අයිතීන් රැකීම හා කැඩීම | සිළුමිණ

අයිතීන් රැකීම හා කැඩීම

 පළාත් පාලන සීමා නිර්ණයන් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය පසුගියදා අභියාචනාධිකරණය විසින් අත්හිටුවන ලදි. ඊට හේතුව වූයේ ඡන්දදායකයන් පිරිසක් තම මූලික අයිතීන් උල්ලංඝනය වන්නේයැයි පවසමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමයි. සීමා නිර්ණයේ පවතින අඩු-පාඩු අගතිගාමි නිසා එම අඩු-පාඩු සකස් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ. මේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සමාජය විසින් පුල-පුලා බලා සිටි පළාත් පාලන මැතිවරණය නැවතත් කල් යෑමට ඇත්තේ වැඩි ඉඩ-කඩකි.

පළාත් පාලන මැතිවරණය කලින් පැවැති සමානුපාතික ක්‍රමයට නොපවත්වා කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු ආරම්භ වී දැනට වසර දහයක කාලයක් ඉක්මවයි. මෙපමණ කාලයක් ගතව තිබියදීත් සීමා නිර්ණය විධිමත් කර, අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 17 වැනි දිනය. පිස්සු බල්ලකු නාවන්නට ගෙන යෑමටත් වඩා වෙහෙස මහන්සි වී මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය නීති පහසුකම් සකස් කරගන්නා ලදි. සීමානිර්ණ ගැසට් නිවේදනය නිකුත් වී මෙපමණ කාලයක් ගතව තිබියදීත් මැතිවරණය පැවැත්වීමේ එකොළොස්වන පැයේදී නැවතත් බාධාවක් එල්ල විය.

මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවකි. මේ මොහොතේ මැතිවරණ පැවැත්වීමෙන් පමණක් සමාජය මුහුණ දී ඇති බරපතළ අගතීන්ට එරෙහිව කටයුතු කළ නොහැකිය. එහෙත් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව තහවුරු කිරීම සදහා මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයකි. ඒ අර්ථයෙන් මේ වන විට බාධා එල්ල වී ඇත්තේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය විධිමත් පරිදි පවත්වාගෙන යෑමට එරෙහිවය. මේ බාධා එල්ල කරන්නේ ප්‍රජාතන්ක්ත්‍රවාදයට එරෙහිවය. යමෙකුට සීමා නිර්ණයන් නිසා අගතියක් වූවා නම් එම ගැටලු මීට කලින් විසදාගැනීමට ඕනෑ තරම් ඉඩ-ප්‍රස්තා තිබිණි. එහෙත් යටි අරමුණකින් මේ නඩුකරයට එළඹුණු බව සක්සුදක් සේ පැහැදිලිය.

පළාත් පාලන සීමා නිර්ණය සම්බන්ධ ගැසට් නිවේදනය අටඅනූවක් වූ දෝෂයන්ගෙන් පිරී තිබේ. උදාහරණයකට කුලියාපිටිය බටහිර හා නැ‍ඟෙනහිර ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ඇතත් ඒ කොට්ඨාස දෙකම ආවරණය වන පරිදි ඇත්තේ එකම ප්‍රාදේශීය සභාවකි. ප්‍රාදේශීය සභාවේ ඡන්දදායක සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. එහෙත් කතරගම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණය 15,000ක් පමණ සාපේක්ෂව කුඩා සංඛ්‍යාවකි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාල ප්‍රාදේශීය සභාවක් වූ අඹගමුව ප්‍රාදේශීය සභා ප්‍රදේශය හා නුවර එළිය ප්‍රාදේශීය සභා ප්‍රදේශ කුඩා ඒකක ලෙස අලුත් ප්‍රාදේශීය සභා කිහිපයකට වෙන් කළේ අවසාන මොහොතේදීය. එහෙත් වලපනේ, හඟුරන්කෙත හා කොත්මලේ ප්‍රාදේශීය සභා එලෙසම විශාල ජන සංඛ්‍යාවකින් හා ප්‍රදේශයකින් සමන්විත වුවද ඒවා කුඩා ප්‍රාදේශීය සභාවන්ට වෙන් නොකළේය.

වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සලකා බැලුව හොත් එහි ග්‍රාම නිලධාරී වසම් නවයෙන් හතරක් අයිති වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය සභාවටය. ග්‍රාමනිලධාරී වසම් පහක් අයත් වන්නේ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව-උතුර ප්‍රාදේශීය සභාවටය. එහි පවතින විෂමතාව කෙතරම්ද කිව හොත්: එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය සභා දෙකකට අයත් වේ.

සීමානීර්ණයේ මේ විෂමතා, දුර්වලතා හා අසාධාරණකම් බරපතළය. ඊට හේතු වී ඇත්තේ සීමානීර්ණ කොමිසම තම බලය සීමා කරගැනීමයි. ඒ කොමිසමේ එකම අරමුණ වී ඇත්තේ පළාත් පාලන කොට්ඨාසයන්ගේ සීමා නිර්ණය කිරීම පමණි. අවම වශයෙන් තමන් නිර්ණය කරන කොට්ඨාසයන් අයත් වන්නේ දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය සභාවන්ට බවවත් එම කොමිසම සැලකිල්ලට ගෙන නැත.

එහෙත් මේ විෂමතා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවිය යුතුය. සීමා නීර්ණයේ පවතින ගැටලු ඉදිරි වසර හතර තුළ නිවැරැදි කරගනිමින් ඊළඟ මැතිවරණයේදී වඩා සාධාරණ පළාත් පාලන අයතනයන් ස්ථාපිත කරගත හැකිය. මේ මොහොතේ කළ යුත්තේ පවතින ආයතනයන්ට මැතිවරණ පැවැත්වීමය.

සීමා නිර්ණයෙන් යම් අගතියක් වන්නේයැයි පෙත්සම්කරුවනට හැඟුණත් එනිසාම සිදු විය හැකි හානිය පෙත්සම්කරුවන්ගේ බල ප්‍රදේශයට පමණක් සීමා වේ. පවතින වාතාවරණය මත අගතියක් සිදු වී නැති මැතිවරණ කොට්ඨාසවල පදිංචි ඡන්දදායකයන්ට එමඟින් සිදු වන්නේ මහත් අසාධාරණයකි. පළාත් පාලන මැතිවරණ නොපවත්වා ඒවායේ බලය නිලධාරීන් මඟින් හසුරවන්නට තීරණය කර දැනට වසර දෙකක් පමණ ගත වේ. මේ නිසා ඡන්දදායකයන්ට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය අහිමි වී වසර දෙක ඉක්මවා ඇත. ඡන්දය පාවිච්චි කිරීම භාෂණයේ අයිතියක්යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුකරයකදී තීරණය කර ඇත. භාෂණයේ අයිතිය මූලික මිනිස් අයිතියක් බැවින් එය කිසිවකුට උල්ලංඝනය කළ නොහැකිය. මේ අනුව තවදුරටත් මැතිවරණ කල් දැමීම මිනිස් අයිතීන් උල්ලංඝනය කරන ක්‍රියාවකි.

දේශපාලන කුප්පකම් අනුව මැතිවරණය කල්දමාගැනීමට මූලික අයිතීන් යොදාගැනීම අශ්ලීල ක්‍රියාවකි. බල ප්‍රදේශයන් කිහිපයක ඡන්දදායකයන්ට සිදු වන්නේයැයි කියවෙන අගතියක් නිසා සමස්ත දිවයිනේම ඡන්දදායකයන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම අතිශය බරපතළ කාරණාවකි. මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරවීම නීති විශාරදයන්ගේ වගකීමකි. සියලු දේශපාලන පක්ෂ අගති විරහිතව කටයුතු කළ යුත්තේ සමස්ත ඡන්දදායකයන්ගේ අයිතීන් රැකගැනීමටය.

මේ අවස්ථාවේ නීතිය ගැන පමණක් විශ්වාසය තබා මූලික අයිතීන් ආරක්ෂා කරගැනීමට උත්සාහ දැරීම ඵල රහිත වේ. මෙය දේශපාලන ක්‍රියාවක ප්‍රතිඵලයකි. එනිසා වහ-වහා මැතිවරණය පවත්වාගැනීම උදෙසා දේශපාලනික ලෙස සමාජ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වේ.

අබරන් 

Comments