දෑත් දෙපා පණ නැති වුව තෙලිතුඩට පණ දෙන ලීන් බීතම් | සිළුමිණ

දෑත් දෙපා පණ නැති වුව තෙලිතුඩට පණ දෙන ලීන් බීතම්

මිනිස් ජිවිත කැන්වසයේ අදිනු ලබන චිත්‍රයක් මෙන් සුන්දර නොවන්නේ ය. විටෙක දුකත් තවත් විටෙක සතුටත් උරුම වී තිබෙන මිනිස් ජීවිතවල අවිනිශ්චිතභාවය ද කැටි වී තිබේ.එමෙන් ම පුද්ගලයෙකුට කායික අපහසුතා කොතෙක් තිබුණ ද එම පුද්ගලයාගේ දක්ෂතාවයන් මුළු ලෝකයටම පෙන්වීම සඳහා එම පුද්ගලයාගේ ශාරීරික දුර්වලතාවයන් කිසිදු විටක බාධාවක් නොවන්නේ ය.1987 වර්ෂයේ යෝක්ෂයර්හිදී උපත ලද ලීන් බීතම් උප්පත්තියේ දීම දුර්ලභ ගණයේ Arthrogryposis Syndrome නමැති අබාධිත තත්ත්වයට පත් වී සිටියා ය. ඒ හේතුවෙන් ලීන්ට අත් සහ පාද අධාරයෙන් තමන්ගේ කාර්යයන් කිරීමට නොහැකි විය.ඇය වයසින් පරිණත වුව ද ඇගේ අබාධිත තත්ත්වය යම් තරමින්වත් සුව නොවී ය.

වයස අවුරුදු තුන වන විට දී ඇය වඩාත් ඇල්මක් දැක්වුයේ චිත්‍ර ඇඳීමට ය. දෑත් අක්‍රීය වී තිබීම නිසා ඇයට අනෙකුත් සාමාන්‍ය ගැහැණු ළමයින් මෙන් චිත්‍ර ඇඳිම ලෙහෙසි පහසු දෙයක් නොවී ය. එහෙත් ඇය චිත්‍ර ඇඳීම කෙරෙහි දැඩි ඇල්මක් දැක් වු නිසා මුඛයෙන් පින්සල රුවාගෙන චිත්‍ර ඇඳීමට ටිකෙන් ටික උත්සාහ කළේ සාමාන්‍ය මිනිසුන් ද පුදුමයට පත් කරමිනි. චිත්‍ර ඇඳීමෙහි ඇය සුවිශේෂී වුයේ වනජීවින් අපුර්වසහගත ලෙස කැන්වසෙහි ප්‍රතිනිර්මාණය කිරීමෙනි. කුඩා කාලයේ පටන් ම වන සත්ත්වයින් චිත්‍රයට නැඟීමට ලීන් සතුව තිබු අපුර්ව කෞශල්‍ය ඇය වයසින් පරිණත වනවාත් සමඟම වැඩි දියුණු වුයේ ඇගේ ආබාධිත තත්ත්වය කිසිදු විටක අභියෝගයක් නොවන අයුරිනි.

2013 වර්ෂයේ දී හුල් හී ජෝන් හී ගැලරියේ දී ඇගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වු අතර ඒ සඳහා ලීන්හට පවුම් දස දහසක් ගෙවනු ලැබී ය.ඊට පෙර රාජකීය චිත්‍ර කලා ඇකඩමිය ඹස්සේ ද චිත්‍ර මහජනයාහට පෙන්වීමට හැකි විය. ඇය චිත්‍ර ඇඳීම සඳහා තීන්ත පමණක් නොව අඟුරු සහ පැන්සල ද භාවිත කරනු ලබයි. දෛවය විසින් ඇයගේ ජීවිතය අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස් කළ ද ඇය සතුව පවතින සුවිශේෂී නිර්මාණශීලී කලා හැකියා මුළු ලෝකයක් ඉදිරිපිට මුළු මනින්ම වෙනස් වු අනඟිබවනීය නිර්මාණ වන බවට සැක නැත.

“මගේ බලාපොරොත්තුව අනාගතයේ දවසක දකුණු අප්‍රිකාවෙයි , බොස්වානාවෙයි සංචාරය කිරීම, මම ආබාධිත නිසා මගේ ඒ ස්ථානවලට ගොස් අවශ්‍යතා සපුරා ගන්නට හැකි වේද කියා බලන්න ඕනේ.ඊට පස්සේ මගේ අවශ්‍යතාවන් ඉටු කර ගන්න පුළුවන් ස්ථාන සොයා ගන්න ඕනේ.ඒ වාගේ ම මගේ අත්උදව්වට යන දෙදෙනෙකුට පඩි ගෙවන්නත් මට මුදල් අවශ්‍යයි"

“මගේ රෝද පුටුවේ ඡායාරූප ගන්න විශේෂ උපකරණයක් තිබෙනවා.ඒකෙන් තමයි මම සත්ත්වයින්ගේ ඡායාරූප ගන්නේ.සිය මුඛයෙන් මගේ කැමරාව හසුරවා ඒත් සමඟ මගේ වම් අතත් සීමා සහිතව භාවිතා කරලා තමයි මම ඡායාරූප ගන්නේ" යනුවෙන්. සාමාන්‍ය මිනිසුන්ට ලෙහෙසියෙන් කළ හැකි කර්තව්‍යක් අපහසුවෙන් කරන ආකාරය විස්තර කළා ය.

