වසර 2025ට සූදානම්ද? | සිළුමිණ

වසර 2025ට සූදානම්ද?

පසු ගිය ජනාධිපතිවරණයේදී ගෙදර ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විශ්‍රාම සුවයෙන් වසන්නට ඉඩක් නොවීය. ඊට එක හේතුවක් වූයේ රජ කිරුළ තම ජ්‍යේෂ්ඨ පුත්‍රයා වන නාමල් රාජපක්ෂට ලබාගැනීම සඳහා වූ ගමන්මඟ නිර්මාණය කර අවසන් කිරීමට නොහැකි වීමය. දෙවැන්න: ඔහු විසින් ඇති කළ රාජ්‍ය දේපළ කොල්ල-කා යැපී ධනවත් වූ පන්තියේ ආරක්ෂාවට තවදුරටත් ඔහුගේ දේශපාලන නායකත්වය අවශ්‍ය වීමය. මේ නිසා විශ්‍රාම යා යුතු ඔහු තමන්ට නොගැළපෙන තරම් මට්ටමේ පහත් අඩියකට වැටී කෙසේ හෝ බලය අත්-පත් කරගැනීමට උත්සාහ කරමින් සිටී.

පවතින සම්මුතික ආණ්ඩුවට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වුවත් ඒ දේශපාලන රික්තය පිරවීමට හෝ ඊට නායකත්වය දීමට හෝ වත්මන් විපක්ෂය අසමත්ව තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල රාජ්‍ය බලය අත් කරගැනීම සඳහා අධිතක්සේරුවකින් වාචික අරගලයක යෙදුණද ඔවුන්ට කිසිම දේශපාලන වැඩපිළිවෙළක් නොවීම ශෝකජනකය. පවතින සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට විසඳුම් සොයන්නට තබා, පැවැති පාලනය තුළ තමන්ට වැරදුණේ කුමන ස්ථානයන්හිදීද යන්න අවබෝධයෙන් විග්‍රහ කරගැනීමට පවා ඔවුහු අසමත් ය.

මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට අද ඉතිරිව ඇත්තේ ගෝත්‍රවාදී කතා කියමින් සිංහල බෞද්ධ ජන කොටසේ හැඟීම්වලට ආමන්ත්‍රණය කිරීම පමණි. විටෙක පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික ලිංගික කරුණු ගැන කතා කරමින් සමාජයේ අධිපති මතවාදයන් ආරක්ෂා කරයි; තවත් විටෙක වාර්ගික හැඟීම් අවුස්සමින් ජන කොටස් අතර වෛරය, ක්‍රෝධය හා එකිනෙකා අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ ගනී. මහින්ද රාජපක්ෂ දේශපාලනය ලෙස තේරුම් ගෙන ඇත්තේ ග්‍රාම්‍ය හා අශ්ලීල සමාජයේ ඉල්ලුමක් පවතින ගෝත්‍රවාදී අදහස් පුනරුච්ඡාරණය කිරීමයි.

මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂගේ දේශපාලනය නූතන සමාජයට ගැළපෙන්නක් නොවේ. ඔහු සමාජයේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක සේයාවක් නොපෙන්වයි. එනිසා ඔහු උනන්දුවෙන් සිදු කරන්නේ රාජ්‍ය යන්ත්‍රණය ශක්තිමත් කරමින්, එහි සාරය උරා බී වැඩෙන සමාජ කුලකයක් ගොඩනැංවීමයි. මේ සමාජ කුලකය මහන්සි වී නිෂ්පාදනයේ යෙදෙන පිරිසක් නොවේ. ඔහුන් සේවා ආර්ථිකය මත යැපෙන නීති රීතිවලට එකඟ නොවන බොහෝ විට කළු ආර්ථිකයක වැඩ කරන පිරිසකි. ඒ අනුව මහින්ද රාජපක්ෂ නියෝජනය කරන්නේ සමාජයේ 'ලුම්පන්' සමාජ තීරුවයි. ලුම්පන් සමාජ ආර්ථික දැක්මක් සහිත දේශපාලන බලවේගයකට පවතින සමාජ දේශපාලන ආර්ථික ගැටලුවලට විසදුම් සෙවිය නොහැකිය.

