ධනාත්මක ෆැන්ටසියක් | සිළුමිණ

ධනාත්මක ෆැන්ටසියක්

 

 

‍ප්‍රේමය යනු ද එක්තරා සටනෙකි. එහි සාධක පන්ති දෙකක් අතර බෙදී ඇතොත්! තත්වය වඩාත් උග්‍රවෙයි. ඒ අනුව සටන යුද්ධයක් දක්වා දීර්ඝ වන්නට පුළුවන. මහා විනාසයක් කරා ප්‍රසාරණය වන්නට පුළුවන. රොමියෝ ජුලියට් ප්‍රේම වෘත්තාන්තය නිමාවට පත්වන්නේ ජීවිත විනාශයකින් ය. කුස- පබා ප්‍රේම වෘත්තාත්තය කෙළවර වන්නේ යුද්ධයකින් ය. දෙවෙන්දරෝ - නොරිකෝ ප්‍රේම වෘත්තාන්තය අවසන් වන්නේ බලවත් ශෝකයකින් ය.

සහෘද - රසික ජනයාගේ සිතැගි ඊට වඩා වෙනස් ‍වන්නට පුළුවන. ඔවුහු ප්‍රේම වෘත්තාන්ත වලදී යුත්තිය ඉටු වන තෙක් බලා සිටිති. නැතහොත් පීඩිත පන්තියේ ජයග්‍රහණ අපේක්ෂා කරති.

මේ කවියෙන් කියැවෙන්නේ ප්‍රේමය උදෙසා බලවත් කැපවීමක් කරන තරුණයකු ගැනය. ඔහු වරෙක ධනාත්මක චින්තනයක් සහිත මිනිසෙකි. තව වරෙක යථාර්ථය නොදකින පල් මෝඩයෙකි. තව වරෙක ආදර වෙනුවෙන් ජීවිතය කැප කරන අහිංසක පෙම්වතෙකි.

ප්‍රේමවන්තයා හෙවත් ආටා ගාමිණී ධනාත්මක චින්තනයක් සහිත තරුණයකු බවට පත්වන්නේ සතෙන් - සතේ, රුපියලෙන් - රුපියල එකතු කොට ධනවන්තයකු වී ප්‍රේමවන්තිය දිනාගැනීම සඳහා බලවත් සටනක යෙදී ඇති බැවින් ය. ඔහු පල් මෝඩයකු බවට පත්වන්නේ ඒකපාර්ශ්වීය ප්‍රේමයක පැටලී සිහින මාලිගා ඉදිකරන බැවින් ය. ඔහු අහිංසක පෙම්වතකු බවට පත්වන්නේ වචන මාත්‍රයකින් හෝ සිය පෙම්වතිය පෙම්වතිය විවේචනයට ලක් නොකරන බැවින්ය. කොයි අතින් බැලුව ද ආටා ගාමිණී යනු අප විස්මයට පත් කරන අපූරු පෙම්වතෙකි.

“රැහැයියනි රැය ගෙවුණි” නම් කාව්‍ය සංග්‍රහයෙන් උක්ත කවිය උපුටා ගැනිණි. කවියා ප්‍රියලාල් කොග්ගලගේ නම් වේ. එම සංග්‍රහයේ ප්‍රථම මුද්‍රණය 2016 දී නිකුත් වී ඇත. ඊට නිර්මාණ 33 ක් ඇතුළත් වන අතර ; අංක 02 හැටියට මේ කවිය සටහන් වී ඇත. කාව්‍යකරණයෙහිලා කොග්ගලගේ දක්වන විචිත්‍ර බව හා නිරවුල් බව මේ කවියෙන් හොඳහැටි පැහැදිලි වෙයි. එමෙන් ම ඔහුගේ කාල්පනික ලෝකය විසින් මවනු ලබන අනුභූතීන් ද නැවු ය.

කවියෙන් කුහුල දනවන කතාන්දරයක් මතු වෙයි. එය මෙසේ පෙළගැස්විය හැකි ය. එක්ත‍රා නගරයක පැල්පත් සමුහයක් අතරින් විශාල මන්දිරයක් ඉහළට එසැවී ඇත. උස තාප්පවලින් ද, බරසාර ගේට්ටුවලින් ද වටකර ඇති මන්දිරය අසලින් පටු මාවතක් විහිදෙයි. ඒ මාවත දිගේ දිනපතා ත්‍රීරෝද රථයක් ගමන් කරයි. රියැදුරු තරුණයා හිස් එළියට දමා මන්දිරය දෙස බලයි. හරියට ම ඒ මොහොතේ ම මන්දිරයේ සඳලු තලයෙන් සුරූපී තරුණීයක් එබිකම් කරයි. මෙය නිතිපතා එකම වේලාවකට සිදුවෙයි. ප්‍රේමයේ අත්තිවාරම එය යි.

මන්දිරයේ සඳලු තලයෙන් සුරූපී තරුණියක් එබිකම් කරන්නේ ඇයි ? ඊට නිශ්චිත හේතුවක් නැත. ඇතැම් විට ඇය පිස්සු තරුණියක වීමට පුළුවන. නැතහොත් කිසිවකු අපේක්ෂාවෙන් සිටිනවා වෙන්නට පුළුවන. ඇත්තට ම ආටා ගාමිණීට ප්‍රේම කරනවා වන්න‍ටත් බැරි නැත. කවියා අප ගෙන යන්නේ අමුතු තැනක‍ට ය. ඇය ඇත්තට ම ගාමිණියට ප්‍රේම කරන්නේ නම් ; ඉගි -බිගි කෝ ? කටාක්ෂ නිරීක්ෂණ කෝ ? මන්දිරය උස නිසා ඒවා නොපෙනෙන්නේ ද? කවියා මවන ලෝකයෙහි අමුත්තක් තිබේ.

