නිවාස ලක්ෂ විසිපහක් අලුත්වැඩියාවට | සිළුමිණ

නිවාස ලක්ෂ විසිපහක් අලුත්වැඩියාවට

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දැනට මෙරට තුළ ඉදිව ඇති නිවාස ප්‍රමාණයෙන් විසිපන් ලක්ෂයකට අධික නිවාස ප්‍රමාණයක් අලුතින් ඉදිවිය යුතු හෝ වැඩි දියුණු කළ යුතු නිවාස ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පළන්සූරිය මහතා පවසයි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ විශේෂ මැදිහත්වීම හා උපදෙස් මත මෙම සමීක්ෂණය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කර තිබේ.

සිළුමිණ කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ නිවාස අධිකාරියේ සභාපති පළන්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සියලු දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු හා ගම් මට්ටමේ සේවයේ නියුතු සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සභාපතීත්වයෙන් පැවැති මෙම ජාතික නිවාස සමීක්ෂණයේදී දැනට රටපුරා ඉදිව ඇති නිවාස සංඛ්‍යාව 52,77408 ක් ලෙස හදුනාගත් බවයි. එම නිවාස අතරින් 12,27523ක ප්‍රමාණයක් වැඩි දියුණු කල යුතු බවත් අමතර නිවාස 13,40928 ක ප්‍රමාණයක් අලුතින් ඉදිකළ යුතු බවත් හදුනාගත් බවත් සඳහන් කළ හෙතෙම මෙම නව නිවාස ඉදිකළ යුතු ප්‍රමාණය තුල දැනට පිහිටි තාවකාලික නිවාස, තහඩු සෙවිලි නිවාස, යන නිවාස ඒකකයන්ද අයත් වන බවයි. මීට අමතරව නිවාස ඉදිකිරීමට ඉඩමක හිමිකම් නොවන පවුල්, කුලී නිවාස පදිංචිකරුවන් වැනි කණ්ඩායම්ද අලුතින් ඉදිකළ යුතු නිවාස අතරට අයත් වන බව ඔහු සඳහන් කළේය.

2015 වසරේ සිට වත්මන් රජය ක්‍රියාවට නැංවු සංවර්ධන කාර්යයන් අතුරින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළ මුල්තැනක් ගනු ලබයි. සෑම ජනකොටසකගේම නිවාස අවශ්‍යතාව තේරුම් ගනිමින්, ඔවුන්ගේ පුර්ණ සහභාගිත්වයෙන්, ඔවුන් සඳහා වු නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් නිර්මාණයකොට ඔවුන්ගේම පූර්ණ දායකත්වයෙන් එම වැඩපිලිවෙළ ක්‍රියාත්මක විම රජයේ අරමුණයි.

2010 වසරේ සිට 2014 වසර දක්වා වූ පසුගිය පාලන සමය තුළදි සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ සඳහා රජය විසින් සිදුකළ සමස්ථ මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 5637 කි. 2015 වසරේදී රජය සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 4627 ක මුදලක් ආයෝජනය කරමින් පවුල් 84,680 කට ප්‍රතිලාභ හිමිකර දී ඇති අතර, 2016 වසරේදී මෙම මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 6738 කට වර්ධනය කළ අතර, ප්‍රතිලාභ ලැබූ පවුල් ප්‍රමාණය 127,854 ක් විය. 2017 වසරේ නොවැම්බර් මස 11 දිනට ආයෝජිත මුදල රුපියල් මිලියන 5,646 කි. ප්‍රතිලාභ හිමිකරගත් පවුල් ප්‍රමාණය 43,635 කි.

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක, සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ නිශ්චිත ජාතික ඉලක්කය සැලසුම්වි තිබේ. එකි සැලැස්මට අනුකූලව 2015 වසරින් ආරම්භ කළ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ 2017 වසර අවසන් වනවිට දිවයින පුරා ආදර්ශ ගම්මාන 500 ක ඉදිකිරිම් කටයුතු සිදුකිරීමයි.

රජයේ ප්‍රතිපත්තිය හා ජාතික නිවාස වැඩසටහනේ මූලික අරමුණ වනුයේ 2020 වසරේ වත්මන් රජයේ පාලන කාලපරිච්ඡේදය තුළදී මෙවන් ආදර්ශ ගම්මාන 2500 ක් දිවයින පුරා ඉදිකරලිමයි. මේ සියලු කාර්යන් සිදුකිරිම උදෙසා ජනාධිපතිතුමන්ගේ පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති කාර්යසාධන වැඩසටහනේ සියලු ක්‍රියාකාරකම් මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන සමගින් ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම ජනාධිපතිතුමන්ගේ මුලික අදහසක් පෙරදැරිකොට ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට අනුගතවීම මෙහිදි වඩාත් අගය කළයුතුවේ.

