පිරිහුණු දේශපාලනය කසාවතින් | සිළුමිණ

පිරිහුණු දේශපාලනය කසාවතින්

 අපරාධ චෝදනා මත, භික්‍ෂූන් 49 දෙනකු සිරභාරයේ සිටින බවට රජය වරක් ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ මැදගම ධම්මානන්ද හිමියෝ එකී නඩු කඩිනමින් විභාග කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. මහාචාර්ය සරත් විජේසූරිය ඉල්ලා සිටින්නේ රාජපක්‍ෂ යුගයේ සිදු කළ අපරාධ නඩු කඩිනමින් විභාග කරන ලෙසය. නඩු කටයුතු පමා වීම පොදු කරුණකි. එහෙත් මැදගම ධම්මානන්ද හිමියන් එකී පොදු කරුණ සම්බන්ධව මහාචාර්ය සරත් විජේසූරිය සමඟ එක වේදිකාවට නොපැමිණෙනු ඇත. මෙයින් තහවුරු වන්නේ සතර අගතියෙන් වල්මත් වුවද සමහර ගිහියන් සම්මා සතියෙන් ක්‍රියා කරන බවය.

පසුගිය ඔක්තෝබර් 18 දින රන් ආයුධ මණ්ඩපයේ දී මල්වතු අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට තීන්දු කළ බව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ගේ සහ අස්ගිරි ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රකාශ සමඟ ‘රන් ආයුධ මණ්ඩප නිවේදනය’ නමින් සමාජගත කෙරිණි. ඊට පසුදින රන් ආයුධ මණ්ඩප නිවේදනය මල්වතු මහ නාහිමියන්ගේ හෝ මල්වතු පාර්ශ්වයේ ප්‍රකාශයක් නොවන බවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ ප්‍රකාශ කළහ. එකී ප්‍රකාශය තහවුරු කරමින් අස්ගිරි ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ රන් ආයුධ මණ්ඩප නිවේදනය මහනාහිමිවරුන් දෙදෙනාගේ සහභාගිත්වය නොලද බව සහතික කළහ. මැදගම ධම්මානන්ද හිමියෝ වරක් ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ අනුමත කළ ථේරවාද කතිකාවක් ලියවිල්ලද මේ ආකාරයෙන් ප්‍රතික්‍ෂෙප කරමින් ස්වකීය නිකායේ මහනාහිමියන් පවා අවමානයට ලක් කළහ. මැදගම ධම්මානන්ද හිමියෝ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි තනතුර සඳහා පත් වන්නේ උක්ත සිද්ධියෙන් පසුව බව ශාසනාලයෙන් සටහන් කළ යුතුව ඇත.

පසුගිය නොවැම්බර් 01 දින ‘දිනමිණ’ අනුව, අස්ගිරිය නව ව්‍යවස්ථාවක් ආපසු හැරවීමට තැත් කරතීයි යටිවල්දෙණියේ මේධංකර හිමියෝ චෝදනා කළහ. උන් වහන්සේ අස්ගිරි මහා විහාර පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ධුරය දරන්නාහ.

ඔක්තෝබර් 18 දින වේදිකාගත කළ රන් ආයුධ මණ්ඩප විගඩම මේ වන විට අස්ගිරි ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන් මුල් වූ දේශපාලන ප්‍රකාශයක් මිස, මල්වතු-අස්ගිරි දෙපාර්ශ්වයේ පොදු මතය නොවන බව තහවුරු වී ඇත. අමරපුර මහා නිකායද රන් ආයුධ මණ්ඩප නිවේදනය අනුව යමින් රජයේ ව්‍යවස්ථා ප්‍රයත්නයට එරෙහිව දෝෂාරෝපණය කළහ. ඒ සමඟ සමහර මාධ්‍ය පාර්ශ්ව තිස් ගණනකට බෙ දී සිටින අමරපුර නිකාය රටේ බෙදීම ගැන කරන ප්‍රකාශයට සමච්චල් කළේය. නොවැම්බර් 07 දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඉදිරිපත් වන තෙක් ජනාධිපති අගමැති දෙදෙනා විශ්වාස කරන බව රටට තහවුරු කළහ. අස්ගිරි ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන් මෙන්ම ප්‍රකට දේශපාලන ප්‍රකාශකයකු වන ඕමාරේ කස්සප හිමි මුල්ව, සියම් මහා නිකායේ රුහුණු පාර්ශ්වයද රජයේ ව්‍යවස්ථා ප්‍රයත්නයට එරෙහිව රන් ආයුධ මණ්ඩප නිවේදනයට සමාන ප්‍රකාශයක් නිකුත් කර ඇත.

