නායකයා යනු කැමැතිම අයට පමණක් සලකන කෙනා නෙවෙයි | සිළුමිණ

නායකයා යනු කැමැතිම අයට පමණක් සලකන කෙනා නෙවෙයි

ඉස්සර මං හුඟක් පොහොසත්. හැබැයි හදවතින් දුප්පත්. අද මගේ ළඟ ඉස්සර තරම් ධනය නැහැ. ඒ වුණාට මං හදවතින් පොහොසත්.

නායකයා අනෙක් අයට වඩා වෙනස් ලෙස යමක් දකියි. කණ්ඩායමේ විශ්වාසවන්තම පුද්ගලයා ද ඔහුය. සිය කණ්ඩායම බලා ගන්නා ඔහු, සිය සෙනඟට මඟ පෙන්වන්නාද වෙයි.

තමන් ද එම කණ්ඩායමේ ම සාමාජිකයකු බව නිතර සිතන ඔහු, මවාගත් ලොකුකම් වලින් පීඩා නොවිඳියි. සැබවින් ම ඔහුගේ සෑම අරමුණක්ම පොදු අභිලාෂයක් වෙනුවෙන් පමණි. සමානාත්මතාවය මිස ගැත්තෝ හිතැත්තෝ ඔහුට නැත.

ඔබට නායකයකු වීමට අවශ්‍ය නම්, ඔබ සිතිය යුත්තේ ඔබ ගැන නොව, අනුන්ගේ යහපත ගැනයි. ‘කුෂිල් ගුණසේකර’ කියැවීමෙන් ඔබට එය තවත් තහවුරු කර ගත හැකිය. මන්ද යත් ජීවිතය බෙදා ගැනීමට සහ මනුස්සකමට, ඔහු ඉතා හොඳ පූර්වාදර්ශයක් සපයා ඇති හෙයිනි.

අපි දන්න කුෂිල් ගුණසේකර හිටියෙ බිස්නස් ලෝකෙ...

ඔව්. ඒ, බොහොම කලකට ඉස්සර, හුඟක් ලාභ උපයපු සීනි කර්මාන්තයේ. ඉස්සර මං හුඟක් පොහොසත්. ධනවත්. හැබැයි හදවතින් දුප්පත්. අද මගේ ළඟ ඉස්සර තරම් ධනය නැහැ. ඒ වුණාට මං හදවතින් පොහොසත්. ලබන සතුට සහ ආත්ම තෘප්තියට මිලක් නැහැ.

කොහොමද ඒ තරම් සතුටින් ජීවත් වෙන්නෙ...

අහංකාර උද්ධච්ච සිතුවිලි මං ළඟ නැහැ. ‘මං සභාපති’ කියලා මවාගත්තු ලෝකෙක ජීවත් වෙන්නෑ. දුප්පත් මිනිස්සු උදව් ඉල්ලනවා කියලා මට තරහා යන්නෑ. නමුත් මං සල්ලි බෙදන කෙනෙක් නෙවෙයි. මං කරන්නේ, මගේ සබඳතා පාව්චිචි කරලා ගත්තු සියලු ප්‍රතිලාභ මේ රටේ දුප්පතුන්ගේ ජීවිත නඟා සිටුවන වැඩසටහන් සහ ව්‍යාපෘති බවට පත් කිරීම. අංශ 30 ක් යටතේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මේ කෙටි කාලීන ව්‍යාපෘති මඟින් වෘත්තීය ජීවිතයක් හදාගන්න, ආදායමක් උපයාගන්න පාර කියා දෙනවා. අද මේ ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබන පිරිස 30,000 කට වැඩි මිස අඩු නැහැ.

මොන බිස්නස්කාරයාද කෝටි ගණන් උපයන බිස්නස් අතෑරලා, සමාජ සේවෙ කරන්නේ...

මං වගේ හිතන තව කිහිප දෙනෙක්වත් මේ ලෝකෙ ඇති. ඇල්මා ඉන්ටර්නැෂනල් ප්‍රයිවෙට් ලිමිටඩ් කියන සමාගමේ, මට තිබූ කොටස් සියල්ල මගේ අනෙක් කොටස්කරුට ම විකිණුවා. මගේ තාත්තගෙන් උරුම වෙච්චි සීනිගම අපේ මහ ගේ ‘ගුණ ජය සතුට’ පදනමේ ප්‍රධාන මධ්‍යස්ථානය කළා. ‘මගේ’ කියලා තිබුණු වටිනා යමක් තිබුණ ද අද ඒ සියල්ල ‘අපේ’.

