යහපාලනයේ තුන් අවුරුද්ද! | සිළුමිණ

යහපාලනයේ තුන් අවුරුද්ද!

 2018 වසර උදා වන්නේ අභිනව දේශපාලන කතිකාවක් සඳහා සාධනීය ප්‍රවේශයක් විවර කරමිනි. ඒ වූකලී ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව එළිදක්වමින් ජනාධිපතිවරයා ජනතාව අමතා කළ ප්‍රකාශයයි. එම දූෂිත ගනුදෙනුව හා ඒ පිළිබඳ මැදිහත් වීම් සිදු කළ බවට එජාපයේ පිරිසකට මෙන්ම එජාපයේ ආශීර්වාදය ඇතිව පත් වූ මහ බැංකු අධිපති ප්‍රමුඛ තවත් කීප දෙනකුට හා ආයතන කීපයකටද අධිචෝදනා නැඟෙමින් තිබිණි. මෙම චෝදනා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ජනතාව අතරද රැව් පිළිරැව් දෙමින් තිබුණු බව රහසක් නොවේ. මෛත්‍රී ජනාධිපතිවරයා ඒ ජනමතය හා චෝදනා සැලකිල්ලට ගනිමින් පත් කළ විශේෂ ජනාධිපති විමර්ශන කමිටුව විසින් ඉටු කරන ලද්දේත් ‍ඵෙතිහාසික කාර්යභාරයකි. මේ වන විට එම වාර්තාව නීතිපතිවරයාට භාරදී ඇති බවත්, එහි නිර්දේශ මත අපරාධ හා සිවිල් නඩු පවරා චුදිතයන්ට එරෙහිව ක්‍රියා කිරීමට හා ඔවුන් විසින් අහිමි කරන ලද සියලු මුදල් ආපසු අය කරගැනීමට තම ආණ්ඩුව කැප වී සිටින බවත් ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ ප්‍රකාශයේ හරය විය. මෙයට අමතරව පසුගිය පාලන සමය තුළ සිදු වූ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34ක් පිළිබඳ නීති පියවර ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

අභීත ප්‍රතිචාරයක්

ජනාධිපතිවරයා මෙබඳු අභීත දේශපාලන ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි යහපාලනයට සරදම් හා පරිභව කළ ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන් කිසිවකු අපේක්ෂා නොකළ බව කල්පනා කළ හැකිය. ජනාධිපතිවරයා ආසන්න අතීතයේදී කළ බොහෝ දේශපාලන කථාවල තේමාව බවට පත්ව තිබුණේ රටම වෙළාගත් දූෂණ හා එයට එරෙහිව නැඟුණු විරෝධයයි. 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව විසින් එදා පොදු අපේක්ෂකයා ලෙස රාජපක්ෂ ආධිපත්‍යයට අභියෝග කළ මෛත්‍රීට මේ රට භාර කරන ලද්දේ දූෂණයෙන්, භීෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ සමාජයක් බිහි කරගැනීමටය. ජනවාරි 08 වැනිදා කුළු ගන්වන ලද එම ජනතා ප්‍රාර්ථනාව යථාර්ථයක් කිරීම සඳහා මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුවට අධිෂ්ඨානයක් තිබිණි. එහෙත් එය ක්‍රමයෙන් දිය වී මැකී යන දේශපාලන අඳුරක යළිත් රට හිර වන පසුබිමක් ඇති වූයේ කෙසේද? පෙරළා දැමූ දූෂිත පාලන ක්‍රමය සහමුලින්ම ඉවත් කර, රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කිරීමට පක්ෂ දෙකෙන්ම අත්‍යවශ්‍ය සහාය නොලැබීම එයට බලපෑ එක් හේතුවක් විය. මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිය නියෝජනය කළ පිරිසේ වුවද පූර්ණ කැපවීමක් එහිදී මෛත්‍රී ජනාධිපතිවරයාට නොලැබිණි.

