ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ කුමක්ද | සිළුමිණ

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ කුමක්ද

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් කර ඇති විමසීමක් පිළිබඳව මේ දිනවල පොදු සමාජය තුළ බලවත් සංවාදයක් නිර්මාණය කර තිබේ. එම සංවාදය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විවාදයකි. පොදු ජන සමාජය එහි දී වඩා වැඩි අවධානයක් යොමුකර ඇත්තේ දේශපාලන අවශ්‍යතා, අරමුණු හා අභිමතාර්ථ පිළිබඳව තමන්ගේ වන සැලකිල්ල පදනම් කරගනිමිනි. ඒ තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වන විවාදය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවතිය ද පොදු ජන සමාජය තුළ සිදුවන සංවාදය සිදුවන්නේ පුළුල් පරාසයක ය. ගමේ කඩ පිලේ සිට අගනුවර විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණ මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යයන්හි සිට ෆේස්බුක්, වෙබ් අඩවි වැනි නව මාධ්‍ය ජාලය හරහා ද මේ කරුණ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරනු දැකගත හැකිය.

අසත්‍ය හා හිතළු

විශේෂයෙන්ම සාමාන්‍ය ජන සමාජය ජනාධිපතිවරයාගේ විමසීම යථා පරිදි තේරුම්ගෙන ඇති බවක් හෝ එහි ඇති නෛතිකභාවය හෝ අපේක්ෂාවන් ද නිවැරදිව තේරුම්ගෙන ඇති ආකාරයක් දැකගත නොහැකිය. බොහෝ දැනුවත් පුරවැසියන් පවා මෙම කාරණය අන්‍යයන් වෙත සන්නිවේදනය කරන ආකාරය අනුව පෙනී යන්නේ එය නිවැරදිව තේරුම්ගෙන ඇති බවක් නොවේ. ”2021 වසර තෙක් වසර 06 ක් ජනාධිපතිධුරය ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට ලියයි” වැනි වෙබ් අඩවි සිරස්තල දැකගත හැකිවීම තුළ ඒ බව පැහැදිළිය. ඒ නිසාම මතුව ඇති මෙකී හා හෝව ට පදනම් වූ කරුණු පිළිබඳව මෙන්ම ඊට තුඩු දී ඇති හේතු කාරණා පිළිබඳව ද විමසුමක යෙදීම ඉතා වැදගත් ය.

ඉතා පැහැදිළි ලෙසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුමක් සිදුකර තිබේ. ඒ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) වගන්තියට අනුවය. ඒ මගින් කියැවෙන්නේ ”ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබාගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමින් යුත් යම් නීතිමය හෝ සිද්ධියක් පිළිබඳව ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව හෝ උද්ගතවීමට ඉඩ ඇති බව ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවක වුවද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එම ප්‍රශ්නය සළකා බැලීම සඳහා යොමුකළ හැක්කේය” යනුවෙනි.

සැබෑ හේතුව

ඒ තුළ දැන් අප අවධානය යොමුකළ යුත්තේ ජනාධිපතිවරයා එසේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බලා ඇත්තේ කුමන කරුණක් ද යන්නය. එවැනි කරුණක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට පදනමක් නිර්මාණය වී තිබේද යන්නය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරිය නීතිඥ සංගමය වෙත යොමුකර ඇති ලිපියකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම විමසීම කරන්නේ රටේ මූලික නීතියට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව පැහැදිළි කරගැනීමක් ලබාගැනීමට ය. පසුව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ජනාධිපතිවරයා එවැනි විමසුමක් සිදුකරන්නේ ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳව සිවිල් හා නීති සමාජය තුළ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ ද මත දෙකක් පදනම් කරගනිමින් කථිකාවක් නිර්මාණය වී තිබීම නිසා යැයි සඳහන් කර තිබේ. සාමාන්‍යයෙන් දේශපාලන මෙන්ම පොදු ජන සමාජයට අදාළ වන්නා වූ අන් ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව මත දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මුල් කරගනිමින් සිදුවන සංවාදයක් ප්‍රගතිගාමී සමාජයකට ඉතා වැදගත් වියහැකි නමුත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි මූලික නීතියට අදාළව මත ගැටුමකට ඉඩ ප්‍රස්ථා විවර කිරීම හෝ එවැනි තත්ත්වයක් නිදහසේ ගලා යාමට ඉඩ දීම කිසිසේත්ම වියයුතු තත්ත්වයක් නොවේ. ඒ අනුව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව සමාජය තුළ මතුවන ඕනෑම කරුණක දී ඊට අදාළ පැහැදිළි නිර්වචනයක් ලබාගැනීම ඉතා වැදගත් ය.

