වසර 2025 හා ජාතික රාජ්‍යයේ අභියෝග | සිළුමිණ

වසර 2025 හා ජාතික රාජ්‍යයේ අභියෝග

 ශ්‍රී ලංකාවෙන් ආනයනික තේ තොගයක වූ කුරුමිණියකු නිසා තේ ආනයනය නතර කළ රුසියාව යළි එම තහනම ඉවත් කර ගත්තේ ය. ජීඑස්පී ප්ලස් ආර්ථික සහනය ලබාදී තිබූ එක්සත් ජනපදය එම සහනය නව වර්ෂයේ සිට අහිමි කළේ ය. ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පැහැදිලි නැතත් එක් දෙයක් පැහැදිලිය. එනම් ලෝකයේ පබල රටවල් ආර්ථික කාරණා මූලික කර ගනිමින් ජාත්‍යන්තර ආධිපත්‍ය පවත්වා ගනිමින් සිටින බව ය.

නව ලිබරල්වාදය ආධිපත්‍යයික ලෝක රටාව තුළ සමහරු හිතාගෙන ඉන්නේ එක්සත් ජනපදය තරම් රෞද්‍ර හා දරුණු ධනපති බූවල්ලකු තවත් නම් නැති බව ය. එහෙත් ඒ වෙළෙඳපොළ මූලධර්මම භාවිතා කරමින් රුසියාව අපට පහරක් එල්ල කරන විට සියලු මානවවාදියෝ නිහඬ ය. නමුත් සත්‍ය වන්නේ ලොව කොයි කොනේ වුවත් ආධිපත්‍ය දරන්නේ නව ලිබරල්වාදය බවය. ඒ මත වූ වෙළෙඳපොළ අවශ්‍යතා බව ය.

රුසියාවට තේ ආනයනය නතර කරන්නට මූලික හේතුව ආනයනික තේ වල වූ කුරුමිණියකුය යන කාරණාව ජනප්‍රිය හේතුවයි. එහෙත් රුසියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික මෙන්ම වෙළඳපොළ ගැටළුවක් ද ඊට හේතුව වූ බව තතු දත්තෝ පවසති. සම්මුතික ආණ්ඩුව බලයට විත් ටික දිනකින්ම කළේ ඇස්බස්ටෝස් භාවිතය 2018 සිට නතර කරන්නට පියවර ගැනීමයි. නමුත් ජාතික රාජ්‍ය ක්‍රමයක් තුළ ගත්තා වූ තීන්දු තීරණ ගෝලීය රාජ්‍ය ක්‍රමයක් තුළ ගත නොහැකි බව රුසියාව අපට අවබෝධ කර දුන්නේ අශ්ලීල ලෙසිනි. ඒ අශ්ලීලභාවය වෙළඳපොළ තාර්කිකයක් නිසා ඒ සම්බන්ධයෙන් විවාද අවශ්‍ය නොවේ.

රුසියාව තේ ආනයනය නතර කිරීමත් එක්සත් ජනපදය ජීඑස්පී ප්ලස් සහනය අත්හිටුවීමත් වෙළඳපොළ තුළ සිදුවූ අහඹු ක්‍රියාමාර්ග නොවේ. ඒවා පවසන පරිදි කුරුමිණියන් නිසා ගත් තීරණයන් නොවේ. සාමාන්‍ය පරිදි සිදුවූවක් ද නොවේ. ඒවා මත ඇත්තේ නව ලිබරල්වාදයේ කැත වෙළඳපොළ තර්කනයයි. සමහර විට රුසියානු පුරවැසියා එක්සත් ජනපදයට නොදී රුසියාවට භාර නොදීම නිසා විය හැකිය. සමහර විට ඇස්බැස්ටස් තහනම නිසා රුසියාවට වූ මූල්‍ය පාඩුව නිසා වන්නට පුළුවන. අනෙක් අතින් ඊශ්‍රායල අගනුවර ලෙස ජෙරුසලම ප්‍රකාශයට පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකාව ඊට පක්ෂ නොවූ නිසා සිදුවූවක් විය හැකිය. කුමන හේතුව නිසා ඒ පියවර ඔවුන් විසින් ගත්තත් ලෝක දේශපාලනය හා රාජතාන්ත්‍රික ක්‍රියාවලිය සංකීර්ණ හා අත්හල නොහැකි සාධයක් බව එමගින් ඔප්පු කරයි.

භූ දේශපාලනය වැදගත් සාධකයක් බවට පත්වූයේ සීතල යුද්දය පැවැති යුගයටත් වඩා ඉන් පසුව ය. ලෝක වෙළඳපොළ තුළ රටවල් හැසිරෙන්නේ පරමාදර්ශයට වඩා උපයෝගීතාව තුළ ය. ඒ තත්ත්වයට මුහුණ දෙන්නට කේන්ද්‍රයේ රටවලට පවා අපහසු ය. එවැනි තත්ත්වයක් තුළ පරිධියේ ශ්‍රී ලංකාව වැනි රටක් මුහුණ දෙන අසීරුතා අපමණ ය.