බොහෝ ප්‍රාමාණික දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයන් විසින් ඉදිරිපත් කරන ලද තවත් විවේචනයක් වූයේ එජාපය අනුගමනය කළ නව ලිබරල්වාදි ආර්ථික ක්‍රමය අසාර්ථක වූ බවය. අගමැතිවරයාගේ දේශපාලන සබඳකම් අනුව ආර්ථිකය මෙහෙයවූ කුඩා කණ්ඩායමක් බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයටද ලක් වූහ. එසේම රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වූ චෝදනා කිසිවක් තහවුරු කරගැනීමටද යහපාලන ආණ්ඩුව අසමත් විය. පියවර කීපයක් පසුපසට ගිය රාජපක්ෂවරුන්ට ක්‍රමයෙන් ජනතාවගේ අවධානය දිනාගැනීමටද එය හේතු විය. රාජපක්ෂ පාර්ශ්වය අලුත් හුස්මක් ගෙන මේ ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති පතුරු ගසන්නට විය. දූෂිතයන් රැළකට මැදි වී සිටින පාලනයකට දූෂණ වංචා සම්බන්ධයෙන් කථා කළ හැකිද යන සදාචාරාත්මක ප්‍රශ්නය ජවිපෙ ඇතුළු සමහරු නැඟූහ. මහ බැංකු බැඳුම්කර සිද්ධිය එජාපය දුර්මුඛ කළ ප්‍රබල තුරුම්පුවක් සේ භාවිත කළ සමහරු මෛත්‍රී පාර්ශ්වයටද නොයෙක් අභියෝග කළහ. ජනාධිපතිවරයාගේ අභීත ප්‍රතිචාරය වූයේ ජනතා විවේචන එල්ල වූ මුදල් ඇමැතිවරයා වුවද එම ධුරයෙන් නෙරපා හැරිය යුතු බවය. දේශපාලන කේෂ්ත්‍රය තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් රවි කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව බෙහෙවින් බරපතළ විය. ජනමාධ්‍ය පමණක් නොව, මහජනයා අතරද ඔහුට පළ වූයේ දැඩි විවේචන හා විරෝධතාවකි. මේ පසුබිමෙහි රවි කරුණානායක ඉල්ලා අස් වුවද ඔහු විසින් ආණ්ඩුවට මෙන්ම තම පක්ෂයටද එක් කරන ලද කළුපැල්ලම මකාදැමිය නොහැකි විය. ජවිපෙ වේදිකාවල රවි හා කොමිසම අතර වූ ප්‍රශ්න කිරීම් උත්ප්‍රාසාත්මක ප්‍රහසනයක විලාසයෙන් ඉදිරිපත් වූ ආකාරය රටම බලා සිටියේ හාස්‍යය මුසු චමත්කාරයකිනි. ඔහු විසින් දෙන ලද සාක්ෂි අසත්‍ය හා කොමිසම නොමඟ හැරීමක් බව ඒවා දුටු කාටත් පසක් විය. අල්ලස් හා දූෂණ පනත යටතේ රවි කරුණානායකට නඩු පැවරීමට හා අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන්ද දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය යුතු බව කොමිසන් සභා වාර්තාව නිර්දේශ කර තිබීමෙන්ද එය තවත් තහවුරු වේ.

