දුෂ්කර ප්‍රදේශවල ආයෝජකයන් දිරිගැන්වීමේ සහන පැකේජයක් | සිළුමිණ

දුෂ්කර ප්‍රදේශවල ආයෝජකයන් දිරිගැන්වීමේ සහන පැකේජයක්

 පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවල දියුණුව උදෙසා නව ආ‍යෝජන සිදුකරන පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට ආකර්ෂණීය දිරිගැන්වීමේ පැකේජයක් මුදල් කොමිෂන් සභාව රජයට නිර්දේශ කොට ඇතැයි ද මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි. යෝජිත දිරිගැන්වීමේ පැකේජය පොලී සහනාධාර, බදු නිදහස් කිරීම්, බදු සහන, සහනදායී ණය යෝජනා ක්‍රම හා ඒ හා සමාන ක්‍රමවල සංකල්නයක් විය යුතු යැයිද මුදල් කොමිෂමේ නිර්දේශය වී තිබේ. මුදල් කොමිෂන්සභාව වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති කාර්යයන්, 2018 වර්ෂය සඳහා වූ මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව “සිළුමිණ” සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් තෙන්න‍කෝන් මහතා කියයි.

ස්වාධීන කොමිෂන්සභාවල කාර්යභාරය පිළිබඳව එක් සාකච්ඡා මේසයකදී මෑතකදී කතිකා වුණා නේද? ඒ පිළිබඳව ඔබේ මතය අවධි කළ හැකිද?

ඔව්! මේ මාසේ 08 වැනිදා අපි කොළඹදී අපේ පාර්ලිමේන්තුවේ කථානායක දේශබන්ධු ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීහු සාකච්ඡා කතිකාවක් පැවැත්තුවා. එය ඉතාම පලදායී කතිකාවක්

මේ කතිකාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු හා එක්ව සිටියා. එහිදී ඒ ඒ කොමිෂන්සභා සිදු කරන කාර්ය කාර්යක්ෂමව ඵලදායී සේවා බවට පත් කරන්නට මගපෙන්වීමක් ලැබුණා.

අපේ ර‍ටේ ස්වාධීන කොමිෂන් සභා ගැන රටේ ජනතාවට යම් දැනුවත්භාවයක් ලබාදිය යුතුයි නේද?

එදා අපේ කතිකාවේදී මතු වූ එක් ප්‍රබල කරුණක් තමයි මේ ජනතාව දැනුවත් කිරීම කියන කථාව. අපට කථානායකතුමා එහිදී උපදෙස් ලබා දුන්නේ තම තමන් කරන සේවා කාර්යයන් ගැන පොදු ජනතාව දැනුවත් කරන්න ලෙසයි. මේ ස්වාධීන කොමිෂන් සභා සෑම එකකම පිහිටුවීමේ අරමුණ රටේ පුරවැසියා ශක්තිමත් අයෙකු කිරීමයි. එනිසා කොමිෂන් සභා ගැන ජනතාව දැනුවත් වී සිටීම ඉතාම වැදගත්.

මුදල් කොමිෂන් සභාවේ ආරම්භය සිදු වන්නේ කොහොමද?

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මඟින් පළාත් සභා ස්ථාපති කලානේ. ඊට පස්සේ පළාත් සභාවලට අයත් විෂයන් සඳහා බලය පැවැරීමක්ද, ජාතික ආණ්ඩුවට අයත් විෂයන් සඳහා තවත් බලය පැවැරීමක්ද වෙන වෙනම සිදු කළා. ඊට අමතරව ජාතික හා පළාත් මට්ටමේ පරිපාලනයේ එකඟතාවය තුළින් කටයුතු කළ යුතු සමගාමී ලැයිස්තුවක්ද හඳුන්වා දුන්නා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154ජ යටතේ මුදල් කොමිෂන් සභාව පිහිටුවා තිබෙනවා. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් කොට තිබුණත් අපේ ආරම්භයට 13 වැනි සංශෝධනයේ ප්‍රතිපාදන ලැබිලා තියෙනවා.

ඒ අනුව මුදල් කොමිෂන් සභාවේ වර්ථමාන සාමාජිකයන් ලෙස උදිත එච්. පලිහක්කාර මහතා (සභාපති) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා (මහබැංකුවේ අධිපති), ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා (මුදල් අමාත්‍යාංශයේ ලේකම්), වී. කනගසභිපති මහතා (සාමාජික) හා එච්. එම්. සෆ්රුල්ලා මහතා (සාමාජික) කටයුතු කරනවා.

මුදල් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යභාරය කුමක්ද?

අපේ රටේ අලුතින් ස්ථාපති කළ පළාත් සභා ක්‍රමය නිසා විමධ්‍යගතවූ පළාත් පාලනයක් බිහිවුණා. පළාත්වල කටයුතු සඳහා ප්‍රමාණවත් අරමුදල් ආණ්ඩුව විසින් කොමිෂන් සභාවේ නිර්දේශ අනුව හා කොමිෂන් සභාවෙන් විමසා වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන්කරදිය යුතුයි. ඒ දේට සහාය වීමත් පළාත් අතර අරමුදල් බෙදා දීමේ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සකස් කිරීමත් මුදල් කොමිෂමේ ප්‍රධාන කාර්යයන්වෙනවා.