පනත නොපනත

කුල දේවතාවුන් ලෙස සැලකෙන මහා සංඝයා වහන්සේගේ ශාසනික හෝ ජාතික මතයට සවන් දීමට මුළු රටම සූදානම් සිටිති. එහෙත් සරල දේශපාලන උද්ඝෝෂණ ශක්තිමත් කිරීමට, මෙසේ සංඝ සභා සම්මුති නිර්මාණය කරමින් උත්සාහ කිරීම බෙහෙවින් කණගාටුදායක වේ. රන් ආයුධ මණ්ඩප නිවේදනය නිකුත් කරන විට, රාජ්‍ය නායක දෙපළ ව්‍යවස්ථා ක්‍රියාවලිය ගැන නිරවුල්ව කරුණු දක්වා තිබිණි. මෙහි දී තමන් වහන්සේ රාජ්‍ය නායක දෙපළ විශ්වාස කරන බව මල්වතු මහනාහිමියෝ වීරවංශ, දිනේෂ් දෙදෙනාටම සිහිපත් කර තිබිණි. මේ අතර, ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රයත්නයට එරෙහි මහින්ද රාජපක්‍ෂ නිකුත් කළ ප්‍රකාශය තහවුරු කිරීමට රන් ආයුධ මණ්ඩප නිවේදනය නිකුත් කිරීමෙන් සහ එය නැවත නැවත මහා සංඝයා විසින්ම ප්‍රතික්‍ෂෙප කිරීමෙන් ජනතාව සහ පාලකයන් තුළ භික්‍ෂූන් වහන්සේ කෙරෙහි පවත්නා ගෞරවය සහ විශ්වාසය පලුදු විය හැකිය.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් අනුමත කළ ථේරවාද පනත අස්ගිරි පාර්ශ්වයේ මැදගම ධම්මානන්ද හිමියන් මුල්ව ප්‍රතික්‍ෂෙප කළේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් බව රටම දනිති. එහි දී සියම් නිකායේ රුහුණු පාර්ශ්වය හෝ අමරපුර නිකාය ථේරවාද පනතට එරෙහි නොවීය. එසේම සමහර අදාන්ත භික්‍ෂූන් වෙනුවෙන් අස්ගිරි පාර්ශ්වය ප්‍රකාශ නිකුත් කළේ එකී චරිත ප්‍රකට දේශපාලන පණිවිඩකාරයන් වීම නිසාය. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ ගෞරවය වෙනුවෙන් නිවේදන නිකුත් කළ අස්ගිරි පාර්ශ්වය මල්වතු මහනාහිමියන් ගැන ඉත්තෑකන්දේ භික්‍ෂුව කළ ප්‍රකාශය ගැන නිහඬව සිටියේද දේශපාලනික හේතු නිසාය. 2005 ජනාධිපතිවරණය ආරම්භයේ එල්ලාවල මේධානන්ද හිමි ප්‍රමුඛ හෙළ උරුමය මහනුවර ඓතිහාසික මහ මළුවේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්හ. එදා ව්‍යවස්ථාව වෙනස් කිරීමට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය හෝ රුහුණු පාර්ශ්වය හෝ අමරපුර නිකාය විරුද්ධ වුණේ නැත. අද විරුද්ධ වන්නේ මහින්ද රාජපක්‍ෂගේ මතය ශක්තිමත් කිරීමට බව ගිහි ජනතාව විශ්වස කරති. මතයක් දැරීමේ අයිතිය සුරක්‍ෂිත එකකි. එහෙත් බෙදුණු ගැටලුවක දී නිකාය පාර්ශ්ව නාමයන් යොදාගනිමින් දරන ප්‍රයත්නය බෞද්ධ ජනතාවගේ ශාසනික ගෞරවයට කරන නිගාවකි.

රේස් උපේක්ෂාව

සත්‍ය ලෙසම රට ඒකීය විය යුතු වේ. බුද්ධාගමට මුල් තැන ලැබිය යුතු වේ. මල්වතු මහනාහිමියෝද ඒ මතය දරති. ඒ කරුණු දෙකම වෙනස් නොවන බවට ආණ්ඩුවේ ප්‍රධානීන් දුන් සහතිකය මේ වන විට මල්වතු මහ නාහිමියන් මෙන්ම, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායද විශ්වාස කරති. සැබෑ ව්‍යවස්ථා කෙටුම්පතෙහි එකී කරුණු නොපවතී නම් රටම විරුද්ධ විය යුතුය. තවමත් එළිදැක නැති ව්‍යවස්ථා කෙටුම්පතක් ගැන සමහරුන් කරන විකාර දේශපාලන විකාරයක්ම පමණකි. ප්‍රශ්නය වන්නේ තම මතයට එරෙහිව දළදා නගරයේ රේස් පදින විට අස්ගිරිය ප්‍රදර්ශනය කළ උපේක්‍ෂාව ඉවසිල්ල යෝජිත ව්‍යවස්ථාව කෙරෙහි නැතිකමය.

