දස දිනකින් ලබාදුන් විදුලිබල මෙහෙයුම | සිළුමිණ

දස දිනකින් ලබාදුන් විදුලිබල මෙහෙයුම

මණ්ඩලයේ සියල්ලගේම කැපවීම නිසා හැමටම යළි විදුලිය දෙන්න පුළුවන් වුණා.
පීඩන අවපාතයේ වැඩිම පාඩුව විදුලිබල මණ්ඩලයටයි.
කැපවීමෙන් වැඩ කළ හැමට ප්‍රණාමය.
ප්‍රධාන ඉංජිනේරුවරු හා ඉහළ නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සිදු කළා.

එය පුදුම සුළඟකි. මී මැස්සන් කෑගසන ශබ්දයක් පළාත පුරා පැතිරයමින් 29 වැනිදා රාත්‍රි 8 – 11 අතර හමා ගිය සුළඟින් වූ විනාශය අරුම පුදුම එකකි. වසර 90 - 95 වයසක පුද්ගලයන් පවා දැක නැති මේ අමුතු සුළඟ අපටත් අරුමයක් වූ ‘ඔක්‍රි’ පීඩන අවපාතයයි.

“ගස් කඩා වැටිලා ලයිට් නැහැ” පසුගිය 30 වැනිදා බ්‍රහස්පතින්දා ලේක්හවුස් එකේ වැඩට ආ ‍බොහෝ සියලුම දෙනා පැවසූ වදනකි. ලේක්හවුස් එකේ අයට පමණක් නොව දකුණු, බස්නාහිර, සබරගමුව පළාත්වල දස ලක්ෂයකට 29 වැනිදා රාත්‍රියේ විදුලි බලය නැති විය. පළාත් 3 ක් ම අඳුරේ ය. එදා ඒ සුළඟ නිසා මෙරට ඉතිහාසයේ දැවැන්තම විදුලි බිඳ වැටීමෙන් බස්නාහිර දකුණු හා සබරගමුව ප්‍රදේශවල පාරිභෝගිකයන් ලක්ෂ 10 කට පමණ විදුලිය නැති විය. එසේ නමුත් ඒ විදුලිය බිඳ වැටී‍ම් සියල්ල විදුලි බල ඉංජිනේ‍රුවාගේ සිට විදුලි කම්කරුවා දක්වා කළ කැපවීම නිසා මේ වනවිට පිළිසකර කර ඇත.

විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත විදුලි බල නිලධාරීන් හා සේවකයින් එක්ව සිදු කළ මහ මෙහෙයුමකින් පසු මේ සියලුම බිඳ වැටීම් නිසි පරිදි දැන් පිළිසකර කරමින් ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. ඒ අනුව අද වනවිට විදුලිය බිඳ වැටීම්වලට ලක්වූ සියල්ලම යථා තත්ත්වයට පත් කර තිබේ.

ඒ මහා මෙහෙයුම පිළිබඳ සුලක්ෂණ ජයවර්ධන මහතා අපට විස්තර කළේය.

“මෙතරම් විදුලිය බිඳ වැටීම් ප්‍රමාණයක් අපේ විදුලිබල ඉතිහාසයේ වාර්තා වුණු ප්‍රථම අවස්ථාව මේකයි. 30 අලුයම වනවිට රට පුරා විදුලිය බිඳවැටීම් ලක්ෂ 10 කට වඩා වාර්තා වී තිබුණා. 30 වැනිදා උදේම ඇමැති සියඹලාපිටිය මහතා හා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් බලධාරීන් එකතුවෙලා විදුලිබල මෙහෙයුම පටන් ගත්තා. මුල් දින දෙක වනවිට අපි මුළු බිඳ වැටීම්වලින් සියයට 50 – 60 ක් පිළිසකර කරනු ලැබුවා. ඒ සඳහා අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, වවුනියාව, ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් හදිසි නඩත්තු හා අලුත් සම්බන්ධතා ලබාදෙන විදුලිබල ෆෝමන්වරු ඇතුළු සේවකයන් කණ්ඩායම් 75 ක් බස්නාහිර හා දකුණු පළාත්වලට යවනු ලැබුවා. ඒ අය කැපවීමෙන් වැඩ කළා.

