එල්ලංගාවේ ජල සුරැකුම සහ පරිහරණය | සිළුමිණ

එල්ලංගාවේ ජල සුරැකුම සහ පරිහරණය

 උද්ගත වෙමින් පවත්නා දේශගුණික විපර්යාසයන්ට අනුගතව ජීවත්වීම සඳහා වියළි කලාපීය වැව් ගම්වාසීන් මෙන්ම ගම් මට්ටමේදී ජලසම්පත් මෙහෙයවන්නන්ද සාර්ථකව පෙළගැස්වීමට නම් එල්ලංගාවකට ලැබෙන වැසි ජලය භූ-මතවත් භූ-ගතවත් කාලීනව මෙන්ම ස්ථානීයව ගැවසෙන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් දියයුතුව තිබේ.

මෙහි පහත 1 වැනි රූපයේ "අ" කොටසින් පෙන්වාදී ඇත්තේ වැව් පහක් දැක්වෙන ආකාරයෙන් ඇඳ දක්වා ඇති සංක්ෂිප්ත රූප සටහනකි (පාණබොක්කේ, 1999). එම රූපයෙහි "අ" කොටසෙහි 2 වැනි අංකය දරන වැවට එහිම 1 වැනි අංකය දරන වැවෙන් පමණක් ජලය ලැබේ. එහි 5 වැනි අංකය දරන වැවට ජලය සැපයිය හැකි වැව් 3කි (1, 2 හා 3). එම එල්ලංගාවේ පහළට ඇති 6 වැනි වැවට ජලය සැපයිය හැකි වැව් 5 ක්ම ඇත (1, 2, 3, 4 හා 5). මෙය කුඩා එල්ලංගාවක නිරූපණයකි.

මෙහි 1 වැනි රූපයේ "ආ" කොටසෙහි ඇති 5 වැනි වැවවන පීනගමට, එය ඉහත්තාවේ ඇති වැව 4 කින්ම ජලය ලැබේ. එහෙත්, පීනගම සිට කපිරිග්ගම වැව දක්වා පහතට, ඉහත වැව් 18 කින්ම ජලය සැපයේ. මෙම කපිරිග්ගම එල්ලංගාවෙනුත් ඒ දෙපසවන (රූප සටහනෙහි දක්වා නොමැති) බණ්ඩාර රත්මලේ සහ කෑඳව එල්ලංගාවෙනුත් වැව් 65 ක වතුර කල්ලංචිය ජලාසයට එක්වේ. එල්ලංගා පද්ධතියක සුවිසල් භෞමික ජල ව්‍යාප්තියට එය කදිම උදාහරණයකි.

හුදෙක්ම තේරුම් ගැනීමේ පහසුව තකා 1 වැනි රූපයෙහි "ආ" කොටස පසෙකින් තබා එහි "අ" කොටසෙහි වැව් ඇසුරු ජල ගෑවසුම ගැන මෙනෙහි කරමු. එහි 1 වැනි වැවට ජලය ලැබෙනුයේ එම වැවේ ජල පෝෂක පෙදෙසටත් වැවේ දියගිලුමේ පෙදෙසටත් ලැබෙන වර්ෂාපතනයෙනි. ඇතැම්විට ඒ වැව ඉහත්තාවේ තාවකාලිකව උල්පත් පැවතුණහොත් ඒවායින්ද ජලය ස්වල්ප වශයෙන් ලැබෙනු ඇත. එහෙත් එය ඉතා විරල සිදුවීමකි. එම රූපයෙහි 3 වැනි සහ 4 වැනි වැව්වල තත්ත්වද එසේමය.

අංක 2 දරන වැවට එහි ජල පෝෂක ප්‍රදේශය සහ ජල ගිලුම ලබන වර්ෂාවේත් ඒ වැවට ඉහළින් ඇති අංක 1 දරන වැව පිරී වාන් දැමීමේදී හෝ එම වැව යටතේ වැඩ කෙරෙන කුඹුරුවලට නිදහස් කරන වතුරෙන් කොටසක් "වෙල්පහු වතුර" වශයෙන් 2 වැනි අංකය දරන වැවට සැපයේ.