ශාසනික හේතු මත මුදල් එකතු කිරීම හැඳින්වෙන්නේ ‘සම්මාදමක්’ ලෙසය. සමහර තක්කඩීන් එකී සම්මාදම් සම්ප්‍රදාය අවභාවිත කරමින් කරන ක්‍රියා ‘හොර සම්මාදම්’ ලෙස සැලකෙයි. එහෙත් අධිකරණය පැනවූ මුදල් දඩයක් ගෙවීමට බුදුන් අනුදැන වදාළ අට පිරිකරට අයත් පාත්‍රය ගෙන පිඩු සිඟා වැඩීම නම් පූජනීය ශාසනික ක්‍රමවේදය පාවිච්චි කිරීම අකැපය; භික්‍ෂු ගෞරවයට හානිකරය. එය දකින්නන්ගේ අප්‍රසාදයට හේතු වේ. වස් සමයේ පිඩු සිඟා නොවැඩිය යුතු බව බෞද්ධ ජනතාව දනිති. මේ හැසිරීම් ඕලාරික දේශපාලන ගැතිකම් වෙති. එහෙත් පින් තකා කරන සම්මාදම්වලින් හොර සම්මාදම් වෙන් කරගන්නා බෞද්ධ ජනතාව අර අයෝග්‍ය විනය විරෝධි පිණ්ඩපාත ක්‍රියාව ‘හොර පිණ්ඩපාතය’ ලෙස කිසි විටෙක හඳුන්වන්නේ නැත. හේතුව එකී පිණ්ඩපාතික අදාන්ත භික්‍ෂූන්ට වඩා සාමාන්‍ය බෞද්ධ ජනතාව තමන් අදහන ආගම කෙරෙහි දක්වන ඇල්මය.

කන්ටේනර් මුනිවත

මෙන්න මෙතන දී මේ රටේ සාමාන්‍ය බෞද්ධ ජනතාව සමහර භික්‍ෂූන්ට වඩා ගරු කටයුතු වෙති; බෞද්ධ පිළිවෙත් අනුව යති. මෙයින් අදහස් වන්නේ මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය උස්සන තරමට ශාසනය, නිකාය, භික්‍ෂු ගෞරවය කෙලෙසෙන බවය. මේ තත්ත්වය තේරුම් ගැනීමට සමහර බෞද්ධ භික්‍ෂූහු අසමත් වෙති. තත්ත්වය මෙසේ නම් බෞද්ධ භික්‍ෂුව රටට දෙන මාර්ගෝපදේශකත්වය කුමක්ද?

1978 ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලැබී ඇති තැන ගැන අස්ථානයේ සැක කරමින් වීදි බැස සිටින, අස්ගිරි පාර්ශ්වය සහ රුහුණු පාර්ශ්වය 2010 වසරේ මහින්ද රාජපක්‍ෂට බුද්ධ සාසන අමාත්‍යාංශය අමතක විය. පසුව කළ කරුණු දැක්වීම් නිසා බුද්ධ ශාසන ඇමැති ලෙස අගමැති දිමු ජයරත්න පත් කළේය. එකී බුද්ධ ශාසන ඇමැති කුඩු කන්ටේනරයක් මුදාගැනීමට නිකුත් කළ ලිපිය ගැන මැදගම ධම්මානන්ද හිමි කතා කළේ නැත. ඊට එරෙහි වූ හෙළ උරුමය සංඝයා වහන්සේ අගමැති කාර්යාලය වැටලූ විට පොලීසිය දමා පහරදීම ගැන කතා කළේ නැත. මේ අතීත ක්‍රියාකාරකම් හෝ නොකර හැරීම් ගැන මැදගම ධම්මානන්ද හිමි හෝ ඕමාරේ කස්සප හිමි පැහැදිලි කිරීමක් නොකළේ බුද්ධ සාසනය සමහර භික්‍ෂූන් මහින්ද රාජපක්‍ෂට පවරා දී තිබූ නිසාය. රේස් පැද්ද මහින්ද කරේ තබාගෙන සිටින්නේ ඒ නිසාය. මහින්ද රාජපක්‍ෂවාදි භික්‍ෂූන් තෙය්‍යසංවාසිකයන් ලෙස ඉතිහාසගත වනු ඇත. මේ මහින්දවාදි තෙය්‍යසංවාසිකයන් මුල් යුගයේ රාජපක්‍ෂලා වෙනුවෙන් නිහඬව සිටියහ. දැන් පාත්‍රය ගෙන හොර සම්මාදමේ යති. තෙය්‍යසංවාසිකයන්ගේ එකී අශෝබන පිණ්ඩපාත ක්‍රියාවට මැදගම ධම්මානන්ද හිමි එක් වුණේ නැත; එහෙත් එය හෙළා දුටුවේද නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය.

