කොළඹ - මහනුවර‍ වායු දූෂණය ඉහළට | Page 2 | සිළුමිණ

කොළඹ - මහනුවර‍ වායු දූෂණය ඉහළට

 ඉන්දියාවේ පැවැති ශ්‍රී ලංකා - ඉන්දියා ක්‍රිකට් තරගයකදී වායු දූෂණය නිසා එම තරගය නතර කරන්නට සිදුවිය.

ඒ එරට කුඹුරුවල ඉපනැල්ල ගිනි තැබීම් නිසා ආ දුම ආඝාණය වීම නිසා බව එරට විද්වත්තු පසුව පැවසූහ. අපේ ර‍ෙට් එතරම් වායු දූෂණයක් අත්විඳින්නට නොමැති වුවත් අපේ රටේ මහනුවර කොළඹ පෑළියගොඩ හා වත්තල කිරිබත්ගොඩ කොහුවල වැනි ස්ථානවල වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට වඩා වැඩිවෙමින් පවතින බව අපේ විද්‍යාඥයන් කළ පර්යේෂණ අනුව අනාවරණය වී ඇත.

මෙරට ළාබාලම මහාචාර්යවරයා වන මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා පවසන පරිදි මෙරට වායු දූෂණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ පරිසර හිතකාමී ලෙස ගොඩනැඟිලි ඉදි නොකිරීම නිසා ලැබෙන ප්‍රතිඵලයි. ඊට අමතරව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේමසිරි මහතා පවසන්නේ මෙරට වායු දූෂණයේ ප්‍රධාන හේතුව වී ඇත්තේ වාහන තදබදය බවයි.

අපේ රටේ ගොඩනැඟිලි කර්මාන්තයේදී තිබෙන ගහ කොළ කපා වැඩියෙන් වැලි සිමෙන්ති භාවිත කර ස්වාභාවික ආලෝකය හා සුළඟ නිසි ලෙස නොලැබෙන පරිදි කටයුතු කරන්නේ නම් ඉන් විශාල වායු දූෂණයක් ද පරිසර දූෂණයක් ද සිදුවේ. මෙය වැළැක්වීමට හරිත ගොඩනැඟිලි ඉදිකිරීමේ සංකල්පය ව්‍යාප්ත කිරීමට රජය කටයුතු කරයි.

මුළු ලෝකයේ ම සිදුවන පරිසර දූෂණයෙන් හා වායු දූෂණයෙන් සියයට 47 ක් ම සිදුවෙන්නේ ගොඩනැඟිලි ඉදිකිරීමේ දී හා ඒවා පවත්වාගෙන යාමේදී ය. ගොඩනැඟිලි ඉදිකිරීමට ගල් වැලි ලී ලබාගැනීමේදී පමණක් නොව ගොඩනැඟිලි ඉදිකළ පසු ඒවාට ආලෝකය විදුලි බලය හා වායු සමීකරණ ලබාදීමට බලශක්තිය ජනනය කරන විට විශාල පරිසර දූෂණයක් සිදුවෙන බවත් මහාචාර්ය හල්වතුර පවසයි. අද අපේ නගර බද විදුලි ඉල්ලුමෙන් සියයට 40 ක් වැය වන්නේ වායු සමීකරණ සඳහා ය. ඒ අනුව හරිත පරිසර හිතකාමී ගොඩනැඟිලි ඉදිකළොත් ඒ විදුලි බලය නිපදවීමට පොසිල ඉන්ධන පිච්චීම අඩු වී පරිසර හානිය අවම වන බව ද මහාචාර්ය හල්වතුර පවසයි‍.

කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආර්.එන්.ආර්. ජයරත්න මහතා පවසන පරිදි ලංකාවේ වායු ගෝලයේ ඇති බරපතළම ගැටලුව අවලම්බිත සියුම් අංශුය මේ අවලම්බිත අංශු වැඩිපුර නිකුත් වන්නේ වාහනවල දුම්වලිනි. මින් ඉතා කුඩා අංශු නාසය හරහා පෙනහළුවලට ඇතුළු වී ඇඳුම ආඝාතය හා හෘදයාබාධ ඇති කරනු ලැබේ.‍

අපේ රටේ වායු දූෂණය වැඩිපුර සිදුවන්නේ කාබන් මොනොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රස් ඩයොක්සයිඩ් නිසා ය.

මෙරට අවලම්බිත අංශු ප්‍රමාණය, කොළඹ ගම්පහ කුරුණෑගල, මීගමුව වැනි ප්‍රදේශවල තරමක් වැඩි ය. මීට අමතරව පාරම්පරික පැරැණි තාක්ෂණික නිපැයුම් ක්‍රමවල අඩු පාඩු නිසා අද වායු දූෂණය වැඩි වී තිබේ. පිත්තල කර්මාන්තය හා ගම් පදම් කිරීමේ කර්මාන්තය නිසා අද ‍වායු දූෂණය වැඩිවී ඇත.

