මොහොතකට වත් අමතක නොකළ යුතු ඩෙංගු මාරයා | සිළුමිණ

මොහොතකට වත් අමතක නොකළ යුතු ඩෙංගු මාරයා

වැඩි ම ඩෙංගු අවදානමට ලක් වූ ආසියානු රට ශ්‍රී ලංකාව බවට වාර්තා වූයේ නේවාසික ප්‍රතිකාර සඳහා දිනකට රෝහල්වලට ඇතුළත් කළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7000 ඉක්මවමිනි. පසුගිය ජූලි මාසයේ වාර්තා වූ මේ ගණන 900 දක්වා අඩු කරගැනීමට හැකි තරමට ඩෙංගු කෙරෙහි දැක්වූ ජනතා අවධානය හේතු විණි. එහෙත් මේ වන විට එම සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇත. එනම්: නැවත ඩෙංගු පැතිර-යමින් පවතී. එයින් පැහැදිලි වන්නේ ඩෙංගු කෙරෙහි නිරන්තර ව තබා ගත යුතු ජනතා අවධානය නැවත ගිලිහෙමින් ඇති බව යි. ඩෙංගු මාරායාට බිලි නොවී සිටින්නට හැකි වන්නේ ඒ ගැන හැම විට ම අවධානයෙන් සිට ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීමට පියවර ගැනීම මඟින් මිස, ප්‍රතිකාර සඳහා රෝහල් කරා ඇදී යෑමෙන් නො වේ. මාරාන්තික ඩෙංගු වසංගතයෙන් බේරෙන්ට හැකි හොඳ ම මඟ තම-තමන් පෞද්ගලික ව ම සෑම තැනක් ම පිරිසුදු ව තබා ගැනීමට සැම මොහොතක ම අවධානයෙන් සිටීම යි. එය තරාතිරමක් නැති ව සමස්ත සමාජයට ම පැවරෙන වගකීමකි.

සියලු වැරදි හා වගකීම් අනෙකා පිට පැටවීමේ අප සතු පුරුද්ද ඩෙංගු වසංගතය පැතිරෙන්නට ද බලපාන බවත්, තම-තමන් ඒ ගැන පෞද්ගලික ව ම අවධානයට ගෙන මදුරුවන් බෝ වීම වැළැක්වීමට පියවර ගන්නා තරමට මේ මාරාන්තික රෝගයෙන් බේරෙන්නට හැකි බවත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩු වැඩි වීම මඟින් පැහැදිලි වෙයි. මෙය සෞඛ්‍ය බලධරයන්ට පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවන බව ද එයින් කියැවෙයි. තම-තමන්ට ආවේණික හුරු-පුරුදු පවා මේ වසංගතය පැතිරීමට මහත් සේ උපකාරි වන බැවිනි. කුණු-කසළ නිසි පරිදි බැහැර කිරීම පමණක් මෙහි දී ප්‍රමාණවත් නොවන්නේ, පිරිසුදු වතුරේ පවා ඩෙංගු මදුරුවා බෝ වන බැවිනි. කලකට ඉහත මේ රෝගයට දරුණු ලෙස ගොදුරු වූ කියුබාව එයින් නිරුපද්‍රැත වන්නේ ඩෙංගු ගැන අවධානය ගිලිහෙන ජනතාවට දැඩි දඬුවම්වලට පමුණුවමිනි. ඩෙංගු වැනි වසංගතවලට සාර්ථකව මුහුණ දිය හැකි වන්නේ ඒ කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටීමෙන් ම බව එයින් ද පැහැදිලි වෙයි.

ඩෙංගු වසංතගය පොදු ව්‍යසනයක් සේ පෙනුණත් ඊට පැහැදිලි ව ම අප සතු පුරුදු හෝ වැරදි භාවිතයන් හෝ අවධානය ගිලිහීම හෝ වැනි කාරුණු හේතු වෙයි. තමන්ගෙන් සිදු වූ අතපසු වීම ආපසු ඩෙංගු ලෙස කැරකී ආ විට, එය තමන් වග නොකියන පොදු ව්‍යසනයක් සේ තවෙකකු පිට වගකීම පවරන පුරුද්ද පෙරට ගැනීම වහා වෙනස් කළ යුතු ව ඇත. ඩෙංගු බෝ වීමට වැසි සමය බලපාන නමුත් ඒ ගැන අවධානයෙන් නොසිටීම වගකීම මඟහරින, තමන් අතින් සිදු වන වරදකි. එකී වරද නිවැරදි කර ගත් විට ලැබෙන ප්‍රතිඵලය ජූලි මාසයේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ගණන 80%කින් පමණ පහළ දමා ගැනීමට හැකි වීමෙන් පෙන්වයි. අවධානයේ වගකීම පැහැර නොහැරීම ව්‍යසන වළක්වා ගත හැකි සාර්ථක පියවරක් බව අනෙක් අතට එයින් කියැවෙන පාඩම යි.

මේ වන විට රට පුරා රෝහල්ගත ව සිටින ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 175,000ක් පමණ වන බව වාර්තා වේ. වැඩි ම ගණන වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. අධික ජනගහනය, කාර්යබහුල කාලසටහන, ඉවත-ලන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ ප්‍රතිශතයක් ගැනීම වැනි හේතු මෙහිදී ඉදිරිපත් කළ හැකි වුව ද, පෞද්ගලිකව ම අවධානය යොමු කළ යුතු වන්නේ ද ඒ විශේෂතා ගැන යි. බස්නාහිර පළාතේ ඩෙංගු ප්‍රතිශතය වැඩි වීම කෙරෙහි පළාතට ආවේණික විශේෂ කාරණ බලපායි නම් ඒ සාධක හඳුනාගෙන මදුරුවාට ඉඩ නොතැබීම ගැන තම-තමන් පෞද්ගලික ව ම සිතා බැලිය යුතු ය; ඒ අනුව ක්‍රියා කළ යුතුය.

ඩෙංගු මාරයාගෙන් පමණක් නො ව, එවැනි සෑම ව්‍යසනයකින් ම ගැලවීමට හැකි පළමු මඟ එවැනි දේට තම-තමන් පෞද්ගලික ව දරන දායකත්වයෙන් වැළකී සිටීම යි. ඩෙංගු වසංගතයට දැන හෝ නොදැන හෝ අප දක්වන අනුග්‍රහය අත්හිටුවීමට ඒ කෙරෙහි දක්වන අවධානය නිරන්තර ව ම තබා ගත යුතු වේ.

ඩෙංගු වසංගතයේ සිට සැම දේට ම දේශපාලනයට බැණ-වදින අප ම ඊට මඟ පාදා දීමේ වරද ගැන අවධානයට ගන්නේ නම්, ඒ වරද නිවැරදි කරන්නට උත්සාහයක් ගන්නේ නම්, අප ගොදුරු වන බොහෝ ව්‍යසනවලින් අපට බේරෙන්නට හැකිය.

එළඹ ඇති ඡන්ද කාලයේ මෙන් ම මේ වැසි සමයේ දී වත් සිදු විය හැකි ව්‍යසනය ගැන මොහොතකට වත් අවධානය ගිලිහෙන්නට ඉඩ නොතබමු. 

Comments