ලාංකේය පිහිනුම් ක්‍රීඩාව මෙතැනින් කොතැනට ද? | සිළුමිණ

ලාංකේය පිහිනුම් ක්‍රීඩාව මෙතැනින් කොතැනට ද?

 ලාංකේය ක්‍රීඩාවම නැවතත් අයාලේ යන තැනක ගාල් වී ඇති බව පෙනේ. බැඩ්මින්ටන් ක්‍රීඩාව මේවන විට ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබේ. ඒ අතර හොකී සහ ජූඩෝ නිලවරණ කඩිනමින් පැවැත්වීමට නියමිතය. මේ අතර ලාංකේය පිහිනුම් ක්‍රීඩාවේ බලවතුන් දෙදනකු මිලියන 12 ක පොල්ලක් තබා මාරු වී තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය පවා හරි හැටි තමන්ගේ භූමිකාව තේරුම් නොගෙන කටයුතු කරන විට ක්‍රීඩා සංගම් අයාලේ කටයුතු කිරීම ගැන ද පුදුම විය යුතු නොවේ. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් සම්බන්ධයෙන් යොමුකරන අවධානය සමස්ත ක්‍රීඩාව කෙරෙහිම යොමු නොකරන්නේ මන්දැයි සිතන්නේ නම් අපි පුදුම නොවෙමු.

කලක් ලාංකේය පිහිනුම් ක්‍රීඩාව යනු දකුණු ආසියාව පවා සොලවා ගෙන සිටි ආසියානු මට්ටමේ පවා යමක් කළ හැකිව තිබූ ක්‍රීඩාවකි. අද ඒ සියල්ල සිහින බවට පත්ව තිබේ. එය තරගයකදී දෙකකදී අහම්බෙන් මෙන් ගලා එන පදක්කමට සීමා වී තිබේ. කලෙක පටන් ම ලාංකේය පිහිනුම් ක්‍රීඩාව පුද්ගලයන් දෙතුන් දෙනකුගේ බූදලයක් බවට පත් විය. එකම සැපත එය බැව් තේරුම් ගත් ඔවුහු මෙය යහමින් සූරා ගෙන ම කෑමට පටන් ගත්හ. එහි රහ දත් සෙස්සෝ ඒ මඟම ගියා මිසක ක්‍රීඩාව ගැන නොසිතූහ. වත්මන් සභාපතිවරයා සහ ලේකම් පැදුරටත් නොකියා යන්නේ මේ පිළිබඳ සොයා බැලීමටවත් කිසිවකුත් උනන්දු නොවන බව සහසුද්දෙන් ම දන්නා නිසාය. මෙරට පැවැති සාග් පිහිනුම් තරගාවලියට ක්‍රීඩා අමාත්‍යංශයේ සහ අනුග්‍රහකයන් වෙතින් ලැබුණු මිලියන 12ට සිදුවූ දේ පිළිබඳ කියන්නට නොහැකිවූ තැන සභාපති සහ ලේකම්වරයා පැදුරටත් නොකියා පලා ගොස් තිබේ. මෙයත් එක්තරා ආකාරයකින් අපූරුම සෙල්ලමකි. ගනුදෙනු නිසි ලෙස පියවීමට නොහැකි වූ කල මාරු වී යාම බෝවන්නට නොදී අහවර කළ යුතු දෙයක් වන බැවිනි.

සාමාන්‍යයෙන් මුදල් තැම්පත් කළ යුතු වන්නේ සංගමයක ගිනුමක වුවද, පිහිනුම් සභාපති සහ ලේකම්වරයා එකී මුදල් තැම්පත් කර ඇත්තේ එම තරගාවලිය වෙනුවෙන් අරඹන ලද ගිනුමකය. සංගමයකට ගිනුමක් තිබියදී මෙසේ තරගාවලියෙන් තරගාවලිය ගිනුම් ආරම්භ කළහොත් සංගමයකට ගිනුමක් හෝ භාණ්ඩාගරික තනතුරක් ද ඇවැසි නැත. මෑත ඉතිහාසයේ බොහෝ සංගම්, සම්මේලනය හරි හැටි ගිනුම් වාර්තා පවත්වා ගෙන නොයන බවට එල්ලවන චෝදනා වලද කෙළවරක් නැත. ක්‍රීඩා අමාත්‍යංශය මීට වඩා මෙවැනි සිද්ධි පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

අදහස්