නිමල් ලාන්සාගේ කලකිරීම හා ජනවාරි අ‍ට අපේක්ෂා | සිළුමිණ

නිමල් ලාන්සාගේ කලකිරීම හා ජනවාරි අ‍ට අපේක්ෂා

 ආණ්ඩුව ගැන කල කිරීමෙන් ඉවත් වූ බව ප්‍රකාශ කළ නිමල් ලාන්සා මන්ත්‍රිවරයා පහු ගිය දිනවල ජනමාධ්‍යයට මාතෘකාවක් විය. නන්තලෙන් පසු ව වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් ගන්නා බව ඔහු ජනමාධ්‍යයට කීවේය. එහෙත් එය පාළු ගෙදර වළං බිඳිල්ලක් බවට පත් විය. නිමල් ලාන්සාගේ ඉවත්වීම සහ ඔහුගේ විවේචන ස්වරය ආණ්ඩුවේ පැවැත්මට කිසිදු අභියෝගයක් එල්ල කිරීමට අසමත් එකක් වූ බව පැහැදිලි ය. කරන්නට වැඩක් නැති නිසා තමා පසුගිය කාලයෙහි පිටරට ජීවත් වූ බව කීමද මන්ත්‍රීවරයා ගේ බංකොලොත් බව කියා පෑමකි. නිමල් ලාන්සාගේ ඉවත්වීම සහ ඔහුගේ කිනිමිනි ගෑම ඔස්සේ අපූරු ඡායාරූපයක් සිතට එයි. එනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලාන්සා මහතාගේ නිෙවසට ගොස් ඔහු බදාගෙන සිඹ සනසන අවස්ථාවයි. එය සිදු වුයේ රාජපක්ෂ රෙජිමයේ හයිය ගැට්ටට ම නැග තිබූ අවධියකය. දිනය 2011.ඔක්.19 දාය. මත්ද්‍රව්‍ය තිබේ දැයි පරික්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ ඔහුගේ නිෙවස වැටලී ය. වැටලීම සිදු වුයේ පරීක්ෂණ ක්‍රියාවලියක් දියත් වන අතරතුර ලැබුණු නිශ්චිත සාක්ෂි මත ය.

පුදුමයට කරුණ නම් මෙයින් කලබලයට පත් වූ හිටපු ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා, මර්වින් සිල්වා ඇමැතිවරයා සහ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ලාන්සාගේ නිෙවසට හදිසියේ ම පැමිණිම ය. නිෙවස පරික්ෂා කිරීමට පැමිණියේ නන්නාඳුනන කල්ලියක් නොවේ. ආරක්ෂක අංශයේ පිරිසකි. සැක කටයුතු නිෙවසක් පිරික්සීම සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයා කලබල වූයේ මන්ද යන්න ගැටලුවක් බවට පත් විය. නිෙවසට යෑමෙන් නොනැවතුණු හිටපු ජනාධිපතිවරයා ලාන්සාගේ නිවස පරික්ෂා කිරීම පිළිබඳ පරික්ෂණයක් කරන්නැයි ‍පොලිසියට නියෝග දුන්නේ ය. රටක ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රීයාත්මක වීමට නම් නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුය යන්න පොදු පිළිගැනිමයි. එමෙන්ම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සංවරණ හා තුලන මූලධර්ම අනුව ක්‍රියාත්මක විය යුතුය. ව්‍යවස්ථාව මඟින් අසීමිත බලතල ප්‍රදානය කර ඇතත් ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට බලපෑම් කිරීමේ හැකියාවක් විධායකයට නැත.

එසේ වුව ද දස අවුරුද්දක් තිස්සේ රට පාලනය කළේ නීතිය යනු තමන් යැයි සිතු පාලකයෙකි. එය එක්තරා පොල්පොට් මාදිලියකි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ අවස්ථාවේදී ආණ්ඩුවේ බලගතු හස්තය චුදිතයා වෙනුවෙන් ක්‍රියාත්මක වුයේ ප්‍රසිද්ධියේ ය. භාරතගේ මිනිය බැලිමට ගිය ජනාධිපතිවරයා හට එහි තිබු ‍විරෝධය නිසා ඉක්මනින් ආපසු යන්නට සිදු විය. හිටපු ආරක්ෂක ලේකම්වරයා සෙවණැල්ලක් මෙන් දුමින්ද එ‍තෙර රෝහලකට යවන තෙක් ඔහු පසුපසු ගමන් ක‍ෙළ් ය.

ආරක්ෂක අධික්ෂණ කටයුතු පිළිබඳ ධුරය දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාට පවරා තිබිණ. ආරක්ෂක අංශවල වාහන රැසක් ඔහු පිරිවරා ගමන් ගත්තේ ය. භාරත ඝාතනය කළ දිනයෙහි දුමින්දගේ රිය පෙරහැරෙහි ආරක්ෂක අංශ සාමාජිකයෝද කුඩඩන්ද ගමන් කළ බව තහවුරු විය. මේ සියල්ල එසේ සිදු වුයේ විධායක ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්ගේ බුරුලමත බව පෙනි ‍ගියේ ය.

