ඇල්කඩුව වැවිලි සමාගම දැන් රජ ගමනේ | සිළුමිණ

ඇල්කඩුව වැවිලි සමාගම දැන් රජ ගමනේ

 පසුගිය දශක කිහිපය මුළුල්ලේ ම පාඩු ලබමින් වසා දමන තත්ත්වයට පත්ව තිබූ ඇල්කඩුව වැවිලි සමාගම වර්තමානය වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර 2017 වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන විස්සක් පමණ වූ බව ඇල්කඩුව වැවිලි සමාගමෙහි සභාපති නිලූ විජේදාස මහතා පවසයි. 2016 ජුනි මාසයේ තමා සමාගමෙහි සභාපතිධුරය භාරගන්නා විට වසරකට රුපියල් මිලියන අසූවකට වඩා පාඩු ලබමින් සේවක වැටුප් හෝ ඔවුන්ට හිමි අර්ථසාධක මුදල් පවා ගෙවා ගන්නට නොහැකිව බංකොලොත් භාවයට පත්ව තිබූ සමාගම අර්ථ සාධක මුදල් ගෙවීම සඳහා පමණක් මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 435 ක් ණය වී තිබූ බවද විජේසේකර මහතා කියයි. වරින් වර බලයට පත්වූ විවිධ රජයන් යටතේ එහි කටයුතු කළ පාලකයන් හා ආකාර්යක්ෂම නිලධාරීන්ගේ අදූර්දර්ශී අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා බංකොලොත් භාවයට පත්ව තිබූ සමාගම ගතවූ වසර එකහමාරක පමණ කාලය තුළ යළිත් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ ආකාරය පිළිබඳ තොරතුරු විමසීමට අපි එහි සභාපති නිලූ විජේදාස මහතා හමුවුණෙමු.

ඇල්කඩුව වැවිලි සමාගම කලක් අපේ රටේ අතිශය සාර්ථක ලෙස ලාභ ඉපැයූ සමාගමකි. මාතලේ දිස්ත්‍රික්කය හා ඊට මායිම්ව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත්ව තිබූ සාර්ථක වතු නවයක් එකතු කර ඇල්කඩුව වැවිලි සමාගම නමින් 1993 වසරේදී එය ඇරැඹිණි. අනතුරුව බදු ක්‍රමය යටතේ වසර පහක් පාලනය කිරීම සඳහා එය මෙට්‍රොපොලිටන් සමාගම වෙත පවරා‍ දෙනු ලැබිණ. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි රත්වත්ත, ඇල්කඩුව සැලගම, හුණුගල, බණ්ඩාරපොළ, පිටකන්ද මිල්ලවාන, නාලන්ද, සපුගස්පිටිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හෙළමුල්ල යන වතු ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වේ. මේ අතරින් නාලන්ද, මිල්ලවාන, සපුගස්පිටිය හා හෙළමුල්ල යන වතුවල රබර්, පොල්, කොකෝවා, ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග ද වගා කෙරෙන අතර ඉතිරි වතු සියල්ලම තේ වතුය. ඇරැඹුමේදී ඉතා සාර්ථක ලෙස ලාභ ඉපැයූ මෙම වතු මෑත අතීතයේදී ක්‍රමයෙන් පරිහානියට පත්විය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇමැති කබීර් හෂීම් මහතාගේ අධීක්ෂණය මත සමාගම කටයුතු කරයි. පැවැති දුර්වලතා හඳුනාගෙන ක්‍රමවත් මෙන්ම කඩිනම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් දියත් කරමින් වත්මන් දියුණුව ළඟා කරගත් බව ද සභාපතිවරයා පවසයි.

එතරම් බංකොලොත් වූ සමාගමක් මෙතරම් කෙටි කාලයක් තුළ යළි නගා සිටුවන්නට ඔබ ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

සමාගම අප භාරගන්නා විට විශාල ලෙස පාඩු ලැබූ භාණ්ඩාගාරයෙන් ණයට ගත් මුදලින් සේවක වැටුප් ගෙවමින් අසීරුවෙන් පවත්වාගෙන යමින් තිබූ ආයතනයක්. වැවිලි සමාගමට අයත් 4000 ක් පමණ වූ සේවකයන්ගෙන් අයකර ගත් සේවක අර්ථසාධක අරමුදල් ETF / EPF වත් ඔවුන්ට ගෙවා තිබුණේ නෑ. එම මුදල් ගෙවීම සඳහා පමණක් භාණ්ඩාගාරයට රුපියල් මිලියන 435 ක ණයක් ගෙවීමට තිබුණා. අපි මුලින්ම කළේ සේවකයන්ට ගෙවීමට තිබූ අර්ථසාධක මුදලින් රු. මිලියන 107 ක් ගෙවා දැමීමයි. දෙවැනි වරට 2017 ජනවාරි මාසයේදී රු. මිලියන 155 ක් ගෙවා දමන්නට හැකි වුණා.

