අගමැතිතුමාගේ ඒ ඉදිරිපත් වීම රටට වගකියන දේශපාලනයක් | සිළුමිණ

අගමැතිතුමාගේ ඒ ඉදිරිපත් වීම රටට වගකියන දේශපාලනයක්

 මහා බැංකුව තමන් යටතේ පවතින බැවින් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (නොවැම්බර් 30 වැනිදා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර, ඒ සම්බන්ධයෙන් හා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවකින් මෙය සැකසිණි.

බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් කෙරන පරීක්ෂණයට නොපැකිළිව සිය දායකත්වය ලබාදුන් අග්‍රාමාත්‍යවරයා ඉන් නොනැවතී පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවේ කිසියම් ප්‍රකාශයක් සිදු කළා. මේ සම්බන්ධයෙන් ඔබ ඉන්න ස්ථාවරය කුමක්ද?

එය අවශ්‍ය යෙන්ම කළ යුතු ප්‍රකාශයක්. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අග්‍රාමාත්‍යවරයකු කොමිසමක් ඉදිරියට ගොස් සාක්ෂි ලබා දුන්නා. මහා බැංකුව තිබෙන්නේ අගමැතිතුමා යටතේ. ඒනිසා පාර්ලිමේන්තුව තුළ මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්න අගමැතිතුමාට වගකීමක් තියෙනවා. මේ ප්‍රකාශය සිදු කිරීම මඟින් ඔහු ඉෂ්ට කළේ ඒ වගකීමයි. ඒ හරහා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න එතුමාට හැකි වුණා.

කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව කමිටුවක් පත්කර කෝප් කමිටුවෙන් එය විමසා ජනාධිපති කොමිසමේ නිගමන අනුව අධිකරණ ක්‍රමවේදයක් හරහා ඉදිරියට කටයුතු කළ හැකි තත්ත්වයකට පත්කිරීමට මෙම පාලන තන්ත්‍රයට හැකිවී තිබෙනවා. එතුමා පෙන්වා දුන්නා මීට ප්‍රථම තිබුණේ ඉතාම දූෂිත ක්‍රමවේදයක් බව. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. මේ වෙනස් කරන්න උත්සාහ ගන්නේ එය බව එතුමාගේ කතාවෙන් පැහැදිව ප්‍රකාශ වුණා. පසුගිය කාලයේ තිබුණු ක්‍රමවේදය අනුව ඍජුව පෞද්ගලිකව බැඳුම්කර ලබාදෙන්න ඔවුන් කටයුතු කර තිබුණා. නමුත් නිවැරදි ක්‍රමවේදය වන්නේ විවෘත්ත වෙන්දේසි ක්‍රමයක් හරහා බැඳුම්කර ලබාදීමයි. 2008 සිට 2014 දක්වා කාලය තුළ නිකුත් කළ බැඳුම්කරවලින් 90% ලබාදී තිබුණේ පුද්ගලික ඍජු ක්‍රමවේදයක් හරහායි. නමුත් ඊට අනුමැතියක් මුදල් මණ්ඩලය විසින් ලබා දී තිබුණේ නැහැ. මුදල් මණඩලයේ පැවති තීරණ තුනකුත් අගමැතිතුමා සභාගත කළා. ඒ අනුව 2008දී මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය වෙනකම් පෞද්ගලික ඍජු නිකුත් කිරීම් කරන්න පුළුවන්. ඒවා නිකුත් කරනව නම් සේවක අර්ථසාධක අරමුදල හරහා හෝ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල හරහා හෝ නැති නම් ජාතික ඉතිරි කිරිමේ බැංකුව හරහා කරන්න ඕන. එහි පවතින නිවැරදි ක්‍රමවේදය එයයි. නැති නම් විවෘත වෙන්දේසි ක්‍රමයට කරන්න ඕන. මේ එකක්වත් ඒ ආකාරයෙන් සිදු කර තිබුණේ නැහැ. මේ අනුව අපිට හිතන්න පුළුවන් ඔවුන්ගේ අභිමතය අනුව ප්‍රාථමික ගනුදෙනු කරුවන් වෙත ලබාදීමේ ක්‍රමවේදයක් පැවති බවට. ඒ අනුව කිසියම් අවභාවිතයක් සිදු වී ෙඇති බවට සංඥාවක් තියෙනවා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට යෝජනා කිරීමක් මේ ප්‍රකාශය හරහා අගමැතිතුමා කළා.

ඒ වගේම පසුගිය සමයේ මේ ආකාරයට යට ගැසූ අයතා ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමක් කරමින්, එහිදී වැරදි කර ඇති අයට නීත්‍යනූකූලව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් එතුමා සඳහන් කර සිටියා. නව දේශපාලන සංස්කෘතියකට ගමන් කරමින් සිටින මොහොතක මෙවැනි දේ ඉදිරියේදී ඇති නොවෙන්න මේ පිළිබඳව සොයාබලා කටයුතු කිරීමේ වැදගත් කමත් එතුමා එහිදී අවධාරණය කළා. තම පාලනයේ වුවත් වැරදි අඩුපාඩු පවතින බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ඒවා නිවැරදි කරගනිමින් නැවත එවැනි දේ සිදු නොවීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කළා. ඉතින් මෙය ඉතාම සාධනීය පියවරක් ලෙස දකින්න පුළුවන්.

