කාන්තාවන් බලයෙන් දේශපාලනයට තල්ලු කිරීම | සිළුමිණ

කාන්තාවන් බලයෙන් දේශපාලනයට තල්ලු කිරීම

 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මහජන නියෝජිතවරියක ඉතිහාසයේ කවරදාකවත් තේරී පත් වී නැත. ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ කිහිප වතාවකම කාන්තාවන් ඒ ඒ ලැයිස්තුවල සිටියද තරගයක් දෙන්නට තරම් ක්‍රියාකාරි දේශපාලනයේ යෙදුණු කාන්තාවන් සිටියේ නැත. එය කනගාටුදායක සිද්ධියක් වුවද යථාර්ථය වූයේ එයයි.

ප්‍රාදේශීය සභා දේශපාලනය තුළ පමණක් නොව, ඉතිහාසයේ කිසිම මැතිවරණයකදී ඇල්පිටිය ප්‍රදේශයෙන් කාන්තාවන් දේශපාලනයට එකතු වූ අවස්ථාවක් මා නම් අසා නැත. එසේ දේශපාලනයේ නියුතු වූ රැඩිකල් හා සටන්කාමී කාන්තාව වූයේ පසුව දකුණු පළාත් සභාවේද මන්ත්‍රීවරියක වූ අම්බලන්ගොඩ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය වූ ලංකා සමසමාජ පක්ෂයේ සිරිනාවතී ද සිල්වායි. අම්බලන්ගොඩ දේශපාලන සංස්කෘතිය එසේ වුවත් ඇල්පිටියේ දේශපාලන සංස්කෘතිය තුළ කාන්තාවෝ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නොසිටියහ.

එහෙත් ඇල්පිටියේ කිසිවකුගේ ඉල්ලීමක් නැතිව ඊනියා ජාතික අවශ්‍යතාව මත ළඟදී පවත්වන්නට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කාන්තාවන් හතර දෙනකු පමණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පත් කිරීමට නියමිතව ඇත. ඒ පළාත් පාලන ආයතන මැතිවරණ පනතට එක් කළ සංශෝධනයකට අනුවය. ඒ නියෝජිතවරියන් පත් වීමට නියමිතව ඇත්තේ මහජන ඡන්දයෙන් නොව, දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ ලේකම්වරයාගේ කැමැත්ත මතය. ලේකම්වරයා එලෙස පත් කරන්නේ ඒ ඒ දේශපාලන පක්ෂය කොට්ඨාස මට්ටමෙන් ලැබූ මුළු ඡන්ද සංඛ්‍යාව මතය. ඒ සමානුපාතික ක්‍රමයටය. ඊට අමතරව කොට්ඨාස ක්‍රමයේදී නාම යෝජනාව තුළ අවම වශයෙන් එක් කාන්තාවකගේ නම අඩංගු විය යුතුය.

කාන්තාවන් ලංකා දේශපාලනය තුළත් මහජන නියෝජිතයන් ලෙස ඒ ඒ ආයතනයන් තුළත් සිටිය යුතු බව ඇත්තකි. එහෙත් ඒ මහජන කැමැත්ත මතය. මහජන කැමැත්ත නැතිව විකෘති නියෝජනයන් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයට පරස්පර විරෝධිව යෑමකි. කොට්ඨාස ක්‍රමය තුළ එක් නාම යෝජනාවක් අනිවාර්යයෙන් කාන්තාවකට හිමි විය යුතුව තිබීම නිසා දේශපාලනයට කැමැති නැති කාන්තාවක හෝ යොදවා නාම යෝජනා පත්‍ර සම්පූර්ණ කිරීමට සිදු වේ. එසේම සමානුපාතික ක්‍රමය යටතේ පත් කරන නියෝජිතයන් ලෙස කාන්තාවන් හතරදෙනකු සිටිය යුතු නිසා දේශපාලනයට අකැමැති කාන්තාවන් පවා පත් කර නාමයෝජනාව සම්පූර්ණ කරගැනීමට පෙගඹීම ස්වාභාවිකය.

එක් අවස්ථාවක මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද කීවේ රජයේ රැකියාවන්ට කාන්තාවන් පැමිණියත් දේශපාලනය කරන්නට කාන්තාවන් ඒ හැටි නොපැමිණෙන බවයි. සමාජ ප්‍රගමනය තුළ එය සංස්කෘතික හැසිරීමකි. එහෙත් රාජ්‍ය නොවන සංවිධාන බොහෝ විට උත්සාහ ගන්නේ මේ සංස්කෘතික චලනය විකෘති ලෙස වෙනස් කර වැඩි කාන්තා සහභාගිත්වයක් දේශපාලනය තුළ තබාගැනීමටයි.

