මිඩ්ලන්ඩ් වතු ළඳුන් අතින් නිමැවෙන අගනා සංස්ථා ගමන් මලු | සිළුමිණ

මිඩ්ලන්ඩ් වතු ළඳුන් අතින් නිමැවෙන අගනා සංස්ථා ගමන් මලු

එදා වේල පිරිමහගෙන යාන්තම් දිවි ගැට ගසාගන්නට උපන්දා පටන් තේ පඳුරු සමඟ ඔට්ටු වුණු ඔවුන්ගේ ජීවිතවලට දැන් කිසියම් ආලෝක කදම්බයක් එල්ලවෙමින් තිබේ. ඇට මිඳුළු පසාරු කරගෙන යන තරම් කටුක සීතලේදීත් ගත දවා හළු කරන තරම් දැඩි අව්කාෂ්ටකයේදීත් වෙහෙස මහන්සියත් ගතේ පීඩාවන් නොතකා වල් නෙළමින්, පොහොර යොදමින් හෝ දලු නෙළමින් තේ යායෙහි ම ගෙවුණු වතු කම්කරු ලියන්ගෙන් කොටසකට හ‍ීල්සෙවණේ හිඳගෙන, සතුටු සාමීචියේ යෙදෙමින් දෑතේ වීරියෙන් ගමන් මලු මසා ජීවිකාව සලසාගන්නට අවස්ථාව උදාවී ඇති අයුරු අපි දුටුවෙමු. ඒ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මිඩ්ලන්ඩ් වතු යායේදී ය.

පෙර මෙන් නොව කලට වේලාවට අව්වැසි නොලැබෙන මෙකල මෙරට තේ වගාවන්ට ද විවිධ හානි පැමිණෙයි. කලට වැසි නොලැබීම මෙන් ම පමණට වඩා වැසි වැටීමෙන් ද අස්වනු හානි වෙයි. අස්වනු හිඟ වීමෙන් සිදුවන පාඩුවේ කටුකතම අත්දැකීම විඳින්නට සිදුවන්නේ අහිංසක කම්කරුවන්ටය. දෛනික වැටුප මත එදා වේල සරි කරගන්නා ඔවුනට දලු අඩු කාලයට මාසය පුරාම වැඩ ලැබෙන්නේ නැත‍. වැඩ නැති කල පඩි ද නොලැබේ. පඩි නැති කල කුසගිණි ද දැඩි වෙයි. කම්කරුවන් සුපුරුදු වතුවලින් බැහැරව රැකියා සොයා යන්නේ ද කම්කරු ලියන් රැකියා සොයා එතෙර යන්නේ ද මේ ආර්ථික අහේනියෙන් මිදෙන්නට සිතා ය. එහෙත් කතුන් එතෙර යන පවුල්වල සැමියන්ට මෙන් ම දූ දරුවන්ට ද ඉන්පසුව අත්විඳින්නට සිදුවන ඉරණම පෙර තිබුණාට වඩා මෙය වර්තමානයෙහි මෙරට ප්‍රධාන සමාජ ආර්ථික ගැටලුවක් බිහි කරන්නට හේතු වී තිබේ.

කලක් තිස්සේම පාඩු ලබමින් තිබූ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව මේ ගැටලු බොහොමයකට විකල්ප විසඳුමක් ලෙස කම්කරු පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමේ සහ කාන්තාවන් බලගැන්වීමේ අරමුණු පෙරදැරි කරගෙන සංස්ථාවට අයත් වතුකර ජනතාවට ස්වයං රැකියා ව්‍යාපෘති රැසක් හඳුන්වා ‍දුන්නේ ය. වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පුහුණු නිලධාරිනියක වූ අනුලා රත්නායක මහත්මියගේ පුහුණුව හා අධීක්ෂණය යටතේ කම්කරු ලියන් හට විවිධ ස්වයං රැකියා හඳුන්වා දී තිබේ. මදුරුකූරු, හඳුන්කූරු නිෂ්පාදනය, තිර රෙදි, කොට්ට උර, ඇඳ ඇතිරිලි, තුවා සහ මදුරු දැල් මැසීම, පාවහන් හා ගමන් මලු නිෂ්පාදනය ඒ ස්වයං රැකියා අතරින් කිහිපයකි. වතුවල කම්කරු පවුල්වලට පුහුණු කරන ලද මෙම ව්‍යාපෘතිවලින් ඉහළ දෛනික ආදායමක් ලබන කම්කරු පවුල් බොහෝ ය. ඒ අතර රත්තොට මිඩ්ලන්ඩ් වතු යායේ කම්කරු කාන්තාවෝ ද වෙති.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතාගේ අදහසක් අනුව එහි ව්‍යාපෘති නිලධාරිනි අනුලා රත්නායක මහත්මිය උපදෙස් හා පුහුණුව යටතේ මිඩ්ලන්ඩ් වතු යායේ කාන්තාවෝ පාසල් පොත් බෑග් සහ කාන්තා ගමන් මලු නිෂ්පාදනය කරති. ම්ඩ්ලන්ඩ් වත්තේ කාන්තාවෝ විසි පස් දෙනෙකු පමණ කාන්තා සහ ළමා ගමන් මලු නිෂ්පාදනය කරති. අලංකාර රටාවන් හා මනා වර්ණ සංකලනයෙන් යුතු මේ ගමන් මලු හා පාසල් බෑග් අගනා නිමාවකින් යුතු ය. ‘සංස්ථා’ සන්නාමයෙන් යුතු මේ මලු වෙළෙඳපොළෙහි ඇති අන් මලුවලට වඩා මිලෙන් අඩු ය. මිඩ්ලන්ඩ් වතුයායේ කම්කරු ලියන්ගේ කඩිසර දෑතින් නිමවන සංස්ථා ගමන්මලු නොබෝ දිනකින් ම අලෙවිය සඳහා සූදානම් බව වැවිලි සංස්ථාවේ විශේෂ ව්‍යාපෘති නිලධාරී දර්ශන විජේසිංහ මහතා පවසයි. ගමන් මලු මැසීම් සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ හා උපදෙස් කම්කරු ළඳුනට සංස්ථාව මඟින් ම සපයනු ලැබේ. කතුන් විසින් මසනු ලබන මලු සංස්ථාව මඟින් අලෙවි කෙරේ. කාන්තාවක විසින් දිනකට මලු 10 ක් පමණ මසනු ලබන අතර කාන්තාවකට මසකට මැහුම් කුලී 20,000 ක් පමණ සංස්ථාව ‍මඟින් ගෙවනු ලැබේ‍‍.