ඒ සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද?

සමාගම සතුව පවතින ආර්ථික දැව වශයෙන් ලාභ ඉපැයීම සඳහා පවතින ගස් කපා අලෙවි කර ලබා ගන්නා මුදලින් ණය පියවීමේ පොරොන්දුව මත භාණ්ඩාගාරයෙන් ණයට මුදල් ලබා ගත්තා. දැව සඳහා වගා කළ ගස්වලින් වසරකට සමාගම රු. මිලියන 6000 කට වැඩි ආදායමක් උපයනවා. පරිසරය සුරැකීමේ ප්‍රතිපත්ති සමඟ ජාතික මට්ටමේ එකඟතාවකට සමාගම එළැඹ සිටින නිසා අපි වසරකට කපන ගස් 300 කට සීමා කර තිබෙනවා. මෙලෙස ගස් කපා අලෙවි කර ලබන මුදලින් භාණ්ඩාගාරයට ගෙවමින් අපි අපේ සේවක අර්ථසාධක මුදල් ගෙවා තිබෙනවා. 2016 ජුනි සිට මේ දක්වා එ‍ෙලස සේවකයන්ට ගෙවිය යුතු වූ මුදල් ඉතා නිවැරැදි ආකාරයට ගෙවන්න අප සමත්ව සිටිනවා.

පසුගිය සමයේ මෙලෙස සමාගම පාඩු පිට පාඩු ලබන්නට හේතුව කුමක් යැයි ඔබ සිතනවාද?

නිවැරැදි කළමනාකාරිත්වයකින් තොර වීම හා ආයතනය සතු භෞතික හා මානව සම්පත් සංවර්ධනය කෙරෙහි කිසිදු හැඟීමකින් තොරව දූෂිත ආකාරයෙන් ක්‍රියා කිරීම ඊට හේතු ලෙස අප දකිනවා.

ඔබ එය වෙනස් කළේ කොහොමද?

මූලික පියවර හතරක් ක්‍රියාවට නැංවීමෙන්. පළමුවැන්න වූයේ වසර ගණනාවක් ඉටු නොකළ කෘෂිකාර්මික අංශය සංවර්ධනය කිරීමයි. ඒ සඳහා ගස්වලට පොහොර යෙදීම, වල් නෙළීමේ පටන් හා අස්වැන්න සරු කර ගැනීමට අවශ්‍ය පිළියම් යෙදීම දක්වා වූ සෑම අංශයක්ම වර්ධනය කළා.

දෙවැන්න සේවකයන් දිරි ගැන්වීම. කම්කරුවන්ගේ සිට ඉහළම නිලධාරීන් දක්වා ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබා දුන්නා. කාර්ය මණ්ඩල හා සේවක දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා.

තෙවැනුව කාර්ය හා සේවක මණ්ඩලවල ගැටලු සහ විෂමතා හඳුනාගෙන ඒවා වෙනස් කර සේවකයන් තෘප්තිමත් වන ආකාරයකට ගැටලු විසඳා දෙන්නට සක්‍රීයව දායක වුණා. නිදසුනක් ලෙස දක්වනවා නම් පසුගිය කාලවල වතුවල අධිකාරීවරුන් ගේ බලය වැඩිකර වතුවල අස්වැන්න නගා සිටුවීමෙන් ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ නිදහස හා බලය ඔවුන්ට යළිත් ලබා දුන්නා. සහය වතු අධිකාරීවරුන්ට නවීන මෝටර් බයිසිකල් ලබා දුන්නා. පහසුකම් වැඩි කළා.

හතරවැන්න ලෙස නාස්තිය අවම කළා. අනවශ්‍ය වියදම් කපා හැරියා. අවශ්‍ය වියදම් සඳහා මුදල් සහ පහසුකම් ලබා දුන්නා.

තේ අලෙවි ආදායම් වර්ධනයට බලපෑ වෙනත් හේතු තිබෙනවාද?

