මමත්වය හා ප්‍රතිපත්තිය | සිළුමිණ

මමත්වය හා ප්‍රතිපත්තිය

 අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුව ආරම්භ කෙරුණේ මන්ත්‍රීවරුන් අතර ගහ-බැණ ගැනීමකිනි. මේ අවාසනාවන්ත අවස්ථාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට දැන් නුහුරු දෙයක් නොවේ. අනෙකාගේ මතය ඉවසන, අනෙකාට ගරු කරන, සාකච්ඡාවෙන් ගැටලු විසඳන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට නොගැළපෙන මෙවැනි දේ රට හමුවේ ද ලෝකය හමුවේ ද ඉතිරි කරන්නේ සුබවාදි හෝ ආදර්ශවත් හෝ මතකයන් නොවේ. එය පවතින දේශපාලනයේ එක් පැත්තකි. අනෙක් අතින් මෙවැනි දෙයින් හෙළි වන්නේ යහපාලනය, සම්මුතිවාදය මෙරට දේශපාලනයට මොන තරම් නම් ආගන්තුක ද යන්න යි; ඉදිරිගාමි ව කල්පනා කරනවා වෙනුවට මෙරට දේශපාලනය කොතරම් නම් පසුගාමි තැනක පල් වෙනවා ද යන්න යි; රටක් ලෙස අත්පත් කර ගත යුතු සාමූහික ජයග්‍රහණ තව කොතරම් නම් ඈතක ද යන්න යි.

අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුව ආරම්භයේ දී මන්ත්‍රීවරුන් අතර මේ ගහ-බැණ ගැනීම සිදු වන්නේ තම දේශපාලන තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට ඡන්ද දායකයාට ළඟ දී ම අවස්ථාවක් ලැබී තිබිය දී ය. පෙබරවාරි 10 වැනි දා පැවත්වෙන පළාත්පාලන මැතිවරණය එකී අවස්ථාව යි. 'ගමේ පුංචි ආණ්ඩු පිහිටුවන පුංචි ඡන්දය' යනුවෙන් හැඳින්වෙන මේ පළාත්පාලන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා ලැබෙන ප්‍රථම පෙරහුරුව ද වේ. මේ සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ගම ගොඩ නඟන දේශපාලනයේ පොදු අරමුණු, පොදු හැඟීම පසෙක ලා, පාර්ලිමේන්තුවේ මේ සිදුවීම කෙරෙහි ආකර්ෂණය වීමට ඉඩ ඇත; ඒ දෙස බලා තම පෞද්ගලික න්‍යාය පත්‍ර මුලට ගැනීමට ඉඩ ඇත; ප්‍රශ්නයකට, ගැටලුවකට මුහුණ දෙන බුද්ධිමත් ප්‍රභාව වෙනුවට නොහික්මුණු ආත්මාර්ථය මුලට ගැනීමට ඉඩ ඇත; ගම ගොඩ නැඟීම පසෙක ලා තමා ගොඩ නැඟෙන විදිය ගැන හිතන්නට මෙය අවස්ථාවක් කර ගත හැකි ය. ඉහළ ම තැනින් ඊට ලැබෙන ආදර්ශය නිසා ඔවුන් තම ලජ්ජා භය ඉවත ලෑමට වුව පසුබට නොවනු ඇත.

ඡන්ද දායකයා මේ පළමු අවස්ථාවේ දී ම ඒ ගැන සැලකිලිමත් විය යුතුය; දැන් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ ද තමන්ගේ ඡන්දයෙන් එතැනට ගිය අය නිසා එමඟින්, තම ඡන්දයෙන් පත් වන ඊළඟ නියෝජිතයා කෙරෙහි පූර්ව මිම්මක් තබා ගැනීමට ඇති හැකියාව ගැන වඩාත් කල්පනාකාරී විය යුතු ය.