ඒවාගේමයි පළාත්වල මුදල් කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් මුදල් කොමිෂන් සභාවට පවරන වෙනත් යම් කරුණු කාරණාත් ඉටු කිරීම සිදු කරනවා. ඒවාගේ අවස්ථාවකදී ජනාධිපතිවරයාට අපේ යම් යම් නිර්දේශ ඉදිරිපත් කිරීම අනිවාර්යෙන්ම සිදු කරනවා

ජනාධිපතිවරයාට ඔබ මුදල් කොමිෂන් සභාව ලබා දෙන නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවෙනවාද?

අපි, ජනාධිපතිවරයාට ලබාදෙන සෑම නිර්දේශයක්ම පාර්ලිමේන්තුවට දැනුම්දීමට ජනාධිපතිතුමා කටයුතු කරනවා. ඒ නිර්දේශ මත ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාදැයි ඉන්පසු පාර්ලිමේන්තුවම දැනුමක් ලැබිය යුතුයි. එය ඉතාම වැදගත් දෙයක්.

අපේ රටේ කොළඹ, බස්නාහිරට පමණක් සීමා නොවූ සමාජ, ආර්ථික, යටිතල පහසුකම් සංවර්ධනයක් මුළු රටේම ඇතිවිය යුතුයි. එය ඉතාම වැදගත් දෙයක්. ඒ සඳහා පළාත් සභාවලට අවශ්‍ය ශක්තිය සපයන්නේ ඔබ කොමිෂන් සභාවයි.

ඔව්! ඒ ඔබ මතුකරන මතය නිවැරදි එකක්. අපි නිතරම අත්සාහ ගන්නේ රටපුරා විසිරුණු තුලිත සංවර්ධනයක් ඇති කිරීමට දිරිදීමටයි.

ඒ අනුව යමින් මෙවර ඔබ කොමිෂම් සභාව වසර 2018 සඳහා ජනාධිපතිතුමාට යම්යම් නිර්දේශ ඉදිරිපත් කරන්න ඇති නේද?

ඉදිරිපත් කළා. ඒවාට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඊට පස්සේ එම නිර්දේශ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

ප්‍රධාන වශයෙන් ඒ නිර්දෙශ මොනවාද?

අපි ජනාධිපතිතුමාට ඉදිරිපත්කළ නිර්දේශ 11ක් ප්‍රධානයි. ඒ තුලින් අපි බලාපොරොත්තු වුණේ පලාත්සභාවලමුදල් වෙන් කිරීමේදී තාර්කික ක්‍රමවේදයක් ගොඩනැගීම. ජාතික මට්ටමෙනුත්,පළාත් මට්ටමෙනුත් එකම දේට මුදල් වෙන් වෙන්ව නොයොදා කටයුතු කිරීමට මඟපෑදීම, ජාතික සැලසුම්කරණයකට රට යොමු කිරීම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවයක් ඇතිකිරීම ආදිය සිදු කරවීමටයි.

ඒ නිර්දේශ ගැන වැඩි වශයෙන් යමක් කිවහැකිද?

රට තුළ තුළිත ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ජාතික අයවැයෙන් පළාත් සභාවලට වෙන් වන සුළු ප්‍රතිපාදන ප්‍රමාණය පමණක් තාර්කික ක්‍රමවේදයක් මඟින් පළාත් අතර බෙදා හැරීම ඵලදායී නොවේ. එබැවින්, ජාතික අමාත්‍යාංශ විසින් පළාත් සංවර්ධනය සඳහා යොදවන අරමුදල් ද ඒ ඒ පළාත්වලට අදාළව මුදල් කොමිෂන්සභාව විසින් නිර්දේශ කරන ලද අනුපාත සලකා බලා පළාත් අතර වෙන් කිරීමට මුදල් කොමිෂම නිර්දේශ කරනු ලැබූ අතර වෙන් කිරීමට මුදල් කොමිෂම අප නිර්දේශ කරනු ලැබුවා.

මධ්‍යම රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කළ යුත්තේ කුමක්ද?

එහිදී විමධ්‍යගත විෂයයන් යටතට ගැනෙන අංශ සංවර්ධනය සඳහා වෙන් කරනුලබන ප්‍රතිපාදන පළාත් සභා හරහා ලබා දීමට නිර්දේශ කළා.

රේඛීය අමාත්‍යාංශ මඟින් හඳුනාගන්නා ලද විමධ්‍යගත විෂයන් යටතට ගැනෙන ව්‍යාපෘති ඇතොත් එම ව්‍යාපෘතින්ද පළාත් සභා හරහා ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මෙමඟින් කාර්යයන් හා අරමුදල් ද්විකරණයවීම අවම වීම තුළින් ඵලදායී ලෙස අරමුදල් උපයෝජනය හා ආයෝජනවල විනිවදභාවය හා වගවීම පවත්වාගත හැකි‍ෙවනවා.

