊට අවසරය ලබා දුන්නා. ඇත්නේම ජනාධිපතිවරයාට අප ස්තුති වන්ත විය යුතුයි ඒ නිදහස ඒ අයුරින් ලබා දීම සම්බන්ධව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කරන්නේ තනිව තරග කළ හැකි ප්‍රදේශවලටයි. එසේම සුළු පක්ෂ සමඟ තරග කිරීමේදි විශේෂයෙන්ම උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල තරග කිරීමෙන් වැඩි වාසියක් ලබා ගත හැකි පළාත්වල අපි බුලත් කොළයෙන් තරග කරනවා. එහි ගැටලුවක් නැහැ. පක්ෂය වර්ධනය කිරීමටත් එයින් හැකියාව ලැබේවි.

කොහොම වුණත් ඇතැම් දේශපාලනඥයන් කියන දෙයක් තමයි මේ මැතිවරණය සුළු මැතිවරණයක් ලෙස සලකන්න එපා, මේ මැතිවරණය ජනමත විචාරණයක් කියලා.

ගමට කරන්න පුළුවන් ලොකුම හානිය තමයි ඒ කරන්නෙ. හොඳින් මතක තියා ගත යුතු දෙයක් තමයි පෙබරවාරි 12 වැනිදාටත් මේ රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බව. ඒ වගේම පෙබරවාරි 12 වැනිදාත් මේ රටේ තියෙන්නෙ මේ ආණ්ඩුව. ඒක නිසා මේ මැතිවරණයේදි ජනමත විචාරණයක් කියන කතාව ජනතාව රවට්ටන තමන් දකින හීනයක් විතරක් නෙමෙයි ගම රැවටීමක්. මේ මැතිවරණයේදි බලය රැක ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය දුන්නොත් ගම හදා ගන්න පුළුවන්. ආණ්ඩු විරෝධීන්ට සිදු වෙන්නෙ ආණ්ඩුවට විරුද්ධව සටන් පාඨ කියන්න බස්වල සෙනඟ නග්ගගෙන යන එකයි. ගම හදන්න වෙලාවක් එයාලට නැහැ.

හිටපු ජනාධිපතිවරයාත්, ඒකාබද්ධ විපක්ෂයේත් පොහොට්ටුවේ සමහර දේශපාලඥයොත් කියන දෙයක් තමයි මේ ඡන්දයෙදි අපේක්ෂකයන් ගැන හිතන්න එපා කියල?

ඒ ගමට කරන තවත් ලොකු හානියක්. අපේක්ෂකයන් ගැන විශ්වාසයක් නැතිව කොහොමද මේ මැතිවරණය පවත්වන්නෙ. හිටපු ජනාධිපතිවරයාට ජී.එල්. පීරිස් මහතාගේ පක්ෂයේ අපේක්ෂකයන් ගැන විශ්වාසයක් නැති වුණාට අපේ පක්ෂයේ අපේක්ෂකයන් ගැන අපට හොඳ විශ්වාසයක් තියෙනවා. ඒක නිසා අපේක්ෂකයන්ගේ විශ්වාසය මත ගම හදා ගැනීමට හොඳ අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නෙ. ඒ වගේම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි ජනතාව අපට වැරැදි අඩුපාඩු හදා ගන්න අවස්ථාව දෙනවා. ඒ අනුව ජනතාවගේ සේවයට අප කැපවෙන්න ඕන.

රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයා පසුගිය දිනක පැවසුවා මේ මිශ්‍ර මැතිවරණ ක්‍රමය නිසා සුළු ජාතික පක්ෂවලට දැඩි අසාධාරණයක් වෙනව කියල.

කිස්සේත්ම පිළි ගන්නත් බැරි අනුමත කරන්නත් බැරි කතාවක් ඒ. මේ මැතිවරණ ක්‍රමයේ යම් යම් අඩු පාඩු තියෙනවා. ඒවා ක්‍රමයෙන් හදා ගන්න පුළුවන්. ඒ වුණත් සුළු පක්ෂවලට වැඩි වශයෙන් වාසි ලබා දෙන්න ඕන නිසා තමයි මේ තරම් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් වැඩි කරන්න වුණේ. අඩුපාඩු හදා ගන්නවා මිසක් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කතා කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

හිටපු ජනාධිපතිවරයාගේ සේයාරුවක් ගැන ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. එතුමා ඒ ගැන මාධ්‍යයටත් ප්රනකාශ කළා..

පක්ෂ කාර්යාලයේ පක්ෂයේ හිටපු සියලුම නායකයන්ගේ, ලේකම්වරුන්ගේ, භාණ්ඩාගාරික මෙන්ම උපදේශකවරුන්ගේ සේයාරූ තිබෙනවා. ඒවා පැහැදිලිව මාධ්‍ය සාකච්ඡා පවත්වන ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙනවා.

ඒක අපේ පක්ෂයේ සිරිතක්. මහින්ද රාජපක්ෂ මහතාට තම රූපය එයින් ඉවත් කිරීමට අවශ්‍යනම් ඒ බව ලිඛිතව දැනුම් දිය හැකියි. එසේ නොමැතිව අපි ඒ සේයාරූ ඉවත් කිරීම කරන්නේ නැහැ. පක්ෂයේ ප්‍රතිපත්ති තිබෙනවා. පක්ෂයේ හිටපු සභාපතිවරුන්ගේ සේයාරූ තිබිය යුතු වෙනවා. නමුත් හිටපු ජනාධිපතිනියගේ සේයාරුවක් 2005 සිට 2015 දක්වා පක්ෂ කාර්යාලයේ තිබුණේ නැහැ. ඒක ලොකු අඩුවක් වරදක් ලෙස මා දකිනවා. එවන් වැරැදි අඩු පාඩු සිදු විය යුතු නැහැ.

ඒ අඩුපාඩුව වරදට වගකිව යුතු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු ලෙස ඔබටත් වගකීමක් දැරිය යුතුයි නේද?

ඇත්තෙන්ම ඒ වගකීම මමත් ගත යුතු වෙනවා තමයි.

ලබන සතියේ තැපැල් වර්ජනයක් සිදු වන බව දැන ගන්නට තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ වගේම සයිටම් ගැටලුවත් එහෙමමයි. මැතිවරණයක් ආසන්නයේදී මේ ගැටලු රජයට බලවත් පහරක් ලෙසයි පෙනෙන්නේ.

උද්ඝෝෂණ පිකටිං කිරීමේ අයිතිය මේ රජය අවශ්‍ය පමණටත් වඩා දීල තියෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් බොහෝ ප්‍රශ්න මේ රජය විසඳා තිබෙන බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. සෑම රජයකටම පාලන සමයේ ප්‍රශ්න තියෙනවා. වර්ජන පිකටිං උද්ඝෝෂණ වගේම ස්වභාවික විපත් පවා ඇතිවෙනවා. ඒ සියල්ලටම මුහුණ දීමයි කළ යුත්තේ. නිවසක වුණත් පවුල්වල ප්‍රශ්න කොතරම් ඇති වෙනවාද?

ජනතාව බලාපොරොත්තු වූ සහන ලැබී නැති බවත් පවසනවා.

මේ අධික ණය කන්ද මත එක්වරම සහන සැලසීම බඩු මිල අඩකිරීම කරන්න අමාරුයි. නමුත් මිල පාලනයක් සිදු කරන්න වගේම ආදායම් වර්ධනය කිරීම සම්බන්ධ ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.

 සංවාදය - තාරක වික්‍රමසේකර

 

අදහස්