ඇයි ඔබ මෙහෙම දේවල් කරන්නෙ...

ගමෙයි නගරෙයි වෙනස දැනෙන්න පටන් ගත්තු දා ඉඳන්, ළමයෙක් හැටියට සමාජ පරතරය දැක්ක දා පටන් පුළුවන් මට්ටමින් මං මේ දේවල් කළා. මට වඩා දක්ෂ, මට වඩා හැකියාව තියෙන ගමේ ළමයින්ට ඉස්සරහට යන්න බැරි බාධකය තමයි දුප්පත්කම, අවස්ථාවක් දෙන්න කවුරුත් ඉදිරිපත් නොවීම. කවදා හරි මේ ඇති නැති පරතරය, ගම්බද - නගරබද වෙනස නැති කරනවා කියලා මං හිතුවෙ අවුරුදු පහළොව - දහසයේදී. කවදාවත් අපේ ගමේ ළමයි ඉස්කෝලෙට සපත්තු දැම්මෙ නැහැ. විෂයන් අටම ලියුවෙ එකම පොතේ. ගෙවල්වල හැමදාම තිබුණෙ කුප්පි ලාම්පු. මගේ ගමේ මිනිස්සු මේ දුකෙන් ගලවාගන්න ඕනෙ කියන සිතිවිල්ලයි මට හැමදාම තිබුණෙ.

ඒ වෙනුවෙන් මොනවද ඔබ කළේ...

1999 මං, 'Foundation for Goodness’ හෙවත් ‘ගුණ ජය සතුට පදනම’ පිහිටෙව්වා. ඒ වෙනකොටත් මං හිටියෙ ක්‍රිකට් තේරීම් කමිටුවේ. කොළඹ හිටියට පදනමේ වැඩවලට නිතර මං සීනිගම ආවා. ඒ එක්කම ක්‍රිකට් ක්‍රීඩකයොත් මං මෙහාට එක්ක ආවා. මං කරන වැඩ ඒ අයට පෙන්වුවා. මුරලි තමයි වැඩිපුරම මේ වැඩවලට කැමැත්තක් දැක්වූවේ. ‘අයියේ මටත් ඔයත් එක්ක වැඩ කරන්න ඕනේ. මාවත් සම්බන්ධ කරගන්න!’ කියලා, මාව එයාගෙ කළමනාකරුත් කරගෙන එදා ඉඳන් ම මේ පදනමට වැඩ කළා.

සුනාමිය දවසෙත් මුරලි මෙහෙ එමින් හිටියේ. මං හිටියෙ සීනිගම. මහ ගේ වහලෙ ළඟට සුනාමි රළ පහර ආවා. ඒ වෙලාවෙත් මෙතැන ළමයි පන්තියක් කරනවා. මං ළමයි ටිකත් අරන් පන්සලට දිව්වා. අපේ මහ ගේ, ඒකෙ තිබුණු පෙර පාසල, මාතෘ සායනය, කම්පියුටර් පන්තිය, එක මොහොතකින් හැම දේම සුන්බුන් ගොඩක් වුණා.

ඒත් සුනාමියෙන් පසු පටන්ගත් වැඩසටහන්වලින් තවමත් ඉතිරිව ඇති මේ රටේ එකම සහ සක්‍රීයම ව්‍යාපෘතියත් ඔබේ....

