අමතක නොවන මතක | Page 2 | සිළුමිණ

අමතක නොවන මතක

පාසලේදි මාලිනීට ලියුම් ලියූ වරදට දවසක්ම දණගහගෙන ඉන්න වුණා

ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන්

මෙරට පුංචි තිරයේ සිටින ප්‍රවීණ නිළියන්ගේ නම් ලැයිස්තුවේ ඇගේ නම මුලටම කියැවෙයි. ඕනෑම චරිතයක් ඉතා අපූරුවට නිරූපණය කරන මෙම රංගන ශිල්පිනිය වසර ගණනාවකදීම මෙරට ජනප්‍රිය, දක්ෂතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන හිමිකර ගත්තාය. නිල්මිණි තෙන්නකෝන් වන ඇය මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙමින් ගෙවුණු මතකයන්අප මෙසේ අවදිකළා.

නෑම විනෝදාංශය වුණා

මෙරට ප්‍රවීණ කලාකරුවන් රැසක් සිටින කලා පුරයක් වන මොරටු පුරවරය මා උපන් ගමයි. අම්මා, තාත්තා අයියා, නංගී අපේ පවුලේ සාමාජිකයන්. කුඩා කාලයේ දඟ නොකරන දරුවන්ගෙන් වැඩක් නෑ කියන කියමන මගේ ජීවිතයට හොඳම නිදර්ශනයක්. මම හිතන්නෙ මම විතර දඟ කරපු ළමයෙක් ඒ කාලයේ මුළු මොරටුවේම නොසිටින්නට ඇති. ඒ තරමටම කුඩා කාලයේදි දඟවැඩ කළා. අපේ නිවෙස පිහිටා තිබු ඉඩම ආසන්නයෙන් ගඟක් ගලා ගියා. මගේ දවසම ගෙවුණේ ඔය ගඟේ. තාත්ත සහ අම්මා රැකියා සඳහා උදේට ගෙදරින් පිටත් වු විගසම ගඟට ගොස් නෑමත් පිහිනීමත් මගේ දෛනික පුරුද්දක් සහ විනෝදාංශය වුණා. කුඩා කාලයේ සිටම ඕනෑම වතුරක හොඳට පිහිනන්න හැකි ඒ නිසා වෙන්න ඇති.

පුංචි කාලෙ දඟ මල්ලක්

පුංචි කාලෙ දඟවැඩකර ගුටිකාපු වාර අනන්තයි. අදත් ඒව මතක්වනවිට කුඩා අවදියට දිව යන්න හිතෙනවා.තාත්තට අයිය ගැන බොරු කියලා ගුටි ගස්සපු වාර අප්‍රමාණයි. දවසක් අයියා යාළුවො කට්ටියත් එක්ක සෙල්ලම් කළා. මාව ගන්න කියා කොච්චර ඇවටිලි කළත් ගත්තෙ නෑ. ඒ ගැන තරහෙන් ඉන්නකොට දැක්කා අයියා යාළුවොත් එක්ක දුම්බොනව වගේ. දුවගෙන ගිහින් තාත්තට කීව අයියලා සිගරැට් බොනවා කියා. තාත්තට හොඳටම තරහ ගිහින් අයියට හොඳටම ගැහුවා. එදා මට මාර සතුටුයි තාත්ත අයියට ගහපු එක ගැන. එහෙත් අද ඒ සිදුවීම මතක් වනවිට සිතට දැනෙන්නේ මම මොනවද කළේ මට තිබුණේ අයියට ගස්සවන්නෙ නැතිව ඉන්න නේද කියල. අපි තාත්තට ගෙදරදි කියන්නෙ පප්ප කියල. ඒක මගේ යාළුවොත් දන්නවා. දවසක් මගේ යාළුවෙක් කිව්ව මොකද ඔයාගෙ පප්ප පුප්පන්නෙ කියා. එදා මට යාළුව ගැන පුදුම තරහක් ඇතිවුණේ. මම ගොඩක් ආදරය කරන තාත්තාට එහෙම කියපු එක ගැන. දවසක ඕකට දෙන්නම්කො කියා යාළුවටත් කියල හිතේ තියාගෙන හිටියා.

