මේ වගේ සම්මුතියක් ලෝකෙ කොහේවත් නෑ | සිළුමිණ

මේ වගේ සම්මුතියක් ලෝකෙ කොහේවත් නෑ

මෙවර මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔබගේ බලයේ යම් අඩුවීමක් තිබෙනවාද?

කිසිම අඩුවීමක් නැහැ. මේ වන විට ඉතා හොඳින් මැතිවරණ ව්‍යාපාරය කෙරී ගෙන යනවා. එකම දෙය වෙනත් වාරයන්හි වගේ ගැටලු, ගැටුම් නැහැ. එම නිසා උණුසුම්කාරී වාතාවරණයක් පෙනෙන්නට නැහැ. ඒ තත්ත්වය රටක් ලෙස ඉතාම වැදගත් වනවා.

එසේ වුවත් ඔබ නියෝජනය කරන ප්‍රදේශයේ ඉහළ ගංඟා උපයෝගී කරගෙන ජලාශ ඇති කිරීමේ වෑයමක් සම්බන්ධයෙන් ජනතාව යම් කළකිරීමකින් නොසන්සුන් බවකින් සිටින බව දැන ගන්නට ති‍බෙනවා.

ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ගැන තරමක් විස්තර කළ යුතුයි. මුදල් ඇමැතිතුමා අයවැය කතාවේදී පැවසුවා ගංවතුර පාලනය පිණිස ගංගා ඉහළ ප්‍රදේශයේ අතු ගංගා කිහිපයක ජලාශ තැනීමේ යෝජනාවක් ගැන. විශේෂයෙන්ම කැලණි ගඟ සමබන්ධව මේ යෝජනාව ගැන සඳහන් වුණා.

එසේ වුවත් මම මේ ගැන ජනාධිපතුමා විශේෂයෙන්ම දැනුවත් කරා. එහිදී මා පෙන්වා දුන්නා, නාය යාමට ලක්වන ප්‍රදේශයක් බැවින් කෑගල්ල හා සම්බන්ධ ඉහළ ගංඟා ප්‍ර දේශවල මෙවන් යෝජනාවන් ක්‍රියාත්මක කළ නොහැකි බව. එසේම මේ වන විට කෑගල්ල දිස්ත්‍රිත්කය ජනගහනයෙන් ශීඝ්‍ර ලෙසින් ඉහළ ගොස් තිබෙන බවත් මා පෙන්වා දුන්නා.

ජනාධිපතිතුමා ඒ බව තේරුම් ගෙන මුදල් ඇමැතිවරයාටත් ඒ සම්බන්ධව දැනුවත් කළා. ඒ අනුව මුදල් ඇමැතිවරයා අය වැය පිළිතුරු කතාවේදී පැහැදිලිව ප්‍රකාශ කළා එවැන්නක් ක්‍රියාත්මක නොවන බවට. එසේම කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධව කතා වූ අවස්ථාවේදීත් එවැන්නක් නොකරන බවට සහතික ව තිබෙනවා.

එසේ වුවත් බංකොළොත් ‍දේශපාලනය කරන අයට මේ වගේ කරුණු ලොකු දෙයක්. එවැනි මවාපෑම් හරහා හෝ ජනතාවගේ ඡන්ද ලබා ගන්නයි ඔවුන්ට අවශ්‍ය වන්නේ.

ඇත්ත තත්ත්වය ජනතාවට එකවර සොයා ගැනීමට නොහැකි තොරතුරු සහිත සිදුවීම් එවැනි ‍ දේශපාලකයන්ට හොඳ පල්ලමක් වෙලා. කැබිනට් මණ්ඩලයේ තීරණයක් රැගෙන තිබියදීත් ඒ ගැන අසත්‍ය ගොඩනඟමින් සිටින්‍නේ අලුත් සංකල්පයක් ජනතාවට ලබා දෙන්න වෙනත් දෙයක් නැති දේශපාලන කණ්ඩායම් බව විශේෂයෙන්ම කිව යුතු වනවා.

මේ මැතිවරණයේදී බෙදී වෙන්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවාසි දායක වූ බවක් පෙනෙන්නේ නැද්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන ඉතාම ‍හොඳ ධනාත්මක ලෙසින් තිබෙනවා. දිනෙන් දිනම මැතිවරණ ව්‍යාපාරය ඉතා හොඳින් ක්‍රියාත්මක වනවා. ඇතැම් දේශපාලන පක්ෂ දිනෙන් දිනම ආපසු ගමන් කරනවා. තවත් පක්ෂ පටන් ගත් තැනමයි. නමුත් අ‍පේ පක්ෂය දිනෙන් දිනම ඉහළටයි ගමන් කරන්නේ.

කොහොම වුණත් මේ වෙනකොට මැතිවරණය ඉලක්ක කරගෙන ආණ්ඩුව කරන ප්‍රධාන පක්ෂ දෙක අතර යම් යම් හැළ හැප්පිම් තිබෙන බව පේනවා.