විධායකයේ අනුහසින් විවිධ අපරාධ සහ නීති විරෝධී කටයුතුවල යෙදුණ ඇතැම් මහජන නියෝජිතයන්ට එරෙහි ව මේ වනවිට විධිමත් අයුරින් චෝදනා ලැයිස්තු ගත කෙරෙමින් පවතී. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි. දුමින්ද සිල්වාට සිර දඩුවම් නියම කෙරිණි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇති චෝදනා අතුරින් මිග් යානා ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණය අවසන් අදියරට පැමිණ ඇත. කිසියම් අපැහැදිලි හේතුවක් මත පරීක්ෂණ එතැනින් එහාට නොයෑම සම්බන්ධයෙන් විචිකිචඡාවක් සමාජයෙහි පවතින බව ද නොකියා බැරිය. නිමල් ලාන්සා මන්ත්‍රිවරයාගේ දේශපාලන පැටිකිරිය සම්බන්ධයෙන් ඇත්තේ යහපත් චිත්‍රයක් නොවේ. ඔහු එබඳු මහජන ‍නියෝජිතයන්ගෙන් එක් අෙයක් පමණි. නීතියේ සහ අධිකරණයේ ක්‍රියාන්විතය වඩාත් කාර්යක්ෂම වී තිබුණේ නම් ඇතැම් මහජන නියෝජිතයන් සිටිය යුත්තේ අද සිටින තැන්වල නොවන බව පැහැදිලිය. හිටපු අගවිනිසුරන් අතරින් අපකීර්තිමත් ම ඉතිහාසයක් ඇති සරත් නන්ද සිල්වා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් ඔස්සේ එකල නීත‍ිය ක්‍රියාත්මක වූ ආකාරය පැහැදිලි විය. හෙල්පින් හම්බන්තොට අරමුදල පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ල ඉවත දැමිම පිළිබඳ තමා කනගාටු වන බව හිටපු අග විනිසුරුවරයා එක් මෙ‍ාහොතක ප්‍රකාශ කළේය. මින් පෙනී යනුයේ අගවිනිසුරු වරයාගේ අනුහසින් චෝදනාවලින් නිදහස් වූ බව නො‍වේ ද? ජනවාරි 8 ජයග්‍රහණයේ නියමුවන් ජනතාවට පොරොන්දු වූ පරිදි චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුවේ යැයි බොහෝ අය බලාපොරොත්තු තබාගෙන සිටිති. හෙල්පින් හම්බන්තොට පිළිබඳව ද රන්ජන් රාමනායක ඇමැතිවරයා නැවත වතාවක් පැමිණිලි කළේය.

නීත‍ියේ ආධිපත්‍යයට අභියෝග කරමින් තමන්ගේ නීතිය රටේ නීතිය බවට පත් කළ නායකයෙක් ම වත්මනෙහි නීතියේ අඩුපාඩු පිළිබඳ කිඹුල් කඳුළු හෙළති.

17 වැනි ව්‍යවස්ථාවෙන් තහවුරු කළ ස්වාධීන රාජ්‍ය සේවය, නිදහස් අධිකරණයක පැවැත්ම 18 වැනි සංශෝධනයෙන් තමන් වෙත පවරා ගත්තේ හිටපු ජනාධිපතිවරයා ය. රටේ හැම මර්මස්ථානයක ම ඉරණම තීන්දු ‍කළේ ඔහු ය.

18 වැනි ව්‍යවස්ථාව යනු ඉතිහාසයේ කළු පැල්ලමකි; දේශපාලන පලිගැනීම් හා අවනීතියට පාර කැපු ව්‍යවස්ථාමය අඩයාළමකි. ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසුව වත්මන් ජනාධිපතිවරයා 19 වැනි ව්‍යවස්ථාව ද අසීරුවෙන් ෙගනෙමින් විධායකයේ යකඩ සපත්තුවට පෑගී තිබූ රාජ්‍ය සේවය, අධිකරණය හා පොලිසිය නිදහස් කළේ ය. සමහර මහජන නියෝජිතයන්ට කරන්නට වැඩක් නැති ව කලකිරීමෙන් පිටරට ඉන්නට සිදුවීමේ වාතාවරණයක් අත් වූයේ එහි ප්‍රතිඵල ලෙස ය. මිනී මැරුම්, කුඩු ජාවාරම් සහ රාජ්‍ය දේපළ මංකොල්ලයට දේශපාලන අනුහස නොලැබෙන විට ඒ කටයුතු වල යෙදෙන අයට වැඩ නැතිවීම පුදුම විය යුත්තක් නොවේ.

එහෙත් පැරණි අවතාර නැවත හොල්මන් කරන්නට පටන් ගෙන තිබේ. මේ හොල්මන් සහ මුලින්ම තුරන් කළ හැක්කේ ජනවාරි අ‍ට ජයග්‍රහණයේ අපේක්ෂා සම්පුර්ණයෙන් ම ඉටු කිරීමෙනි.

තිඹිරියාගම බණ්ඩාර 

අදහස්