මේ පවතින දේශපාලන රික්තය පිරවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් විය යුත්තේ එබැවිනි. කලක් යුදවාදී හා පසුගාමී අදහස් ගොන්නක් නියෝජනය කරමින් දේශපාලනය තුළ අඩව් ඇල්ලූ ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ඒ ගමන් මග හැරදා අලුත් මගක යමින් සිටී. එම පක්ෂය තවමත් සමාජයේ මැද-පාන්තික දේශපාලනික අවශ්‍යතා නියෝජන කළත්, බොහෝ හැරුවුම් ලක්ෂ්‍යයන්හිදී අවශ්‍ය තීන්දු-තීරණ ගෙන අහවරය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කටයුතු නොකරන අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස තම හැඩරුව හා භාවිතය වෙනස් කරගෙන තිබේ. උදාහරණයකට පසුගිය වසර දහයක කාලය තුළ එම පක්ෂයේ ක්‍රියාකාරීත්වය හා භාවිතය සලකා බැලුවහොත් සමාජවාදී විප්ලවය වෙනුවෙන් කිසිම කටයුත්ත්තක නිරත වී නැත. ඔවුන් ඒ කාලය තුළ දිගින් දිගටම ක්‍රියා කළේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණෙන් හා ඉලක්කයකිනි.

ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මේ දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමට එම පක්ෂ සාමාජිකයන් සමත් නොවීමයි. ඔවුන් තවමත් කල්පනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ යනු මෙරට සමාජවාදී විප්ලවය වෙනුවෙන් කැප වූ පක්ෂය බවයි. සමාජවාදය වෙනුවෙන් කැප වීම නරක නැත. එහෙත් ධනවාදයේ නව ලිබරල්වාදී අවධියට ගැළපෙන ලෙස සමාජවාදී උපාය-උපක්‍රමයන් සකස් කරගැනීමට ලෝක පරිමාණව අසමත්කමක් පවතී. සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින ලෝක පරිමාණ සියලු දේශපාලන බලවේගයන්ගේ එකම භාවිතාව වී ඇත්තේ සමාජ සුබසාධනය මූලික කරගත් රාජ්‍ය කේන්ද්‍ර කරගත් වාමාංශික ආණ්ඩුවකි. එය න්‍යායාත්මකව සැලකූ විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මිස අනෙකක් නොවේ.

පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පවතින දේශපාලන අවකාශයේ රික්තය පිරවීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් දැනට කරමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කළ යුතුය. එමෙන්ම ධනපති ආණ්ඩුවල වංචා, දූෂණ හා හොරකම් ඉලක්ක කරගනිමින් ඒවා වැළැක්වීමට තම දේශපාලනය ලඝු කිරීම වහා නතර කළ යුතුය. ධනපති ක්‍රමයේ වංචා, දූෂණ හා හොරකම් හෙළි කිරීම තම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ එක් උපක්‍රමයක් පමණක් විය යුතු අතර, එය එකම දේශපාලනය කරගැනීම අර්ථ විරහිතය.

එමෙන්ම 1978 දී වෙළෙඳපොළකරණයට ලක් වූ ශ්‍රී ලාංකික සමාජයට ගැළපෙන ලෙස සිය දේශපාලන උපාය උපක්‍රමයන් තෝරාගැනීමට තරම් ජවිපෙ විචක්ෂණශීලී විය යුතුය. සමාජ ප්‍රජානත්‍රවාදයේ අරමුණ වන්නේ ධනපති ආණ්ඩුවල නොහැකියාවන් රටට කියමින් සිටීම නොවේ. ධනපති ආණ්ඩුවල නොහැකියාවට අභියෝග කළ හැක්කේ ඒ සඳහා වූ විකල්ප වැඩපිළිවෙළක් නිර්මාණය කරගෙන එය සමාජගත කරන්නේ නම් පමණි. උදාහරණයකට වී වගාව, එළවුළු වගාව, ලූනු හා අල වගාව ඇතුළු සමස්ත කෘෂිකර්මයේ පවතින ව්‍යූහාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් ජවිපෙට තවමත් විකල්ප වැඩපිළිවෙළක් නැත. ඔවුන් තවමත් හඬ නගමින් ඉන්නේ කෘෂි සහනාධාර වැඩපිළිවෙළක් ඔස්සේ කෘෂිකර්මාන්තයේ ගැටලු විසඳාගත හැකි බවයි. එහෙත් ඒ ප්‍රතිපත්තිය වත්මන් ලෝකය තුළ අවලංගු වූ තර්කයකි.

2025 වර්ෂය වන විට දැනට පවතින දේශපාලන මතිමතාන්තර රැසක් මෙන්ම දේශපාලන ව්‍යාපාර රාශියක්ද අවලංගු වන්නේය. ඒ හිස්තැන පිරවීමට ජනතා විමුක්ති පෙරමුණ වහ වහා සූදානම් නොවුව හොත් ඔවුන්ද ඉතිහාසයේ කුණුබක්කියට තල්ලු වීම කිසිවකුටවත් වැළැක්විය නොහැකිය.

 අබරන් 

අදහස්