බැඳුම්කර කොමිසම ඉදිරියට ආණ්ඩුවේ ප්‍රබලයින් යනකොට ඒ ගැන පැසසුම් සහගතව කතා කරන උදවියම ඒ අය කළ වැරදිවලට චූදිතයන් වී කොමිසම් හමුවට යන විට ඒවා දේශපාලන පලිගැනීම් ලෙස අර්ථ දක්වනවා. මේ පරස්පරය ඔබ දකින්නේ කොහොමද?

ඒ තර්කය මේ වන විටත් බිඳ වැටිල ඉවරයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කෝප් කමිටුවක් හරහා ජනාධිපති කොමිසමට ඇවිල්ලා අමාත්‍යවරු පැමිණ සාක්ෂි දීලා ඒවා විශ්ලේෂණය කරලා නිගමන ලබාදී තිබෙනවා. එය පැහැදිලිවම විනිවිධ භාවයෙන් සිදු වූ ක්‍රියාවලියක්. එතන ආණ්ඩු පක්ෂයේ අය හිටිය නම් ඒ ගැන සැකයක් හිතන්න ඉඩත් තිබුණා. නමුත් මෙතන එවැනි කිසිවක් සිදු වි නැහැ. කොටින්ම පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපතිත්වය දරන්නෙත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. එහෙම නම් ඉතාම පැහැදිලියි මෙතන එවැනි කිසිදු සැකයකට තුඩුදෙන යමක් සිදු වී නැති බව. ඇත්තෙන්ම මෙය නව දේශපාලනික සංස්කෘතියක් රටට හඳුන්වා දීමක්.

ඒ නිසා මේ දේශපාලන පළිගැනීමක් කියල ඒ අය කියනව නම් ඇත්තටම ඒ අය වැරදි කරල තියෙනවා. ඒ නිසයි කලින්ම මේ චෝදනා කරන්නේ. ඒ අය නිවැරදි නම් අගමැතිතුමා කළා වගේ බය නැතිව කොමිසම ඉදිරියේ සාක්ෂි දිය හැකියි. ඇයි ඒ අය නිවරදි නම් මේ විදියට හැංගෙන්නේ. අනික මේ හැම දෙයකටම දඬුවම් දෙන්නේ කොමිසමෙන් හෝ කමිටු මගින් නෙවෙයි. නිවැරදි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා. එමගින් තමයි තීරණය වන්නේ ඒ අය වැරදි කරුවන්ද නිවැරදි කරුවන්ද කියලා. ඒ නිසා මේ මොකක්ද වෙන්නේ කියලා ඉතාම පැහැදිලියි.

පසුගිය කාලයේ අයතා ගනුදෙනු සිදු කළා යැයි චෝදනා ලැබූ බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මගින් නිදහස් කරනවා. මෙහෙම සිද්ධ වෙන්නෙ මේ අය එකතුවෙලා ආණ්ඩුව එක්ක ඩීල් දාලා ද? එතකොට ජනතාව විදියට අපිද රැවටිලා ඉන්නෙ කියල ඔවුන් තුළ පශ්චාත්තාපයක් තිබෙනවා?

එ.ජා.පයට කිසිම එක්කෙනෙක් එක්ක කිසිම ඩීල් එකක් නැහැ. මම ඒක පැහැදිලිව කියනවා. අපි මොකටද චූදිතයන් ආරක්ෂා කරන්නේ. අපිට තියෙන වාසිය මොකක්ද ඒකෙන්. එහෙම කළොත් ඒක අනෙක් අයට වඩා අපිටයි අවාසි. අපේ පාක්ෂිකයින් අපිට කියන්නෙ සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම අධිකරණ මාර්ගයට ඉඩදෙන්න කියලයි. මේ ක්‍රියාවලිය හැමෝම බලාපොරොත්තුවෙච්ච ආකාරයට වඩා සෙ‍ෙමන් සිදුවෙනවානම් නම්, ඊට පිළිතුරු දෙන්න ඕන අධිකරණය. ඒ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්. උසාවියට ගෙනැවිත් ඒ අයව ප්‍රශ්න කරල ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම ඔවුන්ගේ කාර්යයක්. ඒවාට මැදිහත් වෙන්න අපි යන්නේ නැහැ. එහෙම කළොත් ඒක දේශපාලන ඇඟිලි ගැසීමක් වෙනවා. අපිට කමක් නැහැ කවුරු වුණත් අපේ පක්ෂයේ අය වුණත් වැරදි කරල තියෙනව නම් උසාවියට ගේන්න. විභාග කරන්න දඬුවම් දෙන්න. හැම දෙනාම නීතියේ අධිපත්‍යයට යටත් වෙන්න ඕන කියන ස්ථාවරයේ අපි ඉන්නේ. එනිසා මේ ප්‍රමාදය අපේ කරපිට ගහන්න එපා කියල මම කියනවා. මොකද මේ දෙවල් ප්‍රමාද කරන්න කිසිම හේතුවක් අපට නැහැ. අපිට හන්ගන්න දේකුත් නැහැ.

