බැඳුම්කර වාර්තාව අනාගතයට නව මානයක් | සිළුමිණ

බැඳුම්කර වාර්තාව අනාගතයට නව මානයක්

 සමස්ත දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම සාමාන්‍ය ජනතාව ද කුතූහලයෙන් බලා සිටි කරුණකට අදාළව තර්කානුකූල වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින් බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසන් සභාවේ වාර්තාව නිකුත් වී තිබේ. අපේක්ෂා කළ පරිදිම අද වනවිට එය මේ රටේ දැනුවත් සමාජයේ ප්‍රමුඛතම මාතෘකාවක් වී තිබේ. එමෙන්ම සාමාන්‍යයෙන් බැඳුම්කර යනු කුමක්ද යන්න පිළිබඳව කිසිවක් නොදන්නා සාමාන්‍ය ජනතාව අතර පවා කුතූහලයට හා අවධානයට ලක්ව ඇති කරුණක් බවට ද එය පත්ව තිබේ.

රටේ දැනුවත් සමාජය ඒ පිළිබඳව මෙතරම් අවධානයක් යොමුකරන්නේ ඇයි? පසුගිය කාලසීමාවේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති බැඳුම්කර නිකුතුවන් හරහා සිදුව ඇති දැවැන්ත වංචාවන් සහ ඒ තුළ රටට අහිමි වී ඇති ජාතික ධනය පිළිබඳව ඔවුන් තුළ පවත්නා අනුමානය ඊට හේතුවයි. එහෙත් ඇතැම්විට එවැනි අවබෝධයක් නොමැති සාමාන්‍ය ජනතාව පවා දන්නා එක් දෙයක් තිබේ. එනම් මෙවැනි සිදුවීම් පසුපස ඇති දේශපාලනයයි. අද වනවිට මුළුමහත් රටම බැඳුම්කර කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව බලවත් අවධානයක් යොමුකරමින් ඊට අදාළව ඉදිරියේ දී ඇතිවිය හැකි ප්‍රවණතාවන් හා ඊට අදාළව ගැනීමට නියමිතව ඇති ක්‍රියාමාර්ග පිළිබඳව බලවත් උනන්දුවක් දක්වන්නේ ඒ නිසාය.

අතීත පාඩම්

බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසන් සභා වාර්තාවේ අන්තර්ගත නියමයන් හා නිර්දේශ පිළිබඳව අවධානය යොමුකිරීමට පෙර මේ රටේ අතීත ජනාධිපති කොමිසන් සභා සහ ඒ මගින් නිකුත් කර ඇති වාර්තා සම්බන්ධයෙන් ඇති අත්දැකීම් හා මතකයන් පිළිබඳ අවධානයක් යොමුකිරීම වැදගත්ය. එහි දී ඉතා පැහැදිලි වන සත්‍යය වන්නේ පසුගිය දශක ගණනාවක කාලය තුළ පත්කර ඇති ජනාධිපති කොමිසන් සභා බහුතරයක් පිළිබඳව රටේ මහජනතාව තුළ යහපත් ආකල්පයක් නැති බවය. එමෙන්ම රටට ඉතා වැදගත් හා තීරණාත්මක බලපෑමක් ඇතිකළ හැකි ඇතැම් ජනාධිපති කොමිසන් සභාවන්හි නිර්දේශ පිළිබඳ රටක් ලෙස අප ප්‍රමාණවත් උනන්දුවක් හා අවධානයක් යොමුකර නොමැති බව ද පිළිගත යුතුව ඇති සත්‍යයකි. විශේෂයෙන්ම පසුගිය කාලයේ දී හිටපු ජනාධිපතිවරුන් විසින් පත්කරන ලද ඇතැම් කොමිසන් සභාවන්හි වාර්තාවන්ට වූ දෙයක් පිළිබඳව දැනගැනීමට ඇවිටිලි කිරීමට බොහෝ දෙනෙකුට සිදුවූ අතර ඇතැම් වාර්තාවන්ට සිදුවූ දෙයක් පිළිබඳව අදට ද බොහෝ දෙනෙක් දන්නේ නැත.

