‍යෝධ­යාගේ පා පහ­රින් වී පිටි වී, ගල් වෙයි! | සිළුමිණ

‍යෝධ­යාගේ පා පහ­රින් වී පිටි වී, ගල් වෙයි!

තවමත් මේ ප්‍රදේශය පුරා කළුගම්මිරිස් ඇට වැනි කුඩා ගල් කැට විශේෂයක් පසෙහි දක්නට ඇත. ඒවා සමහර විට පෙර කාලයේ ධාන්‍ය­ාගාරයක් ව පැවති දිර‍ාගොස් ඇති හාල්, ධාන්‍ය පිටි බවට පෙරළී ඇතිවීදැයි විමසිය යුත්තකි. වයඹ පළාතේ කුරුණෑගල, හලාවත දෙදිසාවට අයත්ව පිහිටි කටුගම්පළ, වෙන්නප්පුව, නාත්තණ්ඩිය සහ මාදම්පේ යන මැතිවරණ කොට්ඨාස හතර තුළ ම විහිදී පවත්නා නැගෙනහිර, උතුර සහ දකුණු පිටිගල් කෝරළ තුන, පුරාණයේ දී “පිටිගල් රට” නමින් හැඳින්විණ.

 

සත්කෝරළයේ ප්‍රධාන ජනප්‍රවාදය වශයෙන් සැලකෙන්නේ යකා බැඳි අල්ලයි. බඳින බඳින වාරයක් පාසා රාත්‍රියට යකෙකු විත් බැම්ම කැඩීම නිසා රැක සිටි යෝධයා උදලු බ‍ඳෙන් ගසා යක්ෂයා මරා අමුණ‍ට තබා බැඳිම නිසා මෙයට “යකා බැඳි ඇල්ල” යයි ව්‍යවහාර වු බව කියනු ලැබේ.

තවත් ජනප්‍රවාදයකට අනුව ගෝඨයිම්බර යෝධයා තනිව ම මාකඳුර වෙල්යාය අස්වැද්දුවේ ය. දශ බලයෙන් යුතු මෙම යෝධයා යායෙන් ලබා ගන්නා තම වී අස්වැන්න ගොඩගැසු කල මුහුද බැලීමට තරම් උස වුවහොත් සිය එකම පිරිමි දරුවා කඩවරයාට බිලිදෙන බවට බාරයක් වී ඇත. වෙල්යායේ අස්වැන්න එකතු කර වර්තමාන මාකඳුර ප්‍රදේශයේ තම කමතෙහි ගොඩගැසු යෝධයා සිය පුතුට කථා කර කියන්නේ, “මේ වී ගොඩ මුදුනට නැග මුහුද පෙනේදැ යි බලන ලෙස දැක්වී ය. යෝධයාගේ බිරියට මෙම බිලි පුජාව ගැන දැනගන්නට ලැබී වහා වහා පුතුට කියන්නැ, “මුහුද දුටුවත් නොදුටු බව මැ පවසන්නැ යි” රහසින් උපදෙස් දුන්නාය.

පුත්‍රයාද වී ගොඩ මුදුනට නැඟි ඈත් මෑත් බලා කියන්නේ “පියාණෙනි,මුහුද නොපෙනෙන්නේ ය. මුහුද බැලීමට තරම් මා උස මට්ටම ප්‍රමාණවත් නොවේ.”

මේ වදන් සවනත වැකුණු කෙණෙහිම ගෝඨයිම්බර ගේ සිත කෝපයෙන් හා වේදනාවෙන් මුසපත් විය. සිය අභිමතාර්ථ සාධනය උදෙසා තවත් පුරා වසරක් බලා සිටිය යුතු බව අවබෝධ විය. කෝපයෙන් කෝපයට පත් ගෝඨයිම්බර යෝධයා වී ගොඩට පයින් ගැසීය. යෝධයාගේ ශක්තිමත් පා පහරින් වී ගොඩ ම පොතු හැළී හාල් බවට පත් වී පිටි බවට හැරී ඉක්බිතිව කුඩා ගල් කැට විශේෂයක් බවට පරිවර්තනය වීලා. මෙසේ “පිටිගල්” බවට පත් වු වී ගොඩ ප්‍රදේශය පුරා විසිරී ගිය අතර එම ප්‍රදේශය “පිටිගල් කෝරළය” ලෙස හැඳින්වෙන බව ජනප්‍රවාදයෙන් කියැවේ.

තවමත් මේ ප්‍රදේශය පුරා කළුගම්මිරිස් ඇට වැනි කුඩා ගල් කැට විශේෂයක් පසෙහි දක්නට ඇත. එය සමහර විට පෙර කාලයේ ධාන්‍යගාරයක් ව පැවති දිර‍ාගොස් ඇති හාල්, ධාන්‍ය පිටි බවට පෙරළී ඇත්දැ ‘යි විමසිය යුත්තකි.

වයඹ පළාතේ කුරුණෑගල, හලාවත දෙදිසාවට අයත්ව පිහිටි කටුගම්පළ , වෙන්නප්පුව, නාත්තණ්ඩිය සහ මාදම්පේ යන මැතිවරණ කොට්ඨාස හතර තුළ ම විහිදී පවත්නා නැගෙනහිර, උතුර සහ දකුණු පිටිගල් කෝරළ තුන, පුරාණයේ දී “පිටිගල් රට” නමින් හැඳින්විණ.

කුරුණෑගල දිශාවට අයත් කුඹුරු අක්කර දොළොස්දහස (12,000) ක විශාල ප්‍රමාණයක් ද හලාවත දිසාවට අයත් කුඹුරු අක්කර දහස් ගණනක් ද ඇතුළත් අක්කර විසිදහසක (20 000) ක පමණ මඩබිම් පිටිගල් රට සරුසාර කෙත් යායට ඇතුළත් විණ.

අවුරුදු දෙදහසකට වඩා පැරණි මේ කෙත්යාය ඉතිහාස පුර්ව යුගයෙහි පවා ජන ජීවිත පෝෂණය කළ අයුරු වළාහකස්ස ජාතකයෙන් පවා පැහැදිලි වේ. සයංජාත විල්හි උපන් අහසින් යන “වලාහක” නම් බෝසත් අස් රජ තඹපත් විලට අහසින් පැමිණි වගක් ඉන් පැවසේ.

තඹරවිල, තාමරකුලිය, තාමරක්කුලම යනාදී මේ ප්‍රදේශයේ ග්‍රාම නාමයන් අද ද එහි ඉඟි පළ කරයි.

විජය කුමරු ලක්දිව ගොඩ බසින කාලයේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ දියුණු රාජධානියක් මේ ප්‍රදේශයේ පැවැති බව සාධනය කැරෙන ජනකථා හා පුරාවෘත්ත රැසකි. ලංකාපුර (හඳලංකා?) ශ්‍රීසවස්තුපුර (මාරවිල?) ආදී ප්‍රදේශ නාම සිංගක්කුලිය ( ඉපැරණි දේවාලය ) අය්යනායක (ආර්ය නායක, විජය?) ආදී ස්ථාන නාම සහ පුද්ගල නාමයන් මගින් ප්‍රකාශ කෙරෙන සංකීණාර්ථ සමස්තයක් ලෙස සලකන කල්හි යක්ෂ සංස්කෘතියේත් ආර්ය සංස්කෘතියේත් ගැටිම් තුළින් ප්‍රභවය ලැබ නව යුගයක උදාව පිළිබඳව පිටිගල් රට තුළින් සාධක සපයා ගැනීම පුරාතත්ත්ව ගවේෂීන්ට උගහට නොවන බව පැවසිය හැකි ය.

බොහෝ සෙයින් ම යක්ෂ සංස්කෘතිය සයංජාත විල් ඇසුරෙහි පැවැති බව සලකනු ලැබේ. යක්විල,එලිවිල, ගෝනවිල, හුණුවිල, මාරවිල, මා විල, නාරවිල, තඹරවිල සහ මොණරවිල, ආදී ගිරිඋල්ල ආසන්නයේ රට මැද සිට මහ මුහුද දක්වා පිහිටි “විල” නාමයෙන් කෙළවර වන එකවැලට මෙන් පිහිටි ගම් ද යක්දෙස්සාව, කුද්දෙටියාව, තබ්බෝව, මහවැව, කුඩාවැව ආදී එක පෙළට මෙන් ආසන්නයේ පිහිටි වැව් සම්බන්ධ ගම් ද, පැළඅමුණ, ගල් අමුණ ආදී “අමුණ” නාමය හා සම්බන්ධ ගම් ද වත්මන් බෙදීම් අනුව කටුගම්පළ මැදපත්තු බස්නාහිර කෝරළයටත් ඉතා වැඩි වශයෙන් ඉහත කී පිටිගල් කෝරළ තුනටත් අයත් ව පිහිටා ඇත. වර්තමාන පුත්තලම දිසාවට අයත් “විල්පත්තුව” විල් රැසකින් ගැවසී බවට එම නාමය ම සාක්ෂි දරයි. බුද්ධ පුර්ව යුගයේ හෙවත් රාවණා යුගයේ සිටමැ මේ පියස සරුසාර සංස්කෘතියක කෙන්ද්‍රස්ථානයක් ව පැවැති බව හලාවත - මුන්නේශ්වරම් “භද්‍රකාලී මහාදෙවොල” ලබන ඉමහත් බය සම්ප්‍රයුක්ත ගෞරව පූජාවන්ගෙන් පෙනී යන බව වෙල්පල්ල ශ්‍රී නාග බෝධිද්‍රැමාරාධිපති ආචාර්ය හුණුවිල ජිනරතන හිමියෝ 1985 ජනවාරී මස 20 වෙනිදා “රිවිරැස” පත්‍රයට මා සමඟ පැවසුහ.

විජය කුමරුගේ හස්තග්‍රහයට පත් වු මේ සාර භූමියේ අගය වැඩි දියුණු කරලනු පිණිස පළමු මහ පියවර තැබුවේ බුද්ධ වර්ෂ 608 සිට 44 වසක් අනුරපුර රජසිරි විඳි වසභ මහ රජු ය. ලක්දිව පළමු මහවැව් බැඳි එර‍ජුගේ එකොළොස් මහ වැවින් සත්වැන්න පිටිගල් රට “කාළි වාපි” හෙවත් “කැළාවසා” බැව් ප්‍රකාශ වෙයි. (මහාවංශය, පන්තිස්වැනි පරිච්ඡේදය, අනුරාධපුර යුගය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාල මුද්‍රණය, දෙවැනි සංස්කරණය. 1965, පිටු අංක 272)

ඔහු පුත් වංකනාසික තිස්ස (බුන්නැහැපොළ) ද ඔහු පුත් පළමුවැනි ගජබාද යන තුන් රජුන් ම අවුරුදු 70 ක් පමණ කාලයක් එක දිගටම පිටිගල් රට සංවර්ධනය කිරීමෙහිලා නෙත සිත යොදා ක්‍රියා කළහ. මා ඔයේ කම්මල‍්තොට අසලින් මුහුදට වැටෙන ලංකාවේ එක්සිය එක්වැනි ජලධාරාව ලෙස සැලකෙන “කන්දෙපොළ ඔය” හෙවත් රත්මල් ඔය දඹදෙණි කටුගම්පළ රජදහන් අසලින් ඇරඹෙන කුඩා ඔයකි. මෙය හරස් කිරීමෙන් මසභගේ “කාලීවාපී” හෙවත් “කාලිවාස” මහවැව කර ඇත. අද මෙය වෙල්පල්ල - රාවිට (සඳ ලංකාව ප්‍රදේශයේ ය.) යක්දෙස්සාව , වැලි අමුණ , කන්දෙපොළ ආදී ගම්පුරා පිහිටි මහවෙල්යාය බවට පත් වී තිබෙන බව දර්ශනය වෙයි. දැඩි නියං කාලවල පවා නොසිඳෙන ගැඹුරු ගොහොර් මඩ පිරි ආවාට මෙම ප්‍රදේශයේ තිබෙන බව ව‍ාර්තා වෙයි.

සිය මුත්තණුවන් හා පිය රජුගේ වසර 50 ක් පමණ වු රාජ්‍ය කාලය තුළ ඇති වු නියඟ ආදියෙන් ලැබු අත්දැකීම් නිසා පළවෙනි ගජබා මහ රජු‍න් සිය “ නීල” නම් මහා යෝධයා ලවා මා ඔයේ ගිරිඋල්ලේ “යකාබැඳි ඇල්ල” නම් කලුගල් අමුණ බැඳ වු බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජනප්‍රවාදයකි. වත්මන් දුනාගහ (මීගමුව ප්‍රදේශයට ආසන්න) අසල ගොඩිගමුව ඔහුගේ ගම යැයි ද සැළකෙයි. තවත් කෙනෙකුගේ මතයට අනුව යකාබැඳි ඇල්ල කර වු මේ යෝධයා “නීල” ‍නොව ගෝඨයිම්බර නමැති යෝධයකි.

ඔවුන‍්ගේ ප්‍රකාශයට අනුව “මා ඔය” යනු ගෝඨයිම්බරයා උදැල්ල ඇදගෙන ගිය පාර යැයි පැවසේ.

කටුගම්පොළ ,ගිරිඋල්ලේ වත්මන් මත්තේගම දළනුල් කම්හල පිහි‍ටුවා තිබු භූමිය අසළ මා ඔයේ දෙගොඩම සම්බන්ධ කෙරෙමින් පිහිටි විස්මය ජනක කලුතලාවක් මත බැම්මකි.

එහි සිටැ “බල ඇල” නම් යෝධ ඇල මාර්ගයක් ඔස්සේ මාකඳුර මහ වැවට ජලය ගෙන එතැන් සිට ගෝනුල්ල, වෙල්පල්ල ඔස්සේ කාලිවාපියටත් ඉන් රත්මල් ඔය ඔස්සේ නාත්තන්ඩියටත් එහි සිට පසුව”ඕලන්ද ඇල” නමින් ප්‍රසිද්ධ වු පැරණි ඇලක් ඔස්සේ මාදම්පේ තිනිපිටි වැව ආදී පළ නොපළ ප්‍රදේශ ගණනාවක කෙත්වතු සරු කෙරෙමින් යකාබැඳි ඇල්ලෙන් ජලය ලබාගෙන සත්කෝරළය බත් ‍කෝරළයක් බවට පමුණුවනු ලැබිය.

පොළොන්නරු මහ පැරකුම්බා , දඹදෙණි මහ පැරකුම්බා , කෝට්ටේ සවැනි පැරකුම්බා, මාදම්පා තනිය වල්ලභ කුමරු ආදී බොහෝ රජදරුවන් යකාබැඳිඇල්ල මහත් ආදරයෙන් වැඩි දියුණු කරමින් ආරක්ෂා කර ඇත.

එදා සත් කෝරළය බත් කෝරළයක් කරවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වුයේ යකා බැඳි ඇල්ල මඟින් ලබා ගත් ජලය යොදා කෘෂිකර්ම කටයුතු නියැළීම පිණිස අවශ්‍ය කාය, චිත්ත ධෛර්යයෙන් යුත් සත්කෝරළ වීරයින් බිහිවීමයි.

සීතාවක යුගයේ දී සීතාවක රාජසිංහ රජු විසින් මහනුවර රාජධනිය සමඟ අති වු ගැටුම්වල දී මහනුවරට අයත් ආර්ථික ශක්තියෙන් හෙබි සත්කෝරළය දුබල කරනු පිණිස පි‍ටිගල් කෝරළය පාළු කරන අදහසින් මෙම යකාබැඳි ඇල්ල කැඩ වු බව වෙල්පල්ලේ පුරාණ විහාර පුස්තකාලයේ ඇති පරම්පරා පුස්තකයෙන් කියවේ.

රතැන් සිටැ සත්කෝරළය වචනයේ පරිසමාප්තාර්ථයෙන් මැ වන්නියක් බවට පත් විය.

මා ඔයේ (මහා කන්දර නදී) ජලය ප්‍රථමයෙන් ම රැස් කළ මහා කන්දවාපී( මහාකන්දර වැව) “මාකඳුර වැව”හා “මහ වී අමුණ” ඇතුළු අවට පරිසරය ගැන කියවෙන තවත් ජනප්‍රවාදයක් මෙසේය.

“මාකඳුර‍ට මහ වැව වාසනාවන් - වෑ උඩතට වියටුව වාසනාවන්

ගෝනුල්ලට ගල් ළඳ වාසනාවන් - “ගොඩිගමුවේ ගෝටා” වාසනාවන්”

මෙහි කියවෙන”ගොඩිගමුවේ ගෝටා” යනු යකා බැඳි ඇල්ල තැනවුයේ යැයි පුරාවෘත්ත මඟින් කියැවෙන ගෝඨයිම්බර යෝධයායි.

සීතාවක රාජසිංහ රජු විසින් යකාබැඳි ඇල්ල කැඩ වු පස‍ු වන්නියක් බවට පෙරළුණු සත්කෝරළය යළි නඟා සිටුවීමට “යකාබැදිඇල්ල වාර් මාර්ගය” පුනරුද්තාපනය කළ යුතු යැයි වරින් වර ඉල්ලීම් කොතෙකුත් ඉදිරිපත් වී තිබේ.

සත්කෝරළයේ ජනතාව වෙත යකාබැඳි ඇල්ල පුරාණ ව‍ාරික්‍රමය පුනරුත්ථාපනය කර දෙන්නේ නම් සත්කෝරළය නැවත බත්දුන් ‍‍‍කෝරළය බවට පරිවර්තනය කිරිමට හැකිවන්නේ යැයි සත් පුරුෂයෝ පවසති.

යකාබැඳි ඇල්ල සත්කෝරළය, අයියනායක,කුවේණි සහ සදලංකාව ගැන පුරාවෘත්ත ජනප්‍රවාද ඇතුළු ‍ඓතිහාසික තොරතුරු සපයා දෙමින් වර්ෂ 1981 සිට මා හට අතිශයින් ම උපකාර කළ උන් කිහිප දෙනෙක් ම සිටි හ. එතුමෝ සියල්ලෝ ම අද අපවත් වී, අභාවප්‍රාප්ත වී සිටිති.

නම් වශයෙන් එතුමන් මෙහි සඳහන් කරනුයේ කෘතඥතා පෙරදැරිවය.

1. සඳලංකාවේ ශාස්ත්‍රෝදය පරිවේණාධිපති පුජ්‍ය පණ්ඩිත ඊරියගොල්ලේ අභයතිස්ස නා හිමියෝ.

2. පුජ්‍ය ආචාර්ය හුණුවිල ජිනරතන හිමි.

3. සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ සිරිමතාණෝ.

4. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශාධිපති ව සිට පසුව එහි මැ භාෂා හා සංස්කෘති අධ්‍යයන අංශාධිපති මහාචාර්ය මහානාම කරුණරත්න සූරීහු

Comments