සිනා කතා | සිළුමිණ

සිනා කතා

හරක් නෙමෙයි ද?

“මිනිස්සුන්ට දිගට ම පයින් ඇවිදින්ඩ වුණා ම ඒක ලේසි පහසු වැඩක් වෙනවයැ.” චන්ද්‍රසිරි තම බිරිඳ දෙස බලා කීවේ පුවත්පත පසෙක තබමිනි.

“ඇයි...? බස් ඩ්‍රැයිවර්ලා ස්ට්‍රයික් එකක්වත් කරන්ඩ පටන් අරන් ද?” ශාන්ති ඇසුවේ තරමක විමතියකිනි.

“ස්ට්‍රයික් නෙමෙයි හාමිනේ, හරක් පටවන ලොරි ප්‍රවාහනය ආණ්ඩුවෙන් අත්හිටවලා.” චන්ද්‍රසිරි කීවේ ය.

“හරි ඉතින්, ඒක බලපාන්නේ හරක්ටනෙ.” ශාන්ති කීවා ය.

“පාතාල කාරයෝ, මංකොල්ල කාරයෝ, මිනීමරුවෝ කවුන්සලේට පත් කරල යවන ජනතාව හරක් නෙමෙයි ද?” චන්ද්‍රසිරි විමසුවේ තරමක කෝපයකිනි.

 

ඒ ගොල්ලෝ අහිංසක ළමයි

“පච්ච සිරා, අංගොඩ ලොක්කා, සමයං වගෙ මහ අමුතු අන්වර්ථ නාම වලින් පාතාලයේ ඉහළ සාමාජිකයන්ව ජනතාව හඳුන්වන්න පුරුදුවෙලා ඉන්නේ උප්පැන්න සහතිකයෙන් ඔවුන්ට හිමි නම් වෙන ම තියෙද්දි. ඒ, ඔවුන්ගේ දාමරික ක්‍රියා කලාප හින්දා.” සහකාර පොලිස් අධිකාරීවරයා එසේ ප්‍රකාශ කළේ පළාතේ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරක්ෂක කමිටු රැස්වීමේ ‍දේශනය පවත්වමිනි.

“අනේ එහෙම කියන්ඩ එපා. ඒගොල්ලෝ හරි අහිංසක ළමයි.” මන්ත්‍රිතුමා වහා කීවේ කෙහෙල්කැනට කලින් වැට පනිමිනි.

 

තාරුකා රහස්

“බලන්ඩකො අනේ! මේ පත්තරේ තියෙනවනෙ අලුතින් තාරුකා ගැන රහස් වගයක් ‍එළිවෙලා කියලා.” සතිඅන්ත පුවත්පතක් කියවමින් සිටි ශාන්ති තම සැමියා දෙස බලා කීවේ තරමක උස් හඬිනි.

තම දියණිය උස් හඬින් තෙපලූ වදන් කන වැකුණු සොපිහාමි තමා සමීපයේ සිටි මිනිබිරිය වූ තාරුකා දෙස බලා නොරිස්සුම් බැල්මක් හෙළමින් මෙසේ විචාළා ය.

“ඈ බං දුවේ තාරුකා, උඹ ගැන එළිවුණයි කියල අර උඹලගෙ අම්මණ්ඩි කියන රහස් මොනවද හැබෑට?”

 

ඒකට අහුවුණේ නැත්ද?

“පී.එච්.අයි. මහත්තයා ගෙදර නැත්දෝ කියල හිත හිතා සැකෙන් වගෙ මං මේ ආවේ.” සීනුව නාද වෙනු අසා නිවසේ ප්‍රධාන දාර හැර එළියට පැමිණි ෆොන්සේකා දෙස බලා සිරිල් කීවේ සිනාවක් පාමිනි.

“අද ඉරිදා දවසනෙ සිරිල්. නිවාඩු දවසට කොහේවත් ම යන්නෙ නැතුව ගෙදරට වෙලා දවස ගත කරන එක තමයි මගෙ පුරුද්ද.” ෆොන්සේකා කීවේ දත් පෙන්නා සිනාසෙමිනි.

“ඒ වුණාට ඊයෙ රෑ ප්‍රවෘත්තිවලට කිව්වනෙ ඔය උඩහ පළාතෙ ඝන කැලෑවක වටිනා නිධානයක් හාරද්දි තවත් කට්ටියකුත් එක්ක පී.එච්.අයි. මහත්තයෙකුත් අත්අඩංගුවට ගත්තා කියල. ඉතින් මට හිතුණා, ඒ හින්දා මහත්තයා ගෙදර නැතුවාවත්දෝ කියල.” සිරිල් කීවේ තක්ක‍ඩි සිනාවක් පාමිනි.

 

දෙකම එකයි

“ඔයා මට අරන් දෙනවයි කියල පොරොන්දු වුණු අලුත් සාරියයි, මේ පළාත් පාලන ඡන්දයයි අතර තියෙන්නෙ ගහට පොත්ත වගෙ මහ පුදුම සම්බන්ධතාවක් නේද නිහාල්” කාර්යාලයට යාමට සැරසෙන තම සැමියා දෙස බලා අනෝමා කීවේ සෝපහාසී ස්වරයකිනි.

“කොහොමද ඔය වගෙ දෙකක් එකට පෑහෙන්නෙ?” නිහාල් සූදානම් වෙමින් සිටියදී ම ඇසුවේ තරමක කුහුලකිනි.

“ඇයි අනේ දෙක ම කෙලවරක් නැතුව කල් යනවනෙ.” අනෝමා නොඉවසිල්ලෙන් කීවා ය.

 

එහෙම කළොත්...?

“යකෝ, වමනෙ යන්ඩ එනවා නං මේ කානුවට දාපුවා ම ඉවරයිනෙ. ඒකට වැසිකිළියට දුවන්නෙ මොන එහෙකට ද?” නිශ්ශංක කීවේ ඉතා අසීරුවෙන් වමනය නවතා ගෙන වැසිකිළිය දෙසට දිව යන සුජිත් දෙස බලමිනි.

“උඹ නං කියයි. මම වමනෙ දානවා දැකලා ප්‍රින්සිපල්, අපේ අම්මලා තාත්තලා ඉස්කෝලෙට ගෙන්නලා මට බබෙක් හම්බවෙන්ඩ ඉන්නවා කියල මාව ඉස්කෝලෙන් අස්කළොත් එහෙම....” සුජිත් කීවේ පසු නොබලා දුවන අතර ය.

 

ඒ ගොල්ලෝ මගේ අතේ

“ඈ පුතේ. මොකක්ද මේ සිද්ධවුණු වින්නැහිය? අපේ මුනුපුරාගෙ ඔය විභාග වංචාව උසාවියෙදි ඔප්පු වුණොත් එහෙම ඒකට උඩගෙඩි දුන්නයි කියල ඔය ළමයගෙ රස්සාවත් ගහලා යයි නේද?” කරුණාවතී පඩිපෙළ බැස තම නිවසට ගොඩවූ දොස්තර බෑණාගෙන් විමසුවේ නිකට අත්ලේ රඳවාගෙන තද කම්පාවකිනි.

“ඒ ගැන නං බය වෙන්ඩ ඕනැ වෙන්නෙ නෑ අම්මේ. ඔය ලෝයරස්ලා, නඩුකාරයෝ කීදෙනෙක්ගෙ නං මං දත් ගලවලා තියෙනවද?” දන්ත වෛද්‍යවරයා තම නැන්දම්මා හට කීවේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි. 

අදහස්