ඔව්. ආදායම් ඉහළ යෑමට බලපෑ වෙනත් විශේෂ කාරණයකුත් තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ තේ සඳහා ඇති ඉල්ලුම හා මිල ඉහළ යෑම. වත්මන් රජය බලයට පත්වන විට පොරොන්දු වුණා තේ දලු කිලෝවක් සඳහා අවම මිල රු. 80 ක් ගෙවන බවට. ඒ අනුව අප සමාගමත් දැන් තේ දලු කිලෝව රු. 95 - 100 ත් අතර මිලකට අලෙවි කරනවා.

සමාගම බාරගන්නා විට ඔබ මුහුණ දුන් ලොකුම අභියෝගය කුමක්ද?

සේවක වැටුප් සහ ඔවුන්ගෙන් කපාගෙන තිබූ අර්ථසාධක මුදල් ගෙවා දැමීම. ඉහත කී ආකාරයට 2016 ජුනි සිට මේ දක්වා එම මුදල් භාණ්ඩාගාරයෙන් ගත් මුදලින් ගෙවා දමා තිබෙනවා. දැන් අප යොමු වෙන්නේ කාෂිකාර්මික සංවර්ධනය වෙතයි. වතුවලට කලට වෙලාවට පොහොර යෙදීමෙන්

වල් නෙළා අස්වැන්න සරු කරගන්න අතරම වෙනත් විකල්ප ආදායම් ක්‍රම හඳුන්වා‍දෙමින් ආදායම වර්ධනය කරගන්නටත් කටයුතු යොදා තිබෙනවා.

මොනවාද ඒ විකල්ප ක්‍රම?

වතු වර්ගකරණය කර සමාගමේ කම්කරු පවුල්වලට ඉඩම් කොටස් වශයෙන් තේ වගාව සඳහා බාර දී තිබෙනවා. හෙක්ටයාරයකට තේ දලු කිලෝ 1000 කට වැඩිපුර දලු කඩන වතු ‘ඒ’ කාණ්ඩයටත්, තේ දලු කිලෝ 500 - 1000 දක්වා කඩන වතු ‘බී’ කාණ්ඩයටත් කිලෝ 500 ට අඩුවෙන් කඩන වතු ‘සී’ කාණ්ඩයටත් වෙන් කර ‘සී’ කාණ්ඩයේ වතු ඒවායෙහිම කම්කරු පවුල්වලට වගාව සඳහා බාර දී තිබෙනවා. ඔවුන් වවන තේ දලු සමාගම විසින්ම මිලදී ගනු ලබනවා. එහි ආදායමෙන් 60%ක් කම්කරුවන්ටත්, 40% ක් සමාගමටත් හිමි වෙන ආකාරයටයි එය සිදු කරනු ලබන්නේ.

සමාගම සතුව තිබූ තේ කම්හල් බොහොමයක් දැන් අක්‍රියයි නේද?

ඔව්. සමාගම සතුවූ හොඳම කම්හල් හතරක් අවම මුදලකට පෞද්ගලික අංශයට පවරා තිබුණා. ඒ රත්වත්ත, බණ්ඩාරපොළ, පිටකන්ද හා කළුගල කම්හල්. අපේ වතුවල දලු පිට විකුණනවා හැර තේ කුඩු නිෂ්පාදනය නතර කර තිබෙනවා. මේ බාහිර සමාගම් අපෙන් ගත් තේ දලු සහ කම්හල්වලට ගෙවිය යුතු බදු මුදල වත් නොගෙවීමෙන් රුපියල් මිලියන 28 ක ණයක් සමාගමට අයවිය යුතුව තිබුණා. මේ ණය අයකර ගැනීම සඳහා උසාවි යන්නට සිදු වුණා. ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාවලියෙන් අනතුරුව ණය ගෙවීමට මාස තුනක් කල්දී ඒවා යළිත් රජයට පවරා ගත්තා. තේ නිෂ්පාදනය හා අලෙවියට අදාළ ආයතනවල අනුමැතිය ලබා ගැනීමෙන් පසු, 2018 අප්‍රේල් මාසය වන විට යළිත් එම කම්හල්වල නිෂ්පාදන කටයුතු ඇරැඹීමට අපේක්ෂා කරනවා.

ඔබ හඳුන්වා දුන් විකල්ප ව්‍යාපෘති මොනවාද?

වතු ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු කළා. අපේ වතුවල තිබෙන විශාල, ඉපැරැණි බංගලා නවීකරණය කර සංචාරකයන්ට නවාතැන් සඳහා කුලියට ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. වරක් එංගලන්තයේ මහ රැජන ලංකාවට පැමිණි අවස්ථාවක නවාතැන් ගත් මාතලේ පන්සල්තැන්න වතු යායට අයත් සුවිශාල සුවපහසු බංගලාව දැන් අපි සංචාරකයන් සඳහා කුලියට ලබා දෙනවා. සමාගමෙහි සභාපති නිල නිවෙස ලෙස භාවිතා කළ එය අද දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘතයි. ඒ ප්‍රදේශය ආශ්‍රිත කෙටි සංචාර හා ගවේෂණයට ප්‍රිය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලස්වන්නටත් අපේක්ෂා කරනවා.