බිල්ලා එසැවීම

මේ සියලු සිද්ධි සමාලෝචනය කරන කළ නෛර්යානික බුදුදහම කෙරෙහි ශාසනික කැප වීම ප්‍රශ්නසහගතය. මහින්ද රාජපක්‍ෂ මේ වන විට රටට කර ඇති හානි බොහෝය. ඒ වැහැරුණු ඕජස් ගලන දේශපාලන කුණු කය සිවුරෙන් වසන් කර තබා සිටීම ජුගුප්සාජනකය. පසුගිය 8 දා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණයේ දී මහාචාර්ය සරත් විජේසූරිය කළ කතාව ඍජු එකකි. එය සමහරුන්ට විස විය හැකිය. එහෙත් ජනවාරි 8 ව්‍යාපාරය වෙනුවෙන් බලයේ සිටින රජයට අභියෝග කිරීමට මහාචාර්ය සරත් විජේසූරියට පැවැති උජුපටිපන්න භාවය ගැන ගිහි බෞද්ධයෝ ආඩම්බර වෙති. මහින්ද රාජපක්‍ෂගේ ඕජස් ගලන දේශපාලන කුණු කය සිවුරෙන් වසන් කර තබා සිටින භික්‍ෂූහු ලජ්ජා විය යුතුය.

එකී අලජ්ජි භික්‍ෂුන් ව්‍යවස්ථා බිල්ලා ඔසවා පෙන්වමින් වේදිකා ඉදි කරන්නේ කාටද? වැලිකඩ සිරකරුවන් පෝලිම් ගස්සා වෙඩි තැබූ මිනීමරුවන්ටය. ලසන්ත වික්‍රමතුංග, තාජුදීන් ආදි ඝාතන ඛේදවාචකයන් මෙහෙයවූ මිනීමරුවන්ටය. රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් සොරා ගෙන මවුපියන්ගේ සොහොස් කොත් විචිත්‍ර කළ තක්කඩීන්ටය.

කරුණු මෙසේ හෙයින් අප මහා සංඝයා වහන්සේගෙන් මෙසේ අයැද සිටිමු. බුදුන් වදාළ සතර අගතියට ඡන්ද අගතියද අයත්ය. පුහුදුන් ගිහියෝ එකී අගතියෙහි නිමග්නව සිටිති. එහෙත් එකී ගිහියන් ශාසනය සම්බන්ධයෙන් දරන මතය වෙනස් නැත. මහා සංඝයාට ‘චීවරධාරි’ හැඳින්වීම පටබඳනා ලද්දේ මාධ්‍ය විසිනි. ඒ නිතර උසාවි යන මහණුන් පිළිවෙත් සපිරි මහා සංඝයා වහන්සේගෙන් වෙන් කොට දැක්විම පිණිසය.

අපරාධ චෝදනා මත, භික්‍ෂූන් 49 දෙනකු සිරභාරයේ සිටින බවට රජය වරක් ප්‍රකාශ කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ මැදගම ධම්මානන්ද හිමියෝ එකී නඩු කඩිනමින් විභාග කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. මහාචාර්ය සරත් විජේසූරිය ඉල්ලා සිටින්නේ රාජපක්‍ෂ යුගයේ සිදු කළ අපරාධ නඩු කඩිනමින් විභාග කරන ලෙසය. නඩු කටයුතු පමා වීම පොදු කරුණකි. එහෙත් මැදගම ධම්මානන්ද හිමියන් එකී පොදු කරුණ සම්බන්ධව මහාචාර්ය සරත් විජේසූරිය සමඟ එක වේදිකාවට නොපැමිණෙනු ඇත. මෙයින් තහවුරු වන්නේ සතර අගතියෙන් වල්මත් වුවද සමහර ගිහියන් සම්මා සතියෙන් ක්‍රියා කරන බවය.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන 

Comments