කිසියම් එල්ලංගාවක උඩාවතේ සිට යටාවතට එක් වීමට යන මුදුන් ඇළ හරස්කොට බැඳ ඇති වැව් ගණනත් වැඩි වේ. ප්‍රමාණයෙන්ද විශාලවන මෙම වැව්වල ජලපෝෂක පෙදෙස්ද විශාලය. මෙහි 1 වැනි රූපයෙහි "අ" කොටසෙහි 3 වැනි වැවට, ඊට උඩාවතෙහි පිහිටි වැව් 3 කින්ම ජලය එනු ඇත. ඒ ආකාරයෙන්ම එල්ලංගාවේ 6 වැනි වැවට විශාල ජල පෝෂක ප්‍රදේශයක් ඇති අතර ඊට උඩාවතේ පිහිටි වැව් 5 කින්ම අවම වශයෙන් ඒ වැව් වාන් දමන විටමත් ජලය එනු ඇත.

වැව් වල භූමත ජලාශ ආශ්‍රිතව මෙන්ම එල්ලංගාවක දිය පහරවල් ආශ්‍රිතව පොළවට ආසන්නව ව්‍යාප්තව තිබේ. වර්ෂා කාලවලදී මෙන්ම වැව්වල ජලය පිරීගොස් දිය පාරවල් නොසිඳී පවතින විට භූගත ජල මට්ටම් පොළොව මතට ආසන්නව පිහිටියත් නියං කාලවලදී ඒවායේ ජල මට්ටම් වේගයෙන් පහත බසී.

සෘතුමය වර්ෂාපතනයේ අඩුවැඩිවීම, කුඹුරුවලට වැව් වලින් ජලය මුදා හැරීම වැඩිවීම, අධික සූර්ය තාපය සහ වියළි කාලයේදී වැඩිවෙන වියළි සුළං හේතු කොටගෙන ජලාශ මත වාෂ්පීකරණය වැඩිවීම, ගොවිතැන් කරන පසෙහි ජල කාන්දුවීම් වැඩිවීම ආදී හේතූ නිසා එල්ලංගාවක් තුළ රැඳවෙන භූමත ජල ප්‍රමාණයෙන් මිනිසාට උපරිම ප්‍රයෝජන ගත නොහැකිවනු ඇත.

වියළි කලාපය සාමාන්‍යයෙන් මි.මි. 1900 (අඟල් 75) ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබුවද වැසි රහිත වියළි, මාස 6ක් පමණ තුළදී වාෂ්පීකරණයෙන් පමණක් මි.මි. 880 (අඟල් 36) ඉන් නැතිවීයයි. මේ නිසා ගම් මට්ටමේදී ජලය පරිහරණය කරන්නන්ද ජල පාලන කටයුතු කරන්නන්ද එල්ලංගාවක භෞමික මෙන්ම සෘතුමය ජල පැවැත්මේ අඩු වැඩි ස්වභාවයන් මැනවින්ම හඳුනාගත යුතුව තිබේ. එසේ කළහොත් බොහෝ දුරට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙමින් ඒවාට අනුහුරුව ජීවත්වීමට හැකි වනු ඇත.

එල්ලංගානුගත වැව් වලට භෞමික ව්‍යාප්තිය සහ භූමත ජල රැඳවුම්වල සෘතුමය අඩුවැඩිවීම් ගැන සඳහන් කළ සේම, වැව්වල ජල ධාරිතාවේ ඇති වෙමින් පවත්නා වෙනස්කම් ගැනද අවධානය යොමු කළ යුතුව තිබේ. භෞතික පරිසරයට විශේෂයෙන්ම වැව්වල ජල පෝෂක පෙදෙස්වල සිදුකර ඇති කැලෑ සංහාරය නිසා වියළි සුළං ආවරණ අහෝසි වීමත් සමගම එක් අතකින් වාෂ්පීකරණය වැඩි වී තිබේ. අනෙක් අතෙන් එම කැලෑ විනාශය නිසාම නග්නවූ පොළොවට ඇදහැළෙන වර්ෂාවෙන් පසු පාංශු ඛාදනය වේගවත් කොට ගෙනියනු ලබන රොන්මඩ වැව් පතුල්වල තැන්පත්වී වැව් ගොඩ්වී යෑම නිසා වැව්වල ජල ධාරිතාවය ද වේගයෙන්ම අඩුකොට දමා ඇත. අදට වඩා වැඩි ජලධාරිතාවක් පැවතියේ නම් සමහරවිට 2016/2017 නියඟයේ හානි සහ විශාල නොවන්නට ඉඩ තිබිණ.

