‘අපි වෙනුවෙන් අපි’ | සිළුමිණ

‘අපි වෙනුවෙන් අපි’

යුද ජයග්‍රහණයෙන් අනතුරුව එය සැමරීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සියලු ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී ජයග්‍රහණය සංකේතවත් කරමින් කේක් කැපීමේ අවස්ථාව පවා හිමි වූයේ යුද ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත හස්තය ලෙස සැම පිළිගත් එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා හට මිස, ගෝඨාභයට නොවේ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ කතිකාවතක් රටේ ඇති වී තිබේ. විශේෂයෙන් ඔහුගේ හිතවාදීන් පිරිසක් විසින් ඔහුව උත්කර්ෂයට නංවමින් නිර්මාණය කළ පෝස්ටරයට එරෙහිව පෝස්ටර් කීපයක් කොළඹ නගරයේ පසුගිය සතිය තුළ තාප්ප වසාගනිමින් ඇලවී තිබිණි. ඒ අතරතුර සමාජජාල මාධ්‍ය තුළද ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති වී තිබිණි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මීළග ජනාධිපතිවරණයට තරග නොකළ හොත් ගෝඨාභය රාජපක්ෂව එම පාර්ශ්වයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීම පෝස්ටර් ගසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාව පුම්බන කණ්ඩායමේ උත්සාහය බව පෙනෙන්නට ඇත.

කවුද මේ ගෝඨාභය රාජපක්ෂ? ඔහුගේ නම මුලින්ම කරළියට පැමිණෙන්නේ ලසන්ත වික්‍රමතුංග හෝ පෝද්දල ජයන්ත නිසා නොවේ; ප්‍රගීත් එක්නැළිගොඩ නිසාද නොවේ. බොහෝ දෙනකු සිතන්නේ ආරක්ෂක ලේකම් ලෙස සිදු කළ භූමිකාව හේතුවෙන් ඔහුගේ නම කරළියට ආවා කියා විය හැකිය. එහෙත් සත්‍යය නම් ඔහුගේ නම පළමුව රටේ කියවෙන්න පටන් ගන්තේ ඩීඒ රාජපක්ෂ නම් දේශපාලන පවුලෙන් යුද හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයකු ලෙසය. කෙසේ වෙතත්, ගෝඨාභයගේ නම යුද හමුදා නිලධරයකු ලෙස යුද්ධය සක්‍රිය පැවැති සමයක රණවිරුවකු ලෙස අපට ඇසන්නේ ඉතා අඩුවෙනි. රණවිරුවකු ලෙස පෑ සුරුවිරුකම්වලට වඩා ඔහු සම්බන්ධයෙන් ඉස්මතුව පෙනුණු කාරණය වනුයේ අනූව දශකයේ ඊළාම් යුද්ධය ඉතා තීරණාත්මක කඩයිමකට පැමිණි මොහොතක යුද හමුදාව හැර-ගිය පුද්ගලයකු ලෙසය. ගොඨාභය රාජපක්ෂ යුද හමුදා සේවයෙන් විශ්‍රම ගැනීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළේ 1991 නොවැම්බර් පළමුවැනිදා වුවත් ෆෝට් බෙනින්හිදී පාඨමාලාවක් හැදෑරූ බැවින් වසර දෙක-තුනකට පෙර සිටම වැඩි කාලයක් ගෝඨාභය සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේය. තම ඇමරිකානු ගමන සාධාරණීකරණය කරමින් ඔහු ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේ පවුලේ අයගේ බලපෑම සහ පෙරැත්තය මත එම තීරණය ගත් බවයි.

එහෙත්, ඊළාම් යුද්ධය දරුණුව ඇවිළ-ගිය යාපනය කොටුව, මාන්කුලම් වැනි ප්‍රදේශවල පවා හමුදා පාලනය ගිලිහිණු එම කාලයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ජානක පෙරේරා, සරත් ෆොන්සේකා වැනි නිලධාරීහු ජීවිත පිළිබඳ අවදානම නොතකමින් තවදුරටත් යුද ක්‍රියාන්විතය තුළ සිය සක්‍රිය දායකත්වය සපයන්නට තරම් නිර්භීත වූහ;දේශ හිතෛශී වූහ. මේ හේතුවෙන් රණ විරුවකු ලෙස නොව, යුද්ධයේ තීරණාත්මක මොහොතක නිවට ලෙස රටින් පැන ගිය පුද්ගලයකු ලෙස ගෝඨාභයගේ නම ඉස්මතු වීම හුදෙක් අතිශයෝක්තියක් පමණක්ම නොවේ.