එවන් පසුබිමක බැඳුම්කර නිකුතුව පිළිබඳ කරුණු සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කොමිසන් සභාව පිළිබඳව ද ආරම්භයේ දී බොහෝ දෙනකු බැලුවේ සැකමුසුව ය. එහෙත් එකී කොමිසන් සභාවේ ක්‍රියාකාරිත්වය තුළ ඉතිහාසයේ අන් කිසිදු කොමිසන් සභාවකට නොමැති වූ හෝ නොදෙවනි මහජන අවධානයක් යොමුවිය. එමෙන්ම කොමිසන් සභාව ක්‍රියාකාරීව පැවැති සමයේ දී හෙළිවුණ ඇතැම් කරුණු සම්බන්ධයෙන් සාමාන්‍ය පොදු සමාජය තුළ පමණක් නොව, දේශපාලන තලයේද කුණාටු නිර්මාණය කළ බව රහසක් නොවේ. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද රවී කරුණානායක මහතාට සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූයේ එවැනි තත්ත්වයක් තුළ ය.

වෙනස

ඒ අනුව මෑත ඉතිහාසයට අදාළව සැලකීමේ දී ජනාධිපති කොමිසන් සභාවක් මගින් සිදුකරන ලද බලපෑම සමාජගත වූයේ අදාළ කොමිසන් සභාවේ අවසන් වාර්තාව නිකුත් කිරීමට ද බොහෝ පෙර සිටය. පසුගිය දෙසැම්බර් මස 30 වනදා එහි අවසන් වාර්තාව ද ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය. ඒ සමගම ඉතිහාසයේ අන් කිසිදු අවස්ථාවක දක්නට නොලැබුණ ආකාරයට ජනාධිපති කොමිසන් සභාවක වාර්තාවක් නිකුත් කර දින තුනක් ඉක්මවීමට ද පෙර එකී වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබුවා පමණක් නොව, රටේ ජනාධිපතිවරයා විසින් ඊට අදාළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද සිදුකරනු ලැබීය.

කොමිසන් සභා වාර්තාව පදනම් කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ලද විශේෂ ප්‍රකාශයෙහි අන්තර්ගත වැදගත් කරුණු කිහිපයක් තිබේ. ඉන් වැදගත්ම හා ප්‍රධානතම කරුණ වන්නේ එකී කොමිසන් සභාවට වරම් දුන් 2015 පෙබරවාරි 01 වනදා සිට 2016 මාර්තු 31 දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකා මහබැංකුව මගින් නිකුත් කර ඇති බැඳුම්කර හරහා බලවත් දූෂණයක් හා එමගින් රටට දැවැන්ත අලාභයක් සිදුකර ඇති බව හෙළිකර ගැනීමය. දෙවැන්න ඒ සඳහා සෘජුවම වගකිව යුතු පුද්ගලයන් හා ආයතන නම් කරමින් ඊට අදාළව ගතයුතු පියවර නිර්දේශ කිරීමය. කොමිසන් සභාවේ වාර්තාව මගින් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ අනාගතයේ දී මෙවැනි දූෂණ හා වංචා රට තුළ සිදුවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කර තිබීමයි.

නිගමන

කොමිසන් සභාවේ වාර්තාවට අනුව 2015 පෙබරවාරි මස 27 වන දින පැවැති බැඳුම්කර වෙන්දේසියේ දී පමණක් අර්ජුන ඇලෝසියස්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688ක ට වඩා වැඩි බව පෙන්වා දී ඇති අතර ඇතැම්විට එහි අගය තවත් බොහෝ දුරට වැඩිවිය හැකි බව කොමිසම පෙන්වා දී තිබේ. ඒ සමඟ ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 11, 145ක් වන බව ද වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එකී පසුබිම තුළ සේවක අර්ථසාධක අරමුදලට සහ රජයේ අනෙකුත් ආයතනවලට සිදුව ඇති සමස්ත අලාභය රුපියල් මිලියන 8529ක් හෙවත් රුපියල් බිලියන 8.5ක ට වඩා වැඩි බව කොමිසන් සභාවේ නිගමනය වී තිබේ.