ලෝකයේ අනෙකුත් රටවල දේශපාලනඥයින් තමන්ට යම් චෝදනා එල්ලවෙද්දි ඔවුන් ඒ කටයුතුවලට බලපෑමක් නොවන ආකාරයට සිය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. නමුත් ලංකාවේ අපි තාම එවැනි අවංක දේශපාලනඥයින් දකින්නේ නැහැ. අපේ දේශපාලන සදාචාරය පිළිබඳව ඔබ හිතන්නෙ කොහොමද?

අපේ රටේ දේශපාලන සදාචාරය කියන දේ බොහෝම දූෂිත මට්ටමක පැවතුණා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා තමයි මේ රටේ ඡන්ද දායකයින් 2015දී අපට ඡන්දය ලබාදුන්නේ. දීර්ඝකාලීනව දූෂිත දේශපාලන සංස්කෘතියක් පැවති රටක ඒ තත්ත්වය අවුරුද්දකින් දෙකකින් නිවැරදි කරන්න අමාරුයි. නමුත් හරි මාර්ගයට අපි මේ වන විට වැටිල ඉන්නේ. මේ සමාජය ශුද්ධ කරන්න වෙන්නේ තමන්ගේ නිවසින්මයි. අපි පක්ෂය තුළින්ම එවැනි ක්‍රියාමාර්ග අරගෙන පූර්වාදර්ශයක් රටට ලබාදී තිබෙනවා. අපි අපේ නිවසින් පටන්ගත්තනේ. දැන් තියෙන්නේ අල්ලපු නිවසත් සුද්ද කරන එකයි. එතකොට කාටවත් කියන්න බැහැ තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලය ඉවත් කරගන්නෙ නැතිව අනිත් අයගෙ ඇහේ තියෙන පොල් කෙන්ද ඉවත් කරන්න හදනවා කියල. පාර්ලිමේන්තුවේ මේ ගෙවීයන වසර පහ කියන්නේ එක්තරා ආකාරයකට පරිවර්තනීය කාල පරිච්ඡේදයක්. ඉතින් මේ පරිවර්තන කාලය බොහොම දුෂ්කර කටුක මාර්ගයක්. අපි මේ ගමන් කරමින් ඉන්නේ ඒ මාර්ගයේ. නමුත් අපිට විශ්වාසයි මොනදේ සිදුවෙමින් තිබුණත් මේ යන්නේ හරි පාරට කියලා. කවදාවත් නොවූ ආකාරයට චෝදනා එල්ලවන අමාත්‍යවරු ඉල්ලා අස්වෙනවා. මන්ත්‍රීවරු ඇමතිවරු ප්‍රශ්න කරනවා. අත් අඩංගුවට ගන්නවා. අධිකරණයේ පෙනී සිටිනවා. සාක්ෂි දෙනවා. ඉතිරි වී තිබෙන්නේ අධිකරණය මාර්ගයෙන් ඒ අයට දඬුවම් පැමිණ වීම පමණයි. එය අධිකරණයට අයිති කාරණයක්. ඉතිං ඔබ අහපු ප්‍රශ්නයට ආපිට අපි ආවොත් ඔව්, කලින් ලංකාව කියන්නේ ඔබ කියූ ආකාරයේ දේශපාලන සදාචාරය නොමැති දූෂිත මට්ටමක පැවති තැනක්. අපි ඒ තත්ත්වය පූර්වාදර්ශ සපයමින් අවසන් කරමින් තිබෙනවා. නමුත් මේ දේවල් එක රැයින් වෙනස් වෙන්නේ නැහ. අපේ අඩුපාඩුකම් හදාගෙන මේ ක්‍රියාමාර්ගය තව ඉදිරියට යනකොට මේ අළුත් දේශපාලන සංස්කෘතිය කාටත් හොඳින් අවබෝධ වේවි. මේ රටේ පුරවැසියන් ඒ පිළිබඳ විශ්වාසයෙන් සිටින්න කියලා මම ආයාචනය කරනවා. මොකද දැන් මේක හරිමාර්ගයේ යන්නේ. එනිසා මේ මාර්ගයේ තව දුර යනකොට මේ රටට හොඳ කාලයක් උදාවෙන බව ඉස්ථීරවම කියන්න පුළුවන්.

සාකච්ඡා කළේ-රසික කොටුදුරගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.