ගෝඨාභය ඇමෙරිකාවේදී කළ-කී දෑ පිළිබඳ වැඩිදුර විස්තර නොකියවෙතත්, ඔහු එහිදී කැලිෆෝනියා ප්‍රාන්තයට අයත් ලොස් ඇන්ජිලිස්හීදී ලොයෝලා ලෝ ස්කූල් නම් විශ්වවිද්‍යාලයෙහි පරිගණක පද්ධති පාලකවරයකු ලෙස කටයුතු කළ බව කියවෙයි.

මෙලෙස යුද්ධය අතරතුර රටින් ඇමරිකාවට ගිය ගෝඨාභය නැවත මතු වනුයේ ඔහුගේ සහෝදරයා රටේ අගමැති ලෙස පත් වීමෙන් අනතුරුවය. තම සහෝදරයා ජනාධිපතිධුරයට පත් කිරීමට ගෝඨාභය විසින් සැලකිය යුතු වැඩ කොටසක් තිරයෙන් පිටුපස හිඳිමින් කළ බව ඇත්තකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වීමෙන් අනතුරුව රටේ ආරක්ෂාව සම්බන්ධ ඉතා තීරණාත්මක තනතුරක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ගෝඨාභය පත් කළේ එම කැපවීමට කළගුණ සැලකීමට විය යුතුය.

යුද ජයග්‍රහණය වෙනුවෙන් ගෝඨාභය තීරණාත්මක භූමිකාවක් නිරූපණය නොකළ බව පැවසීමට තරම් අපි කුහක නොවන්නෙමු. එහෙත් ඔහු විසින්ම පසුව ඔහුගේ ක්‍රියා කලාපය උත්කර්ෂයට නංවමින් පොත් ලියවා ගැනීමට කටයුතු කළ තරම් වැඩ කොටසක් ඔහු විසින් එහිදී සිදු කළ බව නම් අතිශයෝක්තියක් බව පැහැදිලිව සදහන් කළ යුතුය. එම දිනුම තුළ තරගයේ වීරයා සම්මානය ලබා දිය යුතුද යන්න නම් විවාදයට ලක් වන කාරණයකි. යුද ජයග්‍රහණයෙන් අනතුරුව එය සැමරීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සියලු ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී ජයග්‍රහණය සංකේතවත් කරමින් කේක් කැපීමේ අවස්ථාව පවා හිමි වූයේ යුද ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත හස්තය ලෙස සැම පිළිගත් එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා හට මිසක් ගෝඨාභයට නොවේ. එලෙස එකල ආණ්ඩුව තුළ පවා සරත් ෆොන්සේකාට දැඩි පිළිගැනීමක් තිබූ බව පෙනෙන්නට තිබිණි.

නොතිබුණු කීර්තියක් බලෙන් අත්පත් කරගැනීමට ගිය ගෝඨාභයගේ නමට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ යුද්ධය නිසා නොවේ. එකල රටේ ආන්දෝලනයට තුඩු දුන් දූෂණ වංචා ගණනාවකට අදාළ චෝදනා බැර වූයේ ගෝඨාභයගේ ගිණුමටය. විශේෂයෙන්ම කුප්‍රකට මිග් යානා ගනුදෙනුව පිළිබඳ ඒ සමයෙහි විපක්ෂ කථිකයන් පතුරු ගැසුවේ ගෝඨාභය රාජපක්ෂය. එමෙන්ම රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවයට එරෙහිව නැගී සිටි මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගණනාවක් ඝාතනයට ලක් කිරීම, අතුරුදහන් කිරීම්, පහර දීම්, පැහැරගැනීම්වලට අදාළව ඍජුවම චෝදනා එල්ල වූයේ ගෝඨාභය රාජපක්ෂටය.

ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, කීත් නොයර්, ලලිත්, කූගන්, ප්‍රගීත් එක්නැළිගොඩ ආදීන් සම්බන්ධයෙන් විපක්ෂයේ නිරන්තර ප්‍රශ්න කිරීම් සහ චෝදනා එල්ල වූයේ ගෝඨාභයට එරෙහිවය. එමෙන්ම පෝලිමට සිදු වුණු මාධ්‍ය ආයතන ගිනිතැබීම් පිළිබඳවද සැකය එල්ල වූයේ ගෝඨාභය දෙසටය. ඔහු එම සිදුවීම්වලට ඍජුව සම්බන්ධ නොවුවද ඒවා සම්බන්ධයෙන් බලසම්පන්න ආරක්ෂක ලේකම්වරයා ලෙස අනුගමනය කළේ බෙහෙවින් සැහැල්ලු ලිහිල් ප්‍රතිපත්තියකි.

ගෝඨාභය රාජපක්ෂ යනු දැඩි මමත්වයක් සහ ක්‍රෑර පළි ගැනීමේ චේතනා සහිත පුද්ගලයකු බව ප්‍රසිද්ධ කාරණයකි. ඒ බව හොඳින්ම පැහැදිලි වූයේ වරක් ලොව හොඳම හමුදාපති ලෙස තමන්ගේම ප්‍රශංසාවට ලක් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වූ අවස්ථාවේය. ඒ අවස්ථාවේ ගෝඨාභය හැසිරුණේ ජනාධිපතිවරණ සටනේ සරත් ෆොන්සේකාගේ ප්‍රතිවාදියා තමන්යැයි සිතමින් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබී අවසන් වීමටත් ප්‍රථම සරත් ෆොන්සේකා රැඳී සිටි සිනමන් ලේක්සයිඩ් හෝටලය හමුදා ක්‍රියාන්විතයක් පරිද්දෙන් වට කොට ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටියදීය. මර්දනය එතැනින් නතර නොවිණි. ෆොන්සේකාගේ හිතවතුන්ට එරෙහිව දිගටම එය ක්‍රියාත්මක විණි. ගෝඨාභය හමුදාව තුළ තමන් කැමැති නිලධාරීන්ට පමණක් විශේෂයෙන් සැලකීමට කටයුතු කළේය. විශේෂයෙන්, ඩෙන්සිල් කොබ්බෑකඩුවගෙන් පසු මෙරටේ බිහි වූ දක්ෂතම සාංග්‍රමික යුද සෙන්පතියෙක් ලෙස ප්‍රකට ජානක පෙරේරා ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු තම ආරක්ෂාවට පිස්තෝලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ආරක්ෂාව සඳහා පිස්තෝලයක් ලබා දීම ගෝඨාභය ප්‍රතික්ෂේප කළේය. අනතුරුව පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලනය හා එක් වූ පසු ඊටත් වඩා දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දීමට ඔහුට සිදු විණි.

'අපි වෙනුවෙන් අපි' කියමින් රණවිරුවන් ගැන කතා කිරීමේ පේටන්ට් අයිතිය පසුකලෙක තමන් සතු කරගත් රාජපක්ෂලාගේ දේශප්‍රේමී රජය ජානක පෙරේරා තමනට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ඉල්ලූ මොහොතේ එය අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කළේය. ත්‍රස්ත්‍රවාදීන්ගේ ඉලක්කයක් වන තමන්ට නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙරේරා මහතා අධිකරණය හමුවට යෑමෙන් අනතුරුව ඔහුට සත් දෙනකුගෙන් සමන්විත පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස තීන්දුවක් හිමි වූ මුත් 2008 වසරේ පැවති උතුරු-මැද පළාත්සභා ඡන්දය අවසන් වී දින හතක් ගත වීමටත් පෙර එය ඉවත් කිරීමට කටයුතු කළේය. ප්‍රමාණවත් ආරක්ෂාවක් කීර්තිමක් රණවිරුවාට හිමි නොවීම ඝාතකයාගේ රාජකාරිය පහසු කළේය. මියගිය පසුද ජානක පෙරේරාගෙන් පළි ගැනීමට එවකට සිටි දේශප්‍රේමී රජය කටයුතු කළේය. ජානක පෙරේරා මහතාගේ මෘත දේහය අනුරාධපුරය බලා රැගෙන යෑමට රත්මලාන ගුවන්තොටුපළට රැගෙන ගිය අවස්ථාවේ ගුවන් යානයක් ලබා නොදෙමින් පැය පහක රස්තියාදුවක් සිදු කිරීමට වගකිවයුත්තෝ හිතාමතා කටයුතු කළහ.

