පළාත් හයක් හෙල්ලූ පීඩන අවපාතය | සිළුමිණ

පළාත් හයක් හෙල්ලූ පීඩන අවපාතය

 දිනය ‍ෙනාවැම්බර් 29 වැනිදා ය. රාත්‍රි 9 ට පමණ මා සිටියේ පිටකොටුවේ ය. හිටි අඩියේ පැමිණි මහ සුළඟකි. සුළ‍ඟේ වේගවත් බව පමණක් නොවේ කරකැවෙන ස්වභාවයක් ද තිබිණ. අතේ තිබුණු කුඩය විසි විය. අවට වෙළෙඳසල්වල වහල හා ඉදිරි පස ආවරණ ගැලවී ගියේ ය‍.

කෙසේ හෝ 120 හොරණ බස් රථයක මහ වැස්සේ ම නැග ගතිමි. නමුත් ඒමට හැකිව‍ූයේ පොල්ගස්ඕවිටට පමණි. පාර හරහා මහ ගසකි. පසුව වෑතර පරණ පාරෙන් බසය ගමන් කළේ ය. ඒ පාරේත් ගස් කඩා වැටුණත් ප්‍රදේශවාසීන් ඒවා ඉවත් කර තිබිණි. ගෙදර යාමට කහතුඩුවෙන් බැස්සෙමි. ඒත් මුළු ප්‍රදේශයම තද අඳුරෙන් පාර පුරා ගස් ගණනාවක් කඩා වැටී ඇත.

පුතාගේ මෝටර් සයිකලය මා රැගෙන යාමට පැමිණියේ ය. ඒත් මාගේ නිවස පිහිටි අතුරු පාරේ ද ගස් කඩා වැටීම් රැසකි. මෝටර් සයිකලය යන්තම් රිංගා ගෙදරට ගියේ ය. මේ ලියන මොහොත වනවිටත් අපට විදුලි බලය නැත. ගස් ඉවත් කිරී‍ම නම් ගම්වැසියෝ කරති.

මේ අමුතු සුළඟ ගැන මම කහතුඩුවේ සිටින වයස 92 ක් වූ වල්පොළ මහතාගෙන් විමසුවෙමු.

“මෙහෙම දෙයක් අපේ ජීවිත කාලෙදි වුණේ නෑ. ඉස්සර 1954 විතර පුංචි සුළි සුළඟක් තිබුණත් මෙච්චර හානි වුණේ නැහැ. මේක තනිකරම හැමුවේ බස්නාහිරට” වල්පොළ මහතා කීය.

ඇත්තටම සිදුවූ දේ අපටත් සිතාගන්නත් බැරිය. වුණේ මොකක්ද අපි ඒ පිළිබඳව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) අතුල කරුණානායක මහතාගෙන් විමසුවෙමු.

අපි පසුගිය 26 වැනිදා සිටම අපේ රටට ගිනිකොන - දකුණු දෙසින් කැළඹීම් ස්වභාවයක් තිබෙන බවට අනතුරු ඇඟවීම් කළා.

ඒ අනුව විශේෂයෙන් 29 වැනිදා අලුයම 3 ට අපි විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කළා. පසුව එය ඉදිරි පැය 18 දක්වා ආවරණය වන ලෙස ඉදිරිපත් කළා. ඒ අනුව අපි පැවසුවේ අඩු පීඩන කලාපයක් ශ්‍රී ලංකාව අසල දකුණු පැත්තෙන් වර්ධනය වෙමින් ඇති බවයි. ඒ අනුව අපේ රටට තද වැසි හා තද සුළං ඇතිවීමට ඉඩ ඇති බවට දැනුම් දුන්නා. විශේෂයෙන් වෙරළබඩ කලාපවලට වෙරළ අසල මුහුදට අාපදා අැතිවීමට ඉඩ ඇති බවට අපි අවධාරණය කළා.