මාතලේ ඇල්කඩුව වතු යායේ පිහිටි ඉපැරැණි කුඩා වැව පිළිසකර කර “සෙම්බුවත්ත වැව” සංචාරක ව්‍යාපෘතිය දියත්කර තිබෙනවා. ඇල්කඩුව වතුයායෙහි අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයක් අනුව ප්‍රතිසංස්කරණය කර ඉදිකළ සෙම්බුවත්ත සංචාරක ව්‍යාපෘතිය වර්තමානයේ ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශීය සංචාරකයන් අතරත් සුපතළ ජනප්‍රියතම සංචාරක ආකර්ෂණයක් බවට පත්වී තිබෙනවා. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු සියල්ලෙන් ම උපයන ආදායමට වඩා විශාල ආදායමක් සෙම්බුවත්ත ව්‍යාපෘතියෙන් උපයන්නට හැකි වී තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ සෙම්බුවත්ත නැරැඹීමට පැමිණි සංචාරකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් පමණක් රුපියල් මිලියන දහයක ශුද්ධ ලාභයක් සමාගම උපයා තිබෙනවා. වත්තෙහි පිහිටි සුවපහසු බංගලාව සංචාරකයන් සඳහා ලබා දෙන අතරම අලුතෙන් ම සංචාරක ලැගුම්හලක් හා පහසුකම් මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කඳවුරුගත ක්‍රී‍ඩා සඳහා පහසුකම් සලස්වා තිබෙනවා. ලංකාවේ විවිධ ආයතනවල මානව සම්පත් සංවර්ධනය සඳහා වන හොඳම බාහිර පුහුණු කඳවුර ඇත්තේ සෙම්බුවත්තේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඊට අපි ලබා ගන්නවා. ලංකාවේ රූ ගත කෙරෙන දෙස් විදෙස් චිත්‍රපට, ටෙලිනාට්‍ය හෝ සින්දු වීඩියෝ පට සඳහා උචිත දර්ශනීය පසුතලයක් ලෙස සෙම්බුවත්ත දැන් ලොව පුරා ජනප්‍රිය වී තිබෙනවා. මේවා අලෙවියෙන් සමාගම විශාල අමතර ආදායමක් උපයනවා. එහි ඇති ආපනශාලාව මෙන්ම පැරැණි කම්හල සංවර්ධනය කර හෝටලයක් ඇරැඹීමටත් කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාට අප ස්තූතිවන්ත වන අතර ඔහුට අවශ්‍ය පරිදි ඒ කටයුතු සංවර්ධනය කරන්නට හා පවත්වාගෙන යන්නට අවශ්‍ය නිදහස හා අනුමැතිය අප විසින් ලබා දී තිබෙනවා.

අපේ වතුවල තිබෙන ස්වභාවික ඛනිජ සම්පත් කොන්ත්‍රාත් පදනම මත ලබා දීමෙන් ද අමතර ආදායමක් උපයනවා. රත්වත්ත සහ නාලන්ද වතුවල පිහිටි රෝස තිරිවාන සහ මිනිරන් නිදිවලින් මෙලෙස ආදායම් උපයන්නට හැකි වී තිබෙනවා.

පසුගිය සමයේ සුළු අපනයන භෝග වගා කළ වතුවල අස්වනු කාලෙට ගස් පිටින් පෞද්ගලික අංශයට බදු දී තිබුණා. බදු දුන් විට ඔවුන් ගස්වැල්වලට හානි කරමින් අස්වනු නෙළීමත්, නිසිකලට වල් නෙළා පොහොර යොදා නඩත්තු නොකිරීමත් නිසා හානි වී තිබූ වතු සමාගම විසින් ම සංවර්ධනය කර යළි වගා කර අස්වනු නෙළා විකිණුවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2017 වසරේදී ඒ වතුවල කරාබු අස්වැන්නෙන් සමාගම රු. මිලියන 4ක ශුද්ධ ලාභයක් උපයා ගත්තා.

සේවකයන් දිරිමත් කිරීමට හා ඔවුන්ගේ සුභ සාධනය සඳහාත් පියවර ගත් බව ඔබ කීවා?

