නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

නව දිවිය

‘නංගි බැඳල ද?’

‘නෑ’

‘මං හිතුවෙ බැඳල ඇති කියල’

‘මං නොබඳින්ඩයි හිතාගෙන ඉන්නෙ?’

‘ඒක ඔයාගෙ පෞද්ගලික අදහසනෙ. මං ඒකෙ වරදක් දකින්නෙ නෑ. ඒක ඉතින් ඒ ඒ අයගෙ කැමැත්තනේ. දැන් වයස කීයද?’

‘තිස් හයක් වෙනව’

‘ඔයාගෙ තීරණයට අම්ම තාත්ත එකඟයිද?’

‘...............!’

‘අනේ නංගි මං මේ නංගිගෙ ජීවිතේට ඇඟිලි ගහනව නෙමේ. මේව කතා කරනවට ඔයා අකමැතිද මන්ද?’

‍‍‍‘එහෙම දෙයක් නෑ’

‘මේකයි ඉතිං! අපි දරුවො හැටියට එක එක තීරණ ගන්ඩ පුළුවනි. අපිට ඒකට අයිතියකුත් තිෙයනවනේ. ඒත් ඉතින් දෙමවුපියොත් ඉන්නෙ දරුවො ගැන බලාපොරොත්තු තියාගෙනනේ. අම්ම මොකද ඔයාගෙ තීරණේ ගැන කියන්නෙ?’

‘අම්ම මගෙ කැමැත්තට ඉඩදීල තියෙන්නෙ’

‘එහෙම නං කමක් නෑ. අපි මොන තීන්දු ගත්තත් නංගි අපේ අම්මල අපේ හිත රිදෙයි කියල අපිට මොකුත් කියන්නෙ නෑ. ඒ කැපකිරීම් කරන්නෙ ආදරේ හින්දනෙ. ඒ වුණාට එයාලගෙ හිත්වල අපි වෙනුවෙන් කොච්චර දේවල් තියනවද? ඒගොල්ලො අපිව හදල තියෙන්නෙ කොච්චර දුක් විඳලද! අපි වෙනුවෙන් ඒගොල්ලො ළඟ කොයි තරම් හීන ඇද්ද! ඒ බර අපිට දැනෙන්ඩ නං අපිත් දෙමවුපියො වෙන්ඩ ම ඕනැ. එහෙම නැතුව ඒක තේරෙන්නෙ නෑ. නංගි නොබඳින්ඩ විශේෂ හේතුවක් ති‍යනවද?’

‘නෑ. එහෙම දෙයක් නෑ.’

‘එහෙම නං දෙමවුපියො ගැනත් පොඩ්ඩක් හිතන එක හොඳ නැද්ද? ඒගොල්ලන්ගෙ හිතේ බර නිදහස් කෙරුවොත් නේද හොඳ?’

එතැන් සිට පැවතියේ දිගු නිහැඬියාවකි. නිහැඬියාව බිඳී ගියේ ගමන් කරමින් තිබූ දුම්රියේ ටොකටොකයෙනි.

සෙනඟින් පිරී ගිය මැදිරියක කෙළවර මම හිටගෙන සිටියෙමි. මේ දෙදෙනා මා ඉදිරියේ වූ දිග අසුනේ එක ළඟ හිඳ සිටියහ.

ඔවුන්ගේ කතාවට මගේ හිත ඇදී ගියේ ඇයි දැයි නොදනිමි.

අවිවාහක තරුණිය ගේ විස්තර විමසමින් සිටියේ තරුණ විය පසුකරමින් සිටියේ යැයි සිතිය හැකි කතකි.

නිහැඬියාව බින්දේ ද ඇයම ය.

‘අපි මොහොතින් මොහොත වයසට යනවනේ නංගි. ඒක නවත්තන්න බෑනේ. හැබැයි තරුණ වයසෙදි අපට එහෙම හිතෙන්නෙ නෑ. මං ඒක අත්විඳල තියනවනේ. ඇත්ත ම කියනවනං මගෙ ප්‍රේම සම්බන්ධෙ කැඩුණට පස්සෙ කසාද බඳිනව කියන එක පෙන්නන්ඩ බැරුවයි මාත් හිටියෙ. මට පිරිමි රුස්සන්නෙ නැති කාලයක් තිබුණ. ඒත් නංගි, අම්ම මං වෙනුවෙන් අඬන ඇඬිල්ල මට උහුලගෙන ඉන්ඩ බැරුව ගියා. ඒ හින්ද ම මං ඒගොල්ලො ගෙනාපු යෝජනාවට එකඟ වුණා. ඔයාට කියන්ඩ නංගි මගෙ මහත්තය මනුස්සයෙක් නෙමේ දෙවියෙක්. එයා අපේ දරු දෙන්නයි, මායි වෙනුවෙන් කරන කැපකිරීම් මං හිතන්නෙ වෙන ස්වාමි පුරුෂයෙක් කරන්නෙ නැතුව ඇති. එයා මගෙ අම්ම තාත්තට සලකන්නෙත් එයාගෙ අම්ම තාත්තට වගේමයි. අපේ අම්මත් ‘නිහාල් පුතේ’ කියා ගත්තු ගමන්මයි ඉන්නෙ. මට වැඩිය එයාටයි ආදරේ.’

