අනාගත ශ්‍රී ලංකාවේ හරිත නගරය නුවරඑළිය | සිළුමිණ

අනාගත ශ්‍රී ලංකාවේ හරිත නගරය නුවරඑළිය

ලොව ආකර්ෂණීයතම සංචාරක පුරවරය බවට පත්කෙරේ

ලෝක සංචාරක ක්ෂේත්‍රයේ වඩාත් සුපතළ ජනප්‍රියත ම සංචාරක ආකර්ෂණයක් ලෙස සැලකෙන නුවරඑළිය නගරයේ වර්තමාන පහසුකම් පුළුල් කර එය ලොව අංක එකේ සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අදහසින් නව නාගරික සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැංවෙන බව නුවරඑළියේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා පවසයි. රටෙහි පියස්ස ලෙස සැලකෙන නුවරඑළියේ සංවර්ධනය හුදු නාගරික සංවර්ධනයක් පමණක් නොව, සමස්ත ජාතියේ ම අපේක්ෂා මුදුන්පත් කරවන, ලෝක සංචාරක ප්‍රජාවගේ ඍජු අවධානයට පාත්‍ර වන තිරසාර මෙන් ම කඩිනම් වැඩසටහනක් වන බවද ඒ මහතා කියයි.

අතීතයේ නුවරඑළියෙහි පැවැති ශ්‍රි විභූතිය යළි එහි කැඳවන්නටත් නගරවාසී ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සලස්වන්නටත් මේ සැලැස්ම උපකාරි වන බවද ඔහු පවසයි.

එදා ලෝකයේ සොඳුරුතම පුරවරයක්ව පැවැති නුවරඑළි නගරය අද කාර්මිකකරණයේ ගොදුරක් බවට පත්වී හමාරය. වැඩි වන ජනගහනයත් සමඟ උද්ගත වන නිවාස ප්‍රශ්නය ජනතාව විසින් ම විසඳාගනු ලැබ ඇත්තේ සුන්දර කඳුවැටි අතර ඉදිකරන ලද අනවසර නිවාස හා පැල්පත් මඟිනි. නගරයෙහි සුන්දරත්වය ඔප් නංවමින් නිසසලව රළ නැඟූ වික්ටෝරියා ජලාශය අද දූෂිත ජලාශයක් බවට පත්වී තිබෙන්නේ අනවසර නිවාසවලින් බැහැරලන මළනළ රැසක් ජලාශයට යොමු කර ඇති හෙයිනි. නගරවාසීනට ප්‍රමාණවත් තරම් පිරිසුදු පානීය ජලය සොයා ගැනීම ගැටලුවක් බවට පත්ව තිබේ. මේ ගැටලුව විසඳාගැනීමට යොදන ලද ‘නළ ළිං’ අනාගතයේදී නුවරඑළි ප්‍ර‍ෙද්ශයේ ස්වාභාවික ජල උල්පත් සියල්ල සිඳුවා දැමීමේ තර්ජනයට අතවනන්නකි. ජල පෝෂක ප්‍රදේශ හෙළි පෙහෙළි කර ඉදි කරන ලද නළ ළිං මඟින් ලබා දෙන ජලය පානය සඳහා පමණක් ලබාගන්නා ලෙස ජනතාවට උපදෙස් දුන්නද බොහෝ ‍ගොවීහු ඒවා අනවසර ලෙස සිය කෘෂිකාර්මික කටයුතු සඳහා ද යොදා ගනිති. තැනින් තැන ඉදිකරන ලද අනවසර නිවාස 75ක් නුවරඑළිය නාගරික බල ප්‍රදේශයෙහි පවතී.

