මෛත්‍රී සහ ජනවාරිය | සිළුමිණ

මෛත්‍රී සහ ජනවාරිය

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාට ආවේණික රිද්මයකින් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් සිටියි. මහින්ද රාජපක්‍ෂ කොන්තය එල්ලාගත් ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන උපක්‍රමයක් ලෙස පුංචි ඡන්දය ඉල්ලා කැරලි ගැසූහ. ඔවුන්ට අවශ්‍ය වුණේ පළාත් පාලන ඡන්දය ලබාගැනීමේ ගෞරවය අත්පත් කරගැනීමය. ජනාධිපති මෛත්‍රී මැතිවරණ සටන පටන් ගත්තේ වීරවංශගේ දේශපාලන ශරීරයෙන් පදාසයක් ගලවා ලයිට් කණුවක එල්ලීමෙන් අනතුරුවය. ඒ හරහා පිල් මාරු කර, තම ශක්තිය පෙන්වීමේ ගතික ස්වභාවයක් මැතිවරණ සටනට ආරෝපණය කිරීමට, මෛත්‍රී සමත් විය. මෛත්‍රීපාල සිරිසේන තමා විවෘත කළ එකී මාවතේ හැල්මේ ගමන් කරමින් සිටියි. පිල් මාරු සෙල්ලමට ප්‍රතිප්‍රහාර දැක්වීමට නිමල් ලංසා තෝරාගැනීමෙන් මහින්ද මහා කුණුගොඩක් අවුස්සාගත්තේය. ආණ්ඩුවෙන් දහයක් ගන්නා බවට පාරම් බෑ මහින්ද රාජපක්‍ෂ තවමත් නිමල් ලංසාගෙන් එහාට අඩියක් හෝ තැබීමට සමත්ව නැත. මේ එකක් හෝ අහඹු නොවේ; මෛත්‍රී මැතිවරණය අත්පත් කරගත් ආකාරය බවට සැක නැත.

මෛත්‍රීගේ ඊළඟ පියවර වුණේ මොරගහකන්ද නිම කිරීමේ ප්‍රීතිය භුක්ති විඳීමය. එහි දී ඔහු යෙදූ උපක්‍රමය බෙහෙවින් ආකර්ෂණීය එකකි. ඒ එජාප-ශ්‍රීලනිප දෙගොල්ලන්ටම එක්ව සැමරිය හැකි ශක්තිමත් ඓතිහාසික නිමිත්තක් තෝරාගැනීමය. එජාප පාලන යුගයේ කඩිනම් මහවැලි සංවර්ධන සැලැස්මේ පංච මහා ජලාශ ඉලක්ක සපුරාගත නොහැකි විය. වැඩසටහනේ සුවිසාලම ජලාශය වූ මොරගහකන්ද ව්‍යාපාරයට අත තැබීමට හෝ එජාපය අසමත් විය. එකී මොරගහකන්ද ව්‍යාපෘතිය නිම කරමින් තම පාලනය අතර, හෙතෙම කඩිනම් මහවැලි වැඩසටහන නිම කිරීමේ ගෞරවය දිනා සිටී. ලංකාවේ දැවැන්තම සංවර්ධන වැඩසටහන නම් සහාය දිවිල්ලේ ආරම්භක යෂ්ටිය අතැතිව සිටියේ ගාමිණි දිසානායකය. එහි අවසන් ඉසව්ව මෛත්‍රී නිම කළේ එජාප නායකයන්ගේද අත්පොළසන් මධ්‍යයේය.