ඔව්. ඒ තමයි නිසි කළමනාකරණය. හොඳ දැක්මක් සහ මෙහෙවරක් තිබීම. අදත් වසරකට විදේශිකයන් 2500 කට වඩා ඇවිත් උදව් කරන, ක්‍රිකට් ටීම් හැටක් පැමිණෙන, පරිත්‍යාගශීලීන් ස්ව කැමැත්තෙන් හොයාගෙන එන තැනක් බටව සීනිගම, ‘ගුණ ජය සතුට පදනම’ පත්වෙලා. මේක ලෝකයේත් බොහෝ විශ්ව විද්‍යාලවලත්, සුනාමි ව්‍යාපෘතිවලින් සාර්ථක වූ ‘මොඩලයක්’ ලෙස පිළිගෙන තිබෙනවා. අද ඒ සාර්ථක කළමනාකාරිත්වය පිළිබඳ ලෝකය මගෙන් දේශන ගන්නවා. ප්‍රායෝගික වීම හා ආදර්ශයයි වැදගත් ම දේ. මගෙන් පටන්ගත්තම පහළට යනකල් ඒ ආදර්ශය එකසේ ක්‍රියාත්මකයි. මෙතැනට ලැබෙන එක ඩොලරයක්වත් හොර පාරවල යන්නෑ. විනිවිදභාවයෙන් යුතු කළමනාකාරිත්වය තමයි, මේ තරම් දුරක් අපිව ‍රැගෙන ආවේ. මෙතැන වැඩකරන හැම කෙනෙක් ම සීනිගම සහ අවට ගම්වල තරුණ තරුණියෝ.

කොහොමද එහෙම විශ්වසයක් ඔබ ලෝකෙට දුන්නේ...

සුනාමියෙන් පස්සෙ මෙතැන එකම කඩිගුලක් වුණා. මධ්‍යස්ථානයක් වුණා. උදව් කරන්න එන විදේශිකයෝ ඒක දැක්කා. මෙතනින් ඇත්තට ම යමක් වෙනවා කියලා ඔවුන්ට පෙනුණා. ඒ ආරංචිය කටින් කට ගියා. අපිව හොයාගෙනම ඇවිත් උදව් කරන්න ගත්තා. ඔබ දන්නවද, දවසකට දහ පහළොස් දෙනෙක් බෙහෙත් ගන්න එන, හොඳම දන්ත උපකරණ සහිත නොමිලයේ සේවා සපයන පුංචි දන්ත රෝහලක් තියෙන්නෙ මුළු ලංකාවෙන් ම අපේ ගමට විතරයි. ඒකත් අපිට ලැබුණු සුනාමි තෑග්ගක්. පරිත්‍යාගශීලීන් ගමට දෙන්න ලෑස්ති මොනවද මං ඒ සියල්ල බාර ගත්තා. සමහර අංශ මං දැනගෙනවත් හිටියෙ නැහැ. ඒ වුණාට නිසි කළමනාකරණයට නතු කළාම ඒවා සිස්ටම් එකකට ගලා ගියා.

සීනිගම, ගමේ ඉස්කෝලයක් ළඟ ෙම්තරම් නවීන ස්විමින් පූල් එකක් හැදුවෙ කොහොමද...

ඒක මේ ගමට බ්‍රයන් ඇඩම්ස් දීපු තෑග්ගක්. අපේ ‘බ්‍රයන් ඇඩම්ස් පූල් එකේ ගමේ ඉස්කෝලවල ළමයි පුහුණුවන හැටි, පීනන හැටි දැක්කම, කොළඹයි SSC යි, සීනිගමයි කියලා වෙනසක් මට පේන්නෑ. අපේ ජිම් එකට එන්නෙ ගමේ කොල්ලො. වෙන වැරැදි වැඩවලට යන්න ඔවුන්ට හිතෙන්නෑ, වෙලාවකුත් නැහැ. ජිම් එක, ක්‍රිකට් කැරම් - කරාටේ නෙට් බෝල්, වොලිබෝල්, බැඩ්මින්ටන් ටූනමන්ට්ස් අපේ ගමේ ළමයින්ට දැන් අලුත් දේ නෙවෙයි. ඔවුන් අලුත් ලෝකයක් දකින්න අරන්.

මේ කරන දේවල සැඟවුණු බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද...