නුවරඑළිය අනාගතයේ ලොව සුන්දරතම හරිත නගරය බවට පත්කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණය. නව නගර සංවර්ධන සැලැස්ම අදියර කිහිපයකින් ක්‍රියාවට නැංවේ. නගරයට ක්‍රමවත් මලාපවහන පද්ධතියක් සකස් කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, පැල්පත් වෙනුවට සෑම පවුලකට ම සුවපහසු නිවෙසක් ලබා දීම, පිරිසුදු පානීය ජලය ලබා දීම සඳහා නගර සීමාවෙහි වැවක් ඉදිකිරීම, වෙළෙඳ සංකීර්ණ රථගාල් හා පහසුකම් මධ්‍යස්ථාන සහිත සත්මහල්, බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදිකිරීම, සුපුරුදු සංචාරක ආකර්ෂණ ස්ථානවලට අමතරව හඳුනාගත් සොබා සොඳුරු ඉසව් සංචාරක ආකර්ෂණ ලෙස සංවර්ධනය කිරීම, යෝජිත වැව් බැම්ම වටා පිහිටි තැනිතලා භුමියෙහි ලෝකයේ හොඳම සහ උසම ස්ථානයක පිහිටි අන්තර් ජාතික ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු පිටියක් ඇති කිරීම, පවතින උද්‍යානවලට අමතර කුඩා උද්‍යාන කිහිපයක් ඇති කිරීම, සිංගල් ට්‍රී කඳුවැටියේ සිට ග්‍රෙගරිවැව දක්වා‍ කේබල් කාර් සේවයක් ඇරැඹීම සහ පවතින තරු පන්තියේ හෝටල් කාමර 750ට අමතරව තවත් තරු පන්තියේ හෝටල් කාමර 750ක් ඇති කිරීම වැනි ව්‍යාපෘති රාශියක් මේ නගර සංවර්ධන සැලැස්මට අයත් වේ.

නගරයේ පවතින ගැටලු අතර බලවත් ම ගැටලුව වන්නේ ක්‍රමවත් මලාපවහන පද්ධතියක් නොමැති වීමය. මේ ගැටලුවට විසඳුමක් ලෙස ජපන් රජයේ ජයිකා වැඩසටහනෙහි ආධාරයෙන් ක්‍රමවත් මලාපවහන පද්ධතියක් ඇති කිරීමට සැලසුම් සකස් කර තිබේ. ජයිකා ආධාර යටතේ ඉදි කෙරෙන මේ මලාපවහන පද්ධති ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ඇරැඹීට නියමිතය.

නගරයේ සුන්දරත්වය කෙලෙසන අනවසර පැල්පත් ඉවත්කර ඒවායෙහි නිවැසියන්ට සුව පහසු නිවාස ඉදිකරදීමට ද යෝජිතය. ඒ සඳහා මේ වන විට සුදුසු ඉඩමක් තෝරා ගෙන ඇති අතර, නුදුරු අනාගතයේදීම ඒ නිවාස ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් ඇරැඹේ.

දැනට අක්‍රමවත්ව පවතින දිනපතා පොළ ඉවත් ‍කොට පැරැණි නගර සභා ගොඩනැඟිල්ලේ සිට ප්‍රධාන පාරෙන් අනෙක් පස දක්වා ගුවන් පාලමක් ඉදි කෙරේ. එය කාර්ගිල්ස් වෙළෙඳ පිටියට සම්බන්ධ කරමින් ඉදිවන බහුකාර්ය ගොඩනැඟිල්ල මඟින් නුවරඑළිය නගරයට මෙතෙක් පැවැති බො‍හෝ අඩුපාඩු සම්පූර්ණ වනු ඇත. සියලු පහසුකම්වලින් යුතු පොදු වෙළෙඳසලක්, වාහන 450ක් ගාල් කළ හැකි රථ ගාලක්, නිවාස සංකීර්ණයක්, සිනමා ශාලා ඇතුළු පොදු පහසුකම් සේවාවන් රැසකින් එම බහුකර්ය ගොඩනැඟිල්ල සමන්විත වනු ඇත.

යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරෙන නව සුඛෝපභෝගී නිවාස සංකිර්ණය දෙස් විදෙස් ගොල්ෆ් ක්‍රීඩා ලෝලීන් ඉලක්ක කරගෙන ඉදිකරනු ලබන්නකි. නුවරඑළියේ ගොල්ෆ් ක්‍රීඩාවට පවතින ඉල්ලුම ඉලක්ක කරගනිමින් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම එහි අරමුණය.

බහුකාර්ය ගොඩනැඟිල්ල මඟින් මසකට රුපියල් කෝටි දෙකකට වැඩි ආදායමක් ඉපැයීමට නගර සභාව අපේක්ෂා කරයි. එමඟින් දැනට නගර සභාවට සමස්ත නගරයෙන් ලැබෙන බදු ආදායමට වැඩි ආදායමක් පහසුවෙන් ම උපයා ගැනීමට හැකි වන බවද හිටපු නගරාධිපතිවරයා පවසයි. එමඟින් නගර සභාවට රු. බිලියන 4ක ගොඩනැඟිලි වත්කමක් හිමි වන අතර, රු. කෝටි 10ක ආදායමක් ලබා ගැනීම නගර සභාවෙහි ඉලක්කය වන බවද හෙතෙම පවසයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 100% හිමිකාරීත්වය දරන Ocean View ඉදිකිරීම් සමාගම මඟින් මේ ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

පළමු අදියරේදී පැල්පත් ඉවත් කර නිවාස 250ක් ඉදිකිරීමට ද, දෙවැනි අදියරේදී නිවාස අලෙවි කිරීමෙන් ලැබෙන ආදායමෙන් තවත් නිවාස 800 ක් ඉදිකිරීමට ද යෝජිතය. නුවරඑළිය නගරසභාව සතු අවසාන භූමි භාගය වන පැරැණි නගරය ආශ්‍රිත අක්කර දෙකහමාරක් මේ සඳහා යොදා ගනු ඇත. ඉදිකිරීමෙන් පසු එය නුවරඑළිය නගරයේ ආර්ථික සංස්කෘතික හා සමාජීය කේන්ද්‍රස්ථානය බවට පත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ වැඩි ම උද්භිද උද්‍යාන සංඛ්‍යාවක් හිමි වන එකම නගරය ද නුවරඑළියයි. වර්තමාන ග්‍රෙගරි උද්‍යානය අදියර 1, 2, 3, 4 වශයෙන් පුළුල් කෙරෙන අතර, වික්ටෝරියා උද්‍යානය සහ සීතාඑළියේ සඳතැන්න උද්‍යාන සංවර්ධන ව්‍යාපෘති ද මේ අතර වේ.

ලොව වෙනත් කොතැනකදී හෝ දක්නට නොලැබෙන තරම් මනරම් පරිසරයකින් යුතු සඳතැන්න උද්‍යානයක් ලෙස සංවර්ධනය කර මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයන් හට රිසි සේ දැකබලා ගන්නට පහසුකම් සලසා තිබේ. සීතාඑළියේ පිහිටි රජයේ බීජ අර්තාපල් ගොවිපළ භූමිය හරහා කිලෝමීටර් තුනක් පමණ ගමන් කළ විට හමුවන සුන්දර කඳුගැටය මත පිහිටි තැන්න සඳතැන්න නමින් හැඳින්වේ. අතිරමණීය භූමි භාගයක් වන මෙහි මුදුනතෙහි ඉදි කළ නැරැඹුම් පියස්ස මත නැගී හාත්පස නරඹන්නෙකුට ලංකාවේ ප්‍රධානත ම කඳුවැටි දහයෙන් හතක් ම එකපැහැර නැරැඹී‍ෙම් දුලභ අවස්ථාව හිමි වෙයි.

