ලුම්පන් දේශපාලන අනතුරෙන් රට ගලවා ගැනීම! | සිළුමිණ

ලුම්පන් දේශපාලන අනතුරෙන් රට ගලවා ගැනීම!

 ශ්‍රීලනිප නිර්මාතෘ ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ ජනතා රජය තුළ උග්‍ර මතභේදයක් ඇති වූයේ ඒ ආණ්ඩුවට වසර තුනක් සපිරෙද්දී බව දේශපාලන ඉතිහාසයේ සඳහන් වේ. එසේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගන්නා ලද එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව තුළද ආණ්ඩුවට තුන්වසරක් සපිරුණු මොහොතේ ප්‍රබල මත භේදයක් මතු වී තිබේ. එදා බණ්ඩාරනායක ආණ්ඩුව මතභේදයට හේතු වූයේ කුඹුරු පනත බව කියති. මෙදා මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ මතභේදයට තුඩු දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මහ බැංකු විමර්ශන කොමිසම් වාර්තාව බව පෙනේ. මේ බැංකු මගඩිය ජනතාව අතරද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධයක් විය. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ජවිපෙද මෙහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ ප්‍රබලයින් කීප දෙනෙකුටද චෝදනා කරති. ඒ සියලු දෙනාගේම විවේචනයේ හරය වූයේද මේ බැංකු මගඩිය සියුම්ව හා සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවයි. බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමත් සමඟම ශ්‍රීලනිපක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කීප දෙනකුම මේ සිද්ධියට එජාපය වගකිව යුතු බවත්, එයට අදාළ පුද්ගලයන්ට උපරිම දඬුවම් ලබාදිය යුතු බවත් කියා සිටියහ.

වංචනික ක්‍රියා

සැබැවින්ම මේ වංචනික ක්‍රියාදාමයෙන් රටට, රටේ ආර්ථිකයට සිදු වූ හානිය බරපතළය. සේවක ආර්ථසාධක අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකු අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ අරමුදල යන සියල්ල තමන්ට රිසි ලෙස සූරාකෑමට පර්පෙචුවල් ට්‍රෙශරීස් වැනි පෞද්ගලික සමාගමකට අයුතු ලෙස ඉඩ දුන් බවට තිබෙන චෝදනාව සුළු පටු නැත. කොමිසමේ නිර්දේශවලින්ද එය තහවුරු වී තිබේ. එබඳු ජාතික අපරාධයක් වසන් කර දේශපාලන ගමනක් යෑමට කිසිවකුට ඉඩ නැති බව අමුතුවෙන් කිව යුතු නැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ක්‍රියා කළ ආකාරය අතිශයින් බුද්ධිමත් හා ප්‍රායෝගිකද විය. කොමිසම් වාර්තාව ජනතාවට හෙළි කිරීම වුව අභීත පියවරකි. මේ රටේ කොමිසම් වාර්තා හමස් පෙට්ටිවල දිරා යන පසුබිමක් තුළ ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවර ඉතා වටිනා එකකි. මේ වාර්තාවෙන් කවර හෝ දේශපාලන පක්ෂයකට අගතියක් සිදු වුවත්, එය ජනතාවට මෙන්ම සදාචාර සම්පන්න දේශපාලන ක්‍රියාදාමයකට වැදගත් හෝ අදාළ නැත. තමන්ගේ පක්ෂයේ අයට නිලය බලය මෙන්ම මහජන දේපළද රිසි ලෙස භුක්තිවිඳීමට ඉඩ දුන් පාලකයන් නිසා අද මේ රටට සිදු වී තිබෙන විපත ඉතා බරපතළ එකකි. තමන්ගේ පාක්ෂිකයන් වැරදි කරන විට උන්ට දඬුවම් දීම වෙනුවට ඇතැම් නායකයන් ක්‍රිකයා කළේ “කරන මඟුලක් අහු නොවෙන්න කරපල්ලා” යන සංඥාව ලබා දෙමිනි. එහෙත් මෛත්‍රීාපාල සිරිසේන ජනාධිපතිවරයා එයට සූදානම් නැත. එපමණක් නොව, පසුගිය පාලන සමයෙහි 2007 – 2015 අතර කාලය තුළ සිදු වී තිබෙන මහබැංකු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කිරීමටද ජනාධිපතිවරයා සූදානම් බව ප්‍රකාශ කර තිබේ. දැනටමත් බරපතළ දූෂණ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා 34ක්ම ජනාධිපතිවරයා අතෙහි තිබේ. ඒ රහස්ද නුදුරු අනාගතයේදී හෙළිදරවු වූ විට මේ රටේ දේශපාලන ක්‍රියාකාරකම්වල යථාර්ථය කෙබඳුදැයි කාට කාටත් බලාගත හැකි වේ. සම්මුති ආණ්ඩුවට ගල් ගසන අයද තිගැස්සෙන හෝ තැතිගැන්විය හැකි සිදුවීම් ඒ වාර්තා තුළ තිබිය හැකිදැයි අපි විමසිලිමත්ව සිටිමු. ජනාධිපති කොමිසම් වාර්තාව ව්‍යාජයක් බවට කියමින් තම දේශපාලන නිරුවත වසාගැනීමට කොමිසමෙන් චෝදනා එල්ල වූ සමහරු ක්‍රියා කරති. එහෙත් මේ වන විටත් මේ සිද්ධිය පිළිබඳ ජනතාවටද පැහැදිලි චිත්‍රයක් ලැබී තිබේ. එනිසා මෙහිදී ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වකරුවා වන එජාපයද දේශපාලන වහසි බස් නොදෙඩවීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හිතකර වනු ඇත.