අපේ රටේ එක් එක් ආයතන අතර පවතින මූල්‍ය සම්බන්ධතා දුර්වලයි නේද? එය ගැන අවධානය යොමුවෙලා තියද?

ඇයි නැත්තේ, තුලිත ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලියේදී, දුර්වල අන්තර් රාජ්‍ය මූල්‍ය සබඳතා හා සම්බන්ධීකරණය නිසා රාජ්‍ය අරමුදල් වෙන් කිරීම හා පළාත් අතර ආයෝජන සම්බන්ධ තොරතුරු නොමැති බව අපට දකින්නට ලැබුනා. ඒ නිසා ජාතික සැලසුම්කරණයේදී පොදු සැලසුම් රාමුවක් නොතිබීම ඵලදායී තීරණ ගැනීමේ ක්‍රියාවලියකට බලපාන ප්‍රධාන ගැටළුවක් බවත් අප හඳුනා ගත්තා. එබැවින්, බලය බෙදා හැරීමේ සංකල්පයට හානියක් නොවන පරිදි ජාතික හා උප ජාතික සැලසුම්කරණය සඳහා පොදු සැලසුම් රාමුවක් ස්ථාපනය කිරීම නිර්දේශ කරනු ලැබුවා. තවද ව්‍යාපෘති කළමනාකරණ හා මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙනු ලබන ජාතික හා උප ජාතික මට්ටමේ කළමනාකරණ තොරතුරු පද්ධතියක් (Mis) මගින් සැලසුම්කරණයට හා මෙහෙයුම්කරණයට අවශ්‍යතොරතුරු ලබාගන්නත් පුළුවන්කම තියෙනවා.

පළාත්සභාවල මානව සම්පත් සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කළ යුතුයි නේද?

ජාතික ප්‍රතිපත්තීන් හා ප්‍රමුඛතාවයන්ට අනුගත වෙමින් පළාත් සභාවලට මෙන්ම රේඛීය අමාත්‍යාංශවලට වෙන් වන ප්‍රතිපාදන ආයෝජනය කරමින් සංවර්ධන කාර්යයන් ඉටු කරලීමෙහිලා පළාත් සභා විසින් ප්‍රධාන කාර්යයක්ඉටු කරනවා. එහෙයින්, පළාත් සභාවලට වෙන්වන පුනරාවර්තන වියදම් මඟින් පළාත් සභාවල සංවර්ධන කාර්යයන්ට මෙන්ම රේඛීය අමාත්‍යාංශවල සංවර්ධන කාර්යයන්ටද අවශ්‍ය මානව සම්පත් සපයනු ලබනවා. ඒ නිසා පළාත් සභාවල මානව සම්පත් සංවර්ධනය කිරීම පිළිබඳ ඉහළ අවධානයක් යොමු කිරීමට මුදල් කොමිෂන් සභාව මෙවර නිර්දේශ කළා. ඒ අනුව අත්‍ය අවශ්‍යතා හඳුනාගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ ඇගයීම ප්‍රවර්ධනය කිරීම තුළින් සංවර්ධන ව්‍යාපෘති ඵලදායීව කළමණාකරනය කළ හැකි වනවා.

අපේ ර‍ටේ අධ්‍යාපන අංශයේ සංවර්ධනයට අදාළව කළ නිර්දේශ මොනවාද?

ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා පෞද්ගලික පාසල් සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය හා විධිමත් ලෙස මෙහෙයවීමක් රජයේ අධයාපනය තුළින් ලබාදීමට නිර්දේශ කළා. ඒ වගේම සිසුන්ගේ කුසලතා සංවර්ධනය සඳහා නිසි මඟ පෙන්වීමක් රජයේ අධ්‍යාපනය තුළින් ලබාදීමට නිර්දේශ කළා.

මේ වනවිට ස්වාභාවික ආපදා බොහෝමයකට මුහුණදීමට සිදුවී තිබෙන කාලයක්. ඒ සම්බන්ධයෙන් ඔබලා අවධානය යොමු කර තිබේද?

ස්වාභාවික විපත් හේතුවෙන් විනාශයට පත් වූ විමධ්‍යගත විෂයයන්ට අයත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් පළාත් අයවැයෙන් වෙන් කිරීම නිර්දේශ කළේ ඒ අනුවයි.

එය ඉතා හොඳ නිර්දේශයක්. ඒ වගේම තුළින් සංවර්ධනයක් ඇතිකරන්නට කළ නිර්දේශ මොනවාද?

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවල ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින පුද්ගලික ආයෝජකයින් සඳහා ආකර්ෂණීය දිරිගැන්වීමේ පැකේජයක් හඳුන්වා දීමට නිර්දේශ කළා.

සාකච්ඡා කළේ
ජයසිරි මුණසිංහ

 

අදහස්