රොන්මඩ පිරී වැව් ගොඩවීම ජල ගැලීම් සහ නියං යන දෙකම ඇතිකරත්. තදබල වැසි කිහිපයක් ලැබුණුවිට ඒ ජලය හිරකර තබාගැනීමට තරම් ධාරිතාවක් වැව් වලට නොමැතිවිට ප්‍රාදේශීයව කෙටිකාලීන ජලගැලීම් ඇතිවෙත්. එසේම මෝසම් වැසි සමය අවසානවී මාස දෙක තුනක් ගිය තැන, මෙම නොගැඹුරු වැව් වියළී ගොස් නියං ඇති කරත්. මේ නිසා වැව්වල ගොඩවී ඇති රොන්මඩ හරිහැටි ඉවත් නොකර තිබෙනතාක් කල්, නියං රකුසාගෙන් බේරී සිටීම ගොවියාට ලෙහෙසි නොවනු ඇත.

දැනට හෙළි වෙමින් පවත්නා කරුණුවලට අනුව, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වර්ෂාපතනය වැඩිවී වියළි කලාපීය වර්ෂාපතනය අඩුවී යාමටත් ඉඩ ඇත.

එබැවින් වියළි කලාපයට ලැබෙන වර්ෂාපතනයට අනුව හැඩගැසී සිටීමට නම් බෝග රටා මෙන්ම ජීවන රටාද වෙනස් කිරීමට සිදුවෙනු ඇත.

විශේෂයෙන්ම එල්ලංගාවක උඩාවතෙහි පිහිටි කුඩා වැව් යටතේ වී කුඹුරු වැඩ කිරීම තව තවත් වැඩි කිරීමට නොගොස් කටුසර බෝග (කුරක්කන්, බඩඉරිඟු, මුං, තල, අබ, ලූනු ආදිය) වැඩි කිරීමට පෙලඹවිය යුතුය. ඒ සමගම වැඩි වතුරක් අවශ්‍ය නොවන ගස් බෝග වැවීමටත් සත්ත්ව පාලනයටත් එල්ලංගාවක උඩාවතෙහි පිහිටි වැව් ගම්වල ජනයා ඔවුනට තම නිෂ්පාදනයන් වාසිදායී වන මිල න්‍යායන් අනුව දිරි දිය යුතුය. වාසිදායී මිල නියාමන නොමැතිව ගොවීන් ලෙහෙසියෙන්ම වෙනස් කළ නොහැක.

මෙහි දෙවැනි රූපයෙහි දක්වා ඇති පරිදි, වියළි කලාපීය ගෙවතු වගාව අඩු ජල භාවිතයකින් යුතුව ව්‍යාප්ත කළ හැක්කකි.

ගෙවතු වගාව ගොවීන්ගේ ආහාර සුරක්ෂිතභාව වැඩි කිරීමටත් මූල්‍යමය වශයෙන් වැඩි වාසි ලබාදීම සඳහාත් මහෝපකාරී කරගත හැකිය. මෙහි 2 වැනි රූපයෙන් පෙන්නුම් කෙරෙනුයේ 2016/2017 වර්ෂ වලදී තිරප්පනේට නුදුරු ආලිස්ථානයේ කළ සාර්ථක ගෙවතු වගා අත්හදා බැලීමක්ය.

විශේෂයෙන්ම මෙම කාලයේදී මෙරට කෘෂි නිෂ්පාදනය 50% කින්ම පහත වැටුණු හෙයින් 2017/2018 මාස්කන්නයේදී වී වගාවට විශේෂ අවධාරණයක් දීම වැදගත්ය. ඒහා සමව ක්‍රම ක්‍රමයෙන් බෝග විවිධාංගීකරණයට මෙන්ම සත්ත්ව පාලනයට විශේෂ අවධානයක් දීමෙන් එල්ලංගාවක පවත්නා ජල සංසරණය උපරිම වශයෙන් පරිහරණය කිරීම අනුසාරයෙන් අනාගත දේශගුණ විපර්යාසවලට අනුහුරුව ජීවත්වීමට ක්‍රියාකළ යුතුව ඇත.

ආචාර්ය එම්. යූ. ඒ. තෙන්නකෝන්

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.