ඒ සමගම මතුවන අනෙක් වැදගත් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාළව සමාජය තුළ මෙන්ම දේශපාලන හා නීති සමාජය තුළ ද මත දෙකක් මුල් කරගනිමින් සංවාදයක් නිර්මාණය වන්නේ කෙබඳු පසුබිමක ද යන්නය. ඊට මූලික වශයෙන් හේතු වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට අදාළව නිර්ණය කර ඇති ධුර කාලය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලද 19 වන සංශෝධනය මගින් ජනාධිපති ධුර කාලය නිර්ණය කිරීම අතර යම් පරස්පරයක් නිර්මාණය වී තිබීමය. බැලූ බැල්මට මෙන්ම නෛතික තත්ත්වය අනුව ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව හෝ වෙනත් ඕනෑම නීතියකට අදාළව හෝ වේවා නීතියට අනුකූලව පසුකාලීනව ගෙන එන සංශෝධනයක් හෝ යම් පැනවීමක් බලාත්මක වන්නේ පසුව ගෙන එන ලද නීතිය යි. ඒ අනුව සැලකීමේ දී කිසිදු ප්‍රශ්නයක් තිබිය නොහැකිය. එහෙත් මෙහි දී විශේෂ වශයෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරන්නේ ජනාධිපතිධුරයේ බලතල හා වගකීම් පිළිබඳව සැලකීමේ දී එය රාජ්‍යයේ මහජන පරමාධිපත්‍යය හා සෘජුවම බැ දී ඇති කරුණක් වන නිසාය.

ජනතා පරමාධිපත්‍යය

එහි දී අප සියලූ දෙනාම හොඳින් තේරුම්ගත යුතු කරුණක් වන්නේ රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර එය අත්හළ නොහැකි බලයක් වන බවයි. එය මොනම ආකාරයකින් හෝ වෙනසකට ලක්කිරීමට නම් ජනමත විචාරයක් වැනි මහජන කැමැත්ත උරගා බැලීමකින් එය සිදුකළ යුතුය. එහි දී පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිළි ලෙස සඳහන් කරන්නේ රටේ ආරක්ෂාව ද ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත්කරගනු ලබන ජනරජයේ විධායක ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළයුතු බවය.

ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයාගේ බලතල මෙන්ම එම බලතල ක්‍රියාවේ යොදවන කාලසීමාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වන අර්ථ දැක්වීම අතිශයින්ම තීරණාත්මක වැදගත්කමක් ගනී. එහි දී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ ධුරකාලය සාවුරුදු කාලයක් ලෙස එනම් වසර 06 ක කාලයක් ලෙස දක්වා තිබේ. ඒ සමඟ 2015 මැයි මස 15 වන දින සහතික කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර 05 ක් වන බව සඳහන් ය.

මෙවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව නීති හා දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම පොදුජන සමාජය තුළ ද මත දෙකක් මුල් කරගනිමින් විවාදයක් මතුව ඇත්තේ ඇයි. ඒ සඳහා මූල බීජ සපයා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත පැහැදිළි විධිවිධානයක් හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති අර්ථ නිරූපනය මගිනි. එහි දී ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිළි නිගමනය වන්නේ පරමාධිපත්‍ය හිමි ජනතාව ජනාධිපතිවරයා වෙත විශ්වාසය තබා ලබාදුන් බලය වෙනත් අයෙකුට හෝ ආයතනයකට ලබා දෙන්නේ ජනාධිපතිවරයා විසින් නොවේ නම් එය ජනතා පරමාධිපත්‍යයට පටහැනි වන බවයි. ජනාධිපතිවරයාට හිමිවන බලයට එම බලය ක්‍රියාත්මක කරවීම සඳහා ව්‍යවස්ථානුකූලව ලබා දී ඇති කාලසීමාව ද අතිශයින්ම බැඳී පවතින නිසා එය සංශෝධනයට ලක්කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් මගින් එය සිදුකළයුතුව තිබේ.

විවාදයට නිමිත්ත

දැන් මතුව ඇති විවාදයට හේතු වූ නිමිත්ත පැහැදිළි කරගත හැකිය. එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ සමාජ හා දේශපාලන අභිප්‍රාය ඉටුකරගැනීම පිණිස වන ක්‍රියාමාර්ගයක එක් පියවරක් වනු විනා ඒ සඳහා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක් නොවන නිසා ඒ මගින් එකී ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවැති විධිවිධාන වෙනසකට ලක්කර ඇත්තේ යම් සීමාවක් තුළ බව පැහැදිළි ය.

