දෘශ්‍යාබාධිතයන්ටත් අර්ථසාධක සහිත රැකියා | සිළුමිණ

දෘශ්‍යාබාධිතයන්ටත් අර්ථසාධක සහිත රැකියා

 අන්ධ පුද්ගලයන් උදෙසා අපේ රටේ රැකියා ලබා දීමේදී රැකියා අපේක්ෂිතයාගේ සර්ව සම්පූර්ණ යෝග්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීම නිසා යම් යම් දුබලතා ඇති අයට රැකියා ලබා ගැනීම විශාල ගැටලුවක්ව තිබේ. මේ නිසා ආබාධ ඇති අයට රැකියාවක් කර යමක් හරි හම්බ කර ගැනීම පිළිබදව ඇත්තේ විශාල සිහිනයකි.

අතක් හෝ පයක් නැත්නම් ඒ පුද්ගලයා ආබාධිතයෙකි. ඔහුට යමක් කිරීමට නොහැකි බවට අපේ සමාජයේ මතයක් ගොඩ නැගී ඇත. එහෙත් එවන් මතයන් දුරු කරන්නට වසර කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අම්මාගේ කරපිටින් විශ්වවිද්‍යාලයට පැමිණි සිසුවකු සමත් විය.

අවාසනාවකට මෙන් විශේෂ අවශ්‍යතා ඇති අය උදෙසා ප්‍රමිතිගත නිසි ජාතික ප්‍රතිපත්තියක් හෝ අපේ රටේ නොමැත. රජයේ හා විශේෂ ආයතන ගොඩනැගිලිවලට ඇතුළු වීමේදී ආබාධ සහිත තැනැත්තන් උදෙසා පිවිසුම් ක්‍රමයක් තිබිය යුතු බවට අපේ රටේ නීතියක් පැනවුණේ ආබාධ සහිත තැනැත්තන් විසින් පවරනු ලැබූ නඩුවකින් පසුවය.

අපේ රටේ එවන් තත්ත්වයක් තිබුණත් විශේෂ අවශ්‍යතා ඇති අයට ලෝකයේ බොහෝ රටවල අවශ්‍ය පහසුකම් සපයා තිබේ. කෙසේ වුවත් දෑසම නොපෙනෙන අයට නම් රැකියාවක් කර ගැනීම අපේ රටේ සිහිනයක් බදු වූ දෙයකි. අපේ රටේ ඇස් නොපෙනෙන අයට බොහෝ විටම උරුමව ඇත්තේ ලොතරැයි පත් අලෙවිය වැනි ස්වයං රැකියා පමණි. කලාතුරකින් යම් අයකුට රජයේ රැකියාවක් උරුමව ඇත. ඒ අධ්‍යාපනයෙන් ඉහළට ගමන් කළ අයෙකුට පමණි.

එහෙත් සාමාන්‍ය දැනුම ඇති දෑස නොපෙනෙන අයට කාගේ පිහිටද? ඔවුන්ද මේ රටේම පුරවැසියන්ය. ඔවුන්ද ප්‍රණීත ආහාර පාන ගැනීමට කැමැතිය. තමන්ට නොපෙනුනත් හොදින් අඳින්නට පළදින්නට කැමැතිය. එහෙත් මේ කිසිවකට උරුම කම් කියන්නට ඔවුන්ට නොහැකි වී ඇත්තේ සාමාන්‍ය දැනුම ඇති දෑස නොපෙනෙන අයට කරන්නට අපේ රටේ රැකීරක්ෂා නොමැති හෙයිනි.

එහෙත් අපේ රටේ දෑස නොපෙනෙන අධ්‍යාපනයෙන් ඉහළට යාමට නොහැකි වූ අයට අත මිට සරු වෙන ජීවිතයේ සැදෑ සමය වුවද කිසිවකුටවත් බරක් නොවී දිවි ගෙවන්නට හැකි රැකියාවන් බිහි කර දෙන්නට සකුරා මල් පිපෙන ජපන් රටේ අයකු ඉදිරිපත්ව තිබේ.

