ලෝකෙම 30ට ගිහින් | සිළුමිණ

ලෝකෙම 30ට ගිහින්

 තරුණ වයස කව්වම වැඩි දෙනෙක් කියන්නේ බ්‍රේක් නැති වයස, නහයට අහන්නේ නැති වයස. අපෝ.... වගකීම් දෙන්න හොඳ නැති වයස. කිසි වැඩක් හරියට කර ගන්න බෑ ඔය කාලෙට කියලනේ..

ඉතින් ඒ අපේ රටේ හැටි. හරි හරි. වයස් ගත වෙනවා කියන්නේ අත්දැකීම් සම්භාරයක් එක්ක පරිණත වෙනවා තමයි. නෑ කියන්නේ නෑ. ඒත් අපි තවම පරණ තැනම ඉන්න කොට ලෝකයේ සෙසු රටවල් නම් තරුණ වයස ගැන හිතන විදිහ ටිකක් වෙනස් කරලා.

මෙතනදී අනික් සමාජ සාධක මිම්මක් විදිහට ගන්න එක ටිකක් අමාරු නිසා අපිට පුළුවන් දේශපාලන සාධකය ගැන කථා කරන්න. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට තරුණ පිරිසේ දායකත්වය සලකා බලන්න.

අපේ රටේ නම් ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය නායකයාගේ වයස තීරණය කරලා තියෙනවා. දැන් තරුණ වයස කියන්නේ දාසයේ ඉඳන් තිස් පහ වෙනකල් නම් අපේ රටේ තරුණ වයසේ ඉන්න කෙනෙක්ට රාජ්‍ය නායකයා වෙන්න බැහැ. හැබැයි ඉතින් අපේ රටේ නිල නොවන නිර්නායකයන්ට අනුව තරුණ වයස දා සයේ ඉඳන් අනන්තය දක්වා යන නිසා ඔය හැමෝම හිතගෙන ඉන්නේ 'තරුණ නායකයෝ' කියලා. ඒක ඉතින් එයාලගේ වැඩක්. අපි ඒ ගැන මොකුත් කියන්නේ නෑ.

මේ තරුණ නායකත්වය ගැන ලෝකයේ සෙසු රටවල්වලත් ඉස්සර එච්චර ප්‍රවණතාවක් තිබ්බේ නෑ. හැබැයි දැන් නම් ලෝක‍යේ සෙසු රටවල ජනතාව 'තරුණ පිරිස' විශ්වාස කරන්න පටන් අ‍රගෙන. මේ තරුණ පිරිස විශ්වාස කරනවා කියන එකේ කිසියම් ගැඹුරක් තියෙනවා. අපි දන්නවා පරම්පරාවක් කිව්වම සලකන්නේ අවුරුදු පහළොවක කාලයක් කියලා. මේ විදිහට පරම්පරා දෙකක් අතරේ ඉස්සට වැඩි ගැප් එකක් තිබුණේ නෑ. ඒත් දැන් විද්‍යාව හා තාක්ෂණය විසින් පරම්පරා දෙකක් අතරේ තියන පරතරය අතිශයින් වැඩි කරලා. අවුරුද්දෙන් අවුරුද්ද නෙමෙයි මාසෙන් මාසෙට සතියෙන් සතියට තාක්ෂණය විසින් මිනිසාව අලුත් කරනවා. අප්ඩේට් කරනවා. එතකොට ඉතින් පරණ විදිහට හැමදාම ඉන්න බෑ. මේ අප්ඩේට් වීමත් ලේසි නෑ. මේක හරියටම වෙන්න නම් ෆිසිකල් ෆිට්නස් වගේම මෙන්ටල් ෆිට්නස් තියෙන්නත් ඕනේ. මෙතනදී ෆේල් වුනොත් කවදාවත් අයෙම තමන්ගේ ප්ලේස් එක රැකගන්න වෙන්නේ නෑ.

