උඩරට කඳුකරයේ සැබෑ මිහිර විඳින්න රාජ්‍ය වැවිලි සංස්ථා නිල නිවෙස් වෙත එන්න | සිළුමිණ

උඩරට කඳුකරයේ සැබෑ මිහිර විඳින්න රාජ්‍ය වැවිලි සංස්ථා නිල නිවෙස් වෙත එන්න

 වසරාවසාන නිවාඩුව අත ළඟයි. අවුරුද්ද පුරාම දරුවන්ගේ පාසල්වල, කාර්යාලයේ මෙන් ම ගේ දොර වැඩපොළත් එක්ක ඔට්ටු වෙන ඔබ ගතේ සිතේ විඩාව නිවාගන්නට දුර බැහැර සොඳුරු ඉසව්වකට ගිහින් නිවාඩු පාඩුවේ ඉන්නට සිතා සිටිනවා වෙන්න පුළුවන්. හැමදාම යන එන සුපුරුදු සංචාරක ගමනාන්ත වෙනුවට තවමත් වැඩි දෙනාගේ අවධානයට පාත්‍ර නොවුණු සුන්දර නිස්කලංක මනරංජනීය ඉසව් කිහිපයක් ගැන ඔබට පවසන්න මෙවර අප සූදානම්.

හැමදාම යන හෝටල් වෙනුවට අතීතයේ සුදු ජාතිකයන් පරිහරණය කළ සුව පහසු වතු බංගලා කිහිපයක් ගැනයි මේ හෝඩුවාව. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් සරුසාර තේවතු යාය මැද පිහිටි සුවපහසු වතු අධිකාරි නිල නිවාස කිහිපයක් දැන් දෙස් විදෙස් සංචාරකයන් සඳහා කුලී පදනම මත ලබාදීමට සංස්ථාවේ සභාපති තිලක් මහානාම මහතා කටයුතු යොදා ඇත්තේ එමඟින් පාඩු ලබමින් පැවැති වැවිලි සංස්ථාවට අමතර ආදායම් මාර්ගයක් සකස් කර දීමේ අදහසින්. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කොටගඟ, කැලෑබොක්ක සහ ගල්පීල්ල යන තේවතුවලට අයත් නිල නිවාස තුනක් දැන් සංචාරකයන් සඳහා විවෘත කර තිබෙනවා.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 61 ක් දුරින් පිහිටි කොටගඟ වතුයායේ බර්න්සයිඩ් කොටසේ පිහිටි වතු අධිකාරි බංගලාව ඉන් එකක්. තෙල්දෙණිය රංගල පාරේ රංගල නගරයේ සිට කිලෝ මීටර් හතක් පැමිණි පසු හමුවන කොටගඟ වතු යාය හෙක්ටයාර් 415 ක වපසරියකින් යුක්තයි. එහි බර්න්සයිඩ් කොටසේ පිහිටි වතු අධිකාරි නිල නිවාසය දැන් දෙස් විදෙස් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් සඳහා ලබා ගැනීමට පුළුවන්. එංගලන්ත ජාතික පාලකයන් විසින් ඉදිකරන ලද අලංකාර සුවපහසු නිවාසයක් වන මෙහි සුවපහසු විශාල කාමර තුනක් ගිනි උදුනක් සහිත සුවපහසු ආලින්දයක් උණුවතුර පහසුකම් සහිත යාබද නානකාමර, කෑම කාමර මුළුතැන්ගේ, රථගාල ඇතුළු සියලු අංගසම්පූර්ණයි. බංගලාවෙහි එකවර පහළොවකට පමණ පහසුවෙන්ම නවාතැන් ගත හැකි ය. සම්පූර්ණ බංගලාවම දිනකට රුපියල් 15,000 බැගින් කුලියට දෙනු ලැබේ. මෙහි නවාතැන් ගන්නන්ට අවශ්‍ය ආහාර පාන සකස් කර දීම සඳහා දක්ෂ පළපුරුදු කෝකීන් සහ අමතර සේවකයෝ ද වෙති. ඔබට අවශ්‍ය ආහාරපාන සිතැඟි පරිදි සකස් කරවාගැනීමට නම් ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ යන විට එහි රැගෙන ය‍ෑම හෝ මුදල් දී ඔවුන් ලවා ගෙන්වා ගැනීම ද කළ හැකි ය.

