ජීවිතයක් වෙනස් කිරීමට මොහොතක් සිතන්න | සිළුමිණ

ජීවිතයක් වෙනස් කිරීමට මොහොතක් සිතන්න

 “මට දැන් කරන්න තියෙන එකම දේ ජීවිතේ නැති කර ගන්න එක විතරයි.” මෙවැනි කියුම් නිතර සමාජගත නොවුවද කෙනෙකු එවන් තීරණ ගෙන ජීවිතය විනාශ කර ගැනීම් අප නොදන්නා දෙයක් නොවේ. මෙය අප රටට පමණක් නොව මුළු ලෝකයටම පොදු වූවකි. එබැවිනි සැප්: 10 වන දිනය සිය දිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය වශයෙන් වෙන් කර ඇත්තේ.

සිය දිවි නසා ගැනීම පිළිබඳව තවදුරටත් විමසා බලන විට ලංකාව ගැන විශේෂයෙන් යමක් සඳහන් කළ යුතුව ඇත. 1995 වර්ෂයේ සිය දිවි නසා ගැනීම් අතින් ලොව පළමු තැන හිමි වූයේ මේ පුංචි ශ්‍රී ලංකාවටයි. එනම් ලක්ෂයකට 47 ක් පමණ සිය දිවි නසා ගැනීම් එදා සිදුව ඇත. එහෙත් එම තත්වය කාලය සමඟ පසුබෑමක් දක්නට ලැබීම සතුටකි. කෙසේ වුවද 2016 වසරේ මෙරට සියදිවි නසා ගැනීම් ලක්ෂයකට 28 ක් වන තත්වයට පත්ව ඇත. එහෙත් ලොව සාමාන්‍ය තත්වය නම් ලක්ෂයකට 15 ක පමණ ප්‍රමාණයකි. ඒ අනුව සලකා බලන විට පවතින රටාව අනුව ඒ තත්වයට ඒමට අපට හැකිවේදැයි සැකය. එහෙත් අප අනාගතයේදි බලාපොරොත්තු වන්නේ මෙරට සියදිවි නසා ගැනීම ලක්ෂයකට 0 වේවා යන්නය. ඒ සිහිනය සැබෑ වේදැයි සැක සිතෙන්නේ 2006 වසරේ පමණක් සිය දිවි නසා ගැනීම් 4504 ක් සිදුව ඇති හෙයිනි. එම වසරේ වස පානය කර රෝහල්ගත කෙරුණ සංඛ්‍යාව 93704 කි. එමෙන්ම අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව මෙරට වසරකට 8000ක් ප මණ සියදිවි නසා ගැනීම් වාර්තා වී ඇත. ලෝකයේ සෙසු රටවල් හා සලකා බලන කළ සිය දිවි නසා ගැනීම් අතින් ලංකාව පහළට යන්නේ ඉතා සෙමිනි.

කෙසේ වුවද මෙරට සියදිවි නසා ගැනීම්වලින් වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනුයේ ග්‍රාමීය මෙන්ම ආර්ථික අහේනිය ඇති ප්‍රදේශවලිනි. ඒ සමඟම එම ප්‍රදේශවල පවතින අඩු දැනුම් මට්ටමද මෙයට ප්‍රධාන සාධකයකි. කෘෂිකාර්මික ප්‍රදේශවල කෘෂි රසායනික ද්‍රව්‍ය මෙම ඛේදජනක තත්වයට සම්බන්ධව ඇති බව ද පෙනීයයි. ඒ අතර කාලය සමඟ ටිකෙන් ටික වෙනස්ව ගෙල වැලලා ගැනීම්, දුම්රියට පැනීම් වැනි වෙනත් ක්‍රම ද දිවි නසා ගැනීම් සඳහා භාවිතා වෙයි. තමන්ගේ වටිනා ජීවිතය මෙසේ විනාශ කර ගැනීමට යමෙකු පෙළඹෙනුයේ ඇයි? මේ පිළිබඳව තවමත් පර්යේෂණ පැවැත්වෙයි. ඒ සියල්ලේ අවසාන නිගමනය වෙමින් පවතිනුයේ මානසිකත්වයේ වෙනසයි. ජීව විද්‍යාත්මකව සාමාජිය මනෝමය හේතු සහ මානසික විශාදයක් හෙවත් මොළයේ වෙනසක් වෙයි. මේ අනුව ජීවිතය දෙස රිනාත්මකව බැලීමට එම පුද්ගලයා පෙළඹෙයි. එහි අවසන් තීරණය වන්නේ ජීවත්වෙලා වැඩක් නෑ. කොහොමද මේ තත්වය අනුව ජීවත් වෙන්නෙ එකම විසඳුම ජීවිතය නැතිකර ගැනීම පමණයි යන්නය.

කෙසේ වුවද දැන්වත් මේ ගැටලුව සමාජ අවධානයට ලක්විය යුතුව ඇත. ඒ ඒ පුද්ගලයන්ගේ මානසික වෙනස්කම් අවබෝධ කර ගැනීම මෙහි දී ඉතා වැදගත්ය. විශේෂයෙන්ම ආවේග පාලනය සඳහා අන්තර් සබඳතා ඔවුනොවුන් අතර ඇති කළ යුතුය. ඒ තුළින් කෙනෙකු තුළ ආත්ම ශක්තියක් ගොඩනැඟිය හැකිය.