මේක දැන් පුළුවන් රටකට ආදේශ කරන්න. අද රටවල් අතරේ තියෙන්නේ සුපිරි තරගයක්. මේ තරගයේදී රාජ්‍ය නායකයා සමත් වෙන්න ඕනේ තමන්ගේ රට රේස් එකේ ඉදිරියෙන්ම තියන්න. මෙතනදී අඩියක් හරි පස්සට ගියොත් ලෝක බල තුලිතයේ අඩි ගානක් පස්සට තමයි යන්න වෙන්නේ. මේ වෙනුවෙන් රාජ්‍ය නායකයා හොඳින්ම අප්ඩේට් වෙලා ඉන්න අවශ්‍යයි. එහෙම බැලුවම ඒ සඳහා උපරිම සුදුසුකම් සපුරන්නේ තරුණ පරපුර.

එතනදී තමයි එම්මානුවෙල් මැක්‍රෝන්ලා, සෙබස්තියන් කර්ස් ලා ගැන ඒ රටවල ජනතාව විශ්වාසය තියන්නේ.

බලමු පොඩ්ඩක් සෙබස්තියන් කර්ස් ගැන. තවම වයස අවුරුදු තිස් එකයි. ඒත් ඔහු ඔස්ට්‍රියාවේ ජනාධිපති. හරි එතකොට කිම් ජොන් අන්ටත් වයස තිස් දෙකයි තමයි. ඒත් ඔහු පත් වෙන්නේ තමන්ගේ පියාගේ අනුප්‍රාප්තිකයා විදිහට. එතනදී ජනතා කැමැත්තක් විමසුවේ නැහැ. ඒත් සෙබස්තියන් කර්ස් රටේ නායකත්වයට පත් වෙන්නේ ජනතා කැමැත්තෙන්. ඔස්ට්‍රියාවේ මිනිස්සු කැමතියි අවුරුදු තිස් එකේ පොඩි කොල්ලාගෙන් පාලනය වෙන්න. ඒ රටේ මිනිස්සු මේ තරුණයාව විශ්වාස කරනවා. එතනම ඔවුන් රැඩිකල් තීරණයක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අවුරුදු විසි හතේදි ඔහු ඔස්ට්‍රියාවේ විදේශ ඇමති. කොහොමද? අපේ රටේ දි නම් තවමත් ඉගෙන ගන්නවා. නැත්නම් වෙඩිං එකට හෝල් හොයනවා. එහෙමත්ම නැතිනම් ජොබ් හොයනවා. එම්මානුවෙන් මැක්‍රොන් නායකත්වය දෙන්නේ ප්‍රංසයට. ප්‍රංසය කියන්නේ ලෝක බලවතෙක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි රටක්. මැක්‍රෝන්ගේ වයස අවුරුදු තිස් අටයි.

තමීම් බින් හමාඩ් අල් තහානි, කටාරයේ එමීර්වරයා. යන්තම් වයස අවුරුදු තිස්පහයි. ඔහු බලයට පත්වුණේ 2013. එදා ඉඳන් කටාරය ගියේ අමුතුම පාරක. මේ රැඩිකල් කටාරය ඉවසුවේ නැති සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් ක‍ටාරයට තර්ජනය කරන්න පවා පෙලඹුණා. මෙතනදී කිම් ජොන් අන්, කටාර් එමීර් අල් තහානි කරන දේවල් ගැන මත පළ කරනවා නෙමෙයි. නමුත් ඔවුන්ට හැකි වෙලා තියනවා තමන්ගේ රටවල් ඇතුලේ ස්ථාවර පාලනයක් ගෙනියන්න. තව ඕනෙනම් ඉන්නවා ලිස්ට් එකක්. යේමනයේ පාලකයා සල්හී අලී අල් සමාද්. වයස අවුරුදු තිස් අටයි. එමිල් දිමිත්‍රොව්. මැකිඩෝනියාවේ වැඩ බලන අගමැති. වයස අවුරුදු තිස් අටයි. ජිග්මා කෙයිසර් නමග්යාල්. භූතානයේ රජු. වයස අවුරුදු තිස් පහයි. වැනේසා අම්බ්රොසියෝ. සැන් මැරීනෝ කියන යුරෝපා රටේ නායිකාව. වයස අවුරුදු විසි නවයයි. ව්ලැඩිමීර් ග්‍රොස්මාන්. යුක්රේනයේ ජනාධිපති. ජනතා ඡන්දයෙන් පත්වුණේ 2016දි. ඒ වික්ටර් යාන්කොවිච් පරාද කරමින්. ජූරි රටාස්. එස්තෝනියාවේ ජනාධිපති. වයස අවුරුදු 38දි ඒ ර‍ටේ ජනාධිපති වුණේ මහජන ඡන්දයෙන්.