නිල්ල නිලන සුන්දර තේ යාය මැද පිහිටි කඳු ගැටයක් මත ඉඳි කළ බර්න්සයිඩ් බංගලා භූමිය නෙක වන් මලින් පලින් බරවූ තුරුලතාවන්ගෙන් සුසැඳි මනරම් ගෙවුයනකි. නාගරික කලබලයෙන් විඩාවට පත්වූ ඔබේ ගත සිත එහි අසිරියෙන් හා නිසල බවින් නිවී සැනැහී යනු නිසැකය. අවට කඳු වැටි සිප හමා එන සිසිල් මද නළ ගත දවාලන දාහය නිවාලයි. හිමිදිරි උදෑසන මෙන් ම හිරු බැස යන සන්ධ්‍යාවේ ද දැ‍ෙනන හීතල නිතැතින් ම ඔබ සිතින් නුවරඑළිය හෝ ශීත කඳුකරය කරා ගෙන යයි.

හිමිදිරියේ මෙන් ම සැන්දෑ යාමයට කල එළි බසින වැලි මුවන්, මී මින්නන්, ගෝණුන්, දිවියන්, හාවුන්, ඉත්තෑවන්, ඌරන්, රිළවුන් හා ආවේණික පක්ෂීන්ගෙන් ද අවට පරිසරය කලබලයට පත් වෙයි. සතුන් දැක බලා ගන්නට එළි පෙහෙළියට යන්නේ නම් බංගලාවේ මුරකරු හෝ මග තොට හඳුනන මග පෙන්වන්නකු ගේ සහය ලබා ගැනීම වඩාත් සුදුසු ය.

බර්න්සයිඩ් වතු යායෙහි විශේෂත්වය වන්නේ දෙවැනි ලෝක යුද සමයෙහි තේ ඇටවලින් ‍රෝපණය කරන ලද තේ ගස් තවමත් එහි දක්නට ලැබීම ය. වතුයායේ ඉහළට කැලේ මැදින් ඇවිද ගිය විට හමු වන කෝබර්ස් ගැප් නම් ස්ථානය වෙන ළඟා වූ කල පහත මිටියාවත්හි දිස්වන දසුන් මනරම් ය. හුළු ග‍ඟේ අතු ගංගාවක් වන හීල් ඔය වතුයාය පාමුලින් ගලා බසී. බංගලාවට පහළින් වැටුණු අඩි පාර ඔස්සේ බැස ගිය කළ හමුවන කළුදිය වළෙහි සීතල සුනිල දිය දහරෙහි පහස විඳිමින් දිය බුං ගසන්නට අකැමැති වන්නේ කවුද? ගල් වැටිවලින් ආවරණය වී තැනුණු කළුදිය වළ වනයෙහි සැඟවුණු ස්වාභාවික පිහිනුම් තටාකයක් වැන්න. හීල් ඔය ඇරැඹෙන්නේ තංගප්පුව කඳු වැටියෙනි. එහි සිට ඇරැඹෙන ගිරිඳි ඇල්ල ස්ථාන හතකින් ගලා හැලෙන මනරම් දිය ඇල්ලකි.

සිංහලයේ අවසන් රජතුමා ව‍ූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍ර‍ීසීන්ගෙන් බේරෙන්නට සැඟව සිටි බව කියැවෙන්නේ තංගප්පුවේය. තංගප්පුව කොටගඟ වතුයායෙහි එක් සීමාවක් සලකුණු කරන අතර හඳුනා නොගත් නටබුන් හා ජනප්‍රවාද රැසක් තවමත් ශේෂව පවතින පිටිසර ගම්මානයකි. නකල්ස් රක්ෂිතයට අයත් කොට‍ගඟ වතු යායේ සිට මීමුරයට ඇත්තේ කිලෝමීටර් 20 ක දුරකි. ලෝකයේ පිරිසුදුම සහ හොඳම තත්ත්වයේ පානීය ජලය හමුවන්නේ මේ ප්‍රදේශයෙන් යැයි කියැවේ. 2010 වසරේදී නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් බවට පත් වුණු අතර රක්ෂිතයට ආවේණික ගස්වැල්, දුලබ ගණයේ මීවන පැළෑටි සතුන් හා පක්ෂ‍ීන් වර්ග ආසන්නව පිහිටි කොටගඟ හා තංගප්පුව වැනි ප්‍රදේශවලදීද දැක ගත හැකි ය.