අලුත් විශ්වාසයක්

ආණ්ඩුවේ අනෙක් ප්‍රධාන පාර්ශ්වකරුවා වන ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් බැඳුම්කර වාර්තාවට හා එජාපයේ දේශපාලන භූමිකාවට එල්ල වන විවේචන එජාප නායකයන්ගේ මෙන්ම අනුගාමිකයන්ගේද සිත් පාරන හා රිදවන බව නිසැකය. එහෙත් මේ සිද්ධියේදී මුනිවත රැකීමට ශ්‍රීලනිපයට හැකිද? ඇත්ත වශයෙන්ම ශ්‍රීලනිපයට හිස ඔසවා සිටීමට පමණක් නොව තම දේශපාලන ගමන් මග ජනතාවට තහවුරු කිරීමටද මෙය අගනා අවස්ථාවකි. සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමැතිවරයා විසින් මේ සිද්ධිය පිළිබඳ කරන ලද අනාවරණයන් ශ්‍රීලනිපයේ ඉදිරි ගමනට බෙහෙවින් උපකාරි වනු ඇත. ශ්‍රීලනිපයෙන් කෑල්ලක් කඩාගෙන පොහොට්ටුවක් සමග රට වටේ යන ඒකාබද්ධ විපක්ෂයට වුවද ශ්‍රීලනිපයේ මේ විවේචන නිසා තම ප්‍රහාර මෙන්ම උපක්‍රමද වෙනස් කිරීමට සිදු වීම පුදුමයක් නොවේ. අද පොහොට්ටු පක්ෂය පමණක් නොව, ඒකාබද්ධ විපක්ෂයේ සමහරුන්ටද ජනාධිපතිවරයා පිළිබඳ අලුත් විශ්වාසයක් ගොඩනඟාගැනීමට මේ අවස්ථාව ඉවහල් වනු ඇත. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී දූෂිතයන්ට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ජනාධිපතිවරයා පිළිබඳව අලුතින් සිතා බැලීමට ජනතාවට පමණක් නොව පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටින අයට වුවද සිදු වනු ඇත. දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේද මේ අභිනව දූෂණ විරෝධී ප්‍රතිචාර නිසා ජනාධිපතිවරයාට යුහුසුලුව ඉදිරියට යෑමටත්, ජනවාරි 8 වැනිදා රටට ඉදිරිපත් කළ යහපාලන වැඩ පිළිවෙළ සවිබල ගැන්වීමටත් හැකි වී තිබෙන බවයි. යහපාලන ගමන ගැන කනස්සල්ලට පත්ව සිටි සිවිල් සංවිධාන මෙන්ම දූෂණ වංචා විරෝධී ක්‍රියාකාරීන්ද දැන් යළිත් මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටිතියි කිව හැකිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු ආණ්ඩුව තුළ මෙන්ම ශ්‍රීලනිපය තුළද යහපත් හා ආදර්ශවත් දේශපාලන පෞරුෂයක් පිළිබිඹු කළ නායකයෙකි. අද ඔහු ඒ දේශපාලන පරිශුද්ධභාවය උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටින්නකු බවට මේ රටේ සාමාන්‍ය ජනතාවටද තහවුරු කර තිබේ. ජනාධිපතිවරයාගේ මේ දේශපාලන ප්‍රතිචාරය ඇතැම් විට ආණ්ඩුවේ මෙන්ම ඔහුගේ පක්ෂයේ සමහරුන්ට හිසරදයක් බවටද පත්ව තිබිය හැකිය. මහින්ද අමරවීර ඇමතිවරයා වරක් ප්‍රකාශ කළ පරිදිම අද ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ ගමනට බාධා කළ හැකිය. ඔහු වැළැක්වීම සඳහා කුමන්ත්‍රණ දියත් වන්නටද බැරි නැත. ශ්‍රීලනිපය අලුත් දේශපාලන ගමනක් යෑම ඒ පක්ෂයේ දූෂිත හා ගතානුගතික පන්තියටද වේදනාකාරී දෙයක් විය හැකිය. සත්තකින්ම දූෂණයට මහජන මුදල් ගසා කෑමට ඉඩ නොදීම නිසා එදා බණ්ඩාරනායක අගමැතිවරයාට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග කෙබඳුදැයි දේශපාලන ඉතිහාසය දන්නෝ දනිති.