සේවක හා නිලධාරී වැටුප් විෂමතා අර්ථසාධක නොගෙවීම්, හිඟ වැටුප් හා උසස්වීම් හා දිරි දීමනා නොලැබීම්, වතු අධිකාරීවරුනට අවශ්‍ය මුදල් හා බලය ලබා නොදීම් වැනි ගැටලු බොහෝ දුරට විසඳා තිබෙනවා. සමාගම “අපේය” යන හැඟීමෙන් වැඩ කිරීමෙන් තමන්ට ද අභිවෘද්ධිය සැලසෙන බවට සේවකයන් තුළ විශ්වාසය තහවුරු කර තිබෙනවා. එහෙයින් දැන් ඔවුන් සමාගම හැර යෑම වෙනුවට එතුළම රැඳී සිටිනවා. නිදසුනක් ලෙස දක්වනවා නම් අපි භාරගත් කාලයේදී කම්කරුවන්ට වතුවල වැඩ නෑ. දලු නෑ. අස්වනු නෑ. ඔවුන්ට මාසයකට වැඩ ලැබුණේ දින 15 ක් පමණයි. දැන් අස්වනු සරුයි. වැඩ වැඩියි. දැන් මසකට දින 25 ම කම්කරුවන් වැඩ. මුලදී අපිට සේවකයන් අතිරික්තයි. දැන් තිබෙන්නේ සේවක හිඟයක්.

මේ රජය යටතේ කම්කරුවන්ට පර්චස් 7 හා නිවසක් සින්නක්කරව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. අපේ වතුවල කම්කරුවන්ටත් ඒ පහසුකම් හිමි වෙනවා. ඇල්කඩුව වතු නිවාස සමූපකාර සමිතිය මඟින් ණය පහසුකම් ලබා දෙනවා. සමිතිය මඟින් ඔවුන්ට අවශ්‍ය පාරි‍භෝගික භාණ්ඩ සියල්ල අඩු මුදලට ලබා දෙනවා. පානීය ජල ව්‍යාපෘති, සෙවිලි තහඩු ලබාදීම, වැසිකිළි කැසිකිළි පහසුකම් අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් මෙන් ම සියලුම ආගමික සිද්ධස්ථාන සංවර්ධන කටයුතු ද සමාගම මඟින් ඉටු කරනු ලබනවා.

කම්කරු පවුල්වල ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා දලු කැඩීම හා වතු වැඩට අමතරව පානීය ජල බෝතල නිෂ්පාදන ව්‍යාපෘති වැනි ‍ස්වයං රැකියා ව්‍යාපෘති අරඹා තිබෙනවා.

මෙතෙක් සමාගම ලැබූ සාර්ථකත්වය දෙස ආපසු හැරී බලමු?

2016 ජනවාරි වන විට අපි සමාගමේ සේවකයන්ට ගෙවීමට තිබූ අර්ථ සාධක මුදල් සියල්ල ගෙවා හමාර කළා. 2016 ජනවාරියේ පටන් මහා භාණ්ඩාගාරයේ ණය බරින් මිදී සමාගම විසින් ම උපයාගත් මුදලින් සේවක වැටුප් ගෙවා වතු නඩත්තු කරන්නට අපි සමත් වී සිටිනවා. 2016 සැප්තැම්බර් මාසය වන විට රුපියල් මිලියන 71 ක් පාඩු පිට පවත්වාගෙන ගිය සමාගම 2017 සැප්තැම්බර් මාසය වන විට රුපියල් මිලියන 9 1/2 ක ලාභයක් උපයා තිබෙනවා. 2017 දෙසැම්බර් මාසය වන විට සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 20 ඉක්මවා ගොස් තිබෙනවා.

ඔබේ ඉදිරි අරමුණ කුමක්ද?

2018 පටන් සම්පූර්ණයෙන් ම ස්වයං පෝෂිත සමාගමක් ලෙස කටයුතු කරන අතර මහා භාණ්ඩාගාරයටත් උපයන ලාභාංශවලින් කොටසක් ලබා දීමට කටයුතු කරනවා. දැන් අපි ණය බරින් නිදහස්. උපයන ආදායමෙන් වැඩි කොටසක් කෘෂිකාර්මික හා මානව සම්පත් සංවර්ධනය සඳහා යොදවනවා. මේ කෙටි කාලය තුළ ඇල්කඩුව වැවිලි සමාගම තවදුරටත් රටට බරක් නොවන ලෙස කටයුතු කරන්නට ලැබීම ලොකු සතුටක් ලෙස සලකනවා.

සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූප - තිලක් පෙරේරා

අදහස්