භූමිකම්පාවක අනාවැකියක් ගැන ආසියාව සීරුවෙන් | සිළුමිණ

භූමිකම්පාවක අනාවැකියක් ගැන ආසියාව සීරුවෙන්

 ඉන්දියාවේ අනාවැකිකරුවකු ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යවා තිබේ. ඒ අනුව ඉදිරි කාලයේදී -‍විශේෂයෙන්ම 2017 දෙසැම්බර් 31 වැනි දිනට පෙර- ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් විශාල භූමිකම්පාවක් සිදු වීමට නියමිත බව කි‍යැවේ. අනාවැකිය අනුව භූමිකම්පා‍වේ බලපෑම ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඇ‍ෆ්ගනිස්තානය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි රටවලට බලපානු ඇත. මේ කා‍ලයේදී පැයට කිලෝමීටර 120ක්-180ක් වැනි වේගයෙන් කුණා‍ටුවක්ද, අධික වර්ෂාවක්ද සමඟ සුනාමියක් දක්වා වර්ධනය වන බවටද ඔහු අනාවැකියෙන් පැහැදිලි කර තිබේ. මේ අනාවැකිය සම්බන්ධයෙන් ඉන්දීය විද්‍යාඥයන් සැක මුසු අදහස් ප්‍රකාශ කරන අතරම, එය එතරම් සැලකිල්ලට ලක් කර නැත. එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පාකිස්තාන බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව කියැවේ. ඒ අනුව පාකිස්තාන බුද්ධි අංශ එරට භූකම්පන පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අධිකාරියට මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත. ඒ සමඟ සිය සවැනි ඥානය භාවිත කරමින් මේ අනාවැකිය ඉදිරිපත් කළ මහාචාර්ය බාබු කාලයිල් ගැනද විවිධ වාර්තා ඉදිරිපත් වී තිබේ. ඔහු ඉකුත් අගෝස්තු 20 වැනි දින තම අතින්ද්‍රීය ශක්තිය මඟින් මේ විනාශය දැක ඇති බව කියා ඇත. ඒ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපිය යවන්නේ ඉන් දින කිහිපයකට පසුවය. බාබු කාලයිල්ගේ පළමු අනාවැකිය මෙය නොවුණු අතර, ‍මීට පෙර ඔහු විසින් කරන ලද අනාවැකි කිහිපයක් පිළිබඳද වාර්තා‍ වේ.

ආ‍ලෝක වර්ෂ 50කට එහායින් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් තිබෙන බව ඔහු 1998දී අනාවැකි දක්වා තිබේ. එය සනාථ කරමින් 2004 වර්ෂයේදී ඒ බව විද්‍යාඥයෝ තහවුරු කළහ. 2001 වර්ෂයේදී අඟහරු මත ජලය තිබෙන බවද කාලයිල් ප්‍රකාශ කර තිබිණි. එයද ඉන් මාස කිහිපයකට පසු සනාථ විය. තවත් වරක ඔහු කියා සිටියේ සෙනසුරුගේ ග්‍ර‍හයකු වන ටයිටන්හි විදුලි කෙටීම් සිදු වන බවයි. එයද පසුකාලීනව සනාථ විය. මෙවැනි අනාවැකි ගණනාවක් ඔහු ප්‍රකාශ කළේය. මෙවර ඔහුගේ අනාවැකිය තරමක් වෙනස්ය; එමෙන්ම බරපතළය; එමෙන්ම විද්‍යාවේදීවත් කිසිවිටකත් නොපිළිගැනෙන දෙයකි. එනම් විද්‍යාඥයන් දක්වන පරිදි භූමිකම්පා සම්බන්ධයෙන් කිසිවකුටත් කිව නොහැකිය.

කෙසේ වෙතත් ඉකුත්දා එංගලන්තයේ ඩේලි මේල් පුවත්පතද භූමිකම්පා අවදානමක් ගැන කතාබහ කර තිබිණි. ඒ අනුව ලබන වසර භූමිකම්පා ඉහළ යන වසරක් වනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කළහ. සමකාසන්න රටවලට එහි පලපෑම ප්‍රබල වනු ඇතැයි කියැවේ. එහෙත් ඒ පුවත්පත් වාර්තාවටම අනුව එවැනි තත්ත්වයක් කිසිසේත්ම පිළිනොගන්නා පිරිසක්ද සිටිති.

කලාපීය වශයෙන් මෙවැනි ස්වාභාවික විපත් පිළිබඳ අවධානයක් යොමුව පවතින අතර, එහි ලංකාවටද තර්ජනයක් තිබෙන බව සඳහන්ය. විශේෂයෙන්ම මේ දවස්වල යාපනයේ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ තිබෙන කතාබහද විවාද සම්පන්නය. පසුගියදා අප හැර ගිය මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ යාපනය මුහුදු වතුරට යට වන දින වැඩි ඈතක නොවන බවය. ඒ සමඟම රට පුරා තැනින් තැන දැකිය හැකි කාලගුණ තත්ත්වයද ජනතාව මේ වන විට සැලකිල්ල දක්වමින් තිබේ. ඔවුනට කාලයිල්ගේ අනාවැකිය පිළිබඳ අසන්නට ලැබෙන්නේද මෙයට සමගාමීවය. ලෝකයේ විවිධ පුද්ග‍ලයෝ අනාවැකි පළ කරති. ඉපැරණි මායා ශිෂ්ටාචාරයට අනුව 2012 වර්ෂයේ මහා විනාශයක් වන බව ඇතැම්හු කීහ. එමෙන්ම නොස්ට්‍රඩාමුස්ද තවත් එවැනි අනාවැකිකරුවෙකි. ඔවුන් යම් අනාවැකි ප්‍රමාණයක් කීවේය. ඒවායේ යම් පමණක් සත්‍ය විය; තවත් දේ අසත්‍ය විය. ඒ නිසා මේ අවස්ථාවේද කාලයිල්ගේ අනාවැකිය පිළිබඳ ස්ථිර අදහසක් අපට ගත නොහැකිය. ඒ එය විද්‍යාවට හසු‍ නොවන්නක් බැවිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක -

භූවිද්‍යානුකූලව කවදාවත් භූමිකම්පා ගැන අනාවැකියක් කියන්න පුළුවන්කමක් නැහැ. කරන්න පුළුවන් එකම දේ භූමිකම්පාවක් සිද්ධ වුණාම ඒ ගැන පර්යේෂණ කරලා වාර්තා කරන්නයි. ඊළඟට මොන වගේ භූමිකම්පාවක්ද සිද්ධ වුණේ කියලා වාර්තා කරන්න පුළුවන්. මට මතකයි 2004 වර්ෂයේදී ලංකාවේ සුනාමියක් ඇති වුණා. එහිදී ඊට කලින් රටේ කාලගු‍ණයේ ඇති වුණු වෙනස්කම් ගැන ඩේලි නිවුස් පුවත්පත මගෙන් අදහස් විමසුවා. මම ඒ වෙලාවේ කිව්වේ මේක යම් විශාල සිඳුවීමක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්කම තියෙනවා කියලයි. එතෙන්දි මම අනාවැකියක් නොවේ කිව්වේ; අදහසක් විතරයි. ඊට දින කිහිපයකට පස්සේ තමයි සුනාමිය ඇති වුණේ. ඒත් කිසිම කෙනකුට භූමිකම්පා ගැන අනාවැකි කියන්න බැහැ. ඒ වගේම ‍ලංකාවේ අතීත‍යේත් දරුණු භූමිකම්පා වෙලා තියෙනවා. පෘතුගීසි සමයේ එවැනි දරුණු ගණයේ භූමිකම්පාවකින් විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා. සුනාමියෙනුත් එවැනිම හානියක් වු‍ණා. ලෝකයේ භූමිකම්පාවක් වෙන්නේ නැහැ කියලා කියන්න බැහැ. හැම තැනකම භූමිකම්පා වෙන්න පුළුවන්. අමෙරිකා එක්සත් ජනපදය ගත්තොත් එහි සමහර ප්‍රදේශ තියෙනවා භූමිකම්පා වැඩි වශයෙන් සිදු වන ‍ප්‍රදේශ ලෙස හඳුනාගෙන. ඒත් ඒවා වුණත් සිදු වන කාලයක් කා‍ටවත් කියන්න බැහැ. කෙටියෙන්ම කියනවා නම්, අද භූමිකම්පාවක් සිද්ධ වෙලා හෙට ආයෙත් සිදු නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ. කවදාවත් සිදු වුණේ නැහැ කියලා සිද්ධ නොවී තියෙන්න විදිහකුත් නැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල‍ සේනාරත්න -

සුනාමියක් එනවා කියලා කියන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් තවම නැහැ. භූමිකම්පාවක් ගත්තත් ඒ ගැන පසුගිය කාලයේ සෑහෙන්න පර්යේෂණ කරලා තියෙනවා. ඒත් තවම 100%ක් භූමිකම්පා ගැන හරියට අනාවැකි කියන්න පුළුවන්කමක් නැහැ. දැන් ඔය ඉන්දියාවේ මහාචාර්යවරයා කියලා තියෙන අනාවැකිය ඔහු කියලා තියෙන්නේ මානසික ශක්තියකින්. එතෙන්දි තියෙන ක්‍රමවේදය ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. එහෙම තියාගෙන ඒක විශ්වාස කරන්න අමාරුයි. සුනාමියක් එනවා කියලා කියන්න කොහොමවත් බැහැ. මොකද: හේතුව සුනාමි ඇති වෙන්න සම්පූර්ණ විය යුතු සාධක තියෙනවා. ඒ අනුව භූමිකම්පා සිදු වෙන්නේ පොළවේ භූතල මායිම්වලයි. බොහොම කලාතුරකින් තමයි තල අභ්‍යන්තරයේ සිදු වෙන්නේ. එසේ සිදු වුණත් ඒවා එතරම් ප්‍රබල වුණේ නැහැ. භූතල මායිම්වල සිදු වන ඒවා තමයි ප්‍රබල ‍වෙන්නේ. ඊළඟට රිච්ට්ටර් පරිමාණයේ 8ක භූමිකම්පාවක් මුහුදු පතුලේ සිට කිලෝමීටර් 10ක් වත් ගැඹුරින් සිදු වෙන්න ඕනේ. එතකොට එහෙම තත්ත්වයක් ඇතිවීම ගැන කලින් කියන්න අමාරුයි. ඒ හින්දා සුනාමි වගේම භූමිකම්පා ගැන අනාවැකි කියන්න අමාරුයි කියලයි කියන්න වෙන්නෙ.

මොන දේ වුණත් මෙතැන කියන්න ඕනේ දෙයක් තියෙනව ජනතාවට. ජනතාව මෙතෙන්දි අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද: සුනාමි ගැන අපි කලින් පෙරහුරු කරලා තියෙනවා. සුනාමියක් එනවා නම් අපිට කිලෝමීටර් 4000ක්-5000ක් විතර දුරිනුයි සිද්ධ වෙන්නෙ. ලංකාවට එන්න පැය එකහමාරක විතර කාලයක් යනවා. ඒ නිසා මිනිස්සුන්‍ට අවශ්‍ය ආරක්ෂාකාරී තැන්වලට යන්න කාලය තියෙනවා.

මලික් චමින්ද ධර්මවර්ධන 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.