තව අතෙකින් බලන විට මේ ප්‍රේමය ඒකපාර්ශ්වීය වෙයි. එය ජීවමාන ලෙස පවතින්නේ ආටා ග‍ාමිණීගේ කල්පනා ලෝකය තුළයි. එය ඔහුගේ ෆැන්ටසිය ලෙස හැදින්විය හැකිය. ආටා ගාමිණී සැලැසුම් හදමින් පෙම් සටන ජයගැනීමට කැපවෙයි. එහෙත් ඔහුනතර ඇති පරතරය බලවත් ය. කවියා වරෙක කියන්නේ ආටා ගාමිණී මන්දිරයේ පාමුල ඇති කුහුඹුවකුට සමාන බවය. එහිලා උන්-මා- ද චිත්‍රා යනුවෙන් වචන වෙන් කරයි. එයින් මතුවන්නේ මං නේද චිත්‍රෝ ! ? යන අදහස ය.

සොඳුර කියලන්! සොඳුර කියපන්!
නුඹ සොයන්නේ කෝල දෑසින්
මැඳුරු පාමුල කුහුඹුවකු සේ
උන් - මා -ද - චිත්‍රා

මෙහි එන උන්මාද චිත්‍රා පිළිබඳ‍ ඓතිහාසික කත‍ාව අප තවත් ඉසව්වකට රැගෙන යයි. චින්තා හෙවත් චිත්‍රා පඬුවස් දෙව් රජු‍ගේ එකම දියණිය යි. ඇය දුටුවන් උමතු කරවන තරමට රූපශ්‍රීයෙන් අගතැම්පත් බැවින් උන්මාද චිත්‍රා වු බව කියති. (මේ සම්බන්ධයෙන් තවත් අර්ථකථන පවතී) කෙසේ ‍වුව දුව ගැන පේනකාරයන් කී කතාව ඉත‍ා භයානක ය. එම කතාවලට අනුව චිත්‍රාගේ පුතෙක් මාමාවරුන් ඝාතනය කොට රාජ්‍ය පැහැර ගනී. මේ අනුව චිත්‍රා මරා දැමීමට තීන්දු වේ. එහෙත් චිත්‍රාගේ වැඩිමහල් සහෝදරයා වු අභය කුමරු ඇයට ජීවිත දානය දී එක්ටැම් මන්දිරයක සිරකර තබයි. මේ අතර දීඝ - ගාමිණී නම් කුමාරයෙක් කර්කටක නම් යන්ත්‍රයක් නිපදවා එක්ටැම් ගෙට රිංගා උන්මාද චිත්‍රාට පුතකු ලබා දෙයි. කතාවේ යටි අර්ථය වන්නේ කුමන බාධා- අවහිර පැවැතිය ද ආදරය - රාගය වැනි මිනිස් හැගීම් වළක්වාලිය නොහැකි බවය. එය ආටා ගාමිණීගේ ෆැන්ටසියට හොඳින් ගැළපෙයි. ආටා ගාමිණී - දීඝ ගාමිණී වෙයි. සල්ලි කඹය කර්කටක යන්ත්‍රය වෙයි.

ආටා ගාමිණී යනු ද යටි අරුතක් සහිත යෙදුමකි. මෙහි එන ගාමිණී යන්න විශේෂිත ය. එයින් රජු , ‍නායකයා , තේජස්වී පුද්ගලයා යන අර්ථයක් ගම්‍යවේ. අතීතයේ දී ගාමිණී යන්න යෙදී ඇත්තේ පාලකයා යන අර්ථයෙන් ය. කවියා ආටා ගාමිණීගේ පෞරුෂය හුවා දැක්වීම සඳහා එම නම යොදන්න‍ට ඇත. ආටා ගාමිණී ඉහළට යන ආකාස මිනිසකු බව මෙයින් කියැවේ.

ආටා ගාමිණීගේ ෆැන්ටසිය තුළ විවිධ නිරූපණ දකින්නට ලැබේ. “අන්න බලපන්! - අන්න බලපන්!” “සොඳුර කියපන්! - සොඳුර කියපන්!” වැනි යෙදුම් වලින් සනාථවන්නේ ආටා ගාමිණී තමන්ගේ ම හෘදය සාක්ෂිය සමඟ සංවාදයේ යෙදෙන බවය. එය මිනිසාගේ කාල්පානික ලෝකයේ ස්වභාවයයි. මනෝ විශ්ලේෂණ ප්‍රමේයයන්ට අනුව පුද්ගලයා ෆැන්ටසිය යථාවත් කරගෙන ඒ තුළ ජීවත්වෙයි. එයම විඳියි .ආටා ගාමිණීගේ ෆැන්ටසිය නරක නැත. හිත රිදෙන්නේ ඔහුගේ සල්ලි කඹය තවම දිග මදි වීම ගැන ය.

Comments