අර ළමයා එක්ක මොකක් නමුත් ප්‍රශ්න­යක් තියෙ­න­වද? | සිළුමිණ

අර ළමයා එක්ක මොකක් නමුත් ප්‍රශ්න­යක් තියෙ­න­වද?

අයියා, ගජබා කිසිවක් ඇසීමේ වුවමනාවෙන් පසුවුව ද, ඔහුට එය විමසීමට ධෛර්යයක් නොමැති සේය. ඔහු ජනේලයෙන් ඉවත බලා සිටින්නේ මීට ස්වල්ප වේලාවකට පෙර තමාගෙන් විමසීමට සූදානම් වූ කරුණ අමතක වූවාක් මෙනැයි ෆියෝනාට සිතිණ. ඇය ස්වේතා දෙස බැලුවාය. ස්වේතා ද මහත් උනන්දුවෙන් මෙන් බිත්තියේ එල්ලා

ඇති අම්මාගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපය දෙස බලා සිටියි. ෆියෝනාට දැනුණේ නොඉවසිලිමත් බවකි. මෙතැනින් වහා ඉවත් වී තම කාමරයට යාමට සිතුණද, අයියා මග හැර යාමට ද නොහැකිය.

“අයියා...”

ඇය ගජබාගේ මුහුණ දෙස සෘජුව බැලුවාය. ගජබා තිගැස්සුනාක් මෙන් ජනේලයෙන් එපිට නතරව තිබූ දෙනෙත් ඉන් මුදා ගත්තේය.

“අයියා දැන් මගෙන් මොකක්ද අහන්න ගියේ?”

“ඔයාගෙන්?”

“ඔව්. ප්‍රශ්නයක් අහන්න තියෙනවා කියලා කිව්වේ?”

“කිව්වා නම් තමයි. ඒත් ඕන නෑ කියලා හිතෙනවා. ”

ගජබා මඳ සිනාවක් පෑවේය.

“හිතේ කිසි දෙයක් ඉතුරු කර ගන්න ඕන නෑ. අහන්න.”

“ඔව් අහන්න. චූටි නංගි අනිත් උදවිය වගේ හිතේ දෙයක් තියාගෙන කතා කර කෙනෙක් නෙමෙයි. ”

ස්වේතා, ගජබා උනන්දු කිරීමට මෙන් පැවසුවාය.

“මං අහන්නෙ.... ඔයාට මුකුත් ප්‍රශ්නයක් එහෙම තියෙනවද? ”

මඳ වේලාවක් නිහඬව සිටි ගජබා ඇසුවේ ඔහු හිඳගෙන සිටි කවිච්චිය මතට හදිසියේම පැන ගත් බළලකුගේ හිස අත ගාමිනි.

“මෙයා කවුද?”

සිනාසුණු ෆියෝනා ඇසුවාය.

“දන්නෙ නැද්ද? පුංචි අප්පුහාමි මැරුණට පස්සෙම පූසො හදන්නෙ නෑ කිය කියා හිටි අම්මා ඔන්න කොහෙන්ද මේකව ගෙන්න ගත්ත ̈.”

“මෙයත් පුංචි අප්පුහාමි කෙනෙක්ද?”

“නෑ. අම්මා මෙයාට කියන්නෙ යාළු කියලා.”

“යාළු? යාළුගෙ මූණෙ නම් යාළු පාටක් නෑ. තරහ පාටයි.”

ෆියෝනා සිනාසුණාය. ඇය අනුව ගජබා සහ ස්වේතා ද සිනාසුණෙන් ඇගේ සිතට සැහැල්ලු බවක් දැනිණ.

“යාළු ඉන්නෙ පාළුවෙන්. අම්මා නැති වුණාට පස්සෙ කවුරු කන්න බොන්න දුන්නත් කන්නෙ නැහැ. මං අහගෙනයි පියවතී අඬ අඬා මෙයාට කවන්න පොවන්න හදනවා. ̃

“හිටියෙ බෝලයක් වගෙයි. දැන් ඔය කන්නෙ නැතිවම කෙට්ටු වෙලා. ”

“යාලූ... ”

ෆියෝනා සෙමෙන් කතා කළාය. යන්තමින් ඇසක් හැර බැලූ බළලා නැවතත් දෙනෙත් පියාගත්තේ තමාගේ නින්දට බාධා නොකරන්නැයි පවසන්නාක් මෙනි.

“මොකක්ද අයියා මගෙන් අහන්න ගියේ?”

“ඒකතමයි. මෙයා චූටි නංගිගෙ කුතුහලේ අවුස්සලා දැන් වෙන වෙන කතා වලට යනවා. ”

ස්වේතා චෝදනා කළාය.

“නෑ. මං මේ අහන්නෙ... ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?”

“මම? ”

ස්වේතා සිනාසුණාය.

“ඔව්. ඔයා තමයි. කවුරු ඔයාව පවුලෙන් අයින් කළත් මට ඒක කරන්න බැරි බව ඔයා දන්නවනෙ. කියන්න. විසඳුමක් දෙන්න පුළුවන් නම්...”

ගජබා වචන ගිල ගත්තේය.

“ඔව්. ප්‍රශ්න ගොඩක් තියෙනවා.”

“අන්න දැක්කද? ඒක තමයි මං ඔයාට කිව්වෙ.”

ස්වේතා පැවසුවේ ජයග්‍රාහී ලෙසිනි. අයියා කිසිවක් විමසීමට සැරසෙන්නේ ස්වේතාගේ වුවමනාවට වඩා විය යුතු යයි ෆියෝනා කල්පනා කළාය.

“මොනවද ප්‍රශ්න? ”

“මට අම්මා අන්තිම වතාවටවත් දකින්න හම්බ වුණේ නෑ. ඒක එකක්. එකට හැදිච්ච වැඩිච්ච මල්ලි, අක්කලා ඒ විතරක් නෙමෙයි පියවතිත් මාව මග අරිනවා. ඒකත් ප්‍රශ්නයක්. හැමෝම මා දිහා බලන්නෙ මේ ලෝකෙ හිතුවක්කාරකමට කසාද බැන්ද එකම ගෑනු ළමයා මං කියලා හිතාගෙන. මට ඒක ප්‍රශ්නයක්.”

“පිස්සි. අයියා අහන්නෙ ඒ ගැන නෙමෙයි.”

“එහෙනම්?”

“මං අහන්නෙ ඔයාට අර ළමයා එක්ක මොකක් නමුත් ප්‍රශ්නයක් තියෙනවද කියලයි.”

“අර ළමයා කිව්වෙ?”

“බිස්කට් ෆැක්ටරියෙ ළමයා එක්ක. ”

ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ. ඇය ඒ සිනාවෙන් යුතුවම පිළිතුරු දුන්නාය.

“අසාර් එක්ක? නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඇයි?”

“එයා ගෙදර නෑ නේද? ”

“කවුද කියන්නෙ? ”

“කියන්නෙ මම. චූටි නංගි හැම දෙයක්ම වහගෙන තනියම දුක් විඳින්න එපා. කවදා හරි මුළු ලෝකෙම ඔයාට

දොස් කියන්න ගනීවි. ”

“ඇයි? ”

“මොන වැරැද්ද කළත් පිරිමින්ට කිසිම කෙනෙක් දොස් කියන්නෙ නෑ. ඔයා හිතුවක්කාරයි. කවදා හරි ඔයාට

හැමෝම දොස් කියන්න නින්දා කරන්න පුළුවන්.”

“හේතුව? ”

“ඉන්දියාවෙ ගියා කිව්වෙ බිස්කට් ෆැක්ටරියෙ ළමයා එක්ක නෙමෙයි නේද?”

“නෑ.”

“ඇයි?”

“පොත ලියන්නෙ මං නම් මං ගියාම ඇති. තව කෙනෙක් මොකට කාලෙ නාස්ති කරනවද?”

ස්වේතාත්, අයියාත් මුහුණින් මුහුණ බලා ගන්නා අයුරු ෆියෝනා දුටුවාය.

“දෙන්නා අතරෙ අමනාපයක් නෑ? ”

“නෑ. ඇයි අපි අමනාප වෙන්නෙ? ”

“නම වෙනස් කළා වගේම ආගමත් වෙනස් කළාද?”

ෆියෝනා නිහඬව බිම බලා ගත්තාය. අයියා පමණක් නොව ස්වේතා ද මහත් කුතුහලයෙන් තම මුහුණ දෙස දෙස බලා සිටින අයුරු ඇයට පෙනිණ.

“අගෙයි.”

තම පිළිතුරක් බලාපොරොත්තුවෙන් ස්වල්ප වේලාවක් බලා සිටි අයියා පවසන හඬ ඇසිණ.

“ආගම මොකක් වුනත් හැම ආගමකින්ම කියන්නෙ වැරැදි කරන්නෙ නැතිව ඉන්න කියන එකයි. මම වැරැදි

කරන්නෙ නෑ. කාගෙවත් හිත රිද්දන්නෙ නෑ.”

“අක්කලා දැන ගත්තොත් චූටි කුමාරිව ගෙදරිනුත් එලවලා දාවි.”

“ඒකම තමයි මං කියන්නෙ. ”

“අක්කලා දෙන්නා හැම පෝයටම සිල් ගන්නවා. පන්සල් යනවා. දාන මාන දෙනවා. ඒත් කාටවත් වැරැද්දක් නැති මාව වැරැදිකාරයෙක් කරලා මගේ හිත රිද්දනවා.”

“චූටි කුමාරි වැරැද්දක් කළේ නෑ කියන්න බැහැනෙ. ̃

“ඇයි බැරි? මගේ හිත ගිය කෙනෙක් කසාද බඳින එක වැරැද්දක් වෙන්නෙ කොහොමද? එහෙමයි කියලා පවුලෙන් කොන් කරන එක හරිද? බුදු හාමුදුරුවො කියලා තියෙන්නෙ හතුරන්ටත් මෛත්‍රී කරන්න කියලා නෙමෙයිද? බුදු හාමුදුරුවො තමුන්ව මරන්න දේවදත්තටත් අනුකම්පා කළා. මෛත්‍රී කළා. මං මේ දේවල් කියන්න කැමැති නෑ. මට දොස් කියන්න ඉස්සර වෙලා ඔය දෙන්නා හිතන්න.”

“තරහා ගන්න එපා චූටි නංගි. අයියා ඔය දේවල් ඇහුවෙ ඔයාට උදව් කරන්න හිතාගෙන මිසක් වෙන දේකට නෙමෙයි.”

“මං දන්නවා. ඒත් අයියා අහපු දේට උත්තර කෙටියෙන් කියන්නම්. මං ඉන්නෙ සතුටෙන්. මට කිසිම ප්‍රශ්නයක් නෑ. එච්චරයි.”

සිනාසුණු අයියා ද නැගී සිටියේය. කිසිවක් විමසන්නට මෙන් ඉදිරියට දිව ආ පියවතී තමා දුටු සැනින් ආපසු හැරුනු අයුරු දුටු ෆියෝනාට ස්වේතාගේ මුහුණ දෙස බැලිණ.

“ඒ ගෑනිත් කුල ගෞරවය ඔළුව උඩ තියාගෙන ඉන්නෙ. ”

ස්වේතා පැවසුවේ තරහෙනි.

“චූටි නංගි ඔව්වා ගණන් ගන්න එපා. ”

“මම හෙට උදේ යන්න ඔන.”

“හෙට උදේ?”

ෆියෝනාගේ ජංගම දුරකතනය නාද වන්නට විය. දුරකතන තිරය දෙසට දෙනෙත් යොමු කළ තම හදවත මොහොතකට නතර වූවාක් මෙන් ඇයට දැනිණ. 

 

අදහස්