කාන්තා සංවිධානවලට ලැජ්ජා නැද්ද? | සිළුමිණ

කාන්තා සංවිධානවලට ලැජ්ජා නැද්ද?

 රුපියල් හැටදහසක බැංකු ණයක් ගෙවා ගත නොහැකිව අසරණ වූ එක්දරු මවක් බන්ධනාගාර ගත වූ පුවතක් පසුගිය දා ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරය විය. සැමියා හැර ගොස් ඇති ඈ කුඩා පිරිමි දරුවකු සමග අසරණව දිවි ගෙවන අතර තම වයෝවෘද්ධ මව ද ජීවත් වන්නේ ඇගේ හවුහරණෙනි. එසේ අසරණව දිවි ගෙවන ඈ වැසිකිළිය හා ළිඳ තනා ගැනීම සදහා බැංකු ණයක් ලබාගෙන ඇති අතර එම ණයෙන් රුපියල් 60,000ක ඉතිරිය ගෙවා ගන්නට නොහැකිවීම නිසා බැංකුව මගින් අධිකරණය හමුවේ නඩු පවරා ඇත. අවසන ඒ නිසා ඈ බන්ධනාගාර ගත විය.

ඒ නිසා ඇගේ කුඩා පිරිමි දරුවා ද වයෝවෘද්ධ මව ද මහත් පීඩාවට පත් වූ අතර කුඩා දරුවා නිදා ගන්නට යන සෑම විටම මව ගැන සිහිපත් කරමින් අඬන බව ආච්චි අම්මා විසින් පවසන අයුරු කම්පනයට හේතුවක් විය. ඒ දරුවා මවගේ රූපය චිත්‍රයට නගමින් ඉල්ලා සිටියේ මව් සෙනහස ලබාදීමට මැදිහත් වන ලෙස ය. ඒ ඉල්ලීම නෙතට කඳුලක් උනන සුළු වූ අතර ඒ නිසා ළයෙහි තෙතමනයක් ඇති නොවූයේ නම් ඒ අශ්ලීල මිනිසෙකුගේ විය යුතුය. එහෙත් ජාතික රූපවාහිනියේ උක්ත පුවත ප්‍රචාරය වී සුළු මොහොතකින් ණය මුදලේ ඉතිරිය ගෙවා දරුවාගේ මව බන්ධනාගාරයෙන් එළියට ගන්නට මේ සමාජයේම මිනිස්සු ඉදිරිපත් වූහ. ඊට පසු දා ජාතික රූපවාහියේ පෙන්වූයේ තම මව බන්ධනාගාරයෙන් නිදහස් වී නිවසට පැමිණෙන විට උණුසුම්ව ඈට තුරුළු වී මව් සෙනෙහස ලබන කුඩා දරුවා ය.

මෙවැනි සිදුවීම් සිදුවන සමාජයක ජීවත්වන්නට ලැබීම ගැන අප අපම ලැජ්ජා විය යුතුය. ඊට හේතුව වන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් වංචා කරන සැබෑ සොරු ක්ෂණිකව ඇප ලැබ නිවසට යන අන්දමත් තමන් කරන ලද වංචාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමෙන් වළක්වා ගැනීමේ අධිකරණ නියෝග ලබා ගන්නා අන්දමත් අපට නිතර දකින්නට සිදුව තිබෙන නිසා ය. ඒ හොරු රාජයේ දේපළ කොල්ල කන්නේ ජීවත් වන්නට එදා වේල සොයා ගන්නට නොහැකි නිසා නොවේ. ඒ එක්කෝ එංගලන්තයේ සුව පහසු පෙදෙසක මාළිගාවක් මිලට ගැනීමට ය. නැත්නම් දියුණු එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලැබ යන්නට ය. නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඇපල් වත්තක් තම පුත්‍රයාට මිල දී ගෙන දීමට ය. එහෙත් ඒ සැබෑ හොරු නීතියේ සිදුරු වලින් ගැලවී යෑම නිතර සිදුවන ක්‍රියාවකි.