‘ශ්‍රී ලංකා මහ බැංකු මගඩිය’ ලෙස හැඳින්වෙන එම දූෂිත ගනුදෙනුව රටට හෙළි කළ යුතුය යන ස්ථාවරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුල සිටම දැරූ ස්ථාවරය විය. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා මෙම කොමිසම පත් නොකළේ නම් මේ සිද්ධිය යට යනු ඇති බවද අප මතක තබාගත යුතුය. අද දේශපාලනය මුහුණ දී සිටින බරපතළ අභියෝගය වන්නේද නීතිය හා බලය අතට ගනිමින් බොහෝ ආයතනවල සිදු කෙරෙන දූෂණයයි. මහජන මුදල් තම සුඛ විහරණය සඳහා යොදාගැනීම මෙන්ම තම සනුහරය සිටුවරුන් බවට පත් වීමට දේශපාලනයට තිබෙන බලය ඇලඩින්ගේ පුදුම පහනටත් නැති බව කවුරුත් දනිති. ඉතා සාමාන්‍ය ජීවිත ගත කළ සමහරු දේශපාලනයේ අනුහසින් ධනකුවේරයන් බවට පත්ව සිටිති. මේ බොහෝ දෙනකුගේ වත්කම් දේශපාලනය තුළින්ම උපයාගත් දේවල් බවට දැඩි විවේචන තිබේ. සමහර මැති-ඇමැතිවරුන්ගේ හිතුවක්කාර පුතුන් සමාජ ශාලාවල එක් රාත්‍රියකට වියදම් කරන මුදල රුපියල් ලක්ෂ ගණනකි. දේශපාලනය දූෂණයට, භීෂණයට, වංචාවට ලැබෙන බලපත්‍රයක් බවට පත් වූ සමාජ ක්‍රමයක් අද ගොඩනැඟී තිබේ. හැම ආණ්ඩුවකම මැති-ඇමැතිවරුන්ගේ නාස්තිකාර වියදම් ගැන කෙබඳු විවේචන එල්ල වුවත්, ඒවා නැති කිරීමට තබා අඩු කරගැනීමට හෝ අසීරු වී තිබේ. පවුල්වාදය, ඥාති සංග්‍රහය කිසිදු හිරිකිතයකින් තොරව දේශපාලනය හා සම්බන්ධ වී තිබෙන බව කවුරුත් දනිති.

මෙම ගර්භිත දේශපාලන අසංස්කෘතියට මානුෂික මුහුණුවරක් දීමට ජනාධිපතිවරයා දරන ප්‍රයත්නය ඉතා පැහැදිලිය. පුතුන්ට ඔටුනු පලඳවන හෝ දේශපාලන පවුලක් නිර්මාණය කිරීමේ අභිලාෂයක් ජනාධිපතිවරයාට නැත. ජනතාවද ඔහුගේ ඒ උතුම් ගුණය ඉඳුරා දනිති. එහෙත් ඔහුට ක්‍රියා කිරීමට සිදු වී ඇත්තේ එබඳු දුර්දාන්ත අමන දේශපාලන වාතාවරණයක් තුළය. ඇත්ත වශයෙන්ම අද මේ රට මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න ඉරණම එයයි. පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් භගවත් ගීතාව උපුටා දක්වමින් තම කඩුවට කැපෙන්නේ කවුරුන්ද යන්න තමන් නොබලන බවට ප්‍රකාශ කළේද මේ දූෂිතයන් කෙරෙහි උපන් කලකිරීමෙන් බව නිසැකය. ප්‍රතිපත්ති හා දර්ශනය අතර මෙන්ම දේශපාලන සාරධර්ම අතින්ද අහසට පොළොව මෙන් වූ කණ්ඩායම් දෙකකට මැදි වී සමබර දේශපාලන ගමනක් යාම කෙබඳු අභියොගයක්දැයි කිව යුතු නැත. ජනාධිපතිවරයා යනු තමන්ට හිමි වී තිබෙන බලය පවා නිර්ලෝභීව අත්හල විශිෂ්ට නායකයෙකි. එබඳු දේශපාලන පරමාදර්ශයක් ශ්‍රී ලංකාවේ තබා ලෝක ඉතිහාසයේවත් නැත. හිටපු ජනාධිපතිවරයා දෙවරක් ජනාධිපතිධුරය හොබවා යළිත් සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සිටියි. එයට නීති අවහිරයක් නැති බව සත්‍යයකි. එහෙත් එයින් තහවුරු කර තිබෙන දේශපාලන දුගීභාවය කෙබඳුද?

