සංහි­ඳි­යාව තර­ණ­යට සිරි­පා­ස­මය ඇර­ඹෙයි | සිළුමිණ

සංහි­ඳි­යාව තර­ණ­යට සිරි­පා­ස­මය ඇර­ඹෙයි

 ජාතිකත්වයෙන් විවිධ වූ මාතෘ භූමියේ විවිධත්වය - සාමූහිකත්වයක් කරා ගෙන යෑම මුනි සිරිපා වන්දනා සමයේ ස්වභාවයයි. ආගම, ජාතිය, කුල මල භේදයන්ගෙන් අවාරයේ විරසකව සිටි මිනිසා, සිරිපා වන්දනාවේදී අසීමිත ළෙන්ගතු කමක් දෙසට ඇදෙයි. කුලුණුබර හැඟීමෙන් යුතුව එකිනෙකා පරයා යන හැඟුම මැඬලමින් මෛත්‍රී දයාව පෙරදැරි කරගෙන අසිරිමත් වන්දනාවක ඔවුන් යෙදෙයි. අවාරය පුරා පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් පීඩාකාරී සිතිවිලිවලට යට වී දිවි ගෙවූවන් සිරිපා වන්දනාවට එක්වන්නේ “මිනිසා වනාහි උපතින්ම පරාර්ථකාමියෙකි” යන උද්ධෘතයට යළි ජීවය දෙමිනි.

දස මාර සේනා පරදවා තිලොවම ජය ගත් අප ගෞතම බුදුරජානන් වහන්සේහට සෙවණ සැලසූ පින්බර වෘක්ෂය, දිවමන් මුනිරජාණන් මෙන් අද අප ලක් දෙරණේ ශ්‍රී විභූතියෙන් යුතුව වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පින්බර බිමට වැඩම කරවනු ලැබුවේ උතුම් වූ උඳුවප් පුන්පෝහෝ දිනයේදීය. ගෞතම බුදුන්ගේ ඒ මිහිරි සද්ධර්මය සරණ ගිය බෞද්ධයින්ට වසරේ අවසන් පෝ දිනය ඉර හඳ පවත්නා තුරා සැනසුම ගෙනෙන්නේ එහෙයිනි.

එවන් උඳුවප් පුන් පොහෝ දිනයෙන් “සිරිපා වන්දනා සමය” ආයෙමත් අරඹා තිබේ. පුරා සය මසක්‌ මහ හිමයේ නිදහසේ සැරිසැරූ වන සතුන් ද නිහඬ කඳු ශිඛරයේ බවුන් වඩන යෝගාවචරයන් වහන්සේලාද, අවාරය අවසන් බව උඳුවප් පුන් සඳ මෝදු වන විටම වටහා ගනී. ලක්දිව දීර්ඝම වන්දනා සමය වන සිරිපා සමය බුදුරැස් වැටෙන වෙසක් උදාව දක්වා දිවෙයි. අවාරයේ දැඩි නිහඬ බව විඳිමින් සොබාසිරියෙන් හැඩවුණු වෘක්ෂ ලතාවෝ උඳුවප් පෝ දිනය වෙනුවෙන් සැරසුණාක් වැන්න. එතැන් පටන් තිස් ලක්ෂයකට වඩා වැඩි දෙස් විදෙස් වන්දනාකරුවෝ සමනොළ ගිරි ශිඛරය තරණය කරති.

දහසක් බුදුන් බුදු වන හිමිදිරි පාන්දර ඉර සේවය කරමින් දර්ශනය වන සූර්යයා සමනොළ අඩවියට මුදුන් වී එහි සිරිපා රිද්මය ස්‌පර්ශ කරයි. සමන් දෙවි රජුන් මෙවැනි ආශ්චර්යවත් ස්‌ථානයකට ගෞතම බුදුන්වහන්සේ වැඩම කරවීමට කල්පනා කරන්නට ඇත්තේ ඇයි? ඒ මෙම ගිරි ශිඛරය ලංකාද්වීපයේ මුදුන්මල්කඩ ලෙසට හැඟුණු හෙයින් යැයි කියැවේ. ලංකාවාසී සැදැහැවතුන් පමණක් නොව, විදේශිකයන් පවා මෙම කඳු ශිඛරය මහත් ආශ්චර්යයයෙන්ද අසීරුවෙන්ද තරණය කරන්නේ මේ සොබා සිරියෙන් හැඩවුණු උරුමයට වශීකෘත වෙමිනි.

පැරණි වංශ කතාවන්ට අනුව, සමනොළ කන්ද ලංකා පබ්බත, රෝහණ පබ්බත, සහ සුමන ගිර ලෙස නම් වෙයි. එමෙන්ම හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි සිවම්බලි පාදම් සහ සිවම්ඔලි යනුවෙන්ද, මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා දමලෙයි සහ අර් රවුර් නමින්ද, කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම් වලින්ද නාමකරණය කර තිබේ. එහෙයින් එදා මෙදා තුර, ශ්‍රී පාද වන්දනාව එක් නිශ්චිත ජාතියකට, ආගමකට, කුලයකට, ස්ත්‍රී - පුරුෂ කාණ්ඩයකට හෝ සීමා නොවෙයි. විවිධ ආගමික විශ්වාසයන් පෙරදැරිව, විවිධ ජාතීන් ආගම්, බාල - මහලු කවුරුත් පාහේ මුනි සිරිපා කරුණා කිරීමට යොමුවෙති.

බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් සපිරී ඇති විටෙක, සිරිපා මඟ තරණය කරන සෑම බෞද්ධ හදවතක්ම බෞද්ධාලම්බන ප්‍රීතියේ ගිලී ඇත. ඔවුනට සිරිපා වන්දනාව නිසැකවම වාගේ පූජනීය වන්දනාවක්‌ය. සමෙනාළ කඳු මුදුනින් නොනවත්වා හෙමිහිට ගලා බස්නා ගංගාවන්ගෙන් මුළු රටේම කෙත් බිම් සරු කරන්නේ කෙසේද, මුනි සිරිපා වන්දනාකරුවන්ගේ සිත්සතන් තුළින් ගලා හැලෙන මෛත්‍රියේ කරුණාවේ සිහිල් ගඟුලින් රටම සැනහෙනු ඇත. ලබන්නා වූ නව වසරේ රට බතින් බුලතින් සරු කරනනේ ඒ දිය දහරින් වන්නා සේම, වන්දනාකරුවන්ගේ ශාන්ත සිතිවිලිවලින් මුළු මහත් දිවයිනේම සියලු අභාග්‍යයන් වියැකී යන්නේය.

බොදු බැතිමතුන්ට අනුව, සමනොළ කන්ද ශ්‍රීපාදය ලෙසට ප්‍රකටව ඇත්තේ කඳු මුදුන මත බුදුන්වහන්සේගේ පා සටහන පිහිටා ඇති හෙයිනි. එලෙසම හින්දු භක්තිකයන්ද ශිව දෙවියන් පිදීමටද, ක්‍රිස්තියානි භක්තිකයන් ඔවුන්ගේ ආගම පිදීමටද, මුස්ලිම් භක්තිකයන් ආදම් පිදීමටද සමෙනාළ අඩවිය තෝරා ගෙන තිබේ. ජාතිකත්වයෙන් විවිධ වූ මාතෘ භූමියේ විවිධත්වය - සාමූහිකත්වයක් කරා ගෙන යාම මුනි සිරිපා වන්දනා සමයේ ස්වභාවයයි. ආගම, ජාතිය, කුල මල භේදයන්ගෙන් අවාරයේ විරසකව සිටි මිනිසා, සිරිපා වන්දනාවේදී අසීමිත ළෙන්ගතු කමක් දෙසට ඇදෙයි. කුලුණුබර හැඟීමෙන් යුතුව එකිනෙකා පරයා යන හැඟුම මැඬලමින් මෛත්‍රී දයාව පෙරදැරි කරගෙන අසිරිමත් වන්දනාවක ඔවුන් යෙදෙයි. අවාරය පුරා පෞද්ගලික අභිමතාර්තයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් පීඩාකාරී සිතිවිලිවලට යට වී දිවි ගෙවූවන් සිරිපා වන්දනාවට එක්වන්නේ “මිනිසා වනාහි උපතින්ම පරාර්ථකාමියෙකි” යන උද්ධෘතයට යළි ජීවය දෙමිනි. එකිනෙකා බෙදී වියරු වී මනුෂ්‍යත්වය වියැකී යමින් තිබෙන හැම වසරාවසානයකම සමනොළ අඩවියේ ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වන්නේ සිත්හී, නිවීම වෙනුවෙනි. සියලු බෙදීම් හිරු උදාවත් සමඟම අහෝසි වී අසීමිත සෙනෙහසින් සියල්ලෝ එළැඹෙන වසරේ අවාරය වෙනුවෙන් එකට බැඳ තබන්නට වන්දනා සමය හේතු වෙයි.

දෙව් ලොවක හැඩය මැවෙන “දෙවියන්ගේ රටේ” සිරිපා කරුණාව දුෂ්කර, වෙහෙසකර ගමනක්ද? “දන්න කතාවක්” කෘතිය ඒ ගැන මෙසේ කියයි. “...ඉවසීමෙන් ඒ ගමන ගිය කල නිවීමට හෝ මළුවට ළඟාවිය හැකියි. “මම” සමඟ ගනුදෙනුවත් එසේ ඉවසීමෙන් නොකළොත් නිවීමක් දැනීම ප්‍රමාද කරයි. “මම” නැති වී රස ගඟුලේ ගිලෙන විට සමනොළ කන්ද දුරට පෙනෙන විට හිතේ ඇතිවන චමත්කාරය මෙන් සුවයක් නිවීමක් දැනෙයි. “මම” ගෙන් එළියට පැනගත්විට දුරට පෙනෙන දෙව්ලොවකට පිවිසි බවක් හිතට දැනෙයි...”

ඒ බව තහවුරු කරමින් ශ්‍රීපාදය කරුණා කරන්නේ ඊටම ආවේණික වූ සිරිත් විරිත් ආචාරධර්ම සමූහයක් පෙරටු කොටගෙනය. වන්දනාකරුවන් සුරාවෙන් සූදුවෙන් වැළකෙන්නේය. අයුතු අශෝභන හැසිරීමෙන් වැළකිය යුතු වන්නේය. හුදෙක්ම සිත, කය, වචනය සංවර කර ගැනීම කළ යුතුම වන්නේය. නඩේ ගුරා අභිභවා නොයන කිසියම් පාලනයකට යටත්ව කය සිත සංවර කරගන්නා අපූරු චාරිත්‍ර වාරිත්‍ර ගොන්නක ප්‍රතිමූර්තිය වන සිරිපා වන්දනාව මිනිසාට විවෘත කරන්නේ සාමූහිකත්වයේ අසිරිමත් බැඳීමකටය. සැබෑ ජීවිතයේ හු‍ෙදකලා වූ කටුක අත්දැකීම්වලට පිටු පෑ මමත්වය පරයා යන සාමූහික ජීවිතයක චමත්කාරය සිරිපා වන්දනාව අපට මතක් කර දෙයි.

වන්දනාකරුවන් අතර කරුණාව දයාව එකිනෙකා කෙරෙහි දක්වන සැලකිල්ල සමඟ කරන සංග්‍රහ, දුබලයන්ට වැඩිහිටියන්ට උදව් කිරීම වෙනුවෙන් කැපවීම, ජූජනීයයන්ට නොපැකිළිව ගෞරවයෙන් උදව් කිරීම, ළමා ළපටින් - වැඩිහිටියන් ගැන වඩා සැලකිලිමත් වීම, අනුන්ගේ සිත් සංසිඳුවීම හා වන්දනාවේ නඬේගුරාට කීකරු වීමේ ගුණය සිරිපා වන්දනාකරුවන්ගේ අව්‍යාජ ගුණාංගයන්ය. නැතහොත් ඒ අසිරිමත් මංගල්ලය වෙනුවෙන් මනුෂ්‍යායා සතු වූ එහෙත් මඟහැරී ඇති ගුණයට ජීවය දෙන සිරිත්ය. එකට යා වුණු සිත් සමඟ සිය නිර්මල ආගමික වතාවතක් වෙනුවෙන් සියල්ලෝ එක බිමක දුෂ්කර නමුදු විවේකී මනසින් යුත් වන්දනාවක නිරත වන්නේ සමනොළ අඩවිය, ශ්‍රීපාදය රටවැස්සන් එක් ධජයක සෙවණට ගන්නාක් ලෙසිනි.

එහෙයින්, වාර්ෂිකව එළඹුණ මුනි සිරිපා වන්දනා සමය හුදෙක්ම ආගමික කටයුත්තක් පමණක් නොවන්නේය. එය පුරාණයේ පටන්ම රටවැසියා අතර එකමුතුකම ගොඩනැංවූහ. සංහිඳියාව සිහිකැඳවූහ. එහෙයින් ඇත්තවශයෙන්ම ඒ අති උත්කර්ශවත් වන්දනාව සමාජයේ ගිලිහී යමින් තිබෙන මානව වටිනාකම් වලට අවදි වන්නට කතා කළ සැබෑ සමාජසංස්කෘතික උරුමයකි. වසරින් වසර - පරපුරෙන් පරපුරට පැවත එන සිරිපා වන්දනාව හා යා වුණු අව්‍යාජ මානවීය සිරිත් විරිත් ඒ බව අපට නැවත නැවත සිහිකැඳවයි.

එදා මෙදා තුර සෑම වසරාරම්භයකදීම සුභ කටයුතු පැරැණියෝ ඇරඹුවේ මුනි පාද ලාංඡන පහස ලැබීමෙන් අනතුරුවය. සිරිපා වන්දනාව ගැමියන් අතරත් නාගරික අග නාගරික සමාජය අතරත් මහත් ගෞරවයට හා භක්තියට නොමඳව පාත්‍ර වූවකි. “සිරිපා කරුණා” කිරීම හුදෙක්ම ආශිර්වාදයක් කොට තැකූ රටවැසියෝ ආගමික ප්‍රාර්ථනාවන්ගෙන් ඔබ්බට ගොස් වන්දනාවක වින්දනයද ලැබූහ. තනි තනි මිනිසුන් තනන සමාජ ආර්ථික රාමුවක පීඩිත සිත් සමඟ ගැටෙන මිනිසා සිරිපා කරුණා කළේ සාමූහිකත්වය රජයන හැඟීමකට වහන් වෙමිනි. එක් සිත්ව එකා වන්ව කඳු මුදුනේ සිට හිරු උදාව නරඹන වන්දනාකරුවන් හුදෙක්ම ස්වභාවධර්මයෙන් ලද තෑග්ගක් වූ සමනොළ කන්ද මිනිස් සිත් සතන් සනහන අසිරිමත් තැනක් වැනිය.

අනඟි වටිනාකමක් ඇති සත්ව ශාක ප්‍රජාවක් සහිත ජෛව සම්පත් සමනොළ ගිරි ශිඛරයේ සැඟව ලෝකයට රහසින් පවතී. පවිත්‍ර ජල මූලාශ්‍රය එදා මෙදා තුර හඳුනා නොගත් සොබා සම්පත් සමූහයකුත් දරා ගත් සමනොළ කන්ද ආගමික හා සමාජීය වශයෙන් මනුෂ්‍යාගේ සිත් සතන් සනහාලීම වෙනුවෙන් වසරක් පාසා සූදානම් වන්නේ සැබෑ අපූර්වත්වයකින් රටම සරසාලමිනි. පාරිසරික, ආගමික හා සංස්කෘතිකමය වශයෙන් එදා මෙදා තුර මුදුන් මල්කඩ වුණු මුනි ශ්‍රීපාද වන්දනාවේ යෙදීමට සියල්ලෝ දැන් කටයුතු සූදානම් කරති.

ලක්දිව කඳු අතර පූජනීයත්වයට පත් සමනොළ කන්ද රටේ සාමය හා සංහිඳියාවේ තෝතැන්නක් වැන්න. අවාරයේ සිත් තුළ කැකෑරුණු සියලු භේදවලට විරාමයක් තබන්නට මේ ඇරඹි වන්දනා සමය හේතු වනු නියතය. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.