විදුලි ඉංජිනේරුවරුන් කාර්මික නිලධාරීන් හා වැඩ මූලිකවරුන් සමඟ ක්ෂේත්‍ර සේවකයන් 500 පමණ මේ මහ මෙහෙයුමට සම්බන්ධ වුණා. වාහන 30 - 40 ක් දොඹකර 15 – 16 ක් අතර ප්‍රමාණයක් මේ පිළිසකර කටයුතු කළා. සමහර විට කාමරවල සිට පරිපාලන කටයුතු කළ නමුත් නඩත්තු කිරීම්වලට දැනුම හා හැකියාව ඇති නිලධාරීන් හා සේවකයන් 50 – 60 ක් මේ මෙහෙයුමට එක්වෙලා කැපවීමකින් ජනතාවට විදුලිය දෙන්න කටයුතු කළා. 30 වැනිදාත් බස්නාහිරට වැස්ස තිබුණා. පළමු වැනිදා දකුණටත් වැස්ස වැඩි වුණා. ඒත් අපේ ඉංජිනේරු හා සේවක පිරිස් වැස්ස පින්න නොතකා පැය 16 – 17 වැඩ කළා. රෑ නිදි වරාගෙන පැය 24 පවා වැඩ කරපු අයත් හිටියා. නිදාගන්න තැන් තිබුණෙත් නැහැ. අපි ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි ස්වාභාවික ව්‍යසනයක් සිදුවූ විට රටට විදුලිය දීමට කළ කැපවීම පිළිබඳ ඔවුන්ගේ සේවය අගය කිරීමට කටයුතු කරනවා.

මෙවැනි ස්වාභාවික ආපදාවක් සිදුවූ විට එහි නඩත්තු කටයුතු බාරවන්නේ අදාළ පළාතේ අතිරේක විදුලි ඉංජිනේරුවරයාට හා නියෝජ්‍ය විදුලි ඉංජිනේරුවරයාටයි. ඒ අනුව දකුණේ හා බස්නාහිර පළාත්වල බිඳ වැටීම් ඉක්මනින් පිළිසකර කිරීමට ඒ ඉහළ නිලධාරීන් ද ක්ෂේත්‍රයේ සිට රාජකාරි කළා. මැදිහත් වුණා.”

මෙරට සිදුවූ විදුලි බිඳ වැටීම්වලින් වැඩි ම බිඳ වැටීම් ප්‍රමාණයක් වාර්තා වුණේ කැස්බෑව විදුලිබල ඩිපෝවට අදාළ ප්‍රදේශයේ ය. ඒ ප්‍රදේශයේ විදුලි ග්‍රාහකයන් ගණන 45000 ක් වූ අතර 30 අලුයම වනවිට ඒ සියලු දෙනාටම විදුලිය නැති විය. ප්‍රදේශය බාර රත්මලාන ප්‍රධාන විදුලි ඉංජිනේරු ධම්මික ජයසේකර මහතා පැවසුවේ තම විදුලි ඉංජිනේරු බල ප්‍රදේශයේ විදුලි බල සම්බන්ධතා 95000 ක් ඇති බවත් මෙමගින් විදුලි බල සම්බන්ධතා 75000 ක් විසන්ධි වූ බවයි. “ රත්මලානට සිදුවූ විදුලිය බිඳවැටීම්වලින් සියයට සියයක් ම දැන් පිළිසකර කර අවසන්. මේ සඳහා අනුරාධපුරයෙන් මහනුවරින් විදුලිබල නඩත්තු කණ්ඩායම් දෙකක් හා කොළඹ නගරයෙන් හදිසි නඩත්තු කණ්ඩායම් 5 ක් ගෙන්වූවා. ඒ අය 30 වැනිදා ඉඳන් වාහන 15 ක් දොඹකර 5 ක් සමඟ අපේ වැඩ මූලිකවරුන් පුහුණු කාර්මිකයන් හා පුහුණු සේවකයන් 200 ක් සමඟ ‍රත්මලාන කැස්බෑව ප්‍රදේශයේ පිළිසකර කටයුතුවල නිරත වුණා. ඒ අය කෑම බීම නවාතැන් ඉල්ලා කරදර කළෙත් නැහැ.