ගමේ අසරණ මනුස්සයෙක් බැංකු ණයක් ලබා ගන්නේ අහස ඇල්ලීමට නොවේ. ඒ එක්කෝ එදිනෙදා ජීවන අරගලයට ශක්තියක් ලබා ගැනීමට ය. එහෙමත් නැත්නම් වාසය කරන අතු පැළ ශක්තිමත්ව අටවා ගැනීමට ය. එහෙව් මනුස්සයකුට අතපසුවීමක් වූ සැනෙන් අධිකරණයට තල්ලු කරන්නට තරම් මේ රටේ බැංකු අශ්ලීල වීම දරුණු අපරාධයකි. ඒ ඔවුන්ගේ බියසුළු කමේත් අමනුස්සකමේත් ප්‍රතිමූර්තියකි. ඔවුන්ගේ ඒ "චණ්ඩිකම්" මොනර කොල ඉදිරියේ නිවට ලෙස පසු බසින අතර දුප්පතකු දුටු විට එළව එළවා පහර දේ. එහෙත් ඔවුන් යැපෙන්නේ මේ රටේ දිළිදු පන්තිය ඉතිරි කිරීම් සදහා බැංකු වල තැන්පත් කරන තුට්ටුවේ පිහිටෙනි.

කාන්තාවන් රැක ගැනීම සඳහා කාන්තා අමාත්‍යාංශ ද කාන්තා කාර්යාංශ ද වේ. ඊටත් එහා යමින් කාන්තාවන් රැක ගැනීම සඳහා වූ අට අනූවක් රාජ්‍ය නොවන සංවිධාන වේ. එහෙත් ලාංකික සමාජයේ කාන්තාව සවිබල ගැන්වීම කොළඹ කේන්ද්‍රීය මැද පාන්තික හා ඉංග්‍රීසි කතා කරන සමාජ පන්තියේ උග්‍ර සටනකි. නමුත් ලාංකික කාන්තාව නිතරම ලක් වන්නේ සමාජ අසාධාරණයට ය. ඒ සමාජ අසාධාරණය රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන කාන්තාවන් සඳහා වූ ආයතනයන්ගේ පැවැත්ම සඳහා පමණක් ක්‍රියා කරයි. ඒ ආයතන ව්‍යුහය ලෙස පවතින්නේ හිඟන්නාගේ තුවාලය අන්දමින් කාන්තා ප්‍රශ්න විකුණාගෙන කෑමට ය.

ලාංකික සමාජයේ කාන්තාව සවිබල ගැන්වීමේ දී ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නොවන සංවිධානයන් දක්වන්නේ අසමත් ක්‍රියාවලියකි. රාජ්‍ය සංවිධාන ද කරගහ ගෙන ඇත්තේ මේ අසමත් රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ක්‍රියාවලියමය. විදේශයන්ගෙන් එන ඩොලර් තම වසගයට ගැනීම සඳහා කුමක් හෝ ව්‍යාපෘති වාර්තාවකින් කාන්තාවන් සවිබල ගැන්වීම කොළඹ මැද පන්තියේ හා ඉංග්‍රීසි කතා කරන පන්තියේ දින චර්යාවට අවශ්‍ය ශාරීරික ව්‍යායාමයක් පමණි. ඉන් ඔබ්බට එමගින් කිසිම කාර්යයක් සිදු නොවන අතර ලාංකික කාන්තාවන් සමාජය තුළ ශක්තිමත් කිරීමට ද කිසිම දායකත්වයක් නොදරයි.

ලාංකික කාන්තාව ආර්ථික වශයෙන් ද සමාජීය වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද සිරවී ඇත්තේ පවතින ක්‍රමයේම දඬු අඬුවට ය. ඒ පීඩනය කිසිම ලෙසකින් පවතින ක්‍රමයෙන් පරිබාහිර මැදිහත්වීමක ප්‍රතිඵලයක් නොවේ. එනිසා ඊට විසඳුම් සෙවිය යුත්තේ ද පවතින ක්‍රියාවලිය සමස්තයක් ලෙස ගෙනය. ඒ සදහා රාජ්‍ය නොවන කාන්තා සංවිධානයන්ට ඇත්තේ සීමිත හැකියාවකි. ඒ සීමිත හැකියාවැති වැඩපිළිවෙලම රජය මගින් ද කර පින්නා ගැනීම රජයේ ව්‍යුහය ද සීමිත හා ලඝු කර ගැනීමකි. එහෙත් මේ රටේ කාන්තාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය එවැනි සීමිත හා ලඝු ක්‍රියාවලියක් තුළ ඕනෑකමින්ම සිර කරගෙන ඇත.

එමගින් ගැලවීමට නම් කාන්තාව පළමුව රාජ්‍ය නොවන කාන්තා සංවිධාන ක්‍රියාවලියෙන් ගලවා ගත යුතු අතර දෙවැනිව සමාජ අරගලය තුළ කාන්තා විමුක්තිය සදහා ද ශක්තිමත් අවකාශයක් වෙන් කළ යුතුය.

අබරන් 

අදහස්