මේක ඇත්තෙන්ම අලුත්ම අත්දැකීමක්. එකට ආණ්ඩු කරන පක්ෂ දෙකක් බෙදී වෙන් වෙලා මැතිවරණයට තරග කිරීම. මම හිතන්නේ ලෝකෙ කොහේවත් ‍මේ වගේ අත්දැකීමක් නැතිව ඇති. කොයි කවුරුත් බලන්නෙ තමන්ගේ පක්ෂය දිනවන්න. ඒ සඳහා උපරිම ශක්තියෙන් කටයුතු කරනවා‍. එහිදී ඇති වන මත ගැටුම් ගැන අපි කලබල විය යුතු නැහැ. මේක අලුත්ම දේශපාලන සංස්කෘතියක්. හොඳින් මතක තබා ගත යුත්තේ ගමන් මාර්ග දෙකක යන පක්ෂ දෙකක එකතුවක් මේ. ඒ අතින් අපි ලෝකයටම ආදර්ශයක් ලබා දී තියෙන්නේ.

එසේ වුණත් පාර්ලිමේන්තුවේ සිදුවන ගහ ගැනීම් වලින් ලැබෙන්නේ වැරැදි ආදර්ශයක් බව ඔබ පිළි ගන්නවාද?

ඒ ගැන කතා කරන්නත් ලැජ්ජයි. අපි යළිත් ම්ලේච්ඡ යුගයට ගිහින් වගේ. අපි වැදගත් මහත්වරුන් ලෙසින් හැසිරෙන්න ඉගෙන ගත යුතු වනවා. ගෝත්‍රික සමාජයේ ශක්තිය බලය ඇති තැනැත්තන් ක්‍රියා කළ අයුරින් අප ක්‍රියා කරනවානම් අපේ ආදර්ශය ගැන අප කනගාටු විය යුතුයි. ලැජ්ජා විය යුතුයි. අනෙක් කරුණ මේ පළාත් පාලන මැතිවරණය සමයේ අපේක්ෂකයන් වන පසුපෙලින් එන අයට අප ලබා දෙන ආදර්ශය කුමක්ද යන්න ගැන අපි හොඳින් කල්පනා කාරී විය යුතු වනවා. ව්‍යවස්ථාදායකය කියන්නේ වාද විවාද කරමින් බහුතර මතයට හිස නමන තැනක් මිස බලය පාවිච්චි කරන තැනක් නොවන බවට අප සිහි තබා ගත යුතු වනවා‍. ඉවසීමක් විනයක් නැතිකමයි මේ සියල්ලටම මුල් වෙන්නේ.

පළාත් පාලන මැතිවරණයේදීත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වාර්තා වනවා. මේ වන විට පැමිණිලි සිය ගණනක් පොලිසියට හා මැතිවරණ කොමිසමට යොමු වී තිබෙනවා.

සියල්ලම එක රැයින් අවසන් කරන්න බැහැ. මේ වන විට ක්‍රමයෙන් ඒ සියල්ල අවසන් වෙමින් පවතින්නේ. ඉදිරි මැතිවරණ දෙකක් පමණ පවත්වන විට ඒ සියල්ල අඩු වී යයි. අපි පුහුදුන් ජනතාවක්නේ. හැමෝම ජයග්‍රහණය කරන්නයිනෙ එන්නේ. කොහොම වුණත් නව ක්‍රමය යටතේ මනාප පොරයක් නැති නිසා එකම පක්ෂයෙ අය අතරේ ගැටුම් නොමැති වී තිබෙනවා‍. තිබෙන යම් යම් ගැටලුත් ඉදිරියේදී නිරාකරණය වෙයි.

බැඳුම්කර ප්‍රශ්නය නිසා ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ දෙක සම්බන්ධව ජනතාව දක්වන ප්‍රතිචාරය ගැන හිතන්නේ කුමක්ද?

ඒ ප්‍රශ්නය සොයා බලන්න ජනාධිපතිවරයා කොමිසමක් පත් කළා. දැන් එහි වාර්තාව ලබා දුන්නා. ජනාධිපතිතුමා ඒ ගැන පැහැදිලි විශේෂ ප්‍රකාශයක් කළා. දැන් ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු කරන්න නීතිපතිට යොමු කර තිබෙන්නේ. සියල්ල නිසි පරිදි නීත්‍යානුකූලව සිදු කර තිබෙනවා. ඒ ගැන කිසිම අයෙක් කළබල විය යුතු නැහැ. නීත්‍යානුකූලව කටයුතු නොකළානම් තමයි ඒ ගැන ජනතාව විමසිලිමත් වන්නේ.

අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව ආරංචියි.

