පුද්ගල චරිත ස්වභාවයන් | සිළුමිණ

පුද්ගල චරිත ස්වභාවයන්

සසර බොහෝ භවයන් තුළ ගත කළ ජීවිත ස්වභාවයන්ට අනුව පුද්ගලයින්ගේ චරිත ස්වභාවයන් විවිධ ස්වරූපයෙන් දක්නට ලැබේ. ප්‍රතිසන්ධිය ලැබූ කර්මයේ විවිධත්වය අනුව සහ සසර පුරුදු අනුව පුද්ගල චරිත අධ්‍යයනය ඉතා සංකීර්ණ ස්වරූපයක් ගනී. ඉතා සියුම්ව මෙම ස්වභාවයන් පවත්නා හෙයින් එක්වරම පුද්ගලයකු පිළිබඳ සියල්ල දැන ගැනීම පහසු නොවේ. නුවණින් හා විචක්ෂණ බුද්ධියකින් යුක්තව ම මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකළ යුතු ය. භාවනා කර්මස්ථානයන් වඩන යෝගාවචරයින්ට තමාට ගැළපෙන සුදුසු භාවනා කර්මස්ථානය තෝරාගැනීමට තම ජීවිත ස්වභාවය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. ඒ සඳහා සුදුසු ආචාර්යවරුන් ආශ්‍රයෙන් කරුණු දත යුතු ය. විසුද්ධි මාර්ගය තුළ ප්‍රධාන වශයෙන් පුද්ගල චරිත කොටස් හයක් (06) විග්‍රහ කොට ඇත.

චරිත හයක්

රාග චරිත, දෝස චරිත, මෝහ චරිත, ශ්‍රද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත වශයෙනි. ඒ ඒ චරිතයන්ට අදාළ ලක්‍ෂණයන් එහි වෙන් වෙන් වශයෙන් දක්වා ඇත. මෙම ලිපියෙන් අප පෙන්වා දෙනුයේ එම සයාකාර චරිත ස්වභාවයන් නොවේ. එක් එක් පුද්ගලයකුගේ චරිතය වශයෙන් හඳුන්වනුයේ කුමක් ද යන්න සහ පුද්ගලයින්ගේ සියුම් ස්වභාවයන් තේරුම් ගැනීම සඳහා උපයෝගී වන ගැඹුරු ධර්ම විග්‍රහයකි. බුදුරදුන් සතු දසබල ඥාන අතුරෙන් එක් ඥානයක් වනුයේ අන්‍ය සත්ත්වයින්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දියුණුව සහ පරිහාණිය දක්නා ඥානය යි. (පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරොපරියත්තං යථාභූතං පජානාති).

සත්ත්වයන්ගේ විවිධ ස්වභාවයන් දක්වමින් සිදු කළ විවිරණයක් ‘විභංගප්පකරණයෙහි’ දක්නට ලැබේ. එය පහත දක්වනු ලැබේ.

‘‘ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජෙක්ඛ මහාරජෙක්ඛ තික්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.’’

(පටිසම්භිදාමග්ගප්පකරණය 2, මහාවග්ගය, ඤාණකථා, 232 පිටු.)

‘‘තථාගත තෙමේ සත්ත්වයන්ගේ ආශය දනිති, අනුසය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති. නුවණැසෙහි මද රාගාදි රජස් (කෙලෙස්) ඇත්තා වූ ද, නුවණැසෙහි බොහෝ රාගාදි රජස් ඇත්තා වූද, තියුණු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තා වූද, නො තියිණු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තා වූද, යහපත් ආශයාදිය ඇත්තා වූද, නොමනා ආශයාදිය ඇත්තා වූද, ධර්මය තේරුම් කර දීම පහසු වූද, ධර්මය තේරුම් කර දීම අපහසු වූද, මගඵල ලැබීමට භව්‍ය වූද, මගඵල ලැබීමට අභව්‍ය වූද සත්ත්වයන් දනිති.”

සත්ත්වයින්ගේ ස්වභාවය දක්නා ආකාර රාශියක් දක්වා ඇත. ආසය, අනුසය, චරිත, අධිමුක්ති, අප්පරජක්ඛ, මහාරජක්‍ඛ, තිඛින්‍ද්‍රිය, මුදින්‍ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාප්‍ය, දුවිඤ්ඤාප්‍ය, භව්‍ය, අභව්‍ය වශයෙනි. මේ එක් එක් කරුණෙන් පෙන්වා දෙන පුද්ගල ස්වභාවයන් නුවණින් දත යුතු ය. මෙහි දී විශේෂ අවධානයක් යොමු කරනුයේ චරිත වශයෙන් දක්වන ලද කරුණ පිළිබඳව ය. චරිත වශයෙන් දක්වන්නේ ඒ ඒ පුද්ගලයින් විසින් අතීත භවයන්හි සිදු කරන ලද පින් පව් දෙක ය. විභංගපාලියෙහි ඒ පිළිබඳ දක්වා ඇති පාඨය පහත දැක්වේ.

‘‘කතමඤ්ච සත්තානං චරිතං? පුඤ්ඤාභිසංඛාරො, අපුඤ්ඤාභිසංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරො පරිත්තභූමකො වා මහාභූමකො වා ඉදං සත්තානං චරිතං.’’

සත්ත්වයන්ගේ චරිත වශයෙන් දක්වා ඇත්තේ අතීතයෙහි සිදු කරන ලද පින් පව් දෙක ය. පුඤ්ඤාභිසංඛාර වශයෙන් දක්වන්නේ කාමාවචර සහ රූපාවචර කුසල සිත් සමූහය යි. අපුඤ්ඤාභිසංඛාර යනු අකුසල සිත් දොළොස ය. ආනෙඤ්ජාභිසංඛාර යනු අරූපාවචර කුසල සිත් ය. ලොව පහළ වන සියලු සත්ත්වයින්ට අතීතයේ රැස් කරන ලද පින්පව් දෙකොටස ම පවතී. එයට අනුව ජීවිතය හැඩගැසී ඇත. ඇතැම් දක්ෂතාවයන් සේ ම දුර්වලතාවයන් ද ජීවිත තුළ දක්නට ලැබෙන්නේ එසේ සිදු කරන ලද කර්මයන්ට අනුව ය.

සත්ත්වයන් 6ක්

භාවනා කර්මස්ථානයන් වඩන අවස්ථාවේ ඇතමුන්ට ඉතා ඉක්මනින් සිත සමාධිගත වේ. එයට හේතුව පූර්ව භවයන්හි ඔවුන් සිත සමාධි ගත කිරීම සඳහා කර්මස්ථානයන් භාවිත කොට තිබීම ය. ඇතමුන් කොතෙක් උත්සහ කළ ද සිත සමාධි බවට පමුණුවාගත නොහැකි වේ. එයට හේතුව පූර්ව භවයන්හි සිත භාවිත කොට නොමැති හෙයිනි. මේ කරුණ තව දුරටත් සාකච්ඡා කළ යුතු ය. සෑම දෙනාට ම සිත හික්මවා ගැනීමට නොහැකි වනුයේ පූර්ව භවයන්හි සිත භාවිත නොකළ හෙයින් යැයි සෑම අවස්ථාවක ම පැවසිය නොහැකිය. ඇතැම් විට පූර්ව භවයන්හි පුරුදු කොට ඇති තමාහට සප්ප්‍රාය (සුදුසු) වන කර්මස්ථානය නොවඩා වෙනත් කර්මස්ථානයක් පුරුදු කිරීමට පටන් ගතහොත් සිත සමාධි ගත නොවේ. එයට හේතුව නම් සෑම විට ම සිත තමාට පුරුදු අරමුණෙහි මිස අන් අරමුණක හික්මවිය නොහැකි හෙයිනි. සිතේ ස්වභාවය නම් තමාට හුරු අරමුණු කරා ගමන් කිරීම ය. නුපුරුදු අරමුණු විෂයෙහි කොතෙක් සිත හික්මවීමට උත්සහ ගත් නමුදු එය සිදු කිරීමට නොහැකි වේ. මෙයට විවිධ හේතු නිදර්ශන ආශ්‍රයෙන් දැක්විය හැකිය.

කමටහන්

සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යයෙක් වශයෙන් සිටි තෙරුන් කෙනෙකි ස්වර්ණකාර තෙරුන් වහන්සේ. උන්වහන්සේගේ රාගය උත්සන්න භාවය සලකා සැරියුත් තෙරුන් විසින් ඔහුට අසුබ කර්මස්ථානය දෙන ලදි. කමටහන උගෙන අරණ්‍යයට වී තෙමසක් වීර්යය කළ නමුදු කිසිදු දියුණුවක් ඇති නොවී ය. පසුව නැවත සැරියුත් තෙරුන් සමිපයට පැමිණි කල්හි පසුබට නොවිය යුතුය පවසා නැවත එම කර්මස්ථානය ම විග්‍රහ කොට දී අරණ්‍යයට යැවී ය. දෙවන වර වීර්යය කළ ද කිසිදු දියුණුවක් ලද නොහැකි විය. නැවතත් පැමිණි කල්හි දෙවන වර සේ ම කර්මස්ථානය පැහැදිලි කොට දී අරණ්‍යයට යැවී ය. තෙවන වර වනයට ගොස් කෙතෙක් උත්සාහ කළ ද දියුණුවක් ලද නොහැකි විය. පසුව සැරියුත් තෙරුන් වහන්සේ තම ශිෂ්‍යයා රැගෙන බුදුරදුන් හමුවට පමණුවන ලදි. එහිදි බුදුරදුන් විසින් ඔහුගේ අතීත ජීවිත පිළිබඳ විමසන කල්හි ඔහු පිළිවෙළින් පන්සිය (500) වාරයක් ස්වර්ණකාර කුලයෙහි ඉපිද රත්රන්වලින් කර්මාන්ත කළ බව දකින ලදි. සසරේ බොහෝ කාලයක් ප්‍රියමනාප වූ ආරම්මණයන් සමඟ කටයුතු කොට තිබූ හුරු බව හේතුවෙන් ඔහුගේ සිත මනාප අරමුණෙහි මිස අසුබ අරමුණෙහි සිත එකඟ කළ නොහැකි බව දක්නා ලදි. අනතුරුව ඔහුට රනින් නිර්මිත හොඳින් පිපුණු නෙලුම් මලක් අතට දී එය ආරාමයේ කෙළවර තිබෙන වැලි ගොඩක ගසා ඒ දෙස බලා භාවනා කිරීමට උපදෙස් දෙන ලදි. ඔහුගේ සිතට ප්‍රියමනාප වූ එම සෝභන අරමුණෙහි එම භික්‍ෂුවගේ සිත ඉතා ඉක්මනින් එකඟ විය. ඔහු ක්‍රමයෙන් සිත රූපාවචර ධ්‍යාන දක්වා දියුණු කර ගත්තේ ය. එය දුටු බුදුරදුන් තමන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් එම නෙළුම් මල මලානික බවට පමුණුවන ලදි. භික්‍ෂුවට ඒ අනුව සංස්කාරයන්ගේ අනිත්‍යතාව වැටහිණි. එකල්හි බුදුරදුන් එම භික්‍ෂුවට ගාථාවකින් එහි ස්වභාවය පෙන්වන ලදි. එම දේශනාව අවසානයෙහි එම භික්‍ෂුව රහත් ඵලයට පත් විය.

උත්සාහය

සියලූ රාග චරිතයන්ට අසුබ කර්මස්ථානය ම සප්ප්‍රාය නොවන බව දක්වන ලද නිදර්ශනයෙන් දත යුතු ය. අනෙකුත් චරිත හා ඒ සඳහා දක්වා ඇති කර්මස්ථානයන් පිළිබඳව ද මේ ආකාරයෙන් ම අවබෝධ කළ යුතු ය. නිවැරදි කර්මස්ථානය තෝරා නොගතහොත් දරන උත්සහය සාර්ථක නොවන බව මින් පැහැදිලි වේ. ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් සැරියුත් තෙරුන් හට ද පුද්ගල ස්වභාවය සහ ඔහුට ගැළපෙන නියමිත භාවනාව පිළිබඳ අවබෝධ කිරීමට නොහැකි වී නම් සමාජයේ භාවනාව පිළිබඳ අන්‍යයන්ට උපදෙස් දෙන පුද්ගලයින් පිළිබඳ නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එක ම පුද්ගලයකුට සුදුසු වනුයේ එක ම කර්මස්ථානයක් නොවන බව දත යුතු ය. ඒ පිළිබඳ කරුණු පසුගිය ලිපියෙහි මේඝිය සූත්‍රය හා රාහුලෝවාද සූත්‍රය ආශ්‍රයෙන් කරුණු දක්වා ඇත.

භවයෙන් වැසී පවත්නා මෙවැනි සියුම් කරුණු අප්‍රමාණව අප ජීවිත තුළ සැඟව පවතී. පුද්ගලයකුට නිවැරදි උපදේශනයක් අවැසි වනුයේ භවයෙන් වැසී පවත්නා ජීවිත ස්වභාවයන් පිළිබඳ ඒ ඒ පුද්ගලයින්ට නිවැරදි ලෙස කරුණු අවබෝධ කොටගත නොහැකි හෙයිනි. ඇතැම් කරුණු අප කෙතරම් නිවැරදි යැයි සිතා සිටිය ද සියල්ල ඒ අයුරින් ම සත්‍යය නොවන බව දත යුතු ය. ඇතැම් පුද්ගලයෝ තම ජීවිතයේ බොහෝ කාලයක් ධර්මය ඉගෙන ගනිමින් ධර්ම මාර්ගයන් පුරුදු කළ ද ජීවිතයේ විශේෂත්වයකට පත් නොවීම ජීවිතය අවසන් කරති. ඒ ඒ පුද්ගලයින්ට සුදුසු කර්මස්ථානයන්, භූමිය, කාලය, සප්ප්‍රාය ආහාර ආදී සියල්ල ද මේ සඳහා හේතු වන බව දත යුතු ය. එක් කරුණක් හෝ නිවැරදි ලෙස සම්මුඛ නොවූයේ නම් කොතෙක් ධර්මය වැඩුව ද විශේෂත්වයට පත් නොවී සෑම කල්හි ම එක ම ස්වරූපයෙන් සිටියි. ප්‍රඥාව ද දියුණුවට පත් නොවේ.

සසර පුරුදු

සසර පුරා අප ඇසුරු කළ ආරම්මණයන්ගේ විවිධත්වයක් සේ ම සමානත්වයක් ද තිබේ. යම් දෙයකට සිත හුරු කොට තිබූයේ නම් සිත එම අරමුණු විෂයෙහි ම සැරිසර යි. ස්වර්ණකාර තෙරුන්ට පූර්ව භවයන්හි බහුල ලෙස ඇසුරු කළ ආරම්මණයන් ඔස්සේ ම ආත්මභාව පන්සිය ගණක් එක ලෙස ම සිත ගමන් කළේ ය. බොහෝ කාලයක් එවැනි අරමුණු ඔස්සේ ම සිත ගමන් කළ හෙයින් මේ ජීවිතයේ අසුබ ආරම්මණයන් තුළ සිත එක් මොහොතක් හෝ නොපවතී. තමාට සුපුරුදු අරමුණු කරා ම සිත ගමන් කර යි. නිවන් දැකීම සඳහා අවැසි කර්මස්ථානය ද ඒ අනුසාරයෙන් ම බුදුරදුන් විසින් ඉදිරිපත් කළ හෙයින් ඉතා ඉක්මනින් ධර්මාවබෝධය කොට නිවන් මගට පැමිණියේ ය. මෙම කරුණු අනුව පුද්ගල චරිත ස්වභාවයන් කෙතරම් සියුම් අයුරින් ජීවිත කෙරෙහි බලපවත්නේ ද යන්න තේරුම් ගැනීමට උත්සහ කළ යුතු ය.

ලබන සතියේ...

ධර්මාවබෝධයට හේතු වන පූර්ව හේතු සහ වර්තමාන හේතු අතර සබඳතාව

 ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

අදහස්