ලෝක දේශපාලනයේ මේ හැසිරීම් තේරුම් ගැනීම පවා කළ හැක්කේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් හා ඊට මුහුණ දෙන්නට යන්ත්‍රණයක් ඇති රටවල පමණි. පැරණි ජාතිකවාදී අර්ථයෙන් මෙවැනි දේශපාලන හැසිරීම් වලට මුහුණ දෙන්නට කොහොමටවත් නොහැකිය. ඒ සඳහා නව දේශපාලන ප්‍රවනතා තුළ සකස් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් රටකට තිබිය යුතුය. ඒ විදේශ ප්‍රතිපත්තිය තුළ බටහිර රටවල් සතුරන් ලෙස සලකමින් සමාජයේ ජාතිකවාදී හැඟීම් ප්‍රමෝදමත් කිරීමේ යල් පීනු උපක්‍රම අත්හල යුතුය.

ශ්‍රී ලංකාව රටක් විදිහට 2025 වර්ෂයට සූදානම් විය යුත්තේ නායකයා කව්ද යන්න සොයමින් නොවේ. නායකයා කව්ද යන්න ඒ අවස්ථාවේ දී තීරණය කරනු ඇත. එහෙත් වැදගත් වන්නේ කුමන නායකයා සිටියත් ලෝක දේශපාලනයට මුහුණ දෙන්නේ කුමන වැඩපිළිවෙලකින් ද යන්නයි. ඒ අර්ථයෙන් රටක් විදිහට මහන්සි විය යුත්තේ ලෝක දේශපාලන උපායන් සලකා බලමින් ඊට මුහුණ දීමට යාන්ත්රමණයක් සකස් කර ගැනීමටයි. ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන දුෂ්කරතාව වන්නේ ද එවැනි වැඩපිළිවෙළක් සකස් කර ගන්නා අන්දම නොදැනීමයි.

ප්‍රධාන වශයෙන්ම ඒ සඳහා අවශ්‍යවන්නේ යහපත් දේශපාලන දෘෂ්ටියකි. එය සියල්ලන් සතුරන් ලෙස නොසලකන වෛරය මත පදනම් නොවූ ලෝක දේශපාලන ප්‍රවනතා සමග සංකලනය විය හැකි ආස්ථානයකින් යුක්ත දෘෂ්ටියක් විය යුතුය. ජාතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ලෝක දේශපාලනය තුළ කෙසේවත් පරමාදර්ශීව හැසිරෙන්නට නොයා යුතුය. පරිධියේ රටකට එවැනි පරමාදර්ශයන්වීම මේ යුගය තුළ දුෂ්කර ය. හැකි සෑමවිටම සාධාරණ හා නම්‍යශීලී වෙමින් උපයෝගීතාවන්ට අනුව විදෙස් ප්‍රතිපත්තිය තීරණය කිරීම ප්‍රායෝගිකව උපක්‍රමය වේ.

ලංකාවට දේශපාලන නායකයෝ ගොඩක් සිටිති. එහෙත් දේශපාලන ක්‍රම පවතින්නේ එකම එක ක්‍රමයකි. පවතින එකම ක්‍රමයට බහුවිධ ඇදුම් අන්දවා රාජ්‍ය බලයට ගිජු ලෙස කෑදරකම් කිරීම සියල්ලන්ගේම ප්‍රතිපත්තියයි. උදාහරණයකට රටකට තිබිය යුතු විදේශ ප්‍රතිපත්තියක් සලකා බලමු. ශ්‍රී ලංකාවට සුදුසු මෙන්න මේ විදේශ ප්‍රතිපත්තිය යැයි සංකල්ප ගත කළ හා එය ලියවිල්ලක සඳහන් කළ එකම දේශපාලන පක්ෂයක් හෝ ලංකාවේ නොමැත. සියලු දෙනා කරන්නේත් කරන්න බලාපොරුත්තුවෙන්නේත් නිලධාරීන් සමග එන එන හැටියට ගහ උළුවස්සා ප්‍රතිපත්තියට වැඩ කිරීමය.

ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට ඇත්තේ ද එවැනි අපැහැදිලි වැඩපිළිවෙළකි. කෘෂිකර්මයට අදාළව බරපතළම ප්‍රශ්නය වන්නේ නිෂ්පාදන වියදම අධිකවීම හා වෙළඳපොළ ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදන මාදිලියක් නොවීමයි. එහෙත් සියල්ලන් කරන්නේ භාණ්ඩාගාරයෙන් මුදල් ගෙන කෘෂි ආධාර දීමත් කෘෂි නිෂ්පාදන මිලට ගැනීමත් ය. යැපුම් කෘෂිකර්මය තුළ ඉඳිමින් සහන සැපයීම පමණම ය. ඒ තත්ත්වය තුළ කෘෂි ක්ෂේත්‍රයේ අභියෝගයන්ට මුහුණදීම උගහට ය.