ඔහු නමින් ඉෂිකාවා අනොමොටෝය. ඔහු මීට වසර 14කට පමණ පෙර සිට ලංකාවේ විවිධ වෘත්තීන්හි නියැළී කටයුතු කළ අයෙකි.

ඔහු විසින් දෑස නොපෙනන පුද්ගලයන් සදහා පවත්වාගෙන යන්නේ ජපන් නිල තෙරපුම් සේවා මධ්‍යස්ථානයකි. එහි නිල තෙරපුම් පුහුණුව සදහා තෝරා ගන්නේ අන්ධ පුද්ගලයන් පමණි. ඔවුන්ට මාස 6ක පුහුණුවකින් පසුව ස්ථිර රැකියා ලබා දෙන අතර ඒ රැකියා ලාභීන් සදහා සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල්ද හිමි වේ.

මේ නිල තෙරපුම් කාර්යය සිදු කිරීම් සිදු කර අන්ධ ජනතාවට රැකියා ලබා දෙන ක්‍රියාදාමය ඉෂිකාවා සිදු කරගෙන ගියද එම නිල තෙරපුම් ජපන් ප්‍රතිකර්ම ක්‍රමය සඳහා පූර්ණ සහාය ලබා දෙන්නේ ජපන් අන්ධ වෛද්‍යවරයකු වන වෛද්‍ය සසාදා සබුරෝ ය. ඔහු මාස තුනකට පමණ වරක් මෙරටට පැමිණ අන්ධ පුද්ගලයන් සම්බන්ධව සොයා බලා අවශ්‍ය පුහුණු කටයුතු සිදු කරනු ලැබේ.

අන්ධ පුද්ගලයන් සඳහා මෙවන් කාර්යයක් සිදු කිරීමට පෙලඹුණේ ඇයිද යන්න අපි ඉෂිකාවාගෙන්ම අසා දැන ගතිමු.

ඉෂිකාවා ජපන් සමාගම් රැසක සේවය කෙළේය. ඔහු ගමේ සිංහල ජනතාව සමඟ වැඩියෙන් ඇසුරු කෙළේය. සිංහල ජනතාවට හැකි උපරිම සේවයක් කිරීමට ඔහු කටයුතු කෙළේය. ජපානයේ විවිධ සමිති සමාගම් හරහා මෙරට ජනතාවට ඇප උපකාර කළේය. ඒ අතර 2004 වසරේදී සුනාමිය ලංකාව ගිල ගත්තේය. සුනාමියෙන් බැට කෑ ජනතාවට නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක ඉෂිකාවා සේවය කෙළේය. නොමිලේ නිවාස සිය ගණනක් ජපන් ආධාර ඇතිව ගොඩ නැඟුණි. ඉෂිකාවා එහි බොහෝ වගකිව යුතු තැන් සොයා බැලුවේය.

‘ලංකාවේ ජනතාවගේ ආර්ථිකය අනුව තනිවම ගොඩ නැඟෙන්න අමාරු තත්ත්වයක් තිබුණු බව මම හරියටම තේරුම් ගත්තේ සුනාමියෙන් අවතැන් වූ ජනතාව දිහා බලපුවහමයි. අපි සුනාමි නිවාස ව්‍යාපෘති හැදුවේ ඒක නිසයි. ඒත් මගේ හිත වෙනස් වෙන්න පටන් ගත්තේ ඒ නිවාස ව්‍යාපෘතියේදී මතුවුණු කරුණක් හින්දයි. අපි ගෙවල් හදල දීල අයිතිය පවරල දුන්නාට පහුවදා එක පිරිමි කෙනෙක් මාව හොයාගෙන මගේ කාර්යාලයට ආවා. ඒ අපි ගෙවල් දීපු කෙනෙක්. එයා කිව්වා. ඔබතුමාල අපට දීපු ගෙදර එක බල්බ් එකක් පිච්චිලා ඒක දාල දෙන්න කියලා, මම එවේලේ තේරුම් ගත්තා ලංකාව අයට යමක් නිකම් දෙන එක ඒ තරම් සුදුසු නැහැ කියල.