මේ කවුරුවත් ජනතාවගෙන් ප්‍රතික්ෂේව වෙච්ච මිනිස්සු නෙමෙයි. අනික් අතට ඡන්ද පැරදි පැරදි පල් වෙච්ච අයත් නෙමෙයි. තරුණ වයසේ නොසැලෙන ගතිය මේ හැමෝටම පොදුයි. තවත් වියපත් වෙනකොට මේ තරුණ තරුණියෝ තවත් පරිණත වෙයි. ඒක ‍එහෙම තමයි. ඒත් දැනටමත් රටක ජනතාවක් නියෝජනය කරමින් තීරණ ගන්න, ඔවුන්ව පාලනය කරන්න තරම් ඔවුන් පරිණතයි කියලා මේ රටවල මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් ඒ මදෑ.

තවත් එක දෙයක් ගැන අවධානය යොමු කරවන්න ඕනේ. මේ තරුණ රාජ්‍ය නායක නායිකාවන් අතර භූතානයේ රජු සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයා හැර කිසිම කෙනෙක් ආසියාවෙන් බිහි වෙලා නැහැ. භූතානයේ රජකම කියන්නේ උරුමයක්. ඒ නිසා මහජන ඡන්දයෙන් පත් වුණු රාජ්‍ය නායකයෙක් විදිහට ඔහුව සලකන්න බැහැ. ලෝකේ පළමුවැනි අගමැතිනිය බිහිවුණේ ආසියාවෙන්. ඒ විතරක් නෙමෙයි වැන්දඹු දේශපාලනේ ලෝකයට හඳුන්වා දෙමින් වැඩිම රාජ්‍ය නායිකාවෝ පිරිසක් බිහි වුණෙත් ආසියාවෙන්. එහෙම වුණත් ආසියාවේ, විශේෂයෙන් දකුණු ආසියාවේ තරුණ නායකත්වය අවමයි.

තරුණ කාලේ කියන්නේ පිස්සු නටන කාලේ. ආසියාවේ වැඩි දෙනා හිතන්නේ එහෙම. අපේ රටේ නම් වැඩි හරියක් ඉන්නේ ශරීරයෙන් විතරක් වියපත් වුණු මැදි වයසේ ළමයි. එයා‍ලා කසාද බැඳලා දරුමල්ලෝ ලැබුවත් එයාලටත් එක්ක තීරණ ගන්නේ එයාලගේ දෙමවුපියෝ. ජොබ්එකක පෝස්ට් එකක් ලැබෙන්න නම් පනහවත් පනින්න ඕනේ. දේශපානයට ඇවිත් ඉන්නේ තාත්තලගේ අඩි පාරේ යන බබාල. එහෙම නැතිව ස්වාධීනව හිතලා දේශපාලනේ කරන්න එනවා නම් කඩු කිනිසි තමයි.

ඉතින්. ඒ තමයි ඔය මොන ලොකු කතා කිව්වත් අපේ තාරුණ්‍යයට හිමි තැන. ඒ නිසා අපි ඉතින් තව සෑහෙන කාලයක් අයින් වෙලා පයින් යමු....

ටිරෝනි වෑව‍ලගේ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.