තවද, මෙහිදී තරුණ පරපුර වෙත ද වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යය. දෙමාපියන් හා ගුරුවරුන් දරුවන්ගේ මානසික තත්වය වෙතද අවධානය යොමු කළ යුතුව ඇත. විශේෂයෙන් තරුණ වියේදී මුහුණ පාන ගැටලු නිසාවෙන් ආවේගශීලී වීම හා විශාදය ඇති වීම ජීව විද්‍යාත්මකය. වැඩිහිටියන් ඒ බව වටහා ගත යුතුය. ගැටලුවලට මුහුණ දීම සඳහා බලගැන්වීම අවශ්‍යයය. මෙවන් ක්‍රියාදාමයන් සඳහා අන්තර්ජාල වැනි ක්‍රමවේදයක් භාවිතා කිරීම අසාර්ථකය. හිතමිතුරු ක්‍රම තුළින් සංවේදීව සබඳතා පවත්වා මානසික සුවය ලබා දීම ප්‍රබලම විසඳුමයි. විනාශවීම යන ඉතා සුළු කාලයක් තුළ ජීවිතයක් ගලවා ගැනීමට ඒ තුළින් හැකිය. අවධානයට යොමු නොවන එකම දේ එවන් ජීවිතයක ඇති වටිනාකමයි. අවශ්‍ය ද්‍රව්‍ය ඇත්නම් තුඟුතුළ් මාලිගා තැනිය හැකි වුවද ජීවිතය එසේ සෑදිය නොහැක. මිනිස් ජීවිතයකට සම කළ හැකි කිසිවක් ලොව නැත. එහෙත් පෙර සඳහන් කළ පරිදි තමා විසින්ම තම ජීවිතය නසා ගැනීම් කොතෙකුත් අසන්නට ලැබේ. මෙය වැළැක්වීම තරම් උතුම් කාර්යයක් ලොව නැත.

සියදිවි නසා ගැනීම් වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීමේ සංකල්පය හඳුන්වා දී ඇත්තේ ප්‍රංශ ජාතික එමිල් ඩර්කින්ය (Emil Durkhen) පසු කලෙක ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් සංවිධානයක් සමඟ එක්ව සියදිවි නසා ගැනීම් පිළිබඳව සමාජ අවධානය යොමු කරන ලදී. මේ වෙනුවෙන් ස්ථාපිත බිපෙන්ඩර්ස් (Befrienders) ජාත්‍යන්තර ආයතනය සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අඩු කිරීම සඳහා පුළුල්ව ක්‍රියාත්මක වෙයි. මේ පුංචි ලංකාවද මේ පිළිබඳව අවධානය යොමු කර ඇත්තේ මෙයට වසර 42 කට පෙරය. එනම් 1975 දීය. ඒ එවකට මෙරට සිටි බටහිර වෛද්‍යවරයකු ගේ සංකල්පයක් අනුව සුමිත්‍රයෝ නමින් ආයතනයක් බිහි කිරීම තුළිනි. අගනුවර හෝටන් පෙදෙසෙහි පිහිටා ඇති මෙම ආයතනය ලංකාවේ ගම්මාන 110 ක් පුරා මේ වන විට ක්‍රියාත්මක වෙයි. කිසිදු මුදල් අයකිරීමකින් තොරව ඒ ඒ පුද්ගලයා සමඟ හිතමිතුරුභාවයක් ඇති කරගෙන මානසික සුවය ලබා දී ඇත. ඔහුගේ තීරණය වෙනස් කිරීමට සුමත්‍රයෝ ආයතනයට වැඩි කලක් ගත ‍නොවේ.

පසුගිය වසරේ මෙරට සිදු වූ සියදිවි හානිකර ගැනීම් වැඩිපුරම සිදුව ඇත්තේ පවුල් ප්‍රශ්න හේතු කොටගෙනය. එමෙන්ම විරැකියා පුද්ගලයන් දුප්පත්කම තුළින් ඇතිවන ආර්ථික අහේනියද මෙයට බලපා ඇත. එමෙන්ම වයස් අනුව බලතහොත් පසුගිය සිව් වසර තුළ සිය දිවි නසාගැනීම් වැඩිහරියක්ම සිදුව ඇත්තේ වයස 71 ට වඩා වැඩි අයය. එහෙත් මෑත දී තරුණ පිරිස් තම වටිනා ජීවිත විනාශ කර ගන්නා බවක් ද අසන්නට ලැබේ. විශේෂයෙන් ප්‍රේම සබඳතා බිඳ වැටීම වැනි කරුණු එයට බලපා ඇත. මෙවන් තත්වයක් ඇති වීමට ප්‍රධානම හේතුව පුද්ගලයන්ගේ සමාජ සම්බන්ධතා අඩුවීමයි. අන්තර්ජාලය වැනි නවීන තාක්ෂණය මේ වන විට අපේ මේ පුංචි දිවයිනට ද පැමිණ ඇතත් අපේ සමහර තරුණ තරුණියන් තාමත් ජීවත් වන්නේ සම්ප්‍රදායකි සංස්කෘතික රාමුවක් තුළය. ලෝකය දැක ගැනීමට තරම් උවමනාවක් ඔවුන්ට නැත. මේ නිසාවෙන් ඔවුන්ගේ මනස තනි තීරණ ගැනීමට පෙළඹෙයි. මේ තත්වය වළක්වා විශ්වය සමඟ එක් වීමට අපේ තරුණ පරපුර යොමු කිරීමට වැඩිහිටියන් වන අපට අවධානය යොමු කළ හැකි වුවහොත් ජීවිත කීපයක්වත් රැකෙනු ඇත. සමහරවිට ඉදිරියේදී සිය දිවි නසා ගැනීම් අසන්නට දකින්නට නොලැබීමට ද ඉඩ තිබේ.

ජේ.ශිලා වික්‍රමරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.