එදා ඉඳල මම තේරුම් ගත්තේ කොහොමද ලංකාවේ අයට තනිවම යමක් කර ගන්න උදවු කරන්නේ කියලා. මොකද සමාජ සුබසාධන සමාජ සේවා වගේ දේවල් ලංකාවට ගැළපෙන්නේ නැහැ. එහෙම වුණහම මේ රටේ අය නිකම්ම ඉදගෙන අතට යමක් ලැබෙනකල් බලාගෙන ඉන්නවා.

ලක්ෂ 10ක විතර ගෙයක් හදල දුන්නහම ඒකේ බල්බ් එකක් පිච්චුණාමත් මහ දුරක් ගෙවාගෙන ඇවිත් ඒකත් දාල දෙන්න කියන තරම් මිනිස්සුන්ගේ හිත් කම්මැළි නම් ඒ අයට කවදාවත් තනිවම නැගිටින්න බැරිවෙන බව මම දැනගත්තෙ මේ රටේ අහල දැකල තියෙන අත්දැකීම්වලින්. ඒක නිසා ලංකාවේ ජනතාවට පුළුවන්තරම් තනිවම නැඟිටින්න ඉඩ සලස්වන්න ඕන කියන තීරණේට මම ආවා.

ඒ තීරණේ ගත්තෙ කා එක්කවත් තරහකට නෙමෙයි. එහෙම නොවුණොත් හැමදාම අනුන්ගෙන් යමක් ලැබෙනකල් බලාගෙන ඉන්න පුරුදු වෙනව.

ඒ එක්කම මම හුඟක් දුක්වුණා මේ රටේ අන්ධ ජනතාව විඳින දුක දැකලා. ඒ අයට ලෝකයම පේන්නෙ නැහැනේ. ඒ අයට සේවයක් කරන්න පුළුවන් දෙයක් මුල් කරගෙන කරන්න පුලුවන්නම් හොදයි කියලා හිතුණා. මොකද මේ රටේ ඇස් නොපෙනෙන ගොඩක් අය කරන්නේ ලොතරැයි ටිකට්පත් විකුණන එක. එහෙමත් කෙනෙක් තමයි වෙනත් රස්සාවක් කරන්නේ. ඒක නිසා ඒ අය වෙනුවෙන් යමක් කරන්න මම තීරණය කළා.

ඒ අනුව තමයි මම ජපන් අයගේ උදවු අරගෙන මේ ආයතනය පටන් ගත්තේ. මේ ආයතනය සමාජ සේවා ආයතනයක්ම නෙමෙයි මේක සමාජ ව්‍යාපාරයක් ලෙසින් තමයි හඳුන්වා දුන්නේ.

අන්ධ අයට ජපන් නිල තෙරපුම මෙහිදී උගන්වනවා. ජපන් භාෂාවෙන් ඒකට කියන්නෙ ෂයිට්සු ‘SHIATSU‘ කියල. ඒ නිල තෙරපුම ජපන් සම්බාහන විද්‍යාවක්. ඒ නිල තෙරපුම නිසා අන්ධ අයට පුළුවන්කම ලැබෙනවා අනෙක් අයට සෙත සලසන අතරේ තමන්ට ආදායමක් උපදවා ගන්න. නිල තෙරපුම් මඟින් සැලකිය යුතු සහනයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මකව එය සිරුරට විශාල ගුණ දෙන්නක් බවත් පෙන්නුම් කරලා තියෙනවා.

