ලසන්ත ඝාතනයට වසර නමයයි | සිළුමිණ

ලසන්ත ඝාතනයට වසර නමයයි

 ප්‍රකට මාධ්‍යවේදියකු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර නවයක් පිරිණ. ඔහු අධිආරක්ෂිත කලාපයකදී මරාදැමීම විශේෂ සිදුවීමකි. මන්ද යත් එම අවධියෙහි ආරක්ෂක බලධාරීන් නොදැන මැස්සකුටවත් පියාඹා යා නොහැකි අයුරින් ආරක්ෂාව තරකොට තිබූ හෙයිනි. මරණයෙන් පසු වසර හයක කාලයක් රාජපක්ෂ පාලනය පැවතිණ. මෛත්‍රී රනිල් පාලනය වසර තුන සපුරයි. ඝාතකයා තවමත් සුවසේ ජීවත් වෙයි. සුතනඹුන් සෝ සයුරේ ය. නීතියේ ක්‍රියාකාරිත්වය ඉබි ගමනේ ය. කොතන හෝ තැනක අවහිර වීමක් ඇතැයි යන සැකය රටවැසියන්ගේ සිත්හි ඇති වීම වැලැක්විය නොහැක. එහෙයින් මේ පිළිබඳ සබුද්ධිකව කටයුතු කිරීම ජනමාධ්‍යයේ මෙන්ම ප්‍රජාතත්‍රවාදයේද යහපැවැත්මට හේතුවෙයි. බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට ද හේතුවෙයි.

2009 ජනවාරි 8දා පෙරවරුවෙහි ලසන්ත තම නි‍ෙවසේ සිට කාර්යාලය බලා මෝටර් රියෙන් යමින් සිටියදී ට්‍රේල් වර්ගයේ යතුරු පැදිවලින් පැමිණි ඝාතකයන්ගේ ගොදුරක් බවට පත්විය. වෙඩි තබා ඝාතනය කරන ලද බව ප්‍ර‍සිද්ධ වුවද පසුව අනාවරණය වූයේ නවීන පන්නයේ උල් ආයුධයකින් හිසට ඇන ඇති බවය. ඒ වනවිට ආරක්ෂක ලේකම්වරයා සහ ඔහු අතර බිහිසුණු මට්ටමේ ආරවුලක් නිර්මාණය වී තිබිණ. එය පුද්ගලික එකක් නොවේ.

මිග් යානා ගනුදෙනුවේදී සිදුවී ඇති දූෂණ ලසන්ත තම පුවත්පතින් හෙළිදරව් කර තිබිණ. ආරක්ෂක ලේකම් තමාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලසන්ත නීතිය හමුවටද ගියේය. එය මාරයාට අතවැනීමක් බව කාහටත් වැටහී ගියේ එසමයෙහි අත්දැකීම් අනුවය.

අධිකරණ කටයුතු නිසා ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සෘජු තර්ජනයට ලක්වූයේ 2008 දෙසැ.5 දාය. ඔහු ඝාතනයට ලක්වූයේ එයින් මසකුත් දින 4ක් ගතවන්නට පෙරය.

ලසන්ත ඝාතනය වන මොහොත වනවිට යුද්ධය තීරණාත්මක අදියරක පැවතිණ. යුද හමුදාව එල්ටීටීය පරදවමින් ඉදිරියට යන අයුරු මහත් රණකාමයෙන් යුතුව දකුණේ මාධ්‍ය වාර්තා කරමින් සිටියේය. යුද්ධය පිළිබඳ වාර්තාකර‍ණය දකුණේ මාධ්‍ය විසින් සිදු කරන ලද්දේ ආරක්ෂක අංශවල රැකවරණ හා ආධාර යටතේ හමුදා දෘෂ්ටි කෝණයෙනි. එල්ටීටී මාධ්‍ය එහි ප්‍රතිවිරුද්ධ ආස්ථානයෙහි කටයුතු කළේ ය. යුද්ධයට ගොදුරුවූ ජනදිවිය එම මාධ්‍යයට නොපෙනිණ. පොකුරු බෝම්බවලින් දරුවන්ද ඇතුළු සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම දකුණේ මාධ්‍යයට නොපෙනිණ. එල්යටීටිය දරුවන්ට කරන අමානුෂිකකම් උතුරේ මාධ්‍යයට නොපෙනිණ.