මගේ සම්බන්ධකම් පාවිච්චි කරලා, ලැබුණු උදව්වලින් සීනිගමට ගෙවල් දාහක් හැදුවා. අද ඒ සමහර මිනිස්සු මං මූදෙ නාන්න යනකොට ඉස්සරහට හම්බ වුණත් බිම බලාගෙන යනවා. ඒකට කමක් නෑ. මම ඔවුන්ගෙන් ස්තූතියක් හරි බලාපොරොත්තු වුණා නම් තමයි මගේ හිත රිදෙන්න ඕනේ. මට එහෙම එකක් නැහැ. ආදර්ශයෙන් මං මගේ වැඩේ කළා. ප්‍රතිලාභය ඔවුන් ළඟ. සතුට මගේ ළඟ.

ඔබ හැ‍මදේම කරන්නෙ සීනිගමට විතරද...

නැහැ. යාපනය, මුලතිව්, කිළිනොච්චි, තිරුක්කෝවිල්, ඒරාවුර්, මොනරාගල, හික්කඩුව, ගන්දර, රත්ගම... කියන මධ්‍යස්ථාන නවයේ ම මේ වැඩසටහන් එකසේ ක්‍රියාත්මකයි. පෙර පාසලින් පටන් ගත්තම, තරුණ තරුණියන්, වැඩිහිටි ස්ත්‍රී පුරුෂ හැම කෙනාටම තමන්ගෙ ජීවිතය ගොඩනඟා ගන්න පුළුවන් කිනම් හෝ වෘත්තීය මඟකට අපි ඔවුන් යොමු කරනවා. හැතැප්ම ගණන් පයින් යන්න තියෙන දුෂ්කර ගම්වල දරුවන්ට බයිසිකලයක් දුන්නත් ඒකත් ජීවිතේ නඟා සිටුවීමක්. තමන්ගෙ වගාව පොළට ගෙනියන්න ඒ බයිසිකලය ඔවුන්ට ලොරියක් තරම් වටිනවා. පා ගමන්, රැලි වැනි විවිධ වැඩසටහන් කරලා හුඟක් අය අපිට උදව් කරනවා. නමුත් හැමදාම අපිට පරිත්‍යාග බලාපොරොත්තු වෙන්න බැහැ. ආදායම් උපයන ක්‍රම සහ විධිවලට මේ මිනිසුන් යොමු කිරීමයි අපෙන් සිදුවන වැදගත් ම දේ.

මොනවද ඇත්තට ම මේ පදනමින් කෙරෙන වෘත්තීය වැඩසටහන්...

‘ළහිරු‘ පෙරපාසලින්, ළමා සමාජවලින් යහපත් දරුවන් බිහිකිරීමේ පටන් දෙමළ ඉංග්‍රීසි, පරිගණක පන්ති, නායකත්ව, මැහුම් ගෙතුම්, සූපවේදි, විදුලි කාර්මික වැනි ජීවන නිපුණතා වැඩසටහන්, හොඳ ආකල්ප සහ සාර ධර්ම වර්ධනය, පුද්ගල සංවර්ධනය... සතුටින් ජීවත් වන හැටි, අනුන්ට උදව් කරන හැටි මං ඔවුන්ට කියා දෙනවා. වෘත්තීය පුහුණුවීම් සඳහා අපි ගෙවලා අදාළ සුදුසුකම් ලත් ගුරුවරු යොදවනවා. එක උදාහරණයක් කියන්නම්, ජෝන් කීල්ස් සමාගමේ දත්ත හා තොරතුරු අංශයක් මෙහි තිබෙනවා. එහි වැඩ කරන්නේ අපේ පදනමේ තරුණ පිරිස. කොළඹ නොගිහින් ඔවුන් ගමේ ඉඳන් ආදායම් උපයනවා. මේ සතුට මේ ප්‍රතිලාභය ගමට නෙවෙයිද. ඒ වගේ ම ඇමරිකානු රක්ෂණ සමාගමකටත් අපේ ළමයි වැඩ කරනවා. මේ කාර්යාල දෙක ම තියෙන්නේ මේ පදනම ඇතුළෙ. ආරක්ෂාව සහ ගෞරවය ඇතිව අමතර වියදම් නැතිව ඔවුන් කරන රැකියා මට හරි ආඩම්බරයි.

විනයගරුක මිනිස්සු බිහිවෙන්න, පවුල් පසුබිම වගේ ම උගත් පාසලත් බලපානවා. එහෙම නේද...