මැතිවරණ කාලෙදි මොනවා හරි අල්ලාගෙන වාසියක් ගන්න සමහර අය උත්සාහ කරනවා. මීට කලින් මැති ඇමැතිවරුන් කී දෙනෙකුට විශ්වාස භංග ගේනව කිව්වාද? කෝ එකක්වත් ආවද? ඕව ගැන හිත හිත ඉන්න අවශ්‍ය නැහැ. අපි අපේ මැතිවරණ වැඩයි ජනතා සේවය කිරිමයි වැදගත් ලෙස මා දකින්නේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ මැතිවරණය සම්බන්ධව දක්වන ආකල්පය ගැන මොකද හිතෙන්නේ.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ අවස්ථාවේ විශාල කැපකිරීමක් කර තිබෙන්නේ. එමෙන්ම ලොකු වගකීමක් දරමින් කටයුතු කරන්නේ. මම හිතන්නේ මේ තරම් අපහසු තත්ත්වයකින් කටයුතු කරපු ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් මේ රටේ සිටින්නට නැතුව ඇති.

ඒ තරම් අපහසු වගකීමක් දැරිය යුතු භූමිකාවක් ඔවුන් දෙදෙනාම සිදු කරන්නේ. ‍පක්ෂ දෙකක සම්මුතිවාදී ආණ්ඩුවක් තියෙන්නේ. මා කලින් කිව්වාක් මෙන් මේ ආණ්ඩු සංකල්පය අපට අලුත් අත්දැකීමක්. අසීරු ගමනක්. නමුත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා මේ ගමන යනවා. ඒ ගමන් ම‍ඟේ කිසිම ගැටලුවක් නැහැ.

කෑගල්ල දිස්ත්‍රික්කය ස්වභාවික ව්‍යසන අතින් මුල් තැනක් හිමි‍වෙන දිස්ත්‍රික්කයක්. ඔබ එහි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා. සාමසර කන්ද නාය ගිහින් බොහෝ කාලයක්. ඒ ජනතාවත් තවම අසරණයි. මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද? විශේෂයෙන්ම යළිත් එවැනි ආපදා තත්ත්වයක් ඇති නොවන්න.

ස්වභාවික ව්‍යසන කියන දේ ලෝකෙ කොහේවත් නවතාලන්නනට බැහැ. අපට වඩා හැම අතින්ම දියුණු ඇමරිකාවට පහුගිය දවස්වල බලපවත්වපු ස්වභාවික ව්‍යසනයෙන් ‍ගොඩ එන්න අපට වඩා කාලයක් ගියා. අපට වඩා අපහසු වුණා. නමුත් අපි බොහොම ඉක්මනින් ‍ගොඩ ආවා. ඒ විතරක් නෙමෙයි අපි ඒ ස්වභාවික ව්‍යසයනයන්ගෙන් පාඩම් ඉගෙන ගත්තා.

සාමදර කන්දේ විපතට පත් වූවන්ට අපි ක්ෂණිකව සහන සලසා දුන්නා. මේ වන විට නිවාස තනා දී තිබෙනවා. මේ වන විට චීන රජයේ ආධාරයෙන් අරණායක තට්ටු නිවාස ව්‍යාපෘතියක් තනා නිම කර තිබෙනවා. මැතිවරණයෙන් පසුව එම නිවාස ව්‍යාපෘතිය විවෘත කරනවා.

එමෙන්ම ඉදිරියේදී සිදුවන යම් යම් ස්වභාවික විපත් සම්බන්ධයෙන් මේ වන විට සොයා බලා කෙටි කාලීන, මධ්‍ය කාලීන මෙන්ම දීර්ඝ කාලීන පිළියම් යොදා තිබෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නැවැත්වීමට අපි උපදෙස් ලබා දී තිබුණත් සමහර පුද්ගලයන් ඒ සම්බන්ධව සලකනනේ නැහැ. සුනාමි ව්‍යසනයෙන් පසුව ලබා දුන් උපදෙස් දැන් අමතක වෙලා. වෙරළ අද්දර නිවාස යළි ඉදි වෙලා.කොහොම වුණත් නිවසක් හෝ යම් ඉඳි කිරීමක් කරන්නේ නම් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයන්ගෙන් නිසි අනුමැතිය ලබා ගත යුතු වනවා.

ජනතාවට මේ පුංචි ඡන්දය සම්බන්ධයෙන් ඔබ දෙන විශේෂ පණිවිඩය කුමක්ද?

ඇත්තෙන්ම ජනතාව දන්නවා බලය තිබෙන පක්ෂයන්ගෙන් පමණක් තමන්ට ගමට වැඩක් කර ගැනීමට හැකියාව තිබෙන බව. එසේ නොමැතිව ආණ්ඩු පෙරලන්න එහෙමත් නැත්නම් කඹ අදිමින් සිටින පක්ෂ බලයට ගෙන ඒමෙන් තමන්ට හෝ ගමට හෝ වැඩක් කර ගත නොහැකි බව ජනතාව දන්වා. එ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ජනතාව මැතිවරණයේදී නිසි පිළිතුරු ලබා දෙයි‍.

සංවාදය - තාරක වික්‍රමසේකර

අදහස්