එහෙත් රණ්ඩු මෙහෙත් රණ්ඩු | සිළුමිණ

එහෙත් රණ්ඩු මෙහෙත් රණ්ඩු

 "අදවත් ගෙහුං පොල් ගෙඩියක් හොයං වරෙං"

නිමලෙගෙ මායියා පානු වතුර කොරහ බචාස් ගාලා මිදුලට උසික්ක කොරදි අපේ කකුල්ඔලටත් විසිවුණා. මම් පස්සට පැන්නා. ඊළඟට මොනව විසිවෙයිද කව්ද දන්නෙ?

"යකඩො පොල්ගස් යට ඉපදිලත් සම්බෝලයක් කන්ඩ කැරුමිණි කුදයක් වාගෙ ගෙඩියක්කත් හොයාගන්ඩ නැති හැටි"

මං එහෙම කියද්දි නිමලෙගෙ කකුල් දෙක ළඟට දඬු ලේන්නු බීපු කෝම්බයක් බල්ගාගෙන වැටුණ. නිමලෙ ගඩොල් බාගයක් අරං පොල් ගහේ ඉන්න දඬු ලේනට මෑනුව. ඌ හැංගුණා. ඒ අව් අස්සෙ රිළවෙක් තැඹිලි ගහෙං පොල් ගහට පැන්නා . එතනත් කුරුම්බ කෝම්බයක් බිම. හද්දෙයිනේ කාට කියන්ඩද? පෑවිල්ලට කරකුට්ටං වෙච්ච පොල් ගොබයක් බිමට පාත්වෙලා.

"ගස්ඔල පොල් නැහ්නං කඩේකිං ගේන එක නෙවැ තියෙන්නෙ. ඒකටත් මට යන්ඩද කියන්නෙ? ඇයි මුං පඹයොද?"

නිමලෙගෙ මායියා ඉලපොතට පයිං ගැහුවා. ඒකත් මිදුලට විසිවුණා. හොඳ වෙලාවට නිමලෙ ඉවසුවා. නැහ්නං පාර්ලිමේන්තුවට හපං වෙනව. දඩිං බිඩිං ඩෝං තමයි. ලංකාවෙ වලං කරුමාන්තෙ මේ තරමින්වත් ආරස්සාවෙලා තියෙන්නෙ නිමලෙයි එයාගෙ මායියයි හින්දයි. දෙන්න මාරුවෙං මාරුවට බිඳින බිඳිල්ලට ලංකාවෙම වලං ගෙනාවත් මදි ඕං.

"හා එහෙනං යමංකො මලේ බලන්ඩ."

නිමලෙයි මායි ගියා අබිලිංගෙ කඩේට."

"පොල් ඉවරයි නිමලෙ"

නිමලෙට මල පැන්නා.

"මං ඉල්ලන්ඩත් කලිං උඹ දන්නෙ කොහොමද පොල් ගන්ඩ ආපු බව.? පෙරේද පොල් ගොඩක් තිබ්බ නේද? රහත්වුණාද එව්ව."

නිමලෙට මාරජුවල්. අපි හැරුණා ආපහු.

."ගණන් යයි කියල හංගගෙනවද්ද?"

"එහෙමද කොහෙද. ඒත් ඉතිං කොහාට යන්ඩද?"

අපි ආපහු එන්ඩ පටං ගත්ත.

හිටි ගමං වේලිච්ච පොල් අත්තක් ජරස් ගාල පාරට වැටුණ. වේලිච්ච පොල්ගෙඩි හතරකුත් එක්ක. මයෙ අම්මෝ පොලයක් දැක්ක කල්. නිමලෙට සීප්පෙකක් ඇදුණ වගේ. එක ගෙඩියක් දැම්ම පඳුරක් අස්සට. අනික් තුන අරං හැරුණ අබිලිංගෙ කඩේට.

"ඔව්ව අරං හරියන්නෑ. පොල්ලෝඩ්ඩෙකක් එනවා" අබිලිං කීවා.

"ගේ ඇතුළෙන්ද එන්නෙ යකෝ..බලාගඤ්ඤංකො."

එහෙම කියාගන හැරුණා කූරටියා ගාල පැත්තට. ඒ පැත්තෙං එකා දෙන්නා කෙළ ගගහා එලියට එනවා.

අපිත් නිකම්ම තල්ලුවුණා ආයිබොවන්ඩ. පොල්ගෙඩි තුනට පුදුම ඉල්ලුමක්...අන්තිමේදි අමර පදං. අපි දෙන්න වැනි වැනි ආව පොල් ගෙඩිය හංගපු තැනට. ඒකත් අරං නිමලෙ ගෑටුවා ගෙදෙට්ට. මාත් ආව ගෙදර. ඩිංග වෙලාවකින් ඇහෙනවා දඩිං බිඩිං සද්ද. මං ගියා යකාගෙ පෙට්ටිය ළඟට. පාර්ලිමේන්තුව බලන්ඩ...මායියා ඒ වගේ ආදරයක් ටෙලි නාට්ටිය බලනව. සද්දෙ ඇහෙන්නෙ නිමලෙගෙ ගෙදර මුලුතැන්ගෙයි කැබිනෙට්ටුවෙං.

"කඩේ තියෙන්නෙ පුහු පොල්ද යකෝ"

නිමලෙගෙ මායියා අහනවා. ඒ අස්සෙ වලං බිඳෙනවා.....දඩිං බිඩිං...ඩෝං....

.ඔන්න ඒ සැසි වාරෙත් ඉවරයි

Comments