අපි පැවස‍ූ අයුරින් 2017 නොවැම්බර් 29 වැනිදා දහවල් පොතුවිල් යාල පැත්තෙන් මේ අඩු පීඩන කලාපය රට ඇතුළට ආවා. පසුව දකුණු හා බස්නාහිර වෙරළබඩ ප්‍රදේශය හරහා ගමන් කළා. ඒ සමඟම එය පීඩන අවපාතයක් බවට පත්වුණා. ඒ නිසා බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව ප්‍රදේශවලට ද සුළං හා වැස්ස නිසා අලාභ හානි රැසක් සිදුවුණා. දැන් ඒක අරාබි මුහුදේ සුළි සුළඟක් බවට පත් වෙලා. ඒත් අපට තවදුරටත් වැස්ස, සුළං ඇතිවෙන්න පුළුවන්. අතුල කරුණානායක පවසයි. මේක නිසා දකුණු, බස්නාහිර, ඌව, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, පළාත්වලට අධික සුළං වැස්ස ඇතිවුණා. ගස් කඩා වැටීම් බහුලයි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රේමලාල් මහතා පැවසුවේ දැනටත් බෙංගාල බොක්කෙ කැලඹිලි ස්වභාවයක් ඇති බවයි. එය අපේ රට දෙසට පැමිණියහොත් අපට යළිත් පීඩන අවපාතයකට හා තද සුළං වලට ලක්වීමට ඉඩ ඇති බව ද ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද අතුල මහතා පැවසීය.

අප ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ තොරතුරු අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ තොරතුරු අනුව මේ පීඩන අවපාතය නිසා පළාත් 6 ක දිස්ත්‍රික්ක 11 ක ග්‍රාම නිලධාරි වසම් 70 ක් විවිධ ආපදාවලට ලක්වී තිබේ. වැඩිම ආපදාවට ලක්ව ඇත්තේ කළුතර, කොළඹ, ගාල්ල, රත්නපුර, මාතර වැනි දිස්ත්‍රික්කවල ජනතාවට ඊට අමතරව හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, මහනුවර, ගම්පහ, අම්පාර යන දිස්ත්‍රික්කවලට ද මේ අවපාතයේ බලපෑම් එල්ලවී ඇත.

කෙසේ වුවත් මේ දිනවල හා ඉදිරියේදී අපේ රටට බලපාන මෙවැනි පීඩන අවපාත අපේ කලාපයේ හට ගැනීමට යම් ඉඩකඩක් තිබෙන බවත් ඒ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනතුරු ඇඟවීම්වලට අවධානය යොමු කළ යුතු බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රේමලාල් මහතා අවධාරනය කරයි.

මේ අන්තර් මෝසම් සමයේ මෙවැනි අවපාත ඇතිවීමට ඉඩ ඇති බවත් වෙනත් වසරවලත් එසේ හටගත් බවත් ඔහු කියයි.

මේ අතර පවතින අධික වැසි තත්ත්වය අනුව දිස්ත්‍රික් 8 කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික හා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශ බාර ප්‍රධාන ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි. විශේෂයෙන් රත්නපුර, කළුතර හා මාතලේ, බදුල්ල දිස්ත්‍රික්කවලට විශේෂ අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අතර මීට පෙර නායයෑමට ලක්වූ මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 158 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දින මිලිමීටර් 185 වැසි ලැබීම නිසා මෙම ඉවත් කිරීම කර ඇත.

බ්‍රහස්පතින්දා ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම් 13 ක් වාර්තා වී ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසයි. රත්නපුර, බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගමන් කිරීම මේ දිනවල ඉතා ම අනතුරුදායක ය. එම ප්‍රදේශයේ ගල් පෙරලීම නිසා වාහනවලට අලාභ හානි වී තිබේ.

මේ අතර නායයෑමේ අවධානම නිසා ඇල්ල, හපුතලේ ප්‍රදේශවල පවුල් 210 ක් පමණ ඉවත් කර තිබේ.