විසිරුණු නිවාස අවශ්‍යතාව සපුරාලීම උදෙසා ක්‍රියාත්මක, මෙම නිවාස සංවර්ධන වැඩසටහන 2015 වසර සිට මේ දක්වා වඩාත් සාර්ථකව ක්‍රියාත්මක විය.මෙකි වැඩපිළිවෙළ යටතේ 2015 සිට 2017 නොවැම්බර් 24 දක්වා විසිරි නිවාස ප්‍රතිලාභීන් 80958 ක් ප්‍රතිලාභ හිමිකර දි ඇති අතර, ඒ සඳහා ආයෝජිත මුදල රුපියල් මිලියන 286,223 කි.

උදාකළ ගම්මාන සංවර්ධන වැඩසටහන සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ 2016 වසරේදී ආරම්භ විය. එම වැඩපිළිවෙළ යටතේ 2016 - 2017 දෙවර්ෂය තුළ නිවාස 1773 ක ඉදිකිරිම් කාර්යයන් සිදුකර ඇති අතර, ඒ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 286.223 ක් වේ.උතුරේ අවතැන් වූවන්ට නව ගම්මාන 49 කි.

දශක කිහිපයක යුද්ධය හේතුවෙන් උතුරේ ජනතාවට, සිය පාරම්පරික නිවහන් අහිමිවිය. ජනතාවද නිවාස සංවර්ධනය දායක කරගනිමින් උතුරේ ජනතාවට නිවාස පහසුකම් සැපයිමට රජය තීරණයකර ඇති අතර, 2018 වසරේ යෝජිත මෙම නිවාස සංවර්ධන වැඩපිළිවෙළ තුළින් නිවාස ඒකක 5000 ක් රුපියල් මිලියන 3000 ක මූල්‍ය ආයෝජනයකින් ඉදිකිරීමට නියමිතව ඇත. දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හි වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වු රෝගීන් සඳහා ඔවුන්ගේ ප්‍රතිකර්මයනට සුදුසු ආකාරයෙන් නිවසේ විවිධ උපාංග වැඩිදියුණු කිරීමත් නිවසේ ජිවත්වන සෙසු නිවාසලාභීන්ට අවශ්‍ය නිවාස පහසුකම් සපයාදීමත් අරමුණුකොට වකුගඩු රෝගීන් 1500 කට නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිනි.

නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ප්‍රදේශයන්හි ශිල්පීය හැකියාවන් පෙන්නුම් කරන තරුණ තරුණියන් හට වඩු හා මේසන් කර්මාන්තය මුල්කොටගත් ශිල්පීය වැඩසටහන හඳුන්වාදී ඔවුන්ට නිසි පුහුණුවක්, දීමනාවක් හිමිකර දැනුම සමගින් නිවාස සංවර්ධන කාර්යයන් හා ඉදිකිරිම් කර්මාන්තයට ඔවුන් යොමුකිරිමයි. දිවයින පුරා ඉදිවු සියලු නිවාස ව්‍යාපෘතීන්හි නිවාසලාභීන්ට අදාළ නිවාසයන්හි අයිතිය හිමිකරදීම 2020 වසරට ප්‍රථම සිදුකිරිමට ඉලක්කකර තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ 2015 වසරේ සිට 2017 වසරේ වර්තමානය වනවිට නිකුත්කර ඇති සින්නක්කර ඔප්පු ප්‍රමාණය 6407 කි.

සිය නිවහනේ සමාජ අයිතිය හිමිකරදීම අරමුණුකොට රජය ක්‍රියාත්මක කරනු ලබන බදු ඔප්පු ප්‍රදානය කිරිමේ වැඩසටහන කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරේ. මෙම බදු සහන ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2016 වසරේ සහ 2017 වසරේ ලබාදුන් ඔප්පු ප්‍රමාණය 9397 කි. මේ අනුව 2015 - 2017 කාලපරිච්ඡේදය තුළ නිවාස හිමිකම් ලබාදීමේ ක්‍රියාවලිය යටතේ සින්නක්කර හා බදු ඔප්පු නිකුත් කිරිම තුළින් ප්‍රතිලාභීන් 15804 කට සහායවී තිබේ. මධ්‍ය ආදායම්ලාභීන්ට නිවාස ලක්ෂ 05 ක් ඉදිකිරිමේ ජාතික නිවාස වැඩපිළිවෙළක්ද දියත් කරනු ලැබිය.

 චන්දිමා එදිරිමාන්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.