දසක ගණනක් එක්ව සිය ආදරණීය පක්‍ෂය අතැර දේශපාලනයෙහි හුදෙකලා වූ මෛත්‍රි ඔසවා තැබුවේ ජයග්‍රාහි ජනවාරි 8 වැනිදාය. ඔහු සිය ජයග්‍රහණයෙන් වසර තුනක් සපිරෙන තවත් ජනවාරි 8 වැනිදාවක තවත් ජයග්‍රහණයක් සටහන් කළේය. ඒ මොරගහකන්ද ජලාශය ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ නමින් කැප කිරීමය. මහජන මුදල් වැය කොට නිමවන රටේ සංවර්ධන ව්‍යාපාර සිය පැලැන්තියේ අම්මාගේ අප්පාගේ නම්වලට වෙන් කරගැනීමේ අප්‍රසන්න අභ්‍යාසය ශ්‍රීලනිපය බෝ කළ රෝගයකි. මේ රෝගය බෝ වුණේ බණ්ඩාරනායක ඝාතනය සමඟය. එහි කෙළවර 'මහ රජාණෙනි' ගීය ගායනා කළ සහේළි නමින් මහරගම පැත්තේ පාරක් නම් කෙරිණි.

කාසල්රී, ලක්‍ෂපාන ආදි මහා විදුලිබල ව්‍යාපෘතීන්ට එකී නම් ලැබුණේ ඒවා පිහිටි ප්‍රදේශ නිසාය. ජල විදුලි ක්‍රමයේ පියා වූ ඩීජේ විමලසුරේන්ද්‍ර නමින් ජලාශයක් නම් කෙරුණේ මෑතදීය. රාජ්‍ය ව්‍යෘපෘති නාමකරණය පිළිබඳ අතීත භාවිතය එබඳු විය. 1956ට පසුව එය වෙනස් විය. කොළඹ වේල්ස් කුමාර වීදිය, මහනුවර පේරාදෙණිය පාර සිරිමාවෝ බණ්ඩාරනායක නමින් විවෘත විය. කටුනායක ගුවන් තොටුපොළ බණ්ඩාරනායක නමින් බවුතීස්ම කෙරිණි.

මහින්ද රාජපක්‍ෂ යුගයේ ඉදි කළ පාසල් විද්‍යාගාර 'මහින්දෝදය' වුණේද ඒ වැරදි අභ්‍යාසය අනුවය. ජනතාවගේ රුපියල්-සත වැය කර තැනූ පොදු වැඩ සහ ඉදි කිරීම් තමා නමින් නම් කර විවෘත කිරීමේ අවිචාර දේශපාලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 8 වැනිදා අවසන් කළ බව ඉතිහාසය සටහන් කරනු ඇත. මේ සංසිද්ධිය "ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂට රාජ්‍ය ව්‍යාපාර සඳහා සිය නම තබාගැනීමට පැවැති අයිතියද අහිමි කළේය" යනුවෙන් සමාජ මාධ්‍ය විග්‍රහ කර තිබිණ.

පොදු ව්‍යාපෘති සඳහා ජීවමාන දේශපාලනඥයන්ගේ නම් යෙදීම ගැන අපූරු අත්දැකීම් අප සතුව ඇත. වැලිඔය ඉදි කළ ජනාවාසයක් ඟාමිණි දිසානායක පුර' ලෙස නම් කිරීමට නියමිතව තිබිණි. උත්සවය ආරම්භ වීමට පෙර, ප්‍රදේශවාසීහු සිය ජනාවාසය 'ජානක පුර' නමින් හැඳින්වීමට එඩිතර වූහ. එය ඇසූ ගාමිණි දිසානායක කීවේ එය ජනතා කැමැත්ත විය හැකි බවය. මෙහි දැක්වෙන 'ජානක' යනු සෙන්පති ජානක පෙරේරාය. කොළඹ ජාතික කලා භවන ඉදිරිපිට පාර ආචාර්ය 'ආනන්ද කුමාරස්වාමි මාවත' නමින් නම් කර තිබිණි. රටක් එරෙහි වෙද් දී මහින්ද රාජපක්‍ෂ ඒ මාවත 'නෙළුම් පොකුණ මාවත' ලෙස වෙනස් කිරිමට නිර්ලජ්ජී විය. ජනවාරියට පසුව නැවත ඒ මාර්ගය 'ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මාවත' ලෙස නම් කෙරිණි. මහින්ද රාජපක්‍ෂ යුගයේ රට පුරා අඩි පාරවල් මතු නොව, වැසිකිළි පවා මහින්ද රාජපක්‍ෂ නමින් හැඳින්වීමේ තත්ත්වයක් උදාව තිබිණි. ජනාධිපති පදවියට පත් මෛත්‍රීපාල සිරිසේන බොහෝ ස්ථාන සහ ව්‍යාපෘතිවලට නව නම් තබා ඇත. තමා ජීවත් වන ප්‍රදේශයට පිවිසෙන 'පැජට් පාර' ඔහු වෙනස් කළේය. ඒ සඳහා මෛත්‍රී තැබුවේ 'මහගම සේකර' නාමයයි.