නගරවැසි ජනතාවගේ පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දෙමින් නගරයෙන් ඉහළ දැනට නගර සභාව සතුව පවතින අක්කර 15 ක භූමි භාගයක ඉදිකිරීමට යෝජිත වැව ලවර්ස් ලීප් දිය ඇල්ලෙන් වසර පුරා ඇදහැලෙන ජලධාරාව එක් රැස් කොට තැනීමට යෝජිතය. මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඒ සඳහා අවශ්‍ය ශකයතා අධ්‍යයන වාර්තා සකස් කරමින් සිටියි. යෝජිත වැව් පිටිය වටා බැ‍ඳෙන වේල්ල මත ඉදිකෙරෙන ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගණය දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ ශක්තිය වර්ධනය කරවන අන්තර්ජාතික තලයේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ. දැනට ලෝකයේ පවතින එවැනි පුහුණු කඳවුරු කිහිපය අතර යෝජිත ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගණයට ප්‍රථම ස්ථානයක් හිමිවනු ඇත. දැනට අපේ රටේ ක්‍රීඩකයන් ද දරාගැනීමේ ශක්තිය වර්ධනය කැරගැනීමේ පුහුණුව සඳහා ඉතියෝපියාව, කෙන්යාව, මෙක්සිකෝව වැනි රටවලට යති. ඒ සඳහා වැය කෙරෙන ධනස්කන්ධය අති විශාලය. එය අපේ රටෙන් එතෙර ඇදී යන ධනය රැක ගැනීමට මෙන් ම ඒ රටවලට ඇදී යන විදේශීය ක්‍රීඩකයන් මෙරටට ගෙන්වා ගෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට උදා වන මහඟු අවස්ථාවකි. දැනටමත් මෙරටදී පුහුණුව ලබාගැනීමට චීනය කොරියාව සිංගප්පූරුව හා මාලදිවයින් රාජ්‍යයන්හි ක්‍රීඩා අංශ කැමැත්ත පළ කර තිබේ.

2018 වසර අවසානය වන විට නව නගර සංවර්ධන සැලැසුම ඇතුළු ව්‍යාපෘති රැසක් ඇරැඹීමට හා වැඩ නිම කිරීමට ද යෝජිතව තිබේ. මෙතෙක් නගර සභාව සතුව පැවැති සීමිත ආදායම් ක්‍රම කිහිපයෙන් ඔබ්බට යමින් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගත් නව ආදායම් ක්‍රමෝපාය සැලැස්මක් ක්‍රියාවට නැංවීම නගර සභාවේ අරමුණ වී තිබේ. පුරා සිව් වසරක් අඛණ්ඩවම මෙරට හොඳම විගණන මතය දිනාගත් නගරසභාව ලෙස තේරුණු එකම නගර සභාවද නුවරඑළියයි. ලෝකයේ හොඳ ම වීථි ආලෝකකරණ පද්ධතියකින් යුතු නුවරඑළියේ 2015 වසරේදී දියත් කරන ලද ගණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තවමත් අඛණ්ඩව ක්‍රියාවට නැංවේ. පසුගිය වසර 1 1/2 කාලය තුළ ක්‍රමවත් පාලනයකින් තොර වීමෙන් නගරයේ පැවැති ක්‍රමවත් භාවය තරමක් අඩු වී තිබේ. ඉදිරියේදී යෝජිත ගොඩනැඟිලි ඉදිකිරීම් තුළින් රුපියල් කෝටි දෙකක්, රථගාල් මඟින් රුපියල් කෝටි දෙකක්, ව්‍යාපාර ගොඩනැඟිලිවලින් කෝටි දෙක බැගින් හා බදු ආදායම් මඟින් ඉතිරිය ද වන ලෙස රුපියල් කෝටි දහයක මාසික ආදායම් ඉලක්ක කරගනිමින් නුවරඑළිය නව සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඡායාරූප - තිලක් පෙරේරා
සාගරිකා දිසානායක ජයසිංහ

 

Comments