මේ පීඩන අවපාතය නිසා වැඩිම හානිය සිදුවී ඇත්තේ විදුලිබල මණ්ඩලයටයි. ඒ ගස් කඩා වැටීම් නිසා විදුලිබල කම්බි හා කණු කඩා වැටීම හේතුවෙනි. විදුලි බලශක්ති අමාත්‍යාංශය සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ අවපාතය නිසා බස්නාහිර, සබරගමුව, දකුණ හා නැගෙනහිර, ඌව පළාත්වල ස්ථාන රැසක විදුලි සැපයුමට හානි සිදුවී ඇති බවයි.

ගාල්ල, මාතර, කොළඹ, කළුතර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල බලවත්ව හානි සිදුවී ඇති බවද ජයවර්ධන මහතා කීය. අධි විදුලි රැහැන්වලට සිදුවී හානි යථා තත්ත්වයට පත් කිරීමට වැඩි කාලයක් ගත වන බවද ඔහු කීය. කෙසේ වුවත් දැනට හානිවලින් සියයට 70 – 80 ක් යථා තත්ත්වයට පත්කර ඇත‍.

මේ අතර පීඩන අවපාතය නිසා හා අධික වැස්ස නිසා පීඩාවට පත්වූ අයට සහන සැලසීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම්වරයාට නියෝග කර ඇත. ඒ අනුව දැනටමත් විපතට පත්වූ අයට රුපියල් 10000 ක දීමනාවක් ගෙවීමට වියළි ආහාර ලබාදීමට අදාළ දිසාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. “ත්‍රිවිධ හමුදාව විපතට පත්වූ ප්‍රදේශවල දැනටම වැඩ පටන් අරන් තිබෙනවා. යුද හමුදාවේ 2000 ක් හා නාවික හමුදාවේ විශාල පිරිසක් අපට උදව් දෙනවා. ඒ සමඟම ප්‍රජා පොලිස් ඒකකවල ලක්ෂ 4 ක් පමණ ද මේ සුළං හා ධාරානිපාත වැස්සෙන් හානි වූ ප්‍රදේශවල සහන කටයුතුවලට සූදානම්” ඇමැතිවරයා කීය.

මේ අතර කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (අනාවැකි) අනූෂා වර්ණසූරිය මහත්මිය පවසන්නේ දැනට බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹීම් නිසා ඉදිරියේ සමහරවිට දිවයිනේ උතුරු නැගෙනහිර ඊසානදිග ප්‍රදේශවලට අධික වැස්ස ඇතිවීමට ඉඩ ඇති බවයි. මේ අතර ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ මහතා පවසන්නේ පසුගිය 29 වැනිදා දිවයිනේ දිස්ත්‍රික්ක 11 කට බලපාන පීඩන අවපාතය සමඟ ස්ථාන ගණනාවක ටෝනේඩෝ හා දියගොබ වලා ඇතිවී ඇති බවයි. ගස් කඩා වැටීම්, වහල පියසි හා නාමපුවරු ගැලවීමට එම ටෝනේඩෝ හේතු වී ඇතැයි අභයසිංහ මහතා පවසයි. ටෝනේ‍ඩෝ නිසා සුළු ප්‍රදේශයක පැයට කි‍ලෝ මීටර් 400 ක සුළං වේගයෙක් ඇතිවීමට ඉඩ ඇති බවද ඔහු කීය.

අපේ රටේ අඩු පීඩන ප්‍රදේශය ඇතිවූ විට පැයට කිලෝමීටර් 30 - 35 වේගවත් සුළං ඇතිවේ. එය පීඩන අවපාතයක් වූ විට එහි අන්තර්ගත සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 35 - 50 දක්වා වැඩිවේ. එය ගැඹුරු පීඩන අවපාතයක් වූ විට එහි සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 59 දක්වා වැඩිවන බවද කේ.ආර්. අභයසිංහ මහතා පවසයි. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට 29 අලුයම අනතුරු අඟවා තිබුණේ දැඩි පීඩන අවපාතයක් පිළිබඳව බව අපට පැහැදිලිය.

එය ඇතුළත සුළං කරකැවෙන ස්වභාවයක් පවතී. මෙය සුළි සුළඟක් වූ විට සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 85 දක්වා වැඩිවීමට ඉඩ ඇත.