මේ සියලු තක්සේරු කිරීම්, විග්‍රහයන් අතර 'ශක්තිමත් එජාපයට මොරගහකන්ද ව්‍යාපෘතිය නිම කිරීමට නොහැකි වුණේ ඇයි?' යන්න විමසා බැලීම වැදගත් වේ. ගාමිණි දිසානායක මහවැලි සංවර්ධන ඇමතිව සිටිය දී 'ඉසුර' නම් සඟරාවට පංච මහා ජලාශ ගැන කවරයේ කතාවක් කිරීමට සැලසුම් කෙරිණි. 'ඉසුර' සඟරාව මහවැලි සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉංජිනේරු උපදේශන කාර්යාංශය යටතේ නිකුත් විය. මේ කියන කාලයේ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) සභාපතිව සිටියේ ආචාර්ය ඒඑන්එස් කුලසිංහ ය. තවත් කිහිප දෙනෙකුත්, මේ ලියන මමත් පංච මහා ජලාශ ගැන ලිපියක් සඳහා අවශ්‍ය තොරතුරු සහ ඡායාරූප ලබාගැනීමට සංවර්ධන කලාපයේ සංචාරය කළෙමු. ඒ වන විට හැම වැඩබිමක්ම කඩි ගුලක් මෙන් නොනිඳා කඩිනම් මහවැලිය වෙනුවෙන් සක්‍රියව තිබිණි.

එහෙත් පංච මහා ජලාශයෙන් එකක් වූ මෙරගහකන්ද පිහිටි ප්‍රදේශය පැවතියේ වනගතවය. කෝන්ගහවෙල ඇළහැර අතර, පාළු මාර්ගයේ තැනකින් වමට හැරී අපි කැලය තුළට ඇවිද ගියෙමු. කුඩා කඳුගැටයක් දෝනාවක් සේ හාරා ලී මුක්කු ගසා තිබෙනු අපට දැකගත හැකි විය. ඒ හැර වෙනත් කිසිදු ඉදි කිරීමක් හෝ සූදානමක් හෝ එහි දක්නට නොතිබිණි. අපි එකිනෙකාගේ මුහුණ බලාගතිමු. එපමණකි. අපි දෝනාවක් ලෙස කණින ලද ස්ථානයෙහි ඡායාරූපයක් ගෙන හැරී ආවෙමු. ඒ ඡායාරූපය 'ඉසුර' සඟරාවේ මුල් පිටේ අනෙක් ජලාශ වැඩබිම්වල ඡායාරූප සමඟ පළ විය. එදවස 'ඉසුර' සඟරාවේ ප්‍රධාන කර්තෘව සිටි ශිවපාල බණ්ඩාර ඇතුළු බොහෝ දෙනකු අද අප හැර ගොස්ය. සමහර විට ජීවතුන් අතර, සිටින්නේ සුගත් වටගෙදර සහ මා පමණක් විය හැකිය. සුනිල් එදිරිසිංහ ඒ වන විට ඉසුරට එක්ව සිටියේ නැත.

