ඩෙංගු ජයගන්න පුරවැසි යුතුකම හරියට ඉටු කරන්න | සිළුමිණ

ඩෙංගු ජයගන්න පුරවැසි යුතුකම හරියට ඉටු කරන්න

මේ වැසි සමයේදී ඩෙංගු වසංගතය යළි හිස එසවීමේ අවදානමක් තිබේ. පසුගිය සමයේදී ඇති වූ අධි වසංගත තත්ත්වය බලධාරීන්ගේ ද ජනතාවගේ ද මාධ්‍යයේද සාමුහික ප්‍රයත්නයෙන් මර්දනය කර ගැනීමට හැකි විය. පෙර පැවැති උද්යෝගය හා අවධානය ඒ අයුරින්ම පවත්වා ගතහොත් පමණක් ඩෙංගු වසංගතය ජය ගත හැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

2017 වර්ෂයේ ගත වු මාස 12 තුළදී මුළු දිවයින තුළ ඩෙංගු රෝගීන් 175129 ක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. එම ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.01% ක් පමණ වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙනි.මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කර තිබේ. එමෙන් ම උණ රෝගය වැළදීමෙන් දින තුනක් ඉකුත් වු පසුවත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.

ඩෙංගු ප්‍රතිදේහජනක ( NSI) පරීක්ෂණයෙන් ඩෙංගු රෝගය වැළදී ඇති බව තහවුරු වු පමණින් රෝහල්ගත වීම අත්‍යවශ්‍ය නොවේ.එමෙන් ම මෙම පරීක්ෂණයෙන් ඩෙංගු රෝගය වැළදී නොමැති බව පැවසුණ ද පුද්ගලයින්ට රෝගය තිබිය හැක. නිවසේ සිට රෝගය කලමණාකරණය කිරීම සෑම විටම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සිදු කළ යුතු ය.දිනපතා සිදු කරන සම්පුර්ණ රුධිර පරීක්ෂාවේ රුධිර පට්ටිකා (platelet )ප්‍රමාණය මත රෝහල්ගත වීම තීරණය වේ.

රෝගී වු මුල් අවස්ථාව ඉතා පහසුවන පරිදි නිවසේ සිට ම කළමණාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපැදිය යුතු ය.

විවේකය

රෝගී තත්ත්වය සම්පුර්ණයෙන් ම අසුවන තුරු හොද විවේකයෙන් ගමන් බිමන්වලින් තොරව නිවසට වී සිටීම ඉතා වැදගත් ය.නිවසෙන්

බැහැරව රාජකාරී,පාසැල්, හෝ පෞද්ගලික පන්තිවලට යාම නොකළ යුතු ය.

උණ පාලනය

මේ සඳහා පැරසිටමෝල් පමණක් භාවිත කළ යුතු ය. කිසිම හේතුවක් නිසා හෝ NSAID වර්ගයේ වේදනා නාශක ඉබියුප්‍රොෆන්,ඩයික්ලොෆිනැක් සෝඩියම් ,මෙෆනමික් ඇසිඩ්,සෙලෙකොක්සිබ් වැනි ඖෂධ වර්ග නොගත යුතු ය.

තව ද ස්ටිරොයිඩ් වර්ගයට අයිති ප්‍රෙඩ්නිසොලෝන්, ඩෙක්සාමෙතසොන් වැනි ඖෂධ නොගත යුතු ය.පැරසිටමෝල් මාත්‍රාව ගැන සහ උණ පාලනය පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා ගත යුතු ය. උණ පාලනය සඳහා උණු වතුරෙන් තෙමා ගත් පිරිසුදු රෙදි කඩක් වතුර මිරිකා ගෙන ඉවත්කොට උණුසුම යාමට පෙර ශරීරය පිස දැමීම මඟින් උණ තත්ත්වය මඟ හරවා ගත හැක.

සම්පුර්ණ රුධිර පරීක්ෂාව( Full Blood Count FBC) සිදු කළ යුතු ආකාරය -

වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයට පැය 12 කට වරක් හෝ පැය 08 කට වරක් රුධිර පරීක්ෂාවන් සිදු කළ යුතු ය.මෙම රුධිර පරීක්ෂාවේ වාර්තාව හැකිතාක් ඉක්මනින් (පැය 2 ක් ඇතුළත) වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ලබා ගත යුතු ය.

රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000/ mm3 ට ආසන්නව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට මතක තබා ගත යුතු ය. වෛද්‍යවරයා හමුවට පැමිණෙන විට මෑතකදී ලබා ගත් සියළුම රුධිර පරීක්ෂණ වාර්තා අනුපිළිවෙළින් සකසා ගත යුතු ය.

ආහාර

ආහාර රුචිය පවතී නම් සාමාන්‍ය ලෙස සැහැල්ලු ආහාර ලබා ගත යුතු ය. රතු දුඹුරු ,පැහැති ආහාර හා පාන ගැනීම මඟින් රෝගය නිසා ඇති විය හැකි ලේ වහන තත්ත්වය හා වමනය හෝ මළ- පහ වෙන් කර ගැනීම අපහසු බැවින් වර්ණ කළ ආහාර පාන නොගැනීමට වග බලා ගත යුතු ය.

දියර වර්ග

ජලය පමණක් නොව පළතුරු යුෂ, තැඹිලි ,කැඳ, ජීවනී වැනි ලවණ සහිත දියර පානය කිරීම වැදගත් ය. සාමාන්‍යයෙන් නිරෝගී දිනවලට සමාන මුත්‍රා ප්‍රමාණයක් පිටවන තරමට දියර පානය කිරීම සුදුසු ය.

ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 30-50 දක්වා වන රෝගීන්ට,ශරීරයේ බර කිලෝග්‍රෑම්වලින් මැන එමෙන් දෙගුණයක් දියර මිලි ලීටර ප්‍රමාණයක් පැයකට පානය කිරීමට නිර්දේශ කරයි. බර කිලෝග්‍රෑම් 30 ට අඩු රෝගීන් සඳහා මෙම අගය වෙනස් වේ. බර කිලෝ ග්‍රෑම් 50 ට වැඩි රෝගීන් ගත යුතු උපරිම දියර ප්‍රමාණය පැයකට මිලි ලීටර 100 ක් වේ.

ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 5 ක පුද්ගලයෙකු පැයකදී පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 20 ක් ද, බර කිලෝ ග්‍රෑම් 10 ක පුද්ගලයෙකු දිනකට පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 40 ක් ද, බර කිලෝ ග්‍රෑම් 20 ක පුද්ගලයෙකු දිනකට පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 60 ක් ද, බර කිලෝ ග්‍රෑම් 30 ක පුද්ගලයෙකු දිනකට පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 70ක් ද,බර කිලෝ ග්‍රෑම් 40 ක පුද්ගලයෙකු දිනකට පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 80 ක් ද බර කිලෝ ග්‍රෑම් 50 ක පුද්ගලයෙකු දිනකට පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 100 ක් සහ බර කිලෝ ග්‍රෑම් 50 ට වැඩි පුද්ගලයින් දිනකට පානය කළ යුතු දියර ප්‍රමාණය මිලි ලීටර 100 ක් වේ.

නොනවත්වා පවතින පාචනය හෝ වමනය,තද තෙහෙට්ටු ගතිය,ඕනෑම ස්ථානයකින් රුධිර වහන තත්ත්වයක්, තද හිසරදය,උදරයේ තද වේදනාව වැනි තත්ත්වයන් මත ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය.

ලංකාවේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගය සංක්‍රමණය කරනුයේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු දෙවර්ගය වන අතර එම මදුරු විශේෂ ස්වභාවික හා මිනිසුන් විසින් ඇතිකරන වතුර රැදෙන ස්ථානවල බිත්තර දැමීම සිදු කරයි. මිනිසුන් විසින් ඇතිකරන සමහර ස්ථානවල විශාල වශයෙන් මදුරුවන් බෝවීම සිදු වන අතර තවත් සමහර ස්ථානවල එතරම් මදුරුවන් ප්‍රමාණයක් ඇති නොවේ.