රාවණ රජු ගොඩ බට යානය පතින කළ භූමිය ලෙස ජනප්‍රවාදයෙහි කියැවෙන සුන්දර පිටවල පතනට (Riverston) ගල්පිහිල්ල කැලෑබොක්ක වතුයාය හරහා කිලෝමීටර් 80 ක් ගමන් කිරීමෙන් ළඟා විය හැකි ය. පරිසර ලෝලී ගවේශණාත්මක සංචාරකයන්ට බර්න්සයිඩ්, ගල්පිහිල්ල හෝ කැලෑබොක්ක වතු බංගලාවල සිට පැය දෙකක් වැනි කාලයකින් පිටවල පතන වැනි ස්ථානවලට ළඟා වන්නට හැකි වේ.

සංස්ථාවට අයත් තවත් විශාලතම වතු යායකි. ගල්පිහිල්ල රාජ්‍ය වතුයාය. අක්කර 1300 ක වපසරියකින් යුතු ගල්පිහිල්ල වතු යායෙහි තේ වගාව සඳහා අක්කර 700 ක් වෙන් කර තිබේ. ලංකාවට තේ වගාව හඳුන්වා දෙන්නට පෙර ඉංග්‍රීසි ජාතිකයෝ ‍උඩරට වතුවල කෝපි වගා කළෝ ය. ඒ අනුව ගල්පිහිල්ල වතුයායේ ද මුලින් ම වගා කරන ලද්දේ කෝපි ය. ඒ 1902 වසරේදී ය. අනතුරුව රබර් වගා කොට එය අසාර්ථක ව‍‍ූ කල තේ වගාව අරඹා ඇති බව වාර්තා වෙතැයි ගල්පිහිල්ල වතු යායේ වතු අධිකාරි සුජීව තෙන්නකෝන් මහතා පවසයි. ගල්පිහිල්ල වත්තේ අධිකාරි නිල නිවෙස එහි රබර් වැව‍ූ කාලයේදී එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කරන ලද්දකි. හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ඉදිකළ අලංකාර කුලුනු සහිත කොරිඩෝවකින් සමන්විත සුවිශාල බංගලාව දැකුම්කළුය. වර්තමානයෙහි වැවිලි සංස්ථාවෙහි සභාපතිවරයාගේ නිල නිවෙස ලෙස භාවිතා කරන එහි සභාපතිවරයාගේ භාවිතය සඳහා කාමරයක් වෙන් කර ඉතිරි කාමර සහිත මුළු බංගලාවම සංචාරකයන් සඳහා කුලියට ලබා දීමට පියවර ගෙන තිබේ. වසර සියයකට වඩා පැරණි ඉතිහාසයකින් යුතු ගල්පිහිල්ල බංගලාව තුළින් අතීත ශ්‍රී විභූතියේ ගාම්භීරත්වය අදත් විද්‍යමාන වේ. සුවපහසු සුවිසල් කාමර, උණුසුම් පෝරණුව සහිත සුවපහසු ආලින්දය, නිවෙස වටා තැනුණු ඉස්තෝප්පුව, කෑම කාමර උණු දිය සහිත යාබද නාන කාමර මැද මිදුලෙන් වෙන්ව‍ූ මුළුතැන්ගෙය පෝරණුව, රථාංගණය හා අලංකාර ගෙවුයන ද එකී ගාම්භීරත්වය තහවුරු කරන්නට ඉවහල් වෙයි. බංගලාවෙහි පහසුවෙන් ම අමුත්තන් 15 ත් - 20 ත් අතර සංඛ්‍යාවකට නවාතැන් ගත හැකි ය. ඔබට අවශ්‍ය පරිදි කලමනා ගෙන ගොස් දුන් විට සිංහල දෙමළ හෝ බටහිර පන්නයට ඔබට රිසි ආහාරයක් රස නහර පිනා යන පරිදි පිළියෙල කොට උණු උණුවේ ම පිළිගන්වන්න සූදානම් වූ ‘අප්පු’ ලා දෙදෙනෙක් ම එහි වෙති. පවුලේ සාමාජිකයන් හෝ කුඩා පවුල් දෙක තුනකට එකවර නවාතැන් ගන්නට හැකි එහි මංගල ප්‍රිය සාද හෝ කාර්යාල ප්‍රියසාද පවත්වන්නට ද හැකි වෙතැයි තෙන්නකෝන් මහතා පවසයි. එකවර අමුත්තන් 100 කට පමණ සංග්‍රහ කිරීමට ද එහි ඉඩ පහසුකම් තිබේ.