මේ අතීත මතකය අවදි කළේ කිසි විටෙකත් මොරගහකන්ද ව්‍යාපෘතිය නිම කිරිමේ වුවමනාවක් හෝ හැකියාවක් එදවස නොතිබුණු බව තහවුරු කිරීමටය. ඊට බොහෝ හේතු-කාරණ තිබිණි. ඉතිහාසය බොහෝ සෙයින් කාරුණිකව සිටී. 'එදා' ප්‍රතිවාදීන්ව සිටි ශ්‍රීලනිපය සහ එජාපය 'මෙදා' එක්ව පංච මහා ජලාශ නිම කිරීමේ සතුට භුක්ති වින්දාහ. මොරගහකන්ද ඉදි නොවූ නිසාම ඉතිහාසය විසින් යටපත් කළ NCP Canal හෙවත් උතුරු මැද ඇළ යළි නිර්මාණය වී වව්නිකුලම් තෙක් ගලා යමින් කෙත් බිම් සරු කරනු ඇත. ඒ යන අතරමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිය ගණනක් වැව්ගම්වල කඹුරු මොරගහකන්ද ජලාශ දියෙන් කිරිවැදෙනු පැසෙනු ඇත.

හෙට දවසේ රන්බණ්ඩලා රත්නම්ලා කාන්තිලා කනකේශ්වරීලා ඒ ඇළේ දියබුං ගසනු ඇත. වතුර හිඟ වූ දවසක එකම අරමුණක් වෙනුවෙන් ඒ මහා ඇළ දෙපස සිංහල දෙමළ ජනතාව එක්ව බලධාරීන්ට විරෝධය පානු ඇත. සත්තකින්ම මොරගහකන්ද ජලාශය ඉදි කිරීම පමා වුණේ ජනවාර්ගික හේතු නිසාය. ඒ වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහදිවුල්වැව ප්‍රදේශයේ කුඩා වාරිමාර්ග ව්‍යාපෘතියක් නිම වෙමින් තිබිණි. එයින් අස්වැද්දෙන ගොවිබිම් ජනවාර්ගික අනුපාතය අනුව බෙදා දෙන ලෙස විපක්‍ෂ නායක ඒ අමිර්තලිංගම් ලෝක බැංකුවට බලපෑම් කරමින් සිටියේය. මේ වර්ගවාදි මැදිහත් වීම නිසා මොරගහකන්ද ව්‍යාපෘතිය අතහැර දැමීමට, එවකට බලධාරීන් තීරණය කර තිබිණි.

මේ ඉතිහාසය හරහා මෛත්‍රීපාල සිරිසේන සිදු කළේ උතුර, දකුණ සමඟ එක් කිරීමකි. බොහෝ තැන්වල පළාත් භූමින් ගම් සහ ජනතාව එක් කරන්නේ පාලම්වලිනි. මෛත්‍රී මහා ඇළක් නිර්මාණය කරමින් උතුර - දකුණ එක් කිරීමට ගත් උත්සාහයද පටු දේශපාලනයෙන් එපිටට ගිය කතාවක් වනු නියතය.

මේ ඓතිහාසික දින කිහිපය දුර්වර්ණ කළ සිද්ධියක් ගැනද සටහනක් තැබිය යුතු වේ. එසේ නොවෙයි නම් මෙය හුදු ප්‍රශස්තියක් වනු නියතය. ජනවරි 8 වැනිදා උදෑසන මොරගහකන්ද ජලාශය ආචාර්ය ඒඑන්එස් කුලසිංහ නමින් කැප කළ මෛත්‍රී ඊට හෝරා කිහිපයකට පෙර රාජගිරියේ ගුවන් පාලම සෝභිත හිමි නමින් නම් කළේය. මේ වන විට ඒ ක්‍රියාව ඍණාත්මක කතිකාවතකට මුල්ව ඇත. ගුවන් පාලම සෝභිත හිමි නමින් නම් කිරීම නරක ආරංචියක් වුණේ රාජපක්‍ෂ යුගයේ හොරුන් වංචනිකයන් තවම රට අස්ථාවර කරමින් නිදැල්ලේ හැසිරෙන බැවිනි. මෛත්‍රී දිනවීමට කැප වූ කිසිදු යූඇන්පීකාරයකු බැඳුම්කර කොමිසම හා බැඳුණු කිසිදු ක්‍රියාවක් ගැන මෛත්‍රීට වෛර කරන්නේ නැත. ප්‍රශ්නය වී ඇත්තේ සම්මුතියේ නමින් ජනවාරි ජයග්‍රහණය කෙලෙසමින් හැසිරෙන අය පාලනය නොකිරීම ගැනය.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.