දැනට ලංකාවේ ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ක්‍රම වශයෙන් පරිසර කලමනාකරණය - පරිසර තත්ව සංශෝධනය, තාවකාලික පරිසර වෙනස්කිරීම් හා මදුරුවන් හා ගැටීම අවම කිරීම සහ ප්‍රජාවගේ හැසිරීම වෙනස්කිරීම.ජීව විද්‍යාත්මක ක්‍රම මගින් (කීටයන් පාලනය කිරීම)රසායනික ක්‍රම මගින් (කීටයන් හා සුහුඹුල් මදුරුවන්)ඒකාබද්ධ වාහක පාලනය,අන්තර් පාර්ශව සම්බන්ධීකරණය හා ප්‍රජා සහභාගිත්වය මඟින් මදුරුවන් බෝ වන ස්ථාන නැති කිරීම,මදුරුවන් බෝවෙන ස්ථාන පවත්වාගෙන යන්නන්ට විරුද්ධව නීති මාර්ග ගැනීම.යනාදිය දැක්වීමට පුළුවන.

මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි ක්‍රමෝපායන් සහ මදුරුවන් දෂ්ඨ කිරීම අවම කර ගත හැකි ක්‍රම

ජලය එක් රැස් කරන බඳුන් නැවත ජලය පිරවීමට පෙර ඉතිරිවී ඇති ජලය ඉවත් කර මදුරු බිත්තර ඉවත් වන පරිදි බඳුන් වල ඇතුලත පෘෂ්ඨය හොඳින් අතුල්ලා පිරිසිදු කිරීම, මේ අයුරින්ම වෙනත් ජලය රැදී බඳුන්ද පිරිසිදු කළ යුතුය. (උදා: ශීතකරණ තැටි, මල් පෝච්චි, ටැංකි, කුහුඹු උගුල්) වතුර රැස් කරන බඳුන්, ටැංකි මදුරුවන්ට ඇතුළු නොවිය හැකි පරිදි හොඳින් වසා තැබීම, දැලකින් ආවරණය කිරීම, අවහිර වී ඇති වැහි පිහිලි ජලය එකතු නොවෙන පරිදි පිරිසිදු කිරීම.

අවහිර වී ඇති වැහි පිහිලි වල ජලය රැඳීම ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ට බෝවීම සඳහා ඉතා හිතකාමී පරිසරයක් නිර්මාණය කර දෙයි. මේ නිසා ගොඩනැගිල්ලේ හිමිකරු වැහි පිහිලි නිතර පිරිසිදු කිරීම මගින් හෝ වැහි පිහිලි ජලය බැස යන පරිදි ආනතියක් ඇතිව සවි කිරීම තුලින් මදුරුවන් බෝවීම වළක්වා ගත යුතුය. මෙලෙස පවත්වාගෙන යා නොහැකි වැහි පිහිලි ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

බස් ඩිපෝවල සහ ටයර් නැවත පුරවන ස්ථානයන්හි ඇති ටයර් වතුර නොරැඳෙන පරිදි ගබඩා කිරීම.ටයර් ඇතුළු වතුර රැඳිය හැකි බදුන් නිසි පරිදි අපහරණය කිරීම හෝ ප්‍රතිචක්‍රීය කරණය කිරීම . ගෙදර දොර හා අවට පරිසරයේ එක් රැස් වන පහසුවෙන් දිරා නොයන ඝන අප ද්‍රව්‍ය හා කර්මාන්ත ශාලා තුල එකතුවන අපද්‍රව්‍ය දින 3 කට වරක් එකතු කිරීම හා නිසි පරිදි අපහරණය කිරීම. වතුර රැඳිය හැකි අනවශ්‍ය ශාක ඉවත් කිරීම යනාදිය පෙන්වා දීමට පුළුවන.

මදුරුවන් හා මිනිසා අතර ගැටීම අවම කිරීම සඳහා දොර, ජනෙල් හා මදුරුවන් ඇතුළු විය හැකි කවුළු දැලක් දැමීම මගින් ආවරණය කිරීම,මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීම පරිසර කලමනාකරණයේ තවත් ක්‍රමවේදයක් වන අතර මේ සඳහා මදුරුවන් හා ගැටීමෙන් වැළකීම කළ යුතුවේ.මේ සඳහා මදුරු දැල් භාවිතය හා ශරීරය ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම සිදු කළ හැක.

පාසල, කාර්යාලය, සහ මිනිස් ප්‍රජාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ජලය රැඳෙන ස්ථාන සතියකට වරක් හෝ පිරිසිදු කිරීමට පුරුදු වීම වඩාත් වැදගත් වේ. එමඟින් ඩෙංගු වසංගතය ඉක්මනින් තුරන් කළ හැකි ය. ‍‍

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සහ ශ්‍රී ලංකා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ උපදෙස් ඇසුරිණි.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.