ඊළඟ නිහැඬියාව බින්දේත් ඇයම ය.

‘මට අදත් වෙලාවකට හිතෙනව නංගි මං පළමු සිද්ධියෙන් පස්සෙ ජීවිතේ ගැන කලකිරිල තනිකඩ වුණා නං කොච්චර අපරාධයක් ද කියල. එහෙම නං මගෙ ජීවිතේ විනාශ වෙලා යන්ඩ තිබුණ. මගෙ දෙමවුපියොත් ඒ දුකෙන් නැතිවෙන්ඩ තිබුණ. මොකද රටේ එහෙම වෙලා තියනවනෙ. නමුත් මං හරි තීන්දුව ගත්ත. මගෙ ජීවිතේ ආපහු ලස්සන කර ගත්ත. ඔයාටත් වරදින්ඩ විදිහක් නෑ නංගි. ඔයාගෙ දෙමවුපියන්ගෙ හිතේ තියන බර නිදහස් කරන්ඩ බලන්ඩ! ඒක පිනක්. ගැහැනියකට තනිය ම ජීවත්වෙන්ඩ බෑ කියල මම කියන්නෙ නෑ. හැබැයි ඒක හරිම දුෂ්කරක්‍රියාවක්. අලුතෙන් හිතන්ඩ නංගි. ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්ඩ පුළුවන් ඔයාටමයි. දෙමවුපියන්ගෙ බර නිදහස් කරන්ඩත් පුළුවන් ඔයාටමයි. මට වගේ ම ඔයාටත් හරි යනව.”

‘මං බඳින්නෙ නෑ කියල දැඩි තීරණයක් අරගෙන නෑ අක්කෙ. හොඳ කෙනෙක් හම්බවුණොත් මට වෙනස් වෙන්ඩ පුළුවන්.’

‘අහන්ඩත් සන්තෝසයි නංගි. ඔයාට හරි යනව. ඒක මට විශ්වාසයි!’

තරුණියගේ දෙතොල හෙමීට පළල් විය. මහත් හිනාවක් මතු විය. එය නොමැකී ම පැවතියේ ය.

ඇය අලුත් ජීවිතයක් අරඹනු ඇතැයි මට සිතිණ.

මට සතුටක් දැනුණේ ඒ නිසා විය යුතු ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


කළ ගුණ මල් දම

අනුරපුර වන්දනාවේ ගොස් ආපසු එමින් සිටියෙමු.

අප එමින් සිටියේ අවුකන - ගලේවෙල මාර්ගයේ අවසන් කිලෝමීටර කිහිපයේ ය.

අප සිතා සිටියේ ඒ වන විට අප අලින් ගැවසෙන මණ්ඩිය පසු කර ඇති බව ය. එහෙයින් සිතේ පැවතියේ ද කිසියම් සහනයකි.

එහෙත් හිටි හැටියේ ම මහ හඬක් නගමින් අලියෙක් අප ඉදිරියට කඩා පැන්නේ ය. අපි භීතියට පත් වීමු. වාහනය ද කොහේදෝ වැදී නැවතිණ.

අපි අසරණ වූයෙමු.

දෙවියෙන් මෙන් අප ළඟට දිව ආයේ ගම්මුන් පිරිසකි.

ඔවුහු අප ගමේ ගෙදරකට කැඳවා ගෙන ගියහ.

අපේ හිත හදා හිතෙන් බිය පහ කළ පිරිස අනතුරුව අපට සත්කාර කළ හ.

ගමේ ගෙය ඒ මොහොතේ අපට දෙව් ලොවක් මෙන් දිස් විය.

අපේ රියට සිදු වී තිබුණු ආපදාව තේරුම් ගත් ඔවුහු ත්‍රිරෝද රියක් සොයා ගෙන එහි නැගී බාස් උන්නැහේ කෙනකු කැඳවාගෙන ආහ. අනතුරුව රිය පිළිසකර කිරීමට වුවමනා දේ ද ගෙන ආහ.

ඊළඟ පැය කිහිපය ඇතුළත අපේ රිය යළි ධාවනය කළ හැකි මට්ටමට පත් කිරීමට ඔවුනට හැකි විය.

සිය මහන්සිය මුදල් කිරීමට ඔවුහු අකැමැති වූහ.

අපි ඔවුනට පින් දුනිමු.

අනුරාධා, අසංග, සුගතදාස බාස් උන්නැහේ, ගලප්පත්ති මාමා, රාජසිංහ සහ චමින්ද ඇතුළු ඒ උතුම් මිනිසුන් අපට කිසිදා අමතක නොවේ.

දෙවිවරුන් බඳු සැබෑ මිනිසුනි මේ කළ ගුණ මල්දම ඔබ ගෙල ලමි.

දිවුලපිටියේ චින්තක ජයවර්ධන මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

අදහස්