ගල්පිහිල්ල වතු යායේ සිට සුන්දර සෙම්බුවත්ත ප්‍රදේශයට ඇත්තේ කිලෝ මීටර් 15 ක් වැනි දුරකි. ඒ හරහා පිටිවල පතන හෙවත් රිවර්ස්ටර්න් වෙත පැය දෙකක් වැනි කාලයකින් ළඟා විය හැකි ය. විනාඩි කිහිපයකින් ළඟා විය හැකි තරම් නුදුරින් පිහිටි හුළුගඟ ඇල්ල, සාරි ඇල්ල, ගිරිඳි ඇල්ල සහ රාක්ෂා ඇල්ල එහි සිට කිලෝ මීටර් 6 ක් 7 ක් පමණ දුරකින් පමණ පිහිටා තිබේ.

බංගලාවට නොදුරින් කැලෑව මැදින් වැටුණු අඩි පාර ඔස්සේ ඇවිද යන ගවේෂණාත්මක සංචාර ප්‍රිය කරන්නට හුන්නස්ගිරි කඳු පාමුල හරහා සුන්දර මීමුරේට කෙටි කලකින් ළඟා විය හැකි ය.‍

අගනුවර සිට නුවරින් කටුගස්තොට හරහා මඩවල නගරයට විත් බඹරැල්ල පාරේ සිට කිලෝමීටර් හයක් පැමිණිකල සුන්දර ගල්පිහිල්ල වතුයාය මැද පිහිටි බංගලාවට ළඟා විය හැකි ය.

කටුගස්තොට නගරයේ සිට වත්තේගම පාරේ කිලෝ මීටර් 34 ක් ගෙවා පන්විලට පැමිණ එතැනින් කබරගලට පැමිණි කල හමු වන සරුසාර තේ වතු යාය කැ‍ලෑබොක්ක නම් වෙයි. රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් සරුසාර වතුයායක් වන කැලෑබොක්ක වතු යායේ පිහිටි පැරැණි වතු නිලධාරි නිවෙස්නය ද දැන් සංචාරකයන්ගේ සුව පහසුව උදෙසා ලබාදෙනු ලැබේ. කැලෑබොක්ක වතු යායේ ජ්‍යෙෂ්ඨ සහකාර වතු අධිකාරි ගයාන් ලක්රුචිර සහ වතු අධිකාරි අසේල අබේවර්ධන මහත්වරුන් පවසන පරිදි මෙරට වැවෙන ඉස්තරම් රසයෙන් යුතු උසස් ම තේ නිපදවෙන කැලෑබොක්ක වතුයාය ශ්‍රී ලංකාවේ විශාලතම තේ වතු යායක් ද වෙයි. එහි වපසරිය අක්කර දහසකි. තේ අක්කර 200 කි. ලංකාවෙන් හමුවන පිරිසුදු ම පානීය ජලය උණුකර කැලෑබොක්ක තේ යොදා සකස් කරන ලද උණුසුම් තේ කෝප්පයේ මිහිර විඳින්නට නම් සැබැවින් ම ඔබ එහි යා යුතු ය. සුව පහසු ගෘහ භාණ්ඩ සහිත කාමර තුනකින් යුතු කැලෑබොක්ක බංගලාවෙහි කුඩා පවුල් දෙකකට හෝ 10 දෙ‍නකුට පමණ එකවර පහසුවෙන් ම නවාතැන් ගත හැකිය. ඔබට අවශ්‍ය ආහාරපාන සකස් කර ගන්නට සේවකයන් ද සෑම බංගලාවකම සිටීම ද විශේෂත්වයකි. ඉස්තරම් තේ කොළ මිලදී ගැනීම සඳහා තේ අලෙවි සලක් ද එහි වෙයි.