දෙකේ පන්තියට වෙනකල් අම්බලන්ගොඩ ධර්මාශෝකයට ගිය මං, තුනේ ඉඳලා නුවර ට්‍රිනිටියට යනවා. ගෙදරින් ඈත්වීම පුංචි මට දුකක්. ඒ වුණාට තනියම ජීවත් වෙන්න, වෙලාවට කලාවට වැඩ කරන්න, ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න, නීතිගරුක සහ විනයානුකූල ‍දරුවෙක් විදියට ගොඩනැ‍ඟෙන්න මං පුරුදු පුහුණු වුණේ ට්‍රිනිටි කොලේජ් එකෙන්. ක්‍රිකට් ගහන්න ඕනෙ නිසා හයේ පන්තියේ ඉඳන් කොළඹ ආනන්දෙට ආවත් මගේ ජීවිතය පුරා ම යෝධයෙක් වගේ නැඟී හිටියෙ ට්‍රිනිටියෙදි ගොඩනැඟුණු විනයානුකූල ජීවිතය.

ඔබට තිබුණා, ට්‍රිනිටියෙ ඉඳන් ක්‍රිකට් ගහන්න...

12 න් පහළ ට්‍රිනිට් ටීම් එකේ මං සෙල්ලම් කළා. දක්ෂකම් පෙන්නුවා. හොඳම පිතිකරුත් වුණා. ඒ නිසා ම තමයි සිදත් ගෙ තාත්තා, මගේ තාත්තට කිව්වෙ මාවත් ආනන්දෙට දාන්න කියලා.

මොකක්ද ඔබට, සිදත් වෙත්තමුණි පවුල එක්ක තිබෙන නෑකම...

මගේ ආච්චියි සිදත්ගෙ සීයයි සහෝදරයෝ. සිදතුත් මගේ වයසේ. ඒ වෙනකොට එයා ආනන්දයේ 14 න් පහළ ක්‍රිකට් ගහනවා. සිදත්ගෙ තාත්තා හිතපු විදියට ම ආනන්දෙට ආවම, සිදත් එක්ක මාත් 14 න්, 19 න් පහළ ආරම්භක පිතිකරු විදියට ක්‍රිකට් ගැහුවා. බාස්කට් බෝල් ගැහුවා. මං ආනන්දයේ හොකී කැප්ටනුත් වුණා. මං ආනන්දයේ වර්ණලාභි ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

එතකොට, තිබුණු එකම හීනෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන එකද...

ඇත්තටම ඔව්. පොත් පාඩම් කරන එක තමයි මං අකමැතිම දේ. නිවාඩුවට ගෙදර ආවමත් මං කළේ ගමේ ඇවිද ඇවිද ළමයි යාළු කරගෙන ක්‍රිකට් ගහපු එක. එහෙම වෙලාවට තමයි මං සමාජෙ ගැන ඉගෙන ගත්තෙත්, මිනිසුන්ගෙ නැති බැරිකම් ගැන දැනගත්තෙත්.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...

හුඟක් දඟයි. කළේ ම ගුටි කන වැඩ. ඒ වුණාට ඒ දඟ ළමයා ඇතුළෙ, බොහොම කරුණාවන්ත හදවතක් තිබුණා. අනුන්ට උදව් කරන්න කැමැති ගුණය තිබුණා. හිඟන්නෙකුට වුණත් මගේ බත් පිඟාන දෙන්න, මං දෙපාරක් හිතුවෙ නැහැ. තාත්තා දෙන ‘පොකට් මනී’ හැමදාම මදි වුණේ, දුප්පත් යාළුවන්ට වඩේ අරන් දීලා මං ණය වුණු හින්දා. නිවාඩුවට ගෙදර ආවමත් මං දුප්පත් ළමයි එක්ක සෙල්ලම් කරනවා. ගෙදරට එක්කරගෙන ඇවිත් මගේ කෑම වලින් ඒ අයටත් දෙනවා. පුංචි කාලෙ ඉඳලා මට තිබ‍ුණෙ බෙදාගෙන පුරුදු ජීවිතයක්.

අම්ම තාත්තගෙන් ජීවිතයට එකතු වූ වටිනාකම් මොනවද...