ගමේ පුංචි ආණ්ඩුවට හෝ රටේ මහ ආණ්ඩුවට හෝ නියෝජිතයන් පත් කෙරෙන්නේ, එකිනෙකාගේ පුද්ගල අභිලාශ, ආත්මාර්ථය, සමාජයේ පොදු යහපත උදෙසා සමනය කරන දේශපාලනයක් වෙනුවෙනි. සියයට සියයකින්ම අනෙකා තෘප්ත කළ හැකි නොවුණත්, අඩුම තරමින් අනෙකාගේ මූලික අයිතිවාසිකම් යටපත් නොවන සීමාවට හෝ අවශ්‍ය ඒ දේශපාලනය උදෙසා පිළිවෙතක් ප්‍රතිපත්තියක් අවශ්‍ය ම වේ. එය යම් දේශපාලන පක්ෂයක, කණ්ඩායමක පිළිවෙත හෝ ප්‍රතිපත්තිය හෝ අබිබවන තැනක තිබිය යුතු ආදර්ශයකි. බොරු කියා, සොරකම් කොට අනෙකාගේ අවස්ථාව අහිමි කිරීමෙන් වැළකී සිටීම ලෙස ඒ ආදර්ශය සරල ව දැක්විය හැකි යි. දේශපාලනයෙන් මේ ආදර්ශය නොදෙන තාක් සැක බිය, පරාධින බව ජන සමාජයේ පැතිරීම වැළක්විය නොහැකි ය. එවැනි නොසන්සුන් සමාජයකට රටේ අනාගතය ගැන පැහැදිලි දැක්මක් අරමුණ පහළ වන්නේ ද නැත.

අලුත් අවුරුද්ද ආරම්භයේ මෙරට ඉදි කෙරෙන අවසන් මහා ජලාශය වූ මොරගහකන්ද විවෘත කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනයෙන් රටට ලැබිය යුතු එවැනි ආදර්ශයක් සටහන් කළේ ය. ඒ මෙරට කීර්තිධර ඉන්ජිනේරුවකු වූ ඒ.එන්.එස් කුලසිංහ මහතාගේ නමින් මොරගහකන්ද ජලාශය නම් කරන්නැ යි යෝජනා කරමිනි. රාජගිරියේ ඉදි කෙරුණු මෙරට දිග ම ගුවන්පාළම පූජ්‍ය මදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ නමින් නම් කරන ලෙස ද ජනාධිපති තුමා එකී පාලම විවෘත කරමින් යෝජනා කිරීම ද ඒ ආදර්ශ කතාවට එක් විය යුතු ය. සම්මුතිවාදි ආණ්ඩුවක්, සාධාරණ සමාජයක් වෙනුවෙන් සිහින දුටු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් එලෙස සිහිපත් කිරීමෙන් අනෙක් අතට කියවෙන්නේ ආත්මාර්ථය මුලට ගත් දේශපාලනය ඉක්මවන ආදර්ශයකි.

දේශපාලකයා නායකයකු හෝ වීරයකු හෝ වන්නේ ද, දේශපාලනය රටේ සමාජයේ ඉදිරි මඟට පිටුබලයක් වන්නේ ද ආත්මාර්ථය හෝ පුද්ගල න්‍යායපත්‍ර හෝ පසෙක ලා පොදු යහපතට හේතු වන පිළිවෙතක් ප්‍රතිපත්තියක් අනුගමනය කරන තරමට යි. එවැනි දේශපාලනයක දී සංවාද, විසංවාද මිස මන්ත්‍රීවරුන් ගහ-බැණ ගන්නා ගාලගොට්ටි පාර්ලිමේන්තුවේ පමණක් නො ව, මහපාරේ වුව ද හමු නොවනු ඇත.

ඒ දෙසට නැඹුරු මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම තමන්ගේ වගකීම බව, ඒ වගකීම පැහැර හැරිය යුතු නැති බව ඡන්දදායකයා හැම විට ම සිහි තබා නොගත හොත්, තම අනාගත ලෝකය තමා විසින්ම අඳුරු කර ගනු ලබන බව ද අමතක නොකළ යුතු ය. 

අදහස්