හේ දලු නෙළීමෙන් වල් නෙළීමෙන් හෝ පිට ගම්වල කම්කරු රැකියාවල නියැළෙමින් එදා වේල සරිකරගත් ළඳුනට මෙම ස්වයං රැකියා ව්‍යාපෘතිය මඟින් හොඳ ආදායමක් උපයා ගැන‍ීමට අවස්ථාව උදාවී තිබේ. අවු වැසි අනුව අස්වනු වෙනස්වන තේ කර්මාන්තය මෙන් නොව මෙවැනි ස්වයං රැකියා වසරේ සෑම දිනකම පහසුවෙන් සාර්ථක ආදායමක් උපයා ගන්නට කම්කරු ලියනට අවස්ථාව ලබා දෙන බව මිඩ්ලන්ඩ් වතුයායේ සහකාර වතු අධිකාරී අමිල සෙනරත් මහතා පවසයි.

අස්වනු සරු කලට තේ වතුවල වැඩ කරන අතරම ගමන් මලු මැසීම ද කරගෙන යා හැකි ය.‍ දරු පවුල ද රැකබලාගෙන තමන් ජිවත්වන වත්තේම රැඳී සිටිමින් පහසුවෙන් හා සතුටින් මේ කර්මාන්තවල නියැළෙන්නට හැකි බව ද සෙනරත් මහතා පවසයි.

අමතර ආදායම් මඟක් ඇති හෙයින් දැන් කම්කරු ලියන් ආර්ථික අතින් ද සවිමත් ය. දරුවන්ගේ ද පවුලේ ද වියදමට සෑහෙන ධනයක් යොදවමින් යම් මුදලක් ඉතිරි කරගන්නටත් දැන් ඔවුන් සමත් ය. පවුලට බරක් නොවන බිරින්දෑවරු සැමියාගේ ද ඥාතීන්ගේ ද ගෞරවයට ලක්ව සිටිති. තමාට ද යමක් නිර්මාණය කරමින් උපයා සපයා ගත හැකිය යන අභිමානයෙන් මේ ළඳුන් තුටු පහටු වේ. මිඩ්ලන්ඩ් වත්තේ කම්කරු සමුපකාර සමිතියෙන් පහසුවෙන් ලාභයට යමක් මිලදී ගන්නට මෙන් ම බියෙන් සැකෙන් තොරව ම ණයක් ලබා ගන්නට ද දැන් ඔවුන් සමත්වන බව සුබසාධන නිලධාරිනී මුතුලක්ෂ්මී පවසයි. සංස්ථා ගමන් මලු සහ පාසල් බෑග් ඔවුන්ට නව ලොවකට මඟ පෙන්වමින් තිබේ‍. නොනැවතී ඒ ම‍ඟෙහි ගමන් කිරීම ඔවුන්ගේ අරමුණය. ඒ අහිංසක අරමුණ ඉටුවන දිනය අත ළඟ ය. තමන්ටත් යමක් උපයාගෙන සංස්ථාව ද රැක ගැනීම ඔවුන්ගේ සිහිනයයි. ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට මඟ පෙන්වන සභාපතිවරයා, ව්‍යාපෘති නිලධාරිනිය හා නිලධාරීන් සැම මිඩ්ලන්ඩ් වතුයායේ කම්කරු ලියන් සිහි කරන්නේ කෘතගුණ පෙරදැරිවය.

ඡායාරූප - තිලක් පෙරේරා
සාගරිකා දිසානායක

 

අදහස්