කෙසේ වුවද ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මේ ආණ්ඩුව රැකගැනීම සඳහා දැඩි කැප වීමකින් හා අවබෝධයකින් ක්‍රියා කළත් එජාපය හා ශ්‍රීලනිපය අතර පවත්නා සනාතන නොපෑහීමේ දෝෂය අද පක්ෂ දෙකම එකිනෙකා විවේචනය කරගන්නා විලාසයෙන්ද පිළිබිඹු වේ. එජාපයේ ගජ මිතුරු ක්‍රියාකාරකම් මැඬලීමට හැකි වී තිබෙන්නේද මෛත්‍රී ජනාධිපතිවරයා ඔවුන්ට නතු කර ගත නොහැකි දේශපාලන චරිතයක් වීම නිසා බව නිසැකය. ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවීමේ යතුර අගමැතිවරයාගේ සමීපතම කීප දෙනකුට ලබා දීම වෙනුවට ඒ සඳහා විශේෂ ආර්ථික කොමිසමක් පත් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ මේ පසුබිමෙහිය.

ආර්ථික කොමිසමක්

තතු මෙසේ වුවද අද මෛත්‍රීගේ ශ්‍රීලනිපයට මෙන්ම රනිල්ගේ එජාපයටද අවශ්‍ය වී ඇත්තේ වෙනම ගමනක් යෑම බව පෙනේ. කෙසේ වෙතත් දූෂණයට, වංචාවට ඉඩදී ඉවත බලා සිටීමට මෛත්‍රී ජනාධිපතිවරයා සූදානම් නැති බව ඔහුගේ පදවි ප්‍රාප්තියේ තෙවන සංවත්සරයට එළඹෙන මේ මොහොතේදී පැහැදිලිව තහවුරු කර ඇත. එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂයෙන් වුවද දූෂිතයන් ඉදිරිපත්ව සිටිත් නම් ඔවුන් ගමේ පුංචි ආණ්ඩුව සඳහා තෝරා නොගත යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ. ශ්‍රීලනිපයේ එක් පාදයක් තබාගෙන තමන්ගේ ඡායාරූපය නැත හොත් හිමිකම පොහොට්ටුවටයැයි කියන හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා අතර දේශපාලන සහ සබඳතාවක් ඇති වනු ඇතැයි සිතිය නොහැකිය. මහින්ද පාර්ශ­්වයේ බොහෝ දෙනෙකුට මහින්දගෙන් තොර දේශපාලන පැවැත්මක් නැත. එහෙත් එතැනින් මිදී එන සමහරුන් ප්‍රකාශ කරන්නේ මෛත්‍රී ජනාධිපතිවරයා සමග මේ රට සුරැකීමේ ජාතික වගකීමට තමන් බැඳී සිටින බවය. පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැස්ව සිටි පළාත් පාලන මැතිවරණ තරග අපේක්ෂකයන් අමතා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රීලනිප නායකත්වය කිසිවිටෙක තම පවුලට හිමි නොවන බවය. මෙය රාජපක්ෂවරුන්ගේ පවුල්වාදී දේශපාලනයට එල්ල වූ යකුළු පහරක් වැන්න. එළඹෙන පෙබරවාරි 10 වනදා පුංචි ආණ්ඩුව තෝරාගැනීමට ඡන්ද පොළට යන ජනතා මනස තුළ මෙබඳු ප්‍රකාශ කෙබඳු බලපෑමක් කරනු ඇද්දැයි දැන්ම කිව නොහැකිය. ඒ මොනවා වුවත් රාජපක්ෂවරුන්ට මුවා වී ප්‍රාදේශීය දේශපාලනය දුගඳ හමන නරකාදියක් බවට පත් කරගත් කිසිවකුට ජනාධිපතිවරයා සමග ඒ වර්ගයේ ‘දේශපාලන ආතල්’ ගත නොහැකි බව ගමේ ආණ්ඩුව තෝරා පත් කරගන්නා ගමේ යහපත් මිනිසුන් මෙන්ම සදාචාරාත්මක හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයක් ප්‍රාර්ථනා කරන සියල්ලෝම දනිති. ජනාධිපතිවරයාගේ තුන් අවුරුදු ශේෂ පත්‍රයෙන් ගිලිහී ගිය බොහෝ දේශපාලන අපේක්ෂාවන් ඉතිරි වී තිබෙන කාලය ඇතුළත යථාර්ථයක් බවට පත් වනු ඇතැයිද ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති.

සුමේධ ජයබාහු

අදහස්