කැලෑබොක්ක වතු යායේ ඉහළ කොටසට ළඟා වූ කළ නුවර මාතලේ දිස්ත්‍රික්ක මෙන් ම නකල්ස් රක්ෂිතයේ සුන්දර දර්ශනය ද පැහැදිලිව දක්නට ලැබෙයි. එහි මුදුනත ඉදිකර ඇති නැරැඹුම් පියස්සෙහි සිට හාත්පස සිසාරා බලන්නෙකුට තමා වටා අංශක 360 කින් ම දිස් වන දසුන මනරංජනීය වේ. බංගලාවට යාබදව පිහිටි ස්වාභාවික උල්පත්වලින් ඇද හැලෙන සීතල ජලය රැස් කොට තනන ලද දිය තටාගයෙහි බැස පිහිනන්නට නම් හොඳින් හිරුඑළිය වැටුණු මද්දහනක් විය යුතු ය.

බංගලාවේ සිට වන පෙත හරහා වැටී ඇති මාවතේ පියමං කරන්නකුට විනාඩි 20 ක් වැනි කෙටි කලකින් සුන්දර සෙම්බුවත්තට බැස ගිය හැකි යයි නියෝජ්‍ය වතු අධිකාරි ගයාන් ලක්රුචිර මහතා පවසයි. ප්‍රධාන පාරෙන් වාහනයකින් එහි යන්නේ නම් සෙම්බුවත්තට විනාඩි 50 – 60 කින් ද පිටවල පතනට පැයකින් පමණ ද ළඟා විය හැකි බව ඔහු පවසයි. කැලෑබොක්ක, කොටගඟ සහ ගල්පිහිල්ල වතු යායන්හි පිහිටි බංගලා තුන දිනකට රු. 15000 බැගින් සංචාරකයන් සඳහා කුලියට ලබාදේ‍.

මේ සියලු බංගලා සුව පහසුකම්වලින් අනූන ය. ගෙදර වගේ නවාතැනක් ලබාදෙන්නටත් රසවත් ආහාර පානවලින් ඔබට සංග්‍රහ කරන්නටත් එහි කාර්ය මණ්ඩලය ස‍ූදානම් ය.

රිසි පරිදි පරිසරයෙහි සිරි නරඹන්නත් නිදහසේ විවේක ගන්නටත් මේ බංගලා කදිමය. ඔබට අවශ්‍ය පහසුකම් සපයන්නට රාජ්‍ය වැවිලි සංස්ථාවේ ව්‍යාප‍ෘති කළමනාකාර දර්ශන විජේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සූදානම් ය. සංචාරක නිවාස වෙන් කරවා ගැනීම සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාවේ දර්ශන විජේසිංහ අමතා 0775657266 හෝ ‍ශාඛා කාර්යාලයෙහි නිලන්ති 0815634903 යන දුරකථන අංක අමතා වැඩි විස්තර ලබාගත හැකි ය.

සාගරිකා දිසානායක
ඡායාරූප - තිලක් පෙරේරා

 

නිවැරැදි පිළිතුරු ලියා සිළුමිණ පත්තරයේ සඳහන් කූපනය පුරවා තැපැල්පතක අලවා අප වෙත එවන්න. මාසය අවසානයේ කුසපත් ඇදීමෙන් ජයගන්නා වාසනාවන්තයාට සහ තවත් එක් අයකුට ‘ඉහත සඳහන් සංචාරක නිවහනක‘ රාත්‍රී සහ උදේ ආහාර සමඟ එක් දිනක් නොමිලේ නවාතැන් පහසුකම් සපයන්නට එහි කළමනාකාරිත්වය සූදානම්.

 

Comments