දැන් ඇසෙන ටෙලි නාට්‍ය ගීත­යක් | Page 2 | සිළුමිණ

දැන් ඇසෙන ටෙලි නාට්‍ය ගීත­යක්

දෝණි ටෙලි නාට්‍යයේ තේමා ගීතය

 

හා හා හා මං දෝණි //

ඉර පායන්නෙ මං හින්දා

සඳ පායන්නෙ මං හින්දා

තරු හිනැහෙන්නේ මං හින්දා

මල් පූදින්නෙ මං හින්දා

නන නන

අම්මගේ දෝණි මං හින්දා

ලෝකෙම ලස්සන මං හින්දා

දේදුන්නේ පාට වෙලා මං ආවා

දෝණි දෝණි දෝණි ම් ම් ම්

ඉර වාගේ ලොව පායා හිනැහෙන්නේ කවුදෝ

දෙව් ලෝකෙන් රහසින් ආ සුරංගනාවියදෝ

ලෝකෙම ලස්සන දෝණි හින්දලු

කතා වෙනවා ඇහුණා

දෝණි දෝණි දෝණි ම් ම් ම්

ඕඕඕඕ...ඕඕඕඕ ////

දැන් ඇසෙන ටෙලි නාට්‍ය ගීතයක් විශේෂාංගය තුළින් නව වසරේ අප ඔබට මුලින්ම ගෙන එන්නේ සතියේ දිනවල හිරු නාළිකාවෙන් විකාශය වන ‘දෝණි‘ ටෙලි සිත්තමේ තේමා ගීතයයි.

ධනපති පන්තිය විසින් පීඩිත පන්තිය සහ ඔවුන්ගේ දිළිඳු කමට සිදු කරන අසාධාරණකම් වෙනුවෙන් නැඟී සිට පාගා දමන ලද ඔවුන්ගේ නිදහස,විමුක්තිය වෙනුවෙන් සටන් කරනා පුංචි දියණියකගේ දිරිය කතාවක් තමයි දෝණි කියන්නේ.

සිංහලෙන් හඬ කවන ලද මේ අපූරු කතා මාලාව හිරු නාළිකාවේ හඬ කැවීම් ප්‍රධානී දයාල් බණ්ඩාර සහ සහය අධ්‍යක්ෂ චමත් හසරංගගේ අධ්‍යක්ෂණයකි. ලොකු කුඩා කාගෙත් ජනාදරයට පාත්‍රවූ ‘දෝණි‘ තේමා ගීතය ගීතවත් වන්නේ රචනි කවීෂා නම් ළමා ගායිකාවගේ මියුරු වූ හඬින් වන අතර තේමා ගේය පද වැල් රචිතා වාකිෂ්ඨ ගෙනි.

‘දෝණි‘ තේමා ගීතයෙන් ඇයට සමාජයට ලබා දෙන්නට අවැසි වූයේ කුමක්ද? ඇය අපට ලබා දුන්නේ මෙවන් පිළිතුරක්.

‘දෝණි ටෙලි නාට්‍යයෙහි එන ප්‍රධාන චරිතයට වගේම තේමා ගීතයටද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වල කිසිදු අඩුවක් නෑ. කතාවට අනුව අපට පේනවා දෝණි කියන්නේ වයසින් කුඩා වුවත්, ජීවිතය පිළිබඳ පරිණත අත්දැකීම් ඇයට නොතිබුණත් විෂම වූ ලෝකයේ විවිධ වූ මිනිසුන්ගෙන් වන අසාධාරණකම් , අයුක්තිය වෙනුවෙන් නැගීසිටින කෙනෙක් බව.

මෙකී සමාජ සිදුවීම් අතීතයේ සිට පැවැත එන්නක්. කුලහීන පන්තියක උපන්නියක් ලෙස දෑතෙහි සලකුණු පවා තැබුවද ඒ කිසිවක් ඇගේ ගමනට බාධාවක් කරනොගන්නා ඇය සිය සමාජ පන්තිය වෙනුවෙන් නිදහස සොයා ඉදිරියට යනවා. මෙවන් වූ දිරිය දියණිවරු එදා වගේම අදටත් අපට මුණ ගැසෙනවා. ඔවුන් නිසා මේ ලෝකය තවත් ලස්සන වෙනවා. දෝණිත් එසේමයි.

කතාවෙහි එන පුංචි දෝණි හරියට මේ ලෝකයට ශක්තිය හා එළිය දෙන හිරු හා සඳු වගෙයි.තේමා ගීතයෙන් කීමට අවැසි වූයේ එයයි.,, 

Comments