මිනිසුන් සතුට දනවන කාර්යයක් ලෙස ඡායාරූප ගැනීම සැළකුව ද ලීන්ට එසේ නොවන්නේ ය . ඇය තම ආබාධිත තත්ත්වය මත මහත් වීර්යයක් යොදා ඇගේ ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා වෙහෙසෙන්නේ අන්‍යන්ට ද සංවේදී සිදුවීමක් එක් කරමිනි.උප්පත්තියේ දීම ඇති වී තිබු දරුණු ආබාධිත තත්ත්වය හේතුවෙන් ඇයගේ කොඳුඇටපෙළට සහ සන්ධිවලට විශාල බලපෑමක් සිදු විය. ඒ හේතුවෙන් ඇයට බොහෝ කාර්යයන් නිරායාසයෙන් කළ නොහැකි විය. එහෙත් ලීන් කිසි විටකවත් තමන්ගේ හැකියාවන් සහ නිර්මාණශීලී කලා කෘති නිර්මාණ කිරීමට ඒ කිසිවක් බාධාවන් ලෙස සැළකුවේ නැත.

“මම නිරන්තරයෙන් සත්වඋද්‍යානවලට සහ උද්‍යානවලට ගොස් ඡායාරූප ගන්නවා.මම සත්ත්වයින්ගේ රූප සිතුවම් කිරීමට බොහෝ කැමතියි.ඒ නිසාම තමයි මම සත්වයින්ගේ සජීවි චර්යා රටා නැරඹීම සඳහා දකුණු අප්‍රිකාවට යෑමට සිතා සිටින්නේ.මම සියලු සතුන්ට ආදරය කරනවා.මම වෙනත් දේවල් පින්තාරු කිරීමට හිතුවත් මගේ අවධානය වැඩිපුර යොමු වන්නේ සත්ත්වයින් වෙතටයි" ඇගේ සියුම් ආකාරයේ කලා නිර්මාණවල වස්තුබිජයන් සොයා ගන්නා ආකාරය පැහැදිලි කළේ ඒ අයුරිනි.

සත්ත්වයින්හට ඇය දක්වන ආදරය සහ කරුණාව හේතුවෙන් සත්ත්වයින්ගේ විස්මයජනක සවිස්තරාත්මක තොරතුරු ඇය සිතුවමට ගෙන ඉන් පසු එය විචිත්‍ර වර්ණයෙන් ආලේප කරන්නේ ය.ලීන් වර්තමානයේ දී ලන්ඩනයේ ඩාවිඩ් ෆෙපර්ඩ් වයිල්ඩ්ලයිෆ් පදනමෙහි සමාජිකත්වය ලබා සිටියි. එපමණක් නොව ඇය වැනි අබාධිත තත්ත්වයේ සිටින කලා හැකියාවෙන් පරිපුර්ණ පුද්ගලයින්ව ධනාත්මක සිතුවිලිවලින් සන්නද්ධ කිරීම ද සිදු කරනු ලබයි.

“මම සත්ත්වයින්ගේ දුෂ්කරතා පිළිබඳව සොයා බලනවා.ඒත් මම ඒ සෑම ස්ථානයකදීම සැහැල්ලුවෙන් සිට මගේ අබාධිත තත්ත්වය මඳකට හෝ අමතක කරන්න තමයි කැමති. මමත් හීන දකිනවා. ඒ හීන කවදා හෝ දිනක ඉෂ්ඨ වෙයි කියලත් බලාපොරොත්තුවෙන් සිටිනවා"යනුවෙන් ඇය සඳහන් කරන්නේ සමාන්‍ය පුද්ගලයින්ට මෙන් ඇගේ ජීවිතයටත් බලාපොරොත්තු තිබෙන බව ය.

උපතින් උරුම වු ඉරණමට වෛර නොකර තමන් සතු දක්ෂතා තුළින් තමන්ගේ ජීවිතයත් අනෙකුත් පුද්ගලයින්ගේ ජීවිතත් තෘප්තිමත් කිරීමට වෙර දරණ ඇය සෑබෑම වීර වන්තියක ලෙස මුළු ලෝකයේ ම ප්‍රකට වී හමාර ය. තමන්ට නොලැබුණ දෑ පිළිබඳව සිතා අන්‍යන්ට ඊර්ෂ්‍යා කරන නුතන සමාජයේ මිනිසුන්ට ඇය සපයන්නේ කදිම ආදර්ශයකි.

අන්තර්ජාලය ඇසුරිණි.

අදහස්