ඒ බව වැඩිදුරටත් තේරුම් ගැනීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ රටේ ආණ්ඩුක්‍රම විශේෂඥයෙක් විසින් සිදුකර ඇති විශ්ලේෂණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එකී 19 වන සංශෝධනයට අදාළව ලබා දී ඇති අර්ථ දැක්වීම ද තේරුම්ගත යුතුව තිබේ. එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකු වන ආචාර්ය රොහාන් එදිරිසිංහ මහතා සඳහන් කර ඇත්තේ ”19 වන ව්‍යවස්ථා සංශෝධනය නිවැරදිව වටහා ගැනීමට නම් එය තාවකාලික පියවරක් ලෙස තේරුම්ගත යුතුව ඇති බවයි. මෙම සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සෑහිමකට පත්විය නොහැකිය. මක්නිසාද යත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමක් ඒ මගින් සිදු නොවන බැවිනි” යනුවෙනි. එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යහපාලන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ අදියර දෙකකින් යුත් ප්‍රවේශයක වන බවයි. එනම් ප්‍රථමයෙන්ම 19 වන සංශෝධනය මගින් ජනාධිපතිධුරයේ බලතල අඩු කරගැනීමෙන් පසුව තෝරාපත්කර ගන්නා පාර්ලිමේන්තුව හරහා පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට පිවිසීම වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිවර්ථනයට අදාළව අද දක්වා සිදුවෙමින් පවතින ක්‍රියාදාමය පිළිබඳව සැලකිමේ දී එය ඉතාමත්ම පැහැදිළිය.

ගතයුතු මග

එබැවින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් මහජනතාවගේ පරමාධිපත්‍ය බලය පදනම් වී ඇති විධායක බලතල සංශෝධනය කළ නොහැකි වන අතර එයින් මෙපිට එවැන්නක් සිදුකිරීමට නම් ජනමත විචාරණයකට යොමුකර රටේ බහුතර ජනතාවගේ අනුමැතිය ඒ සඳහා ලබාගත යුතුය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් තුළ ද ඉතා පැහැදිළිව පෙන්වා දී ඇති කරුණකි. ඒ අනුව 2015 ජනවාරි 08 වන දින මහජනතාව විසින් තම පරමාධිපත්‍ය බලය මත තෝරාගන්නා ලද ජනාධිපතිවරයා සතු මහජන පරමාධිපත්‍යට අදාළ වන බලතල ඔහුගේ සම්පූර්ණ ධුර කාලයට අදාළ වන බව එක් පාර්ශවයක් නගන පැහැදිළි තර්කය වී තිබේ.

එම තර්කයට පැහැදිළි පදනමක් ඇති බව පෙනෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුවට අනුව ජනමත විචාරණයකින් තොරව සිදුකළ නොහැකි සංශෝධන ගණනාවක් පෙන්වා දී ඇති නිසාය. 19 වන සංශෝධනයේ මුල් කෙටුම්පත තුළින් යෝජනා කර තිබූ අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා නොවූයේ ඒ අනුවය. එමෙන්ම ජනාධිපති ධුරය සතු බලතල බොහොමයක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඇතුළු ජනවාරි 08 බලවේගය අපේක්ෂා කළ ආකාරයට සීමා කිරීමට නොහැකිවූයේ ද ඒ නිසාය. ඒ අනුව මහජන පරමාධිපත්‍යයට අදාළ වගකීම් සහිතව ඊට පූර්වයෙහි එනම් 2015 ජනවාරි මස 08 වන දින තෝරාපත් කරගන්නා ලද ජනාධිපතිවරයා සතු බලතල හා ඊට අදාළ වගකීම් අඩුකළ නොහැකිය යන්න එක් පාර්ශවයක් දරමින් සිටින මතය වී තිබේ.

තවත් මතයක්

එයට අමරව ඊට සපුරා වෙනස් අදහසක් දරන පාර්ශවයක් ද රට තුළ නැතිවා නොවේ. ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද විමසුමට අදාළව පසුගිය 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකළ කරුණු විමසා බැලීමේ දී ඊට මැදිහත් පාර්ශ්ව එකහෙලාම කියාසිටින්නේ අනෙක් පාර්ශවයන් ද රටේ නීතිපතිවරයා ද කුමක් ප්‍රකාශ කළ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය වසර 05 ක් ඉක්මවා යන ආකාරයට දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවය.

ඒ අනුව එහි දී ඊට අදාළ නීත්‍යානුකූල ස්ථාවරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තහවුරු කරගැනීමට අවශ්‍ය වීම ඉතා පැහැදිළිය. එමෙන්ම එය සිය ධූර කාලයට අවසානය තෙක් බලා නොසිට මේ මොහොතේ තහවුරු කරගැනීමට කල්පනා කිරීම ඉතාමත් ප්‍රඥාගෝචරය.

නොකළ දේ

මෙවන් පසුබිමක ඇතැම් අය ප්‍රකාශ කරන ආකාරයට හෝ බොහෝ දෙනෙක් සමාජය තුළ තහවුරු කිරීමට උත්හාස කරන ආකාරයට තමන්ට නියමිත ධුරකාලයට අමතරව තවත් එක් වර්ෂයක් වැඩිපුර ලබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර නැති බව ඉතා පැහැදිළිය. ඒ අනුව මේ පිළිබඳව විමර්ෂණය කරන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අදාළව ලබාදෙන අර්ථ නිරූපනය ඉතා නුදුරු දිනයක දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දන්වා එවනු ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ඊට අනුගතව ක්‍රියාකරන රාජ්‍ය නායකයකු විසින් ගතයුතුව ඇති අනිවාර්ය පියවරකි.

සුනිල් ජයසේකර

අදහස්