අපේ රෝහල රටේ හොඳම රෝහල කරනවා | සිළුමිණ

අපේ රෝහල රටේ හොඳම රෝහල කරනවා

මම වැඩ බාර ගැනීමට පෙර මේ රෝහලේ මුල්ම සංවර්ධනයේ අඩිතාලම යොදලා තිබුනේ එවකට පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිව සිටි දැනට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක එන්. ෆරීඩ් මහතායි. පසුව වෛද්‍ය අධිකාරි වශයෙන් සේවය කල අශෝක් පෙරේරා සහ සුමිත් අත්තනායක යන මහත්වරුන් රෝහලේ සංවර්ධන වැඩ රැසක් ආරම්භ කළා. මම මේ රෝහලේ වැඩ බාර ගත් පසු අපි විවිධ සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කරමින් යනවා. 2030 වසරේ ලංකාවේ හොඳම රෝහල බවට පුත්තලම මූලික රෝහල පත් කිරීමට අපේ ඉලක්කගත බලාපොරොත්තුවක් තියෙනවා.

කෙතරම් මුදල් හදල් තිබුණ ද අන්තිමට පිහිට ලැබෙන්නේ රජයේ රෝහලකින් පමණක්ය යන්න අද බොහෝ දෙනා අතර මුල් බැස ඇති මතයකි. අතපසු වීම් නිසා යම් යම් තැන්හි වැරැදීම් සිදු වුවද රටේ වැඩි දෙනකුගේ එකම සරණ වන්නේ රජයේ රෝහල්ය. රජයේ රෝහලකට ගියවිට ඒ බව මැනවින් පසක් වෙන්නේ ඒවායේ ඇති තදබදය හා රෝගීන්ට නිසි ප්‍රතිකාර ලැබෙන අන්දම දකිද්දීය. ලෙඩින් දුකින් අසරණ වූවන් අවසානයේ පිහිට පතා දෙවියන් යදිතත් රෝහල්වල තිස්තුන් කෝටියක් දෙවිවරුන් වැඩ නොසිටියත් සැබෑ දෙවිවරු බඳු පිරිසක් අසරණ ජනතාවට පිහිට පිණිස නිරන්තරයෙන් සැදී පැහැදී සිටිති. දෙවියන් සතුවන්නා වූ රැකවරණ ආයුධ වෙනුවට මොවුන් අත ඇති එකම මෙවලම වෙද නලාවයි.

ජනතාවට දයාවෙන් සේවය සපයන වෙද හෙද පිරිසක් සිටින රෝහලක් ලෙස වර්තමානයේ පුත්තලම මූලික රෝහල සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ නමක් දිනා සිටී. මේ රෝහලේ සිටින්නේ අඩු කාර්ය මණ්ඩලයකි. එහෙත් ඒ අඩු සේවක පිරිස රෝගින් වෙනුවෙන් දක්වන අපමණ වෙහස අගය කළ යුතුය. ඇතැම් අවස්ථාවල ඔවුහු රෝහලේ පිරිසුදු කිරීමේ කටයුතු සඳහා ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වෙති.

ඉකුත් දිනක පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් විශාල පිරිසක් තුවාල ලැබූහ. රෝගීන් රෝහලට ඇතුළත් කරද්දී වෛද්‍ය අධිකාරීවරයාගේ නොමද සහාය ඇතිව ප්‍රධාන හෙද පාලිකාවගේ මැදිහත්වීමෙන් වෛද්‍යවරුන් හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් රෝගීන් වෙනුවෙන් කැපවෙනු දුටු බොහෝ දෙනෙක් රෝහල් කාර්ය මණ්ඩලය පැසසුහ. මිනිස් ජිවිත සුවපත් කිරීමට මෙලෙස වෙහෙස වෙද්දී රෝහලේ පවතින අඩුපාඩු ඔවුන්ට යම්තාක් බාධා එල්ල කළත් එය අභියෝගයක් යැයි සිතා ඔවුන්ගේ රාජකාරිය නිසි අයුරින් ඉටු කරන්නේ පුදුමාකාර වෙහෙසක් ගනිමිනි.