දැනට වසර 20 කට පමණ අපේ රටේ බහුලව තිබුණේ ක්ලෝරො ‍ෆ්ලෝ‍රො කාබන් (CFC) අඩංගු ශීතකරණ හා වායු සමීකරණයි. නමුත් මොන්ට්‍රියල් සන්ධානයේ නීති රීති අනුව අපේ රටට එම වායු අඩංගු ශීතකරණ ගෙන්වීම 90 දශකයේ දී තහනම් කළ අතර අපේ රට ඇතුළත ද එවැනි වායු අඩංගු ශීතකරණ නිපදවීම පාවිච්චිය හා විකිණීම තහනම් කරන ලදී. ඉන්පසුව ශීතකරණ හා වායුසමන ඇතුළත පාවිච්චි කරනු ලැබුවේ ඕසෝන් පටලයට එතරම් අහිතකර නැති හයිඩ්‍රො ක්ලෝරො ෆ්ලෝරො කාබන් (HCFC) වායුවයි. පසුව එම වායුව ලොව කාලගුණ විපර්යාසවලට හා පොළොව රත්වීමට හා සුළු වශයෙන් ඕසෝන් වියන විනාශයට හේතුවන බව දැන් සොයා ගෙන තිබේ. ඒ අනුව මොන්ට්‍රියල් සන්ධානය විසින් ඒ HCFC වායුව අඩංගු ශීතකරණ දියුණු වන රටවලට ගෙන ඒම 2018 සිට තහනම් කර තිබේ. 2018 සිට HCFC අඩංගු ශීතකරණ හා වායුසමන අපේ රටට ගෙන්වීම තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත්තේ ඒ අනුව බව ද ගුණවර්ධන මහතා කියයි.

මේ නව නීති රීති අනුව හා මොන්ට්‍රියල් සන්ධාන ගිවිසුම හා පැරිස් සම්මුතිය අනුව 2030 සිට අපේ රට ඇතුළත HCFC අඩංගු ශීතකරණ හා වායු සමීකරණ පාවිච්චිය හා විකිණීම තහනම් කර තිබේ.

මෙරට සුපිරි වෙළෙඳ සංකීර්ණ හා කර්මාන්ත ශාලා රාජ්‍ය ආයතන ගණනාවක දැන් විශාල වායු සමීකරණවල බහුලව භාවිත වන්නේ HCFC වායුවයි. වායු සමීකරණ අලුත්වැඩියාවට පමණක් අවශ්‍ය HCFC වායුව පාලනයක් සහිතව මෙරටට ගෙන්වීමට කටයුතු කරනු ලැ‍ෙබ්.

‍මෙයට විකල්ප ලෙස ශීතකරණ සඳහා R600A වායුව දැන් හඳුන්වා දී තිබේ. එමෙන් ම වායු සමීකරණ සඳහා R290/R32 වායු අඩංගු වායු සමන ද අපේ රටට දැන් හඳුන්වා දී ඇත.

මේ සමඟම පාවිච්චි කළ හා ප්‍රමිතියෙන් තොර වායු කාන්දු වන වායු සමීකරණ හා ශීතකරණ අපේ රටට ගෙන්වීම ද දැන් තහනම් කර තිබේ. අලුත්ම බලශක්ති පිළිබඳව පර්යේෂණ අනුව අපේ රටේ පහළ මධ්‍යම පාන්තික ජනතාවගේ විදුලි බලෙන් සියයට 50 ක් වැය වන්නේ අඩු ප්‍රමිතියේ ශීතකරණ ක්‍රියාත්මක කිරීමටයි. ඊට අමතරව මෙරට ඉහළ මධ්‍යම පන්තියේ හා ධනවත් පුද්ගලයන් තම විදුලි බලෙන් සියයට 50 ක් වැය කරන්නේ ප්‍රමිතියක් නැති වායු සමීකරණ සඳහා ය. මේ අනුව අපේ රට ඇතුළත හරිතාගාර ආචරණයට හානිය නැති ප්‍රමිතිගත ශීතකරණ හා වායු සමීකරණ පමණක් පාවිච්චි කළ හැකි නම් අපේ ර‍ෙට් නොරොච්චෝලේ බලාගාරය වුවත් වසා දැමීමට පුළුවන් බව ද ජනක ගුණවර්ධන මහතා පැවසීය.

අපේ රටේ වායු දූෂණය පිළිබඳව කරුණු දක්වන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේමසිරි මහතා පවසන්නේ අපේ රටේ මහනුවර හා කොළඹ නගර දෙක වායු දූෂණයෙන් ඉහළ මට්ටමක පවතින බවයි. බොරැල්ල මරදාන කොළඹ කොටුව පෑලියගොඩ දෙමටගොඩ වැනි ස්ථානවල වායු දූෂණය වැඩි බව ද ඔහු කියයි.