මේ අය පුරුදු පුහුණු කරන්නෙ ඉන්දියාවේදී පුහුණුව ලත් නිල තෙරපුම් විශේෂඥයෙක් විසින්. ඒ අමිත් රන්ජන්. එයා පුරුදු කරන්නේ ඉංගිරිසියෙන්. පුහුණු වෙන කාලෙදි මේ සියලු දෙනාට ආහාර නවාතැන් සියල්ලම නොමිලේ ලැබෙන්නේ. මාස 6ක පුහුණුවට එක් අයෙකුට ලක්ෂ 6ක පමණ මුදලක් වැය වෙනවා. පුහුණුවෙන් පසුව මේ ස්ථානයේම රැකියා ලබා දෙනවා. එක් අයකුට මසකට රුපියල් 35000.00ක පමණ වැටුපක් හිමිවෙනවා. ඊට අමතරව සන්තෝෂම් එක්ක රුපියල් 50000ක් ඉක්ම වන මාසික වැටුපක් ඒ අයට හිමි වෙනවා.

නිල තෙරපුම ජපානයේ හරිම ජනප්‍රියයි. ලංකාවේත් ඒ ජනප්‍රියත්වය ඇති කරන්නයි මට අවශ්‍ය වන්නේ. එවිට මේ අන්ධ ලෝකය නොදකින අයට වැඩි වැඩියෙන් සේවය කරන්න පුළුවන් වෙනවා. ඒ අයගේ අත මිට සරු වෙනවා. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහි වෙනවා.දැනට තියෙන පහසුකම් එක්ක අපට මේ සේවාවට සම්බන්ධ කරගෙන පුහුණුව සලසලා රැකියා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පිරිමි පක්ෂයේ අයට විතරයි.

මේ සියලු දෙනාටම සේවක අර්ථ සාධක අරමුදලත් සේවා නියුක්ති භාර අරමුදලක් තියෙනවා. කිරුළපනේ විශාල නිවසකයි මේ අය පදිංවි වෙලා ඉන්නේ. ඒ සඳහා විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒත් අන්ධ ජනතාවට සිදුවන සේවාව ඊට වඩා විශාල නිසයි අපි මේ සේවය ඒ විදිහටම කරගෙන යන්නේ.‘

ඉෂිකාවා විසින් අරඹා ඇති මේ සමාජ ව්‍යාපාරය රටේ සෙසු සියලු දෙනාටත් ආදර්ශයක් ලෙසින් ගන්න පුළුවන්. දෑස නොපෙනෙන අය ගෙවන දිවිය කෙතරම් කටුකද යන්න දන්නේ ඒ අය සමඟ සබඳතා පවත්වනු ලබන පිරිස පමණකි. දිවා රැයේ වෙනස පවා නොදකින මේ අය වෙනුවෙන් අපට කරන්නට තවත් බොහෝ දේ ඇත. ඉෂිකාවා විසින් ගෙන යනු ලබන මේ සමාජ ව්‍යාපාරය මෙන් තවත් ව්‍යාපාර හරහා මේ අන්ධ ජනතාවට සේවයක් කරන්නට හැකිනම් එය රටේ ආර්ථිකයට පවා සිදු කරනු ලබන විශාල දායකත්වයකි. මේ වන විට අන්ධ විද්‍යාලයයේ පවා ඉතිරී යන තරමට සිසු දරු දැරියන් සිටිති.

කොළඹ 7, විහාරමහාදේවි උද්‍යානයට සමීපව පවත්වාගෙන යනු ලබන අන්ධ අය වෙනුවෙන්ම කැපවුණු මේ සමාජ ව්‍යාපාරයට අවශ්‍යතාවක් ඇති දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙතොත් ඒ සඳහා යොමු කරවන්න. එහි දුරකථන අංකය වන්නේ 0114369967 යි. වසර 14කට වැඩි කාලයක් තිස්සේ මෙරට රැදී සිටින ඉෂිකාවාටද මැනවින් සිංහල භාෂාව හැසිරවීමට හැකියාව තිබෙන නිසා මේ ස්ථානයෙන් කටයුතු සිදු කර ගැනීම වඩාත් පහසු වේ.

තාරක වික්‍රමසේකර
සේයාරූ - රුක්මල් ගමගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.