මගේ තාත්තා නිල නොලත් මහේස්ත්‍රාත් වරයෙක්. නීතිඥවරයෙක්, හැබැයි වෙනස්. ගමේ දුප්පතුන්ගෙ නඩුවලට නොමිලේ පෙනී හිටියා. උපදෙස් දුන්නා. මගේ අම්මටත් තිබුණෙ දෙන්න පුරුදු වුණු දෑතක්. සෙල්ලම් කරලා ඉවරවෙලා තව ළමයි හතර පස් දෙනෙක්වත් අරන් කන්න එන පුරුද්දට අම්මා කවදාවත් මට බැන්නෙ නැහැ. තියෙන හැටියට කෑම දුන්නා. උගත්කම සහ ප්‍රඥාව අතර වෙනම මං හඳුනාගත්තෙ මගේ දෙමව්පියන්ගෙන්. සමහර උගත් මිනිස්සුත් හොර බොරු කරනවා. නමුත් ප්‍රඥාව ඇති කෙනා පවට බයයි. ලැජ්ජාව තියෙනවා. මං ලැජ්ජාවට බය ඇති මිනිහෙක්.

ඔබ විභාග හොඳින් සමත් වුණාද...

මං ඕ ලෙවල් දෙපාරක් ම ෆේල්. තුන්වැනි පාර තමයි යන්තම් ගොඩ දා ගත්තෙ. ඒකත්, ක්‍රිකට් ගහන්න නොලැබෙයි කියන බයට ම පාඩම් කරපු හින්දා.

ඔබත් ජ්‍යොතිෂ්‍යය හඹා යන කෙනෙක්ද...

නැහැ. ඒ වුණත් ජ්‍යෙතිෂ්‍යය අනාවැකියක් මට ඇත්ත‍ වෙලා තිබෙනවා. මං හැමදාම නිවාඩුවට රිපෝර්ට් එක අරන් ගෙදර ආවේ පන්තයේ ඉන්නෙ 50 නම් 45 වැනියා වෙලා. ඉතින්, අම්මා හිත හදාගන්න, කෙනෙක්ව ගෙදරට ගෙනැත් මගේ වෙලාව බලනවා. ඕ ලෙවල් දෙපාරක් ෆේල් වුණාට පස්සෙත් අම්මා එහෙම කළා. ඒ කෙනා සෑහෙන වෙලාවක් අරන් මගේ වෙලාව බලලා කිව්වා, ‘බය වෙන්න එපා නෝනා මේ දරුවා පුදුම විදියට විදේශීය සම්බන්ධකම් ගොඩනඟාගන්න තරම් භාග්‍යයක් තියෙන දරුවෙක්!’ කියලා. ඕ ලෙවල්වත් පාස් වෙන්න බැරි ළමයට මොන විදේශ සම්බන්ධකම්ද... අම්මා ඒ මනුස්සයට දොස් කිව්වා. ඒ වුණාට ඒ අනාවැකිය ඇත්ත වුණු දවසක් ආවා.

කවදද ඒ...

සුනාමියට පස්සෙ. හරියට සුනාමිය ආවා වගේ නොහිතපු වේගයකින් නොහිතපු ගුණාකාරයකින් විදේශීය සම්බන්ධකම් මං වටා රැස් වුණා. ඇමරිකාවේ ෆ්ලෝරිඩාවේ විශ්ව විද්‍යාලයෙන් මාව කැ‍ඳෙව්වා, ගුණයෙන් ලැබෙන ජය සහ හොඳ ආකල්ප ගැනයි මං කතා කළේ. ඒ ලෙවල්වත් නොකරපු මං ඇමරිකානු විශ්ව විද්‍යාලයක දේශන කළා. මං බකින්හැම් පැලස් එකට ගියා. පෙන්ටගනයට ගියා. රාජ්‍ය නායකයො මුණගැහුණා. කෝටියක් දුන්නත් ගන්න බැරි හුඟක් දේ මගේ ජීවිතයට ආවේ සුනාමියත් එක්ක. අමිහිරි සුනාමිය, මං ඉතුරුවුණු මිනිසුන්ට යහපතක් බවට හැරෙව්වා.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