යුද වාර්තාකරණය යනු යුදබිමෙහි පාර්ශ්වයකට අයත් නොවී ගොදුරු බිම්වල මහජනයා අතර සිට කෙරෙන වාර්තාකරණයයි. එවැනි වාර්තාකරණයක් මෙරට නොමැත. එනිසා යුද පුවත් වාර්තාකරණය විෂයෙහි ලබාදී ඇති සම්මාන ද ව්‍යාජ ඒවා ය. මෙරටට වරක් පැමිණි මාරි කොල්වින් එවැනි වාර්තාකාරිනියකි. එල්ටීටීකාරියක ලෙස දකුණේ මාධ්‍ය විසින් හංවඩු ගසන ලද ඇය යුද බිමෙහිදී තුවාල ලැබුවාය. පසු කලෙක ඇය එතෙරදී මියගියේ ද යුද පුවත් වාර්තාකරණයෙහි යෙදී සිටියදී යුද බිමකදීය.

ඒ අනුව ලසන්ත ද යුද පුවත් වාර්තාකරණ විෂයයෙහි යෙදුණු ලේඛකයෙක් නොවේ. ඔහු ගවේෂණාත්මක වාර්තාකරුවෙකි. රාජ්‍ය දේපල වංචාව, අපහරණය සහ වෙනත් අපරාධ සාධක සහිතව අනාවරණය කිරීමට ඔහු සමත් විය. මේ සඳහා දිවි පරදුවට තැබීමේ ආත්ම පරිත්‍යාගයක් අවශ්‍ය වේ. ඒ ගුණය ඔහු සතු විය. එහෙයින් ඔහු දුර්ලභ ගණයේ ජනමාධ්‍යවේදියයෙකි.

යුද්ධයක් පවතින විටදී ආයුද ගනුදෙනුවලින් ගසාකෑම ආගන්තුක අත්දැකීමක් නොවේ. ඒවා හෙලිදරව් කිරීම අවදානම් සහගතය. ආරක්ෂක බලධාරීන්ගේ ගොදුරු බවට පත්විය හැකි හෙයිනි. ඒ නිසා ජනමාධ්‍ය නිහඬ වෙයි. ලසන්ත ඒ අවදානමට බිය නොවීය.

එහිදී ඔහු භාවිත කළ භාෂාව සහ රීතිය සුමට එකක් නොවීය. කිසියම් වෛරී සහගත බවක් ද එහි විය...එහෙත් ප්‍රස්තුතයට අදාළ මූලාශ්‍රය එහි තිබුණි. මේ නිසා චූදිත පාර්ශ්වයට එය මග හැරයා නොහැකි විය.

මිග් යානා ගනුදෙනුවෙහිදී සිදුවී ඇති දූෂණ හෙළිදරව් කිරීම එම ගනුදෙනුවේ මහමොළකරුවා වූ ගෝඨාභය රාජපක්ෂගේ වෛරය ඇවිස්සීමට හේතුවිය. ලසන්ත තමාට විරුද්ධව අධිකරණයට යෑම ගෝඨාගේ වෛරය දෙගුණ තෙගුණ කළ බව පෙනේ.

ලසන්ත ඝාතනය කෙරුණේ මහජන මතය රණකාමයෙන් පිස්සු වට්ටා ඇති මොහොතකය. ඝාතනයෙන් පසු ජනාධිපති හදිසියේ ජාතිය ඇමතීය. යුද ජයග්‍රහන ගැන කී ඔහු රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් ඇති බවත් ලසන්ත ඝාතනය එහි පලයක් බවත් කීය. සතියක් ඇතුළත ඝාතකයන් අල්ලා ගන්නා බවත් කීය. රජයට තිබූ අසීමිත බලය අනුව එය වෙනත් පාර්ශ්වයකින් සිදුවූවා නම් සිදුවන දේ සිතාගත හැකිය.

මෑතදී එම පරීක්ෂණ අවසන් අදියරට පැමිණියේය. ලසන්තගේ චෝදනා සත්‍ය බව තහවුරු වී ඇත. ඉතිරි වගකීම ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවටය.

අපරාධකරුවන්ට දඬුවම් දීම යහපාලනයේ එක් පොරොන්දුවකි.... 62 ලක්ෂයේ ප්‍රාර්ථනාව එයයි. වෙන වෙන සම්මුතීන් ඔවුන්ට අදාළ නැත. නීතියට ඇඟිලි නොගැසීමේ ගුණය හොඳය. එහෙත් එය ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබිය යුතුය. එය ගමේ රම්බංඩාට මෙන්ම ඇමරිකාවේ රවුම් ගහන රදළයාටද සමාන අයුරින් ක්‍රියාත්මක විය යුතුය.

තිඹිරියාගම බණ්ඩාර

අදහස්