මෛත්‍රී පාලනය පෙරළා දැමීම හුදු බලය සඳහා වූ ක්‍රියාදාමයකට වඩා පන්තිමය අවශ්‍යතාවක් බවද අප තේරුම් ගත යුතුය. මෛත්‍රී ජනාධිපති තෙවන පදවි ප්‍රාප්තිය සටහන් කරමින් පසුගිය ජනවාරි 08 වැනිදා සිදු වූ මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පැවරීමද සමහරුන්ට දරාගත නොහැකි වී තිබේ. මේ ජල ව්‍යාපෘතියේ ප්‍රතිලාභ රජරට, අනුරාධපුර, නැගෙනහිර, වයඹ, උතුරු-මැද දක්වා ලැබෙන විට ඒ ජනතාව මේ රාජ්‍ය නායකයා දෙස බලන්නේ කෙබඳු සාඩම්බර හැඟීමකින්ද? ගෞරවයකින්ද? මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් මෛත්‍රී ජනාධිපතිවරයාට වසර පහක් සටන් කිරීමට සිදු වූ බව ප්‍රකාශ කළේ අගමැති රනිල් වික්‍රමසිංහය. මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් මෙයට වසර ගණනාවකට පෙර ආචාර්ය කුලසිංහ සමඟ වනදුර්ග, ගිරිදුර්ග තරණය කරමින් දුෂ්කර ක්‍රියා කළ ජනාධිපතිවරයාට මේ ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කරගැනීමට ඉඩ දීම වෙනුවට සිදු වූයේ දේශපාලන පලා බෙදීමක් බවද අප ලියා තැබිය යුතුය. මොරගහකන්ද ව්‍යාපෘතිය එදා තමා සමග දුෂ්කරක්‍රියා කළ, තමන්ට මඟ පෙන්වූ මෙරටේ බිහි වූ විශිෂ්ට ඉංජිනේරුවකු වූ කුලසිංහ මහතා නමින් හැඳින්වීමට යෝජනා කළ ජනාධිපතිවරයාගේ අනතිමානි ගුණයද ඉතිහාසයට එක් වනු ඇත.

දේශපාලන හැසිරීම

මහජනතාවගේ මුදලින් ගොඩනඟන බොහෝ සේවාවන් තමන්ගේ නමින් හැඳින්වීමේ දේශපාලන සිරිත පිළිබඳ අපට ඕනෑ තරම් නිදසුන් තිබේ. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ඒ නොමනා සිරිත බිඳ දමා තිබීම අගය කළ යුතුය. එහෙත් මොරගහකන්ද නිල් දියවර මහ පොළවේ යථාර්ථයක් බවට පත් කර මෙරටේ වත්මන් ගොවි පරපුරවල්වලට පමණක් නොව අනාගතයේ බිහි වන ගොවි දරුවන්ටද නිධානයක් බවට පත් කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් බව ඉතිහාසය නිවැරදිව සටහන් කරනු ඇත.