තරුණ අසහන කොමිසමේ නිර්දේශ අනුව පළාත් පාලන මැතිවරණයට තරග කරන නාම යෝජනා ලැයිස්තුවක යම්කිසි නිශ්චිත ප්‍රතිශතයක් තරුණ නම් තිබිය යුතුයැයි නීතිගත වූ පසුව මැතිවරණයට තරග කරන පක්ෂ හා කණ්ඩායම් අලි අමාරුවක වැටිණි. ඒ නිසා කෘත්‍රිම නියෝජනයන් ඇති කරන ලදි.

යම් ආන්තික කොටසකට සමාජය තුළ නියෝජනයක් ස්ථාපිත කළ යුත්තේ කෘත්‍රිමව හෝ බලෙන් හෝ නොවේ. එසේ කළ විට එය විකෘති තත්ත්වයන් ජනනය කරයි. කාන්තාවන් දේශපාලනය තුළ සිටිය යුතු බව ඇත්තකි. එහෙත් එය කළ යුත්තේ බලහත්කාරයෙන් නොවේ. යම් කිසි කාන්තාවක් දේශපාලනයට ලැදි නම් හෝ ඒ තුළ දක්ෂ නම් හෝ නාම යෝජනා ලබාගැනීම දුෂ්කර කටයුත්තක් නොවේ. එවැනි අයකුට කාන්තාවක් වූ පලියට නාමයෝජනා නොදී පැරදෙන පිරිමියකුට අපේක්ෂකත්වය දෙන්නට තරම් දේශපාලන පක්ෂ මෝඩ නැත. ප්‍රශ්නය පැනනඟින්නේ කාන්තාවන්ට නාමයෝජනා ලබාදීමේ දී දේශපාලන පක්ෂ අවස්ථාව ලබා නොදීම නොවේ. එවැනි කාන්තාවන් සමාජය තුළින් ඉස්මත්තට නොපැමිණීම මූලික ගැටලුවයි. අප විසඳුම් සෙවිය යුත්තේ ඒ මූලික ගැටලුවටයි.

කාන්තාවන් සමාජයේ සවිබලගැන්වීම දුෂ්කර කරුණක් වී ඇත්තේ සිංහල-බෞද්ධ සමාජය තුළ කාන්තාවක් පසුගාමී පිරිසක් බවට පත්ව තිබීමයි. එහෙත් අපේ සංස්කෘතික භාවිතාවන් යළි සකස් කරගන්නේ නම් කාන්තාවට සමාජය තුළ ශක්තිමත් ස්ථානයක් හිමි කර දීම බරපතළ සංකීර්ණ තත්තවයක් නොවේ. ශ්‍රී ලංකා අගමැතිවරකු ලෙස කාන්තාවක් තේරී පත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. එසේම ජනාධිපති ධුරයටද කාන්තාවක් තේරී පත් විය. පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයකටද කාන්තාවක් තේරී පත් විය. එමඟින් පැහැදිලි වන්නේ කාන්තාවකට දේශපාලන නියෝජනයක් ලබාගැනීම සංස්කෘතිකව සීමා කර නැති බවයි.

එහෙත් පවතින සමාජ සැකැස්ම අනුව දේශපාලනය තුළ බහුතරයක් ක්‍රියාකාරීව සිටින්නේ පිරිමින්ය. ඒ බලය බිඳ, කාන්තාවන්ට දේශපාලනය තුළ නියෝජනයක් සහතික කිරීම සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම ඇත්තටම කාන්තාවන්ට කරන නිගරුවකි. කළ යුත්තේ කාන්තාව සමාජය තුළ සවිමත් කර, දේශපාලනයට ඒම සඳහා ඇයට ඇති කැමැත්ත වර්ධනය වන අයුරින් දේශපාලන අවකාශය අලුතින් නිර්මාණය කිරීමයි. එය කළ යුත්තේ සමාජ දේශපාලනික ව්‍යාපාරයක් විසිනි.

එහෙත් රාජ්‍ය නොවන සංවිධානවල භාවිතාව අනුව එය ඔවුන්ට තේරුම් ගත නොහැකිය. ඒ භාවිතාව තුළ ඇත්තේ සංකේතාත්මක කටයුතු පමණි. සංකේතාත්මකව කාන්තාවන්ට දේශපාලන බලයක් විකෘති ලෙස ලබාදීම බරපතළ සමාජ ගැටලුවලට හේතු විය හැකිය.

එහෙත් ව්‍යාපෘති ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානයක විෂයපථයට ඇතුළත් වන්නේ කාන්තාවන් දේශපාලනයට නොඑන නැඹුරුව වෙනස් කිරීමට නොවේ. ඔවුන්ගේ විෂයපථය තුළ ඇත්තේ නැඹුරුව කෙසේ වෙතත් අවස්ථාව සහතික කර, විදේශ අරමුදල් ලබාගැනීමයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයන්ගේ අදේශපාලනික භාවිතාවේ ප්‍රතිඵලයකි.

රාජ්‍ය නොවන සංවිධාන රටක සමාජ දේශපාලන ප්‍රවාහයට කරන්නා වූ බරපතළ හානියද එයයි.

අබරන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.