ගුටිකාලා මාසයක් එකතැන

මොරටුව වේල්ස් කුමරි විදුහල මා අධ්‍යාපනය ලැබූ පාසල. අපේ පාසල ළඟ තිබුණා ෆිල්ම් හෝල් එකක්. හැමදාම ෆිල්ම් හෝල් එක ළඟින් පාසලට යනවිට එහි එල්ලා තිබෙන ලස්සන කටවුට් දිහා බල බල යනවා. ඒ කාලෙ පටන්ම රඟපෑමේ ආසාවත් චිත්‍රපට නැරඹීමේ ආසාවත් තදින්ම තිබුණා. මෙසේ එල්ලා තිබෙන කටවුට් අතර වැඩිපුරම දකින්න ලැබුණේ විජය, මාලනී, සබීතා, ස්වර්ණා වැනි රංගන ශිල්පිනියන් රඟපාන චිත්‍රපටවල රූප රාමු. හැමදාම වාගේ මාලිනී ෆොන්සේකාගේ කටවුට් එකක් තිබෙනවා. අපි යාළුවො හය දෙනෙක් කතාවුණා මානීට ලියුමක් ලියන්න ඕනෑ කියා. කොහොම හරි ඒ ලියුම පන්තිභාර ගුරුවරියට අසුවී අපි හය දෙනාවම ඔෆිස් එකට අරගෙන ගොස් පාසල නිමවනතුරු දණගැස්සුවා. තවත් වරක් චණ්ඩි ශ්‍යාමා ෆිල්ම් එක පෙන්නනවා කියා එම හෝල් එකේම ප්‍රදර්ශනයකර තිබුණා. තාත්තට කීවම මම බලල හොඳනම් බලන්න එක්ක යන්නම් කීවා. කො‍ෙහාම හරි චණ්ඩි ශ්‍යාමා ෆිල්ම් එක බලන්න එක්කගෙන ගියා. චණ්ඩි ශ්‍යාමා ගහන ෂොට් කාට හරි ගහන්න ඕන කියල සිතුණු විට එකවරම මතක්වුණේ තාත්තට පුප්පනව කියපු ගෑනු ළමයව. ඇයව දවසක් මගදි හමුවුණා. ඒ ළමයගෙ අතින් ඇදල චණ්ඩි ශ්‍යාමා ගහන පාරක් ගැහුවත් මම ගහපු පාර සාර්ථක වුයේ නැහැ. එයා මගේ බෙල්ල කරකවල දැම්මා. මාස එකහමාරක් මුකුත් කරගන්න බැරුව ඇඳට වෙලා ඉන්න වුණා. ඊට පස්සෙ කවදාවත් ළමයින්ට චණ්ඩි පාට් දාන්නවත් ගහගන්නවත් ගියේ නෑ.

ලියුම් හොරෙන් කියවා ගුටි කෑවා

උසස් පෙළ කරන කාලෙ පිරිමි ළමයි කිහිප දෙනෙක්ම ආදරේ ඉල්ලන් පස්සෙන් ආවා. ඒත් අයියටයි, තාත්තටයි තියෙන බය නිසා කා එක්කවත් සම්බන්ධකමක් තියාගත්තෙ නෑ. එක් වරක් ආදරේ ඉල්ලන් ආපු තරුණයකුගෙන් බේරෙන්න බැරිවුණා. ඔහු අයියටත් කියල මම ඔහුත් එක්ක යාළුයි කියා. අයිය තාත්තට කියල මට හොඳටම ගැස්සුවා. මට මතකයි ඒකෙ පලිය ගත්තෙ ඒ ළමයගෙ නංගිල දෙන්නගෙන්.තවත් වරක් අක්කගෙ දුවට ලියුමක් ආව අපේ ගෙදරට. තාත්තට ඒක අහුවෙලා කඩල කියවා ආපහු තියෙන විදිහටම ලියුම අලවා තබන අයුරු දුටුවා. මටත් හිතුන මොනවද මේ ලියුමෙ තියෙන්නේ කියා කඩල බලන්න ඕන කියා. මමත් ඒ ලියුම හොරෙන්ම කඩල කියවා අලවා තිබ්බත් තාත්තට ඒක අහුවුණා. එදා මට මතකයි මම කාමරේ සිටිද්දි තාත්ත කාමරේට ඇවිත් මට ගහපු පාරට එතන තිබුණු ටවල් රැක් එකත් කඩාගෙන පෙරළගෙන වැටුණා. එදායින් පස්සෙ කිසිම දවසක ඒ වගේ දඟවැඩ කරන්න ගියේ නෑ.

සම්මානයට පාත්‍ර වු අවස්ථා බොහෝයි

1980 අපේ පාසලේ බිග් මැච්එක තිබු දවසක මම ජීවිතේ ‍බොහෝ ආදරය කළ තාත්තා අපිව හැරදා ගියේ එදායි. එයට අවුරුදු දෙකකට පසුව ජීවිත කාලයම ළඟින් සිටිය සොහොයුරා නැතිවුණා. ඔය සිදුවීම් දෙකම මගේ ජීවිතයට බෙහෙවින් බලපෑවා. ඉන් පසුව මධුමාධව සමග විවාහවු දිනයත් ඔහුගෙන් දික්කසාද වු දිනයත් ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම්.අප දෙදෙනාගේ දික්කසාදය අමාරුවෙන් අමතක කර දාන්න උත්සාහකරන මතකයන් අතර එක් සිදුවීමක්. පුංචි ස්වේතා දුව රෝසමලක් වගේ මගේ තුරුළට ගත් දිනයේ පටන් මේ වනතුරු ඇයගේ ජීවිතයේ සෑම සිදුවීමක්ම සුවිශේෂිවු සිදුවීම්. එම මතකයන් තමයි මාව ජීවත්කරවන බලාපොරොත්තු. කලා ලෝකෙ මෑත කාලයේ මම විතර සම්මාන ගත් තවත් නිළියක් නැති තරම්. ඒ තරමටම සම්මානයට පාත්‍ර වී තිබෙනවා. 1992 සරසවි සම්මාන උළෙලේදි නැගී එන නිළිය වී 2016 වනතුරුම හොඳම නිළිය, සහාය නිළිය, ජනප්‍රිය නිළිය, ආදි සම්මාන 24ක් ලබා තිබෙනවා.මෑත කාලයේ කොතරම් ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයෙන් දායක වුවත් දූ දරුවෝ, දිය සුළිය, වැනි ටෙලි නාට්‍ය සදා මතකයේ රැඳුණු නිර්මාණ. දූ දරුවෝ දීප්ති අදත් ජනප්‍රියයි. අදත් මග තොටේ හමුවන ඇතැම් රසිකයන් කතාකරන්නේ දීප්ති යන නමින්. අද හැදෙන මෙගා ටෙලිනාට්‍ය දෙස බලන විට එදා අප දායක වු නිර්මාණ කොතරම් උසස් නිර්මාණදැයි සිතෙනවා. ඒ නිසයි ඒවාට තවමත් ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ. සඳ පිණි වැස්ස ටෙලි නාට්‍යය සහ චිත්‍රපටියත් ඉදිරියේදි එන්න තියෙනවා.

මැරිලා ඉපදුණා

මගේ ජීවිතයේ සෑම විපතකදිම මාව රැකගන්න මොකක් හෝ බලවේගයක් මා පිටුපස සිටිනවා. පසුගිය කාලයේ රතුපස්වලදී මුහුණ දුන් මාරක රිය අනතුරේදි මගේ පණ ගියා මතකයි. නැවතත් පන ආවා මතකයි. දින ගණනාවක් සිහි නැතිව රෝහල්ගතව සිටියා. එදා ලේක් හවුස් එකේ ආරාධනයකට අංජලිකා ෆිල්ම් එකේ වැඩකට යමින් සිටියදීයි එම අනතුරට මුහුණ දෙන්න සිදුවුණේ. අනතුරට පත්වු වෙලාවේ සිට සුව වෙනතුරු මම වෙනුවෙන් එක පහනක් හෝ නොදල්වපු ගෙයක් දොරක් නැති තරම්. ඒ තරමට ‍රසික හිතවතුන් ඇතුළු සියලු දෙනා මා වෙනුවෙන් කැපවුණා. ඒ සියලු දෙනාම මැරෙන තුරුම මගේ මතකයේ තිබෙනවා. එදා මගේ ජීවිතය නැතිවුවා නම් මගේ දරුවට අම්ම කෙනෙක් නැතිවෙනවා. එවැනි සිදුවීම් කොතරම් අමතක කිරීමට උත්සාහ ගත්තත් හුදකලාවේ සිටින අවස්ථාවලදී මතකයට ඒම නැවතිය නොහැකියි.

 

Comments