මෙහි දී සිදුව ඇති වංචාවට අමතරව කොමිසම පෙන්වා දී ඇති අතිශයින්ම බරපතළ අනෙක් කාරණය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුව ද ඇතුළු අනෙකුත් බැංකුවල නිලධාරීන් සහ වෙනත් බාහිර පුද්ගලයන්ගේ ද සහයෝගය ලබාගනිමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට නීත්‍යනුකූල නොවන අන්දමෙන් මුදල් උපයා දී ඇති බවයි. බැලූ බැල්මට එය බරපතළ වරදක් වනවා පමණක් නොව, මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂියස් යන අය ඥාතීත්වය අතින් මාමා සහ බෑනා ය යන්න සළකා බැලීමේ දී මෙකී සමස්ත සිදුවීමෙහි ඇති බරපතළකම වැඩිදුරටත් තේරුම්ගත හැකිය.

දූෂණය යනු

දූෂණය යන්න නිර්වචනය කිරීමේ දී පොදුවේ සැලකිය හැක්කේ නීති විරෝධි ලෙස ප්‍රතිලාභ ලැබීමේ සහ නීත්‍යානුකූලව ප්‍රතිලාභ ලැබිය යුතු අයට එම ප්‍රතිලාභ අහිමි කිරීම දූෂණ ගණයට වැටෙන වරදක් වන බවයි. ඒ සමඟ දූෂණයෙහිද මූලික ප්‍රභේද දෙකක් ඇති බව පැහැදිලිවම දැකගත හැකිය. එනම් දේශපාලන අනුග්‍රහය ඇතිව සිදුවන දූෂණ හා දේශපාලන අනුග්‍රහය නොමැතිව සිදුකරනු ලබන දූෂණයි. කොමිසන් සභාව මගින් නිකුත් කර ඇති වාර්තාව මගින් ගම්‍ය වන්නේ දූෂණයට අදාළව දැකගත හැකි ඉහත සඳහන් ද්විත්ව ස්වභාවයම මෙකී බැඳුම්කර නිකුතුවට අදාළව සිදුව ඇති දූෂණය තුළ අන්තර්ගතවන බවයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පරිහරණය කර ඇති පෙන්ට් හවුස් තට්ටු නිවාසය සඳහා ගෙවිය යුතු පොලිය ඇලෝසියස් පවුලට අයත් හා ඔවුන්ගේ පාලනයට නතුව ඇති වෝල්ට් ඇන්ඩ් රෝ නමැති සමාගම මගින් ගෙවා තිබීම ඒ සඳහා එක් උදාහරණයකි. ඒ අනුව රවී කරුණානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතුව ඇතැයි කොමිසන් සභාවේ නිර්දේශය වී ඇති අතර, ඊට අමතරව ජනාධිපති කොමිසන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීමට අදාළව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද කරුණානායක මහතාට නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබේ.

බැඳුම්කර කොමිසන් සභාව ලබා දී ඇති වැදගත්ම නියමය හා නිර්දේශය වන්නේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ කොමිසන් සභාව මගින් හඳුනාගෙන ඇති අනෙක් අයට ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව ද අපරාධ හා සිවිල් විධිවිධානයන්ට අදාළව නඩු පැවරිය යුතුව ඇති බවට කර ඇති නියමය යි.