පුත්තලම මූලික රෝහලේ වත්මන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරි ආර්. නකුලනාදන් මහතා පසුගිය මැයි මස සිට පුත්තලම මූලික රෝහලේ යෝධ සංවර්ධනයේ නියමුවා වෙමින් රෝහලේ අභිවෘද්ධිය උදෙසා පුරෝගාමිව කටයුතු කරන්නේය. රෝහල් අධ්‍යක්ෂවරයාගේ සහයට නිරන්තරයෙන්ම ඇප කැප වෙමින් සවියක් වී සිටින්නේ රෝහලේ ප්‍රධාන හෙද පාලිකාවන් වන එම්. එච්. පුණ්‍යා ඒකනායක සහ එස්. කුමුදුනි යන හෙද සොහොයුරියන් දෙපළයි. මොවුන්ගේ අප්‍රතිහත ධෛර්යෙන් දැන් රෝහල පුරා දැවැන්ත සංවර්ධනයක අරුණලු පැතිරෙමින් පවතී.

එහි පළමු අදියර ලෙස හෙද නිලධාරිනි නිල නිවහන දැන් ඉදිවෙමින් පවතී. කාමර අටකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීමට පළාත් සභා අරමුදලින් මිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇත්තේය. හෙද නිලධාරිනි නිල නිවස්න ඉදිකිරීමේ දෙවැනි අදියර යටතේ පහළ මාලයේ කාමර අටක ගොඩනැගිල්ලේ වැඩ නිම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ අරමුදලින් මිලියන 20ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව තිබේ. වෛද්‍යවරුන් සඳහා වන සිවු මහල් නිල නිවෙසේ ඉදිකිරීම් මේ වන විට ආරම්භ කර ඇති අතර එහි පළමු මහල සහ දෙවැනි මහලේ වැඩ නිමකර ඇත්තේ පළාත් සභා අරමුදලින් ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන මගිනි. දැන් කඩිනමින් ඉදිවෙමින් පවතින තෙමහල් ඖෂධ ගබඩාවේ මහල් දෙකක වැඩ නිම කිරීම සදහා මිලියන 20ක මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත. හදිසි අනතුරු ඒකකයේ වැඩ දැනටම නිමවා ඇති අතර, එහි ඉදිකිරීම් සදහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගිනි.

පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අධිකාරි ආර්. නකුලනාදන් තනතු‍රේ වැඩ බාර ගත්තේ පසුගිය මැයි මාසයේය.

“ මම වැඩ බාර ගැනීමට පෙර මේ රෝහලේ මුල්ම සංවර්ධනයේ අඩිතාලම යොදලා තිබුණේ එවකට පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිව සිටි දැනට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ එන්. ෆරීඩ් මහතායි. පසුව වෛද්‍ය අධිකාරි වශයෙන් සේවය කල අශෝක් පෙරේරා සහ සුමිත් අත්තනායක යන මහත්වරුන් රෝහලේ සංවර්ධන වැඩ රැසක් ආරම්භ කළා. මම මේ රෝහලේ වැඩ බාර ගත් පසු අපි විවිධ සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කරමින් යනවා. 2030 වසරේ ලංකාවේ හොඳම රෝහල බවට පුත්තලම මූලික රෝහල පත් කිරීමට අපේ ඉලක්කගත බලාපොරොත්තුවක් තියෙනවායි. හැබැයි ඒ සිහිනය ඒ ඉලක්කය ගොඩනැගිලිවලින් විතරක් පිරිලා මදි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම මගින් අපේ ඉලක්කය සපුරා ගැනීමට සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයම නිරන්තරයෙන් ඇප කැපවී සිටිනවා.”

කේ. ප්‍රියංකර
සටහන සහ සේයාරූ
වනාතවිල්ලුව විශේෂ

අදහස්