ජාත්‍යන්තර දේශපාලනයේ දී පැහැදිලි විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිව එන එන විදිහට මුහුණදීම සාර්ථක රටක උපක්‍රමශීලී ප්‍රවේශය නොවේ. කවර දේශපාලන පක්ෂයක් බලයට ආවත් පොදු රාමුවක වූ විදෙස් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය. එය ඇදගෙන යන්නේ රාජ්‍යතාන්ත්‍රික අභියෝගයන්ට මුහුණ දීමට සමත් ශක්තිමත් රාජ්‍ය නිලධාරීන් විසිනි. දේශපාලකයන් කළ යුත්තේ එවැන්නක් ඔවුන්ට නිර්මාණය කර දීමත් එය ක්‍රියාත්මක කරවීමේ දී සීරු මාරු උපක්‍රම අනුගමනය කිරීමත් ය. එහෙත් රාජ්‍ය නිලධාරීන් වෙනුවට විදේශ සේවයේ මර්මස්ථානවල රඳවා ඇත්තේ දේශපාලකයන්ගේ නෑදෑයන් ය. ඔවුන් කරන්නේ තම දුවා දරුවන්ට විදෙස් අධ්‍යාපනයක් ලබාදීම ය. එවැනි යන්ත්‍රනණයක් තුළ උපයෝගිතාවාදී අභියෝගයන්ට මුහුණදීම කළ නොහැක්කකි.

ලංකාවේ සියලු දේශපාලන පක්ෂ මේ මොහොතේ මහන්සිවිය යුත්තේ ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් හා දේශපාලන සංකල්පයන් නිර්මාණය කර ගැනීමටයි. එවැනි තිඹිරි ගෙයක දේශපාලන නායකයන් නිර්මාණය වීම තාර්කික කරුණකි. එය බලයෙන් හා තල්ලුවෙන් කළ හැක්කක් නොවේ.

අප කැමැති වුවත් නොකැමැති වුවත් ලෝකය පුරා ආධිපත්‍ය දරන්නේ නව ලිබරල්වාදයයි. ඒ තුළ ඊටම ආවේනික බල දේශපාලනික ව්‍යුහයක් හා ආකෘතියක් පවතී. ඊට අභියෝග කිරීමට ජාතිකවාදී රාජ්‍යකට නොහැකිය. නව ලිබරල්වාදයට එරෙහිව ශක්තිමත් ලෝක පරිමාණ දෘෂ්ටිවාදයක් ද ප්‍රායෝගික වැඩපිළිවෙළක් ද නිර්මාණය කර ගැනීම එමගින් ප්‍රතික්ශේප නොවේ. එහෙත් ඒ සටන තුළ එය ජය ගන්නා තුරු බඩගින්නේ ඉඳිමින් වැරහිළි අඳිමින් දුක වළදන පිරිසක් ඉවසා සිටින්නේ නැත. එනිසා අරගල දෙකක සම්ප්‍රයුක්තය දේශපාලනය කර ගත් සමාජ ව්‍යාපාරයක් තිබුනහොත් අභියෝගයන් ජය ගැනීමට පහසු ය.

ලංකාවේ ධනපති පන්තියක් නොමැත. ඇත්තේ ධනහිමි පන්තියකි. මේ ධනහිමි පන්තිය මැද පන්තිය හා එක්වෙමින් සම්පත් සූරාකමින් සිටී. ඔවුන්ගේ මාහර්ඝ නිධානය බවට පත්ව ඇත්තේ රාජ්‍යයි. ඒ රාජ්‍යය රැක ගැනීමට ඔවුහු ඇප කැප වී සිටී. එනිසා පීඩනයට හා සූරාකෑමට පත්ව ඇත්තේ ආන්තික ජන කොටසයි. මේ ආන්තික ජන කොටසට කිසිම දේශපාලන ව්‍යාපාරයකින් රැකවරණයක් නොමැත. ඔවුහු ධනවත් පන්තියෙන් මෙන්ම අතර මැදි පන්තියෙන් ද රජයෙන් ද පීඩාවට පත්ව සිටිති.

වසර 2025 දී රට මුහුණ දෙන දේශපාලන අභියෝග පිළිබඳව බරපතළ සාකච්ඡාවකට යන්නට තරම් මෝරා ගිය දේශපාලන ව්‍යාපාරයන් සලකා බැලිය යුත්තේ මේ පදනමින් යුක්ත ශක්තිමත් ඉදිරි දැක්මක් සකස් කර ගැනීමටයි. එය එක් එක් නායකයන්ගේ එක් එක් දේශපාලන පක්ෂයන්ගේ න්‍යාය පත්‍ර තුළ නොමැති විය හැකිය. එහෙත් පන්තිමය වශයෙන් බෙදී ගිය සමාජයක බුද්ධිමතුන්ගේ කාර්ය විය යුත්තේ එවැනි වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීමට දායකවීමයි. ශ්‍රී ලංකාව තවමත් එතැනට තල්ලුවී නොමැති බවට පෙළගැස්වෙන දේශපාලන සාධක දෙස් දෙයි.

එහෙත් රටක් ලෙස ශක්තිමත්ව නැගී සිටීමට නම් එවැනි වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. නො එසේනම් අවලංගු වී ජරාජීර්ණව යන තවත් එක් රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ මුල්ලකට තල්ලුවීම කිසිවකුට වැළැක්විය නොහැක.

කේ.ජී.පිලිප් ශාන්ත

අදහස්