මට මගේ පළමු රස්සාව ලැබෙන්නෙත් ක්‍රිකට් හින්දා. රබර් කර්මාන්තයේ පුහුණුවන විධායක නිලධාරි තනතුරක්. ඔය අතරෙත් මං ක්ලබ් වලට ක්‍රිකට් ගැහුවා. රංජිත් පණ්ඩිතගේ මහත්තයා මාව ඩිමෝ එකට ගන්නෙත් මගේ ක්‍රිකට් සහ යම්කිසි යහපත් ආකල්පයක් දැකපු හින්දා. එතැන මං මර්සඩීස් බෙන්ස් කාර් විකිණුවා. ඊළඟට මාව ගත්තෙ AMW. 1977 විවෘත ආර්ථිකයත් එක්ක වැල නොකැඩී රටට වාහන එන්න ගත්තා. වාහන ක්ෂේත්‍රයේදි ලොකු කමිෂන් එකක් මට ලැබුණා. අවසානයේ මං ඒ ආයතනයේම අලෙවි කළමනාකරු දක්වා උසස් වුණා.

කොහොමද එහෙම වුණේ...

මට තිබුණෙ මනුස්සකම කියන සුදුසුකම විතරමයි. කොයිම තැනෙකදි වුණත් මම හැසිරෙන විදිය, මගේ සමාජ ගනුදෙනුව, මිනිස්සු ආශ්‍රය කැපී පෙනුණා. විශේෂයෙන් ක්‍රිකට් වලදි. මං රස්සා පහක් කළා. ඒ පහම මට ලැබුණෙ ඔවුන් මට ආරාධනා කරලා. වාහනයක් විකිණුවත් මාස ගණනකට පස්සෙ මං කස්ටමර්ට කතා කරලා සර්විස් දිනය මතක් කළා. ඒ අය පුදුම වුණා. ඒ තමයි මං දීපු සර්විස් එක. බඩුව විකිණුවා, එතැනින් ඉවරයි කියලා මං හිතුවෙ නැහැ. ව්‍යාපාර ලෝකෙ මාව හඳුනාගත්තා නම් ඒ, මගේ මේ විශේෂ ගුණාංග හින්දා.

එතකොට සීනි කර්මාන්තයට අත ගැහුවේ...

ඒකත් අහම්බයක්. ඊට කලින් මං නව‍ලෝක අධිපති ජයන්ත ධර්මදාස මහත්තයා එක්ක හාල් ගෙන්වන ව්‍යාපාරයක් කළා. සීනිවලට අතගැහුවේ ඊට පස්සෙ. සීනිගම ඉපදිලා සීනි බිස්නස් කරපු එකත් දෛවෝපගතයි කියලා හුඟ දෙනෙක් කිව්වා. ඒ වෙනකොට සීනි කර්මාන්තයෙ තිබුණෙ එකම බල අධිකාරියක්. නමුත් ව්‍යාපාරයේදි මං අංක එකට ආවා.

ඔබ කලෙක ෆැෂන් සඟරාවල නිරූපණ ශිල්පියෙක්...

හමීඩියාස්, ෆවුසුල් හමීඩ් මහත්මයාගේ ෆැෂන් මැගසින් කිහිපයක මං එහෙම පෙනී හිටියා. මං ටිකක් වෙනස් විදියට අඳින පලඳින කෙනෙක්. දැන් නම් ඒ තරම් ම හඹා යෑමක් නැහැ. නමුත් මං තවමත් ලස්සනට පිළිවෙළකට ඉන්න කෙනෙක්.

කෝටියක් දුන්නත් නොකඩන ප්‍රතිපත්ති ඔබේ ජීවිතයෙත් ඇති...