මාත් අපේ විදුලි ඉංජිනේරුවරුන් සියල්ලමත් තාක්ෂණ නිලධාරින් කාර්මික නිලධාරීන් හා පුහුණු සේවකයන් සියල්ලත් එකාවන්ව ඇප කැප වීමෙන් වැඩ කළා. දවසේ පැය 17 – 18 පුරා වැඩ කළ ඉංජිනේරුවරුන් පුහුණු සේවකයන් වැඩ මූලිකවරුන් ද හිටියා. ස්වාභාවික හානිය අවම කරමින් මේ තරම් ඉක්මනට අපිට ලක්ෂ 10 කට යළි විදුලිය දෙන්න ලැබුණේ මේ අය උපරිම ලෙස කළ කැපවීම නිසයි ” ඉංජිනේරු ධම්මික ජයසේකර මහතා පැවසීය.

විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසුවේ මේ ව්‍යසනයේදී රටේ සියලුම විදුලි ඉංජිනේරුවරුන්, කාර්මික නිලධාරීන් ඇතුළු පුහුණු සේවකයන් සියල්ලම කැපවී සිදුකළ කාර්යක්ෂම සේවාව නිසා දවස් 10 ක් ඇතුළත මේ සියලුම පිළිසකර කිරීම් නිමා කිරීමට හැකිවූ බවයි.

“මෙලෙස බිඳවැටීම් ලක්ෂ 10 ක් එකවර ඇතිවූයේ අපේ ජීවිත කාලේ ප්‍රථම අවස්ථාවට. කැස්බෑව විදුලිබල ඩිපෝවෙන් පාලනය වන කිසිම අයකුට විදුලිය තිබුණේ නැහැ. කළුතරත් සියයට 95 ක් විදුලිය තිබුණේ නැහැ. ගාල්ල, මාතරත් එහෙමයි. කණු කැඩිලා. ට්‍රාන්ස්ෆෝමර්වලට ගස් වැටිලා හයිටෙන්ෂන් ලයින් කැඩිලා තිබුණා. බස්නාහිරයි දකුණෙයි තත්ත්වය ඉතා බරපතළයි. අපි ඒකට පිට පළාත්වල සිටි හදිසි නඩත්තු ඒකක, අලුත් විදුලි බල මාර්ග ඉදිකරන අය පමණක් නොවෙයි අපේ කොන්ත්‍රාත් කරන සමාගම්වල අයත් දකුණට බස්නාහිරට කැඳවා විවිධ මාර්ග ඒ අයට බාර කළා. කළුතර 6 වැනිදාත් 60 – 70 ක් වැඩ. වාහන 15 ක් විතර වැඩ. සේවකයන් සියලු දෙනාම බේද පසෙකලා කැප වීමෙන් වැඩ කළ නිසයි මේ තරම් ඉක්මනට විදුලිය ලබාදෙන්න හැකිවුණේ. තරමක් හරි පරක්කු වුණේ විදුලි බල කම්බිවලට හා කණුවලට වැටිලා තිබුණු යෝධ ගස් කපා ඉවත් කිරීමට අපේ සේවකයන්ටම සිදුවීම නිසයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා හමුදාවත් අපට උදව් කළා. මේක අපේ අලුත් ම මෙහෙයුමක්. අලුත්ම අත්දැකීමක්” කුමාරවඩු මහතා පැවසුවේ සතුටිනි.

හොඳ නායකත්වයක් හා මනා මෙහෙයවීමක් මත ඇප කැපවීමෙන් කටයුතු කළ මේ විදුලි බල ඉංජිනේරුවන් නිලධාරීන් හා සේවක පිරිස අපේ රටේ අන් ක්ෂේත්‍රවලට ද හොඳ ආදර්ශයකි. වෘත්තීය ප්‍රශ්න හා පෞද්ගලික ප්‍රශ්න කෙතෙක් තිබුණත් ආපදාවේදී ඒ ගැන බිඳුවක් හෝ නොතකා තම සේවය කාර්යක්ෂම ලෙස නොපිරිහෙළා ඉටුකළ විදුලිබල ක්ෂේත්‍රයේ සියලුම තරාතිරමේ නිලධාරීන්ටත් සියලුම සේවකයනටත් විශේෂයෙන් විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාටත් අමාත්‍යංශයේ හා විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ටත් ජනතාවගේ ප්‍රණාමය පුද කළ යුතු ය.

නිහාල් පී. අබේසිංහ

Comments