තමන්ට එරෙහි දේශපාලනය තෝරාගැනීමෙන් පසු ජානක පෙරේරා හා සරත් ෆොන්සේකා වැනි දක්ෂ යුද සෙනෙවියන්ට හමුදා කඳවුරුවලට ඇතුළුවීම පවා වැළකූ රාජපක්ෂලා, කලාකරුවන්යැයි කියාගත් නලාකරුවන් පිරිසකට, තමන්ගේ සහෝදරයාගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට යුද හමුදාව හරහා මාසික වේතන, වාහන, දීමනා ආදිය ගෙවීමට කටයුතු කර තිබීම නින්දා සහගතය.

බලය ඇති කාලයේ අත්තනෝමතික සහ ක්‍රෑර ලෙස කටයුතු කළද බලය නැති වීමත් සමග ගෝඨාභයලා කළ-කී බොහෝ දෑ පිළිබඳව සමාජයට දැනගැනීමට අවස්ථාව සැලසිණි. වැලිකඩ බන්ධනාගාරය තුළ කෘත්‍රිමව කැලඹීමක් ඇති කර, එයින් ප්‍රයෝජන ගෙන පෙර සකසාගත් ලැයිස්තුවකට අනුව 2010.11.12. දින සිරකරුවන් 27ක් ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ල වී ඇත. විශේෂයෙන් ඔහු ඒ ප්‍රහාරයට සම්බන්ධ නොවූවත්, ඒ සම්බන්ධයෙන් ඔහු අනුගමනය කළේ ඉතා ලිහිල් ප්‍රතිපත්තියකි. එය අනිවාර්යෙන්ම එම ඝාතන සාධාරණීයකරණය කිරීමේ උත්සාහයක් විය.

තම නිවෙසට සුරතල් බලු පැටි‍ෙකු ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර සිට ගෙන්වීම සඳහා විශේෂ ගුවන් යානාවක් මුල් සැලසුම් වෙනස් කරමින් යැවීම සම්බන්ධව ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් මාධ්‍යවේදීනිය හෙළිදරව් කළ අතර, එය එකල සෑහෙන කතාබහට ලක් වූ කාරණයක් විය. රජයේ අරමුදල් භාවිත කරමින් තම දෙමවුපියන් වෙනුවෙන් සොහොනක් ගොඩනැඟීම සම්බන්ධයෙන්ද දැන් ගෝඨාභයට චෝදනා එල්ල වී ඇත. ජීවත්ව සිටින විට හා මියගිය පසු දෙමවුපියන්ට සැලකීම හා ඔවුන් ස්මරණය කිරීම හොඳ ගුණයකි. මියපරලොව ගිය පසු ඒ අය සිහිපත් කිරීම යහපත්ය. ගමක ජීවත් වන අන්ත දුප්පත් පවුලක කෙනකු වුවත් තම දෙමවුපියන් සිහි කර දානයක් දෙන්නේ තමන් දුක් මහන්සියෙන් උපයාගත් ධනයෙනි. එහෙත් ගෝඨාභය ඒ සඳහා භාවිත කර ඇත්තේද රජයේ අරමුදල්ය.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමට ඇතැමුන් ගත් උත්සාහයට එරෙහිව සමාජ මතයක් ගොඩනැගෙමින් පවතින පරිසරයක, මේ කතාන්දරයේ ඉදිරිය වඩාත් රසවත් වීමට ඉඩ ඇත. පවතින චෝදනාවලට සෘජුව මුහුණ දීමට නොහැකි ගොඨාභය තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහි වාරණ නියෝග ගැනීමට කටයුතු කරමින් සිටී. ඔහුට මේ සෙල්ලම දිගටම කරගෙන යා හැකි වේද යන්න අපට ඉදිරියේදී දැක-බලාගත හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.