ගත යුතු පියවර

ඒ සමඟ මෙකී සිදුවීමට අදාළව මෙන්ම ඉදිරියේ දී මෙවැනි වරද සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර ගණනාවක්ම කොමිසන් සභාව මගින් පෙන්වා දී තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ සිදුව ඇති මුදල් අවභාවිතයන් හා ඊට අදාළව සැබෑ වටිනාකම තක්සේරු කිරීම සඳහා වෝහාරික විගණනයන් සිදුකිරීමේ අවශ්‍යතාවය, කොමිෂන් සභාවේ නිර්දේශයන්ට බලපාන ආකාරයට මුදල් නීතිය අහෝසි කර නව මුදල් නීතියක් සම්පාදනය කිරීම මෙන්ම ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත සංශෝධනය කිරීම හා මහ බැංකුවේ අධිපතිවරයා සහ මුදල් මණ්ඩල සාමාජිකයන් පත්කර ගැනීමට අදාළව නව සම්ප්‍රදායන් ඇතිකර ගැනීම වැනි කරුණු ඊට ඇතුළත්ය.

රටක් ලෙස අප විශේෂයෙන්ම අවධානයට ලක් කළ යුතු වැදගත්ම කරුණක් කොමිසන් සභාව එහි දී පෙන්වා දී තිබේ. එනම් මහ බැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීමේ දී මෙවැනි දැවැන්ත දූෂණයක් සිදුව ඇති එකම අවස්ථාව මෙය නොවන බවයි. එහි දී කොමිසන් සභාව අවධාරණය කරන්නේ 2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට තම කොමිසන් සභාවට වරමක් නොතිබූ හෙයින් එවැන්නක් සිදුනොකළ ද ඒ ගැන පරීක්ෂා කිරීම ද ඉතා වැදගත් වන බවයි.

අරමුණ

බැඳුම්කර විමර්ශනයට අදාළ කොමිසන් සභාවේ අවසන් වාර්තාව නිකුත් කිරීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ විශේෂ ප්‍රකාශයෙහි අන්තර්ගත වැදගත් කරුණු දෙකක් කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කළ යුතුය. එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළේ, මෙම කොමිසන් සභාව පත් කරන ලද්දේ පුද්ගලයෙක් හෝ පක්ෂයක් ඉලක්ක කරගෙන නොවන බවයි. ජනාධිපතිවරයා එමගින් පැහැදිලි කරන්නේ ඔහු තුළ කිසිදු අතුරු අරමුණක් නොතිබූ බවයි. ඒ සමගම රටේ රාජ්‍ය නායකයා ලෙස ඔහු තුළ පැවරී ඇති එකම අරමුණ රටේ මහජන දේපල දේශපාලන අනුග්‍රහයක් සහිතව හෝ රහිතව අයථා ලෙස කොල්ලකා ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබාගැනීම වන බවයි. දැන් එයට ඉතා පැහැදිලි පිළිතුරක් ලැබී තිබේ.

යුක්තිය වෙනුවෙන්

එහි දී ඊට අදාළව ගත යුතුව ඇති මූලික පියවර මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සමඟ යුක්තිය පසිඳලන හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට මෙන්ම රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට එහි දී ගත යුතු තවත් පියවර ගණනාවක් ඇති බව අප කිසිවකුත් අමතක කළ යුතු නැත. ඒ කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති කොමිසන් සභාවක් පිළිබඳව රටේ අති බහුතර ප්‍රජාව අතරෙහි පැවැති අවධානය පිළිබඳව සැලකීමේ දී මෙන්ම කොමිසන් සභාවක් ලෙස ඊට අදාළ කාර්යභාරය සිදුකර ඇති ආකාරය සලකා බැලීමේ දී ද එමෙන්ම රටේ රාජ්‍ය නායකත්වය ඊට අදාළව ගෙන ඇති සෘජු තීරණ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී දූෂණයට වැට බැඳීමේ ක්‍රියාවලිය පිළිබඳ මෙන්ම දූෂකයන්ට දඬුවම් කළ යුතුව ඇතැයි යන පොදු ඒකමතිකභාවය ආපසු හැරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවනු ඇත. රටක් ලෙස සැලකීමේ දී එය අප ලබාගත් වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

සුනිල් ජයසේකර

අදහස්