ඔව්. මං නිර්මාංසයි. එක මත් වතුර උගුරක් බොන්නෑ. කොයි තරම් විදේශිකයො, ප්‍රභූන්, යාළු මිත්‍රයො ආවා ගියත් කෝටියක් දෙනවා කිව්වත් මේ ගුණ ජය සතුට පදනමේ නිවහන යට කාටවත් මත් වතුර දෙන්නෑ. සුනාමියට කැඩුණ බිඳුණට මං ආපහු මේ නිවහන ගොඩනැඟුවා. මේ බිමේ සිද්ධ වෙන්නෙත් යහපත් දේ පමණයි. අපිට උදව් කරන්න එන විදේශිකයන්ට ස්වේච්ඡා සේවකයන්ට මෙතැන නවාතැන් දෙනවා. හැබැයි ඉන්න ඕනෙ, මේක ඇතුළෙ නීති රීති වලට අනුකූලවයි. ‘විලා රූල්ස්’ මං හැම තැනම ප්‍රදර්ශනය කර තිබෙනවා. ‘මුළු ජීවිත කාලෙම මේ පදනම පවත්වාගෙන යන්න මං සල්ලි දෙනවා. ඔයා මේ අරක්කු වීදුරුව බොන්න...’ කියලා කෙනෙක් කිව්වොත් මං තෝරා ගන්නෙ නොබී ඉන්න එක. මං රකින මගේ ප්‍රතිපත්ති, මගේ ජීවිතය හා සමානයි.

දැන් ඔබට ව්‍යාපාර ඇත්තෙ ම නැද්ද...

මගේ ජීවත් වීම සඳහා පොඩි පොඩි ව්‍යාපාර කරනවා. ඒක පදනමට සම්බන්ධයක් නැහැ. මගේ ලිච්ඡවී සහෝදරයා, අශාන් මලලසේකර. මගේ ව්‍යාපාර සම්බන්ධකම් තිබෙන්නෙ අශාන් එක්ක. අශාන් අපේ පදනමටත් හුඟක් උදව් කරන හොඳ කෙනෙක්.

ජීවිතය විඳින්න කැමැති කොහොමද...

මට මූදත් එක්ක ඕනෙතරම් වෙලා ගත කරන්න පුළුවන්. අපේ ගමම විනාශ කළා කියලා මට මුහුද එක්ක තරහා වෙන්න බැහැ. මේ ගමට කවදාවත් නොලැබුණු මේ තරම් දේවල් ආපහු ලැබුණෙත් ඒ මුහුද නිසාමයි.

දැන් ඔබේ වයස කීයද...

61 යි. මං මගේ ශරීරය ගැන සෞඛ්‍ය ගැන, අධ්‍යාත්මිකව වර්ධනය කළ යුතු ගුණයන් ගැන හුඟක් සැලකිලිමත්. හැමදාම මම බුදුන් ඉදිරියේ, මං ගැන කතා කරනවා. මගේ වැරැදි, අඩුපාඩු, මට හරි ගිය වැරැදුණු තැන් මං යළි යළි මෙනෙහි කරනවා. ඒවා හදාගන්න අධිෂ්ඨානශීලී වනවා. මේ අාධ්‍යාත්මික ශුද්ධ පවිත්‍ර වීම ඉතා වැදගත්. මගේ හිත පිරිසුදුයි. සැහැල්ලුයි.

ඔබේ දරුවො ගැනත් ඔය තරමට ම හිතනවද...

කේෂියා මගේ ලොකු දූ. වයස 28 යි. පොඩි දුව රශ්මිකා. නීතිඥවරියක් වෙන්න ඉගෙන ගන්නවා. දෙන්නම ම ඉන්නෙ අම්මා එක්ක ඕස්ට්‍රේලියාවේ. ඒ දෙන්නත් පුළුවන් විදියට මට මේ වැඩේ කරගෙන යන්න ඕස්ට්‍රේලියාවෙන් ආධාර උපකාර එවනවා. අපි ඇත්තට ම යාළුවො වගේ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම දේ කියන්න...

උදව්වක් ඉල්ලගෙන එන කෙනකුට සුළුවෙන් හෝ උදව්වක් කරන්න, තියෙන කෙනාගෙන් ඉල්ලා නැති කෙනාට දෙන්න. ඒක මනුස්සකමක් මිසක් මදිකමක් නෙවෙයි. දරිද්‍රතාවෙන් එළියට එන්න උත්සාහ කරන මිනිසුන්ට අත දීලා ඒ අය ගොඩ එන හැටි බලලා සතුටුවන්න. මම මේ හැම දේම කරන්නෙ අඳුරන හෝ දන්න කියන අයට ම නෙවෙයි. කොටින් ම, අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න. මං එහෙමයි.

 ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූපය - විමල් කරුණාතිලක

අදහස්