රුසියානු ගද්‍යයට ඉණිමං බැන්ද මිනිහා | සිළුමිණ

රුසියානු ගද්‍යයට ඉණිමං බැන්ද මිනිහා

එක්තරා දෙපාර්තමේන්තුවක, ලිපිකරුවෙක්, කොයි අන්දමින් හිතුවත් කැපී පෙනෙන පුද්ගල‍යකු සේ පෙන්විය නො හැකි ලිපිකරුවෙක් සේවය කෙළේය. ඔහු තරමක් මිටි, මුහුණේ තරමක් කැලැල් ඇති, තරමක් රතු හිස කේ ඇති, දුර නොපෙනෙන, හිස මුදුනේ මඳක් තට්ටය පෑදුණු, දෙකම්මුල් රැළි ගැසුණු, මඳක් සුදුමැලි මිනිසෙකි. මේ ගැන අපට කළ හැකි කිසිවක් නොමැත. ඊට වගකිව යුත්තේ පීටර්ස්බර්ග් නුවර දේශගුණයයි. ඔහුගේ පැලැන්තිය ගැන කියනවා නම්, (හැම දේකටම කලින් පැලැන්තිය සඳහන් කිරීම කළ යුතුම දෙයකි) ඔහු සදාකාලික ලිපිකරු‍වකු වශයෙන් හඳුන්වනු ලැබ‍ූවෙකි. දහහතර පෙළකට බෙදුණු අපේ ලිපිකාර සේවයෙහි නව වැනි පෙළෙහි ඔහු වැඩ කරයි. කවුරුත් දන්නා පරිදි මේ ලිපිකාර පෙළ නොයෙක් විදියේ ලේඛකයන් විසින් නින්දා අපහාසවලට භාජන කොට තිබේ. මෙම ලේඛකයෝ ආපසු පහර දෙන්නට බැරි අයට පහරදීමේ ප්‍රශංසා කටයුතු පුරුද්දක් ඇත්තෝය.

මේ ලිපිකරුගේ පෙළපත් නාමය වූයේ බෂ්මාවිකින්ය. ඔහුගේ නම අකාකි අකාකියෙවිචිය.

රුසියානු ගද්‍ය සාහිත්‍යය නව දිසාවකට හැරවූ සුප්‍රකට “හිම කබායේ” අයිතිකාරයා ඔහුය.

“අපි හැමදෙනාම එළියට ආවේ ගොගොල්ගේ හිම කබාය තුළිනි.”

රුසියානු මහ ලේඛක පියදෝර් දස්තයෙව්ස්කි, නිකොලායි ගොගොල් ගැන සඳහන් කෙළේ ඒ අයුරිනි.

ඒ කතාව ඇත්තය. මන්ද යත්, නිකොලායි ගොගොල්ගේ ‘හිම කබාය’ නමැති දිග කෙටිකතාව, රුසියානු සාහිත්‍යයේ යථාර්ථවාදී අවධිය පිළිබඳ වැදගත්කම සන්ධිස්ථානය වන නිසාය.

අප මුලින් ම මෙම සාහිත්‍ය චාරිකාව ඇරඹුවේ රුසියානු මහා කවි ඇලෙක්සැන්දර පුෂ්කින්ගෙනි. පුෂ්කින් උපත ලබන්නේ දහනවවැනි සියවස පෙනි පෙනී තිබුණු 1799 වසරේදීය. ඊට වසර දහයකට පසුව 1809 දී උපත ලබන නිකොලායි වැසිලිවිචි ගොගොල්, පසු කාලයකදී පුෂ්කින්ගේ හොඳම මිත්‍රයකු බවට පත් විය.

නිකොලායි වැසිලිවිච් ගොගොල්, 1809 වසරේ අප්‍රේල් 01 වැනිදා රුසියාවේ යුක්රේනයේ පොල්තාවා පළාතේ සොරොවින්ස්කි ග්‍රාමයේ උපත ලැබීය. ඔහුගේ පියා ප්‍රවේණිදාසයින් හාරසියයක් හිමි සුළු ඉඩම් හිමියෙක් විය. පියා සාහිත්‍යයට ළැදි පුද්ගලයකු වූ අතර, මව දැඩි ආගම් උමතුවකින් පෙළුණු කාන්තාවක් වූවාය. මාපියන්ගේ මේ චරිත ලක්ෂණ දෙකම ගොගොල්ගේ සාහිත්‍ය ජීවිතය කෙරෙහි බලපෑ බව පෙනී යයි.

නිකොලායි, සිය මුල්ම සාහිත්‍ය පාඩම් උගත්තේ ගමේ ජනකතාත්, මිථ්‍යා කතාත්, අද්භූත කතාත් අසා රසවිඳීමෙනි. ඔහු පාසලට ගියේ අවුරුදු දොළෙහේදීය. සාහිත්‍ය කලාවනට ඇල්ම දැක්වූ මේ ශිෂ්‍යයා, කවටයින් මහල්ලන් සහ ඇතැම් විට ස්ත්‍රීන්ගේ චරිත පවා රඟපෑමෙන් පාසලේ කැපී පෙනෙන්නට වූයේය. කුරුල්ලකුගේ බඳු උල් මුහුණකුත් දිග නාසයකුත් හිමිව සිටි මේ ‘පුංචි මිට්ටා’ තමා විරූප බවත්, තමන්ට ප්‍රියමනාප පෙනුමක් නැති බවත් දැන සිටියේය. “මම අනෙක් අයට වඩා විශේෂ මිනිහෙක් වෙනවා” යයි ඔහු අදිටන් කරගත්තේ, ඒ නිසාය. ඒ නිසාම ඔහු අනෙක් අයගේ දුර්වලතාවන් පෙන්වමින් සිනාසෙන්නට විය; ඒ බලාපොරොත්තුවෙන්ම, සාහිත්‍ය නිර්මාණ කෘති කරන්නටද විය.