තතු මෙසේ හෙයින් යහපාලන ආණ්ඩුවේ තෙවර්ෂ පූර්ණයත් සමඟ රටත් ජනතාවත් අපේක්ෂා කළ වෙනස යථාර්ථයක් බවට පත් වන සංඥාව ප්‍රබලව ලැබී ඇති බව පෙනේ. මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පරිණත දේශපාලනඥයකුගේ විලාසය තහවුරු කරමින් ක්‍රියා කරන ආකාරයද අගය කළ යුතුය. මෙරටේ ප්‍රධාන පක්ෂ දෙකෙහි නායකයන් දෙදෙනා එක මේසයක වාඩි වෙමින් යන ගමන දේශපාලනයට සලසන වාසි අවාසිවලට වඩා ජාතික වශයෙන් වැදගත් ගමනක් බව ඔහු ඉතා නිවැරදිව වටහාගෙන සිටියි. බැඳුම්කර වාර්තා බෝම්බය පිපිරී තම පක්ෂයට දේශපාලන හානි සිදු කළත්, එම ක්‍රියාමාර්ගය අනුමත කිරීමට මෙන්ම නීතියේ යුක්තියට හිස නැවීමට තම පක්ෂය සූදානම් බවට රනිල් අගමැතිවරයා පවසා තිබේ. එහෙත් තම ප්‍රතිරූපයට හානි කරන දේශපාලන කිනිතුල්ලන් ගලවාදැමීමට නොහැකි වුව හොත් එය ඔහුගේ දේශපාලන සෞඛ්‍යයට හිතකර නොවන බවද ඔහු දැන සිටිය යුතුය. දේශපාලනය හා මන්ත්‍රීකම දූෂණයට, වංචාවට හෝ පොදු දේපළ කොල්ලකෑමට දෙන බලපත්‍රයක් ලෙස භාවිත කරන අයට ඉඩ නොදීම අද ජනතාව අපේක්ෂා කරන අභිනව දේශපාලන ප්‍රාර්ථනය බව අගමැතිවරයාද දනී. ඒ සඳහා ඔහු මෛත්‍රී ජනාධිපතිවරයාට පළ කරන සහාය නිසැකයෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි වීමට ඉවහල් වනු ඇත.

අද පාර්ලිමේන්තුව තුළින් ජනතාවට ප්‍රදර්ශනය වන දේශපාලන හැසිරීම කුමක්දැයි අත්දැකීමෙන් දන්නා අගමැතිවරයාද ඔහුය. එසේම මෙරටේ එදා තිබුණු දේශපාලනය හා අද තිබෙන දේශපාලනය ගැන ඉඳුරා දත් ස්වල්ප දෙනා අතර ඔහුද සිටියි. දසක කීපයකට පෙර දේශපාලනය තොරාගත් අයට අවශ්‍ය වූයේ ධනය, බලය නොව කීර්තිය හා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වීමය. එහෙත් අද දේශපාලනය අලජ්ජී, ගර්හිත ව්‍යාපාරයක් බවට පිරිහී තිබේ. මහත්වරුන්ගේ දේශපාලනය අද ලුම්පන් අසංස්කෘතික දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මන්ත්‍රී කම, ඇමතිකම බොහෝ දෙනෙකුට ආත්මලාභය උදෙසා වූ බලපත්‍රයක් වී තිබේ නම් එබඳු රටක පුරවැසියන්ගේ ඉරණම කුමක්ද?

බැඳුම්කර වාර්තාව පිළිබඳ දේශපාලන විවාදයකට පැමිණි ජනතා නියෝජිතයන් විසින් පසුගිය දිනක කරන ලද හපන්කම් දෙස රටම බලා සිටියේ පහන් හැඟීමකින් නොවේ. අතින් පයින් ප්‍රතිචාර දක්වමින් දේශපාලන සදාචාරය, මහත්මා විලාසය බින්දුවට දැමූ ඒ ඒ පක්ෂවල අය පිළිබඳව නායකයන්ට සතුටු විය හැකිදැයි අපි නොදනිමු. එහෙත් එදා ඔවුන්ගේ හැසිරීම්වල ස්වභාවයත්, අමනවිලාසයත් සජීව සටන් ජවනිකා ලෙස රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය වූ අයුරු මේ රටේ ජනතාව පමණක් නොව එතෙර සිටින ජනතාවද පිළිකුලෙන් බලා සිටින්නට ඇති බව නිසැකය. නම් ගම් හා තෝම්බුද සමග ඒ ලජ්ජාසහගත ක්‍රියාකාරකම් වාර්තා කළ ජනමාධ්‍ය අපට පෙන්වා දී ඇත්තේ අපගේ ඡන්දයෙන් තෝරා යැවූ නියෝජිතයන්ගේ දේශපාලන දුගී බව නොවේද? දේශපාලනයත් සමග වයසට ගිය අය මෙන්ම දේශපාලනයට අලුතින් එක් වූ අයද එකම වර්ගයකට අයත් අය බව අපට ප්‍රදර්ශනය කර නැද්ද? පාර්ලිමේන්තුවේ මෙබඳු ගැටුම් මීට පෙරද ඇති වී තිබේ. එහි සිටින්නේද පුහුදුන් මිනිසුන් බව අපි දනිමු. එහෙත් අද බොහෝ විට පාර්ලිමේන්තුව පිළිබඳ අපට ලැබෙන්නේ හොඳ වාර්තාවලට වඩා නරක වාර්තා බව රහසක් නොවේ. අද දේශපාලනඥයාද පික්පොකට්කාරයකු ලෙස හොරා-කමින් අනුන්ට හොරා හොරා යැයි කෑගසමින් දුවන පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව සිටින බව ජනාධිපතිවරයා පසුගිය දිනක අනුරාධපුර ජන රැලියක් අමතා ප්‍රකාශ කර තිබිණි. ජනාධිපතිවරයා සඳහන් කළ පරිදිම ‘‘හොරා කවුද? හොරකම් කළේ මොනවාද?” යන්න අද මේ රටේම ජනතාව හොඳින්ම දන්නා දෙයකි.

විකට සංදර්ශන

අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමු. මෛත්‍රී ජනාධිපතිවරයා පිරිසුදු දේශපාලන සංස්කෘතියක් උදෙසා කැප වී සිටින පරමාදර්ශී නායකයෙකි. රනිල් අගමැතිවරයාද දූෂණයක් නොකළ, “මිස්ට ක්ලීන්” ලෙස ජනතාවගේ විශ්වාසය දිනාගත් නායකයෙකි. එසේ නම් මේ දෙදෙනාට එක්ව පිරිසුදු දේශපාලන සංස්කෘතියකට සැලැස්මක්, ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැත. බැඳුම්කර සිද්ධියෙන් වූ අනිටු පල අවම කරගැනීමට ශ්‍රීලනිපයට මෙන්ම එජාපයටද බධාවක් නැත.

මහින්ද පාර්ශ්වයේ ප්‍රාර්ථනාව වනු ඇත්තේ මේ කොමිසම් වාර්තාව හෝ උපයෝගි කරගෙන ආණ්ඩුව දෙපළු කිරීම බව පෙනේ. එනිසා අගමැතිවරයා ක්‍රියා කළ යුත්තේද මේ විමර්ශනයට සහාය දී සිය පක්ෂය පිරිපහදු කරගැනීමට විනා, තමා සමඟ සිටින්නේ නම් හොරුන් වුව රැකගත යුතුය යන පිළිවෙත අනුව නොවේ. ජනාධිපතිවරයා මෙන්ම තම කඩුවට කැපෙන්නේ තම නෑයාද, මිතුරාද, හිතවතාද යන්න නොබලා අධර්මයට, අයුක්තියට එරෙහිව කඩුව එසවීම අගමැතිවරයාගේද පිළිවෙත විය යුතුය. කළු සළුපිළියෙන් සැරසී, මල බැඳුණු කඩු ඔසවා දේශපාලන විකට සන්දර්ශන පවත්වන අය එහිදී කෙබඳු ප්‍රතිචාරයක් දක්වත්ද යන්න නම් දැන්ම අපට කිව නොහැකිය.

සුමේධ ජයබාහු 

අදහස්