කොළඹ නගරයේ ස්ථාන 7 ක හා මහනුවර නගරයේ ස්ථාන 13 ක මේ වායු තත්ත්වය පිළිබඳව පර්යේෂණ කර ඇත. ඒ අනුව මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පළ ප්‍රදේශය මෙරට විශාලතම දූෂණය ඇති ස්ථානය ලෙස හඳුනාගෙන තිබේ. ඊට අමතරව කොළඹ බොරැල්ලේ ඇති අවලම්බිත ක්ෂුද්‍ර අංශු වායු දූෂණය ඉහළ මට්ටමක තිබේ‍. කොළඹ නගරය ස්ථාන 7 ක නුසුදුසු වායු ගෝලීය මට්ටමක තිබේ. දෙමටගොඩ, කිරිබත්ගොඩ, දෙහිවල, බොරැල්ල, මරදාන, කොළඹ කොටුව, පෑලියගොඩ ඒ ස්ථානවේ. ඒ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපරිම මට්ටමට වැඩිය.

මේ ස්ථානවල වැඩිපුරම වායු දූෂණයක් ඇත්තේ පෙරවරු 7.30 සිට 9 දක්වා හා පස්වරු 5.30 සිට 7.00 දක්වා කා‍ලයේදී ය.

මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩ සටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ.ඩබ්ලිව්. දිසානායක මහතා පවසන පරිදි 2016 දී මේ සඳහා වාහන ලක්ෂ 52 ක් ඉදිරිපත් වී තිබේ. ඉන් වාහන ලක්ෂ 11 ක් මේ වායු විමෝචන පරීක්ෂණයෙන් අසමත් වී තිබෙන බව ද දිසානායක මහතා පවසයි.

2011 දී මේ පරීක්ෂණය සඳහා වාහන ලක්ෂ 25 ක් පමණ ඉදි‍රිපත් වී ඇත. එම වසරේදී ඉන් අසමත් වී ඇත්තේ වාහන ලක්ෂ 4 ක් පමණි. මේ අනුව අපේ රටේ පාවිච්චි කළ වාහන සංඛ්‍යාව පසුගිය වසර 5 ඇතුළත දෙගුණ වී ඇති අතර වාහන දුම් පරීක්ෂණයෙන් අසමත් වූ සංඛ්‍යාව ද තෙගුණයකට ළංවී ති‍බීම ද විශේෂ ලක්ෂණයකි.

අලුතින් ම සංඛ්‍යා ලේඛන අනුව පසුගිය වසර හතර ඇතුළත මෙරට පෙට්රල් පාවිච්චිය මෙන් ම පෙට්රල් යෙදූ වාහන ගමන් කළ කිලෝමීටර් ගණන දෙගුණ වී තිබේ.

මේ අනුව 2013 වසරේදී මෙරට සමස්ත පෙට්රල් පාවිච්චිය ලීටර් මිලියන 829කි. එය 2017 වනවිට ලීටර් මිලියන 1700ක් වනු ඇතැයි පෙන්නුම් කරයි. මේ අතර 2013 දී මෙරට පෙට්රල් වාහන ගමන් කළ දුර කිලෝමීටර් මිලියන 1524කි. ඒ ගණන 2017 වන විට ඒ දුර කිලෝමීටර් මිලියන 3100ක් දක්වා වැඩි වෙමින් තිබේ.

මේ කරුණු අනුව පැවසිය හැක්කේ පසුගිය අවුරුදු 5 ඇතුළත මෙරට වාහන ප්‍රමාණය හා පෙට්රල් පාවිච්චිය දෙගුණ වී ඇති බවයි.

විශේෂයෙන් 2011 වායු විමෝචන පරීක්ෂණයට එක්වූ මෝටර් සයිකල හා ත්‍රිරෝද රථ ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් 2016 දී වායු විමෝචන පරීක්ෂණයට සහභාගි වී තිබේ. 2011 දී පරීක්ෂණයට ලක්වූ මෝටර් සයිකල් ත්‍රිරෝද රථ ගණන 1498000 කි. 2016 දී ඒ ප්‍රමාණය 3172000 ක් පමණ වී ඇත. ‍වායු විමෝචන පරීක්ෂණවලදී අසමත් වන වාහනවලින් වැඩිම ප්‍රමාණයක් ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් බව ද ඒ. ඩබ්ලිව්. දිසානායක මහතා පවසයි. ඒ අනුව අප කළ යුත්තේ මේ වාහන පාවිච්චිය අවම කර ඒ වෙනුවට විකල්ප හඳුන්වා දීමයි‍.

(පරිසර හා මහවැලි අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ ඒකකය සංවිධානය කළ මාධ්‍ය සමුළුවකදී කළ දේශන ඇසුරෙනි.)

නිහාල් පී. අබේ­සිංහ    
 

 

Comments