ප්‍රසිද්ධ වීමට මහත් ආශාවක් දැක්වූ ගොගොල්, අප්‍රසිද්ධව මිය යන්නට බිය විය. ඔහු වයස අවුරුදු විස්සේදී පීටර්ස්බර්ග් නගරයට පැමිණියේ නීතිඥයකු වන්නට හිතාගෙනය. නගරයට නොගැළපුණු මේ පිටිසරයා, අන්තිමේදී අමාරුවෙන් රජයේ ලිපිකර රස්සාවක් සොයා ගත්තේය. පසුව හේ ගුරුවරයෙක් විය. නළුවකු වන්ටත්, චිත්‍ර ශිල්පියකු වන්ටත් ඔහුට ඕනෑ විය. ඒ සියල්ල අසාර්ථක වූ පසුව, ගොගොල් පෑන අතට ගත්තේ, රුසියාවේ ගද්‍ය ලේඛක පරපුරේ පියා වන්නට හිතාගෙන නොවේ.

ඔහුගේ මුල්ම කවි පොත අසාර්ථක විය. මේ පොත ගැන නරක විවේචන පත්තරවල පළ විය. පොත පුච්චා දැමූ ගොගොල්, යළිත් පොත් නොලියන්නට තීරණය කෙළේය.

රූබල් 1400 ක් අතැතිව ඔහු ඇමරිකාවට යන බලාපොරොත්තුවෙන් මගට බැස්සේය. එහෙත් ගියේ, ජර්මනිය දක්වා පමණි. ආපසු පීටර්ස්බර්ග් නගරයට පැමිණි ගොගොල්, ස්වදේශ කටයුතු ඇමති කාර්යාලයේ පහළ පෙළේ ලියන්නකු බවට පත් විය.

මෙවර ඔහු ලියන්නට පටන්ගත්තේ පත්තරවලටය. ඒ, ජීවත්වීම සඳහාය. උපන් ගමේ ජනකතා අමුතු ආරකින් පත්තරවලට ලියන්ට ගත් විට, ඒ කතා පාඨකයින් අතර ජනප්‍රිය වන්නට විය. ඔහු මේ කතා අසා දැන ගත්තේ සිය අම්මාගෙනි.

“චිකෙන්යා අසල ගොවිපළක සවස් කාලය” නමැති ඔහුගේ කෘතිය කාණ්ඩ දෙකකින් යුතුව පළ විය. ගොගොල් සුළු කලෙකින් රුසියානු සමාජය තුළ ප්‍රබල ගද්‍ය ලේඛකයකු බවට පත්විය.

රුසියාවේ ගැමි සමාජයත්, රදල පැලැන්තියත්, පාලකයිනුත්, නිලධාරී පන්තියත්, විවරණය කරමින් හාස්‍යෝත්පාදක රීතියකින් ඔහු ලියාගෙන ලියාගෙන ගියේය. සමාජයේ අසාධාරණකම් සහ අමනකම් හෙළි කරන අතරම, ජනතාවගේ දිළිඳුකම ද ඔහු විවරණය කළේය; එමඟින් අනාගත සෞභාග්‍යයට මගක් ඇති බැව්ද පෙන්වා දුන්නේය.

“මෙවන් අලංකාරයක් මීට පෙර රුසියානු සාහිත්‍යයේ තිබී නැතැ” යි පුෂ්කින් කියා සිටියේය.

ගොගොල්ගේ කතාවල ඉස්මතුව පෙනුණේ, දේශීය ලක්ෂණයන්ය. රුසියානු ජනතාවට ආවේණිකව පැවති උපහාසයත්, හාස්‍යයත් එකී කතාවල නොමඳව දක්නට ලැබුණි. රුසියානු පාඨක ජනතාව විසින් ගොගොල්ගේ කතා ඉමහත් ආදරයකින් වැලඳගත්තේ ඒ නිසාය. එය ඔවුන්ට අපූරු අත්දැකීමක් විය. එසේම රුසියාන් සාහිත්‍යය බටහිර දායකත්වයෙන් මිදී ස්වාධීන ගමනක් ආරම්භ කර ඇති බැව්ද ඔවුන්ට පසක් වන්නට විය.

පුෂ්කින් පෙන්වා දුන් ඒ අපූර්වාලංකාරය ‘හිම කබාය’ තුළින් පමණක්ම නොව, “රජයේ රහස් පරීක්ෂක”, “තාරාස් බුල්බා” වැනි නිර්මාණ තුළින්ද, අන්තිමේදී “මළ මිනිස්සු” නමැති මහා නවකතාවෙන්ද පළ කළ ගොගොල්ගේ අවසාන කාලය, ඉතා දුක්ඛිත වූයේය. මානසික රෝගියකු බවට පත්ව 1852 මාර්තු 04 වැනිදා ඔහු මියයන විට, ඔහුගේ වයස අවුරුදු 43 ක් විය.

සිහිවිකල්ව ඔහු අන්තිමට කියූ වචන මේවාය.

“මට ඉණිමඟක් දෙන්න. මට ඉණිමඟක් දෙන්න.”

එහෙත් මහා රුසියානු ගද්‍ය සාහිත්‍යයට මේ තරම් ඉහළට නැගෙන්නට ඉණිමං බැන්ද මිනිහා, තමා බැව් ඔහු දැන සිටියේ නැත. 

Comments