සිනමා නිර්මා­ණ­යක රඟ­පාන්න ආසයි | Page 2 | සිළුමිණ

සිනමා නිර්මා­ණ­යක රඟ­පාන්න ආසයි

සිරස නාළිකාවේ විකාශය වන සල්සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරිය ලෙස අපේ නිවෙසට පැමිණි ඇය එක රැයින් ජනප්‍රිය වූ අලුත්ම තාරකාව ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. රංගන ශිල්පිනියක වීමට පෙර කරාටේ ක්‍රීඩිකාවක ලෙස රන් පදක්කම් හිමිකරගෙන සිටින ඇය නමින් මිෂෙල් දිල්හාරා.

කොහොමද මිෂෙල්. සුබ අලුත් අවුරුද්දක් වේවා!

රසඳුන කර්තෘ මණ්ඩලයේ හැම දෙනාටමත් රසඳුන පාඨක හැමදෙනාටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

මම මිෂෙල් කියන්නද? ප්‍රීතිවා කියන්නද?

මගේ නම මිෂෙල් දිල්හාරා හතුරුසිංහ. ප්‍රීතිවා කියන්නේ සල්සපුනා හි මගේ චරිතය. ඒ මම මුලින්ම රඟපෑ චරිතය නිසා මම ඒකට කැමැතියි.ඒත් ඔයා කැමැති එකක් කියන්න.

එතකොට පොඩි පත්තරකාරි කියන්නේ.

මේ චරිතයේ නම ප්‍රීතිවා වුණාට ප්‍රේක්ෂකයන් අතර මාව ජනප්‍රිය වෙලා තියෙන්නේ පොඩි පත්තරකාරි කියලා.

පවුලේ විස්තර ටිකක් කියමුද?

මගේ තාත්තා එච්. ප්‍රේමවර්ධන. අම්මා ජීන් ස්ටෙලා ප්‍රනාන්දු. මට නංගිලා දෙන්නෙක් ඉන්නවා. ලොකු නංගි මිෂේන් ප්‍රසාදිකා, පොඩි නංගි රොෂෙල් ෆියෝනා.

එතකොට පාසල් ජීවිතේ

මම පාසල් ගියේ මීගමුවේ නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයට. කලා අංශයෙන් උසස් පෙළ කළා. ජපන් භාෂාව, ඉංග්‍රීසි සාහිත්‍ය සහ තොරතුරු තාක්ෂණය යන විෂයයන් වලින් විභාගයට වාඩිවෙලා සමත්වුණා. විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුවත් කලාවට ඇති ආසාව නිසා ගියේ නැහැ. ඒත් ඉගෙන ගන්න එක නවත්වන්නේ නැහැ. පෞද්ගලිකව හෝ උපාධියක් ලබාගන්න සිතා ඉන්නවා.

රංගනයට යොමුවන්නේ පාසල් කාලයේ දීමද?

පාසලේ ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්නා විට නවකතා සහ නාට්‍යය ගැන හැදෑරුවා. ඒ තුළින් වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒත් නාට්‍ය හා රංග කලාව විෂයයක් විදිහට ඉගෙන ගත්තේ නැහැ. රංගනයට තිබුණු ආසාව නිසාම මම අනෝජා වීරසිංහ මහත්මියගේ අභින පාඨමාලාව, දමයන්ති ෆොන්සේකා මහත්මියගේ රංගන වැඩමුළු , ඉන්දීය අධ්‍යක්ෂ උජ්වාල් සිංහා සහ රන්දික විමලසූරිය ගුරුවරු යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා.

සල්සපුනා හි ප්‍රීතිවා ඔබේ පළමු රංගනය.කොහොමද එයට සම්බන්ධ වන්නේ

2016 නොවැම්බර් මාසයේ සුසිල ආයතනයේ තිර පරීක්ෂණයකට සහභාගි වෙලා සමත්වුණා. ඊට පස්සේ සුසිල කැම්පස් එකේ රංගනය පිළිබඳව ලොකු පුහුණුවකින් පසුව තමයි මට ප්‍රීතිවා කියන චරිතය ලැබෙන්නේ.

මිෂෙල් කරාටේ ශූරියක් කියලා ආරංචියි.

ඔව්! මම ශිතෝකායි ශෛලියෙන් කරාටේ ක්‍රීඩා කරන්න අරන් දැන් අවුරුදු 9 ක් වෙනවා. තාත්තාට තමයි ඕන වුණේ අපට කරාටේ උගන්නවන්න. ඒ නිසා නංගිවයි මමයි පොඩිකාලේම පන්ති යැව්වා. 2010 Gojuryu karate Championship තරගාවලියේදී Gold medal එකත් 2011 Haya shi ha Karate Championship තරගාවලියේදී Bronze medal දිනාගෙන තිබෙනවා.

අලුත් අවුරුද්දේ වැඩ ගොඩක් කරනවා වගෙයි.

මම අලුතෙන්ම සම්බන්ධ වුණු රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන ‘පූරි‘ ටෙලිනාට්‍ය යේ රූගත කිරීම් අලුත් අවුරුද්දේ පටන් ගත්තා. එහි මුඩුක්කුවක ජීවත්වන මාලි කියන චරිතය තමයි මම රඟපාන්නේ. ඒවගේම සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන පිච්චමල සුවඳයි ටෙලි නාට්‍යයේ ‘රංජනී‘ කියන චරිතය රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා. සංජය නිර්මාල් ගේ ඒමි කියන ටෙලි නාට්‍යයත් ඔහුගේම තුත්තිරි ටෙලි නාට්‍යයත් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මොනවාද?

කලාවෙන් උපරිම ලෙස ඉදිරියට යාම තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම සිනමා නිර්මාණයක රඟපාන්න ආසයි. හොඳ චරිතයකට ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම බාරගන්නවා.

ආදරණීය ආරාධනා , බලාපොරොත්තු නැද්ද?

තවම නම් ආදර ආරාධනා ලැබිලා නැහැ. මමත් පෞද්ගලිකව දැන්ම ආදරය පිළිබඳව සිතන්නෙත් නැහැ. මට තව ඕන තරම් කල් තිබෙනවා. ඒවා වෙලාව ආවම කෙරේවි. 

Comments