‍ෙම් අතර පීඩන අවපාතය නිසා විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 10 කට පමණ විදුලි බලය නැතිවී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අතරින් වැඩි පිරිසක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේය. ඒ ගණන 111,000 කි. ගාල්ල, හම්බන්තොට, මාතර, කළුතර, බදුල්ල, මොනරාගල, නුවරඑළිය, රත්නපුර පළාත්වල ජනතාව ද විශාල පිරිසක් විදුලි බලය ඇණහිටීම නිසා අපහසුතාවට පත්වී සිටිති. ‘ඔක්‍රි’ (ockhi) ‍ලෙස හඳුන්වනු ලැබූ මේ අප රට හරහා ගමන් කළ පීඩන අවපාතය සිකුරාදා වන විට දිවයිනට කිලෝ මීටර් 600 ක් ඇතත් වයඹ අරාබි මුහුදේ තිබුණත් ඉන් අප රටට වන බලපෑම් තවම අවසන් වී නැති බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (අනාවැකි) අනූෂා වර්ණසූරිය මහත්මිය පවසන්නීය.

වැස්ස තවමත් පැවතීම නිසා ගංගාවල ජල මට්ටම වැඩිවී ඇත. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා) පී. හෙට්ටිආරච්ච මහත්මිය පවසන්නේ දකුණු හා සබරගමු පළාත්වලට වසින අධික වර්ෂාපතනය නිසා නිල්වලා, වලවේ ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බවයි. නිල්වලා ගඟ, ගිං ගඟ හා කිරම ආර ස්ථාන කීපයකදි උතුරා ඇතැයි ද ඇය සඳහන් කරයි. මීට අමතරව කළු ග‍ඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් ඉහත ගංගාවල අවට සිටින අයට ඉවත්වීමට අනතුරු අඟවා ඇතැයි ද ඇය පවසයි.

දක්ෂිණ අධිෙව්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් දොරටුව අසළ ද ජලයෙන් යටවී තිබුණි. මේ පිළිබඳව පොලිසිය, ග්‍රාම නිලධාරිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ශබ්ද විකාශන පද්ධති මඟින් ජනතාව දැනුම්වත් වීම් සිදුකරනු ලබති.

ධීවර අමාත්‍යාංශය මඟින් සියලුම ධීවරයන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදී මුහුදු ගිය ධීවරයන් තිදෙනකු අනතුරට ලක්වී ඇත. ඔවුන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඊට අමතරව රක්ෂණ වන්දි ලක්ෂ 10 ක් ලැබේ.

අලුත්ම තොරතුරු අනුව මෙම ඔක්‍රි පීඩන අවපාතය නිසා මෙරට දිස්ත්‍රික්ක 11 ක පුද්ගලයන් 60,000 ක් පමණ පීඩාවට පත්වී සිටිති. නිවාස 12,000 ක් මේ නිසා හානියට පත්වී ඇති අතර පුද්ගලයන් 30 දෙනෙක් අතුරුදන්ව සිටිති. සිදුවූ මරණ ගණන සිකුරාදා උදේ 9 වන විට 7 කි. අතුරුදන් පුද්ගලයන් ගණන 30කි. සුළු ව්‍යාපාර 82 ක කටයුතු ද මේ නිසා අඩපණ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙවැනි ආපදා අපට වැළැක්විය නොහැකිය. එසේ වුවත් ඒවා පිළිබඳව දැනුම්වත් වී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව කටයුතු කළොත් මේ ආපදා වලින් සිදුවන හානි අවම කර ගත හැකිය. එමෙන්ම අපේ විද්‍යුත් ජනමාධ්‍ය ද මේ හදිසි ආපදා දැනුම්වත් කිරීම් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එමෙන්ම අපේ රටේ කාලගුණ විද්‍යාඥයන් ද ජනතාවට ඉක්මණින් පැහැදිලිවන භාෂාවකින් කාලගුණ අනතුරු ඇඟවීම් ඉදිරිපත